Sunday, December 15, 2013

අපි සහ අපි




එකිනෙකට බැදුණු හෝ නොබැදුණු සිද්දි දාමයක් සිනමා තිරයක් මත දිගහැරෙන්නාක් මෙන් අප කාලය හරහා ගමන් කරන්නේදැයි  සිතේ.

සිනමා පටයේ සිද්දීන් අධ්‍යක්ෂක ඇතුළු එක්තරා  කණ්ඩායමක් මෙහෙයවන නමුදු අප මුහුණදෙන සිද්දීන් අනුපිලිවෙලට සකසන්නේ කවුරුන්දැයි හෝ කිසිදු ගැලපීමක් නොමැතිව අහඹු ලෙස පෙල ගැසෙන්නේදැයි කවුරුන් හෝ නිවැරදිව දන්නවාදැයි  නොදනිමි.

 සුළඟට අසුවුණු වරා මලක් සේ ජීවිතය පාවෙන අතරතුර, ඩාවින්ගේ පරිණාමවාදයට අනුව දස-දහස් ගණනක් වූ වරා මල් වලින් එකක් ප්‍රරෝහණය වීමට ප්‍රමාණවත් ජලය ඇතිව බීජය පුපුරා යන නමුත් වැඩීමට තරම් නොවූ පස හේතුවෙන් මියැදෙයි, කන කැස්බෑවෙකු වියසිදුරින් පසළොස්වක සඳ දකින්නාක් මෙන් වරා මලක් ගසක් බවට පත්වේ.

මුහුණ දුන්  අහඹු සිද්දි දාමයක  ප්‍රතිපලයක් ලෙස අද අප පවතී, කොතරම් අවස්ථා ගණනකදී ජිවිත දිශානතිය ධන (+) හෝ ඍණ  (-) ලෙස කොපමණ කෝණයකින් අපගමනයවුයේදැයි බලාගනිමටනම් කාලය මොහොතක් නතර කර සියල්ල පොතක පිටු පෙරලන්නාක්මෙන් ආවර්ජනය කල යුතුය.

නමුත් ඉතා සුළු මොහොතක් හෝ සිද්දියක් ජිවිතයේ ඉන් ඉදිරියට ඇති සියල්ල වෙනස් කිරීම ජිවිතයේ ඇති අපුරුබව නොවේද? ඇතැම් විට මුළු ජිවිතයම දිරායන මළකුනක් සේ කාලකන්නි වන්නේ හෝ වැඩෙන ගසක් සේ ප්‍රාණ වත්වන්නේනේද අපට අහම්බෙන් හමුවන එක්තරා අප නොදන්නා මිනිසෙකු හේතුවෙනි. අපහට මෙවැනි මිනිසුන් කොපමණක් හමුවී ඇත්දැයි හෝ ඔවුන් සුදු කලු  ලෙස මෙසේ කී බෝඩය මත අකුරු ඔබනවා සේ පහසුවෙන් තීරු දෙකකට දමා වර්ගකල හැකිදැයි කොලයක් සහ පෑනක්  අතට ගෙන අවබෝධ  කරගත යුතුවේ.

එකමත් එක කාලයක එකමත් එක රටක හමුවුනු අපි මෙසේ නොවෙමුද?

No comments:

Post a Comment