Saturday, July 11, 2015

මරණය නොමිලේ



" Theatre is a mirror, sharp reflection of the society. "  වේදිකාව සමාජයේ තියුණු ප්‍රතිබිම්භයක් පෙන්වන කැඩපතක් ලෙස හඳුන්වා දුන්නේ ප්‍රංශ ලේඛිකාවක් සහ  තිර රචිකාවක් ලෙස ප්‍රසිද්ධ "යස්මිනා රේසා" විසිනි.  අපි අපගේම ජිවත  ව්‍යාජ රංගනයක්  බව  හොඳා කාරයෙන්ම හඳුනා ගත්තද  එය අනෙකා නොදන්නවා යයි සිතා නිර්ලජ්ජිතව අභිමානයෙන් හැසිරේ, මෙය අප සමග බැඳෙන අනෙකාටද ඒ ආකාරයෙන්ම අදාල වේ. එබැවින් අප තෝරාගෙන ඇත්තේ සැබවින්ම නරුමවාදී ජිවිත බව නැවත නැවතක් මතක් කරදීමට අපගේ ප්‍රතිබිම්හය දෙස වරින් වර බැලිය යුතුය. තවත්  ආකාරයකින් එය ළදරු අවධියේදී තමා (මම) හඳුනා ගැනීම ධර්පනයක ප්‍රතිම්භය හරහා සිදුවන   ධර්පන අවධිය ( mirror  stage ) සිහි ගන්වන්නකි. ළදරුවෙකු පරිණත මිනිසෙකු බවට පත්වීමේදී  භාෂාව හරහා සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීමත් සමග තමා අනෙකා මගින් එනම් භාෂාව මගින් විස්තර කරගනිමින් පෞරුශය (personality ) සංවර්ධනය  කරගනී.

වේදිකාව මත ප්‍රතිබිම්භයේ යථා ස්වරුපය සාකච්චාවට ලක් කිරීම  ගනු ලබන මහේෂ් එල්කුන්ච්වාර්ගේ  "ප්‍රතිබිම්භය" සැබවින්ම පැසසිය යුතුය."ප්‍රතිබිම්බ්" ( reflection ) නැමති වෙදිකා නාට්‍යයේ  "මරණය නොමිලේ" ලෙස සිංහලට පරිවර්තනය කරන්නේ සත්‍යපාල ගල්කැටිය විසිනි.ඉන්දියානු නිදහස් සටනින් පසුව 20  වන සියවසේ මැද භාගයේ මහාරාෂ්ඨ කලා ක්ෂේත්‍රය කේන්ද්‍ර කරගනිමින් බිහිවන මහාරාෂ්ඨ වේදිකා නාට්‍ය කරළියට නවක නාට්‍ය රචකයෙකු ලෙස මහේෂ් එල්කුන්ච්වාර්  එන්නේ ඔහු නාග්පුර් විශ්ව විද්‍යාලයේ  අධ්‍යාපනය අවසන් විමත් සමගය. 1950 -1960 කාලයෙන් පසුව  ජනප්‍රිය නාට්‍ය කරුවන් වූ විජේ තෙන්ඩුල්කාර්, පී. එල්. දෙශ්පාන්ඩෙ, සතිෂ් අලෙකර් සමග එක්වී මහේෂ් එල්කුන්ච්වාර් සාම්ප්‍රදායික ගිතමය නාට්‍ය, ඉතිහාස කථා, ගැමි නාට්‍ය වලින් ඔබ්බට ගිය පරේෂණාත්මක නුතන නාට්‍ය කලාව හඳුන්වා දෙයි. මෙම බලපෑම සම්ස්ත ඉන්දියානු නාට්‍ය කලාවට සහ ඉන් ඔබ්බට  කාන්දු වන්නේ මෙම කළා කරුවන්ගේ නාට්‍ය වෙනත් භාෂා වලට පරිවර්තනය විමත් සමගය. මහේෂ් එල්කුන්ච්වාර් ලියන ලද නාට්‍ය පිටපත් ගනණ විස්සක් පමණ වේ. මෙවා ඉන්දියානු භාෂා වලට පමණක් නොව ඉංග්‍රීසි, ප්‍රංශ වැනි භාෂා වලටද පරිවර්ත්නය කර ඇත. 

 "මරණය නොමිලේ" නාට්‍යයේ ඇති සමස්ත චරිත ගණන හතරකි. ප්‍රධාන චරිතය වන "ගුඩ්ඩා"  සාමාන්‍ය අපට එදිනෙදා හමුවන, රැකියාවක නියුතු තරුණයෙකි. කතාවේ විකාශනය සිදුවන්නේ  උදෑසන මුහුණ සේදීමට යාමේදී නාන කාමරයේ කන්නාඩියෙන් ඔහුගේ ප්‍රතිබිම්භය නොපෙනීම සම්බන්ධයෙනි. ගුඩ්ඩාගේ  ප්‍රතිබිම්භය අතුරුදහන් වී ඇතිබව දෙවනුව  දැන ගන්නේ ඔහුගේ නවාතැනේ හිමි කාරියයි. ගෙහිමි කාන්තාවට ගුඩ්ඩාගේ ප්‍රතිම්භය අතුරුදහන් වීම තවත් එක මුදල් හම්බ කල හැකි සිද්ධියක් ලෙස පෙනේ. නමුත් ගුඩ්ඩාට එය ක්ෂතිමය අත්දැකීමක් ලෙස දැනේ. ඔහුට එය තමාගේ රැකියාව, හිත මිතුරන් වාහන බලපත්‍රය ආදී සියල්ල නැතිවී යාහැකි අනතුරක් ලෙස හැඟීයයි. මෙම පරස්පර අදහස්  ඔවුනොවුන් අතර හුවමාරු වීමේදී ඔවු නොවුන් එකිනෙකාගේ සිත් තුලට ඇතුළු වෙමින්  සංවාදය ඉදිරියට ඇදී ගෙන  යයි. මේ අතර පවතින සමාජ ක්‍රමය පිලිබඳ  විවේචනයක් සහිතව එය වෙනස් විය යුතු බවට අදහස් කරන තවත් මිනිසෙකු ඔවුන්ගේ සංවාදයට එක් වෙයි.ඔහු "කොඩි" නම් වේ. ඔහුගේ අදහසට අනුව තරුණයාට ප්‍රතිබිම්භය අහිමි වීම ක්ෂතිමය අත්දැකීමක් නොවේ, නගරයේ 99% කගේම ප්‍රතිබිම්හ කාලයක පටන් අතුරුදහන් වී ඇති බව ඔහු හෙළි කරයි. ගෙහිමි කාන්තාව සහ තරුණයාගේ පෙරැත්තය මත කොඩි කන්නාඩියෙන් මුහුණ බලන විට ඔහුගේ ප්‍රතිබිම්භයද අතුරු දහන්  වී ඒ වෙනුවට කුකුලෙකුගේ රුපයක් දැකීමෙන් මහත් අපහසුතාවයට පත් වේ.මේ අතර වාරයේ ඔවුන්ගේ සංවාදයට එක් වන්නේ "ගුඩ්ඩා"  ගේ රැකියා ස්ථානයේ සේවය කරන තරුණියකි. ඇය "broom stick' නම් වේ. ""broom stick'" ඔවුන් සිටි ගොඩනැගිල්ලේ  පස් වන මහළින් බිමට පැන සියදිවි හානි කරගනී. නමුත් පුදුමයට කරුණ නම් ඇයගේ  මල සිරුර, ලේ පැල්ලමක් වත් ඔහු පතිත වූ මාර්ගයේ නොමැති වීමයි. දක්නට ලැබෙන්නේ කළු පැහැති තෙල් වැනි දියරයක් පමනක් වීමය

"මරණය නොමිලේ" නාට්‍ය අද දින වැදගත් වන්නේ මෙහි පස්චාත් නුතන සමාජයේ අනන්‍යතා අර්බුධය සාකච්චාවට ලක්කිරීම හේතුවෙනි. "ගුඩ්ඩා" ගේ ප්‍රතිබිම්හය අතුරුදහන් වී ඇති බව දන ගැනීමත් සමග ඔහු කලබලයට පත් වන්නේ ද ගෙහිමි කාන්තාව එය අසන්නේද එම අත්දැකීමට මුහුණදුන් මිහිමත සිටින එකම සත්ත්වයා "ගුඩ්ඩා" ලෙස සිතාගෙනය. ඔහු නිරුපණය කරන සාමාන්‍ය  මිනිසාගේ චරිතය තම ප්‍රතිම්භය අතරුදහන් වී ඇති බව හඳුනා ගැනීම වාසනාවන්තය. ශෝචනීය කරුණනම් ප්‍රතිභිම්භ අහිමි 99% වූ මිනිසුන් තම ප්‍රතිම්භ අහිමිවීම පිළිබඳවත් නොදැන සිටීමය.කොඩි ගේ මෙම විග්‍රහ ආර්ථිකය මත පදනම්ව ප්‍රකාශ කරන ලද්දක් බව හැඟී යයි. කොඩි තම ප්‍රතිම්භය වෙනස් එකක් බව හඳුනා ගන්නේද තරුණයා සමග සංවාදයත් සමගය.ඔහු සමාජ ප්‍රතිසංස්කරණ පිළිබඳව කතා කරන ප්‍රගතිශීලි මිනිසෙකු  ලෙස නඩත්තු කරගත් ප්‍රතිබිම්භය ඔහුට නොපෙනීම සහ ඒ වෙනුවට කුකුලෙකුගේ  ප්‍රතිබිම්භයක් පෙනීම ඔහුගේ ලජ්ජාවට හේතු වේ.කාන්තාව "ඒක ශිව ලිංගය වගේ" යනුවෙන් පැවසීම ඔහුගේ සඟවාගත් ආත්මය නිර්වත්‍ර කිරීමක් බඳුය. පිරිමියෙකුගේ අවිඥානය තුල සැඟවුණු සළෙලු ස්වභාවය ඇයගේ මෙම ප්‍රකාශයත් සමග හෙළි දරව් කිරීමක් සිදුවේ, මෙය කෙනෙකු පලා යාමට හෝ ප්‍රචණ්ඩ හැසිරීමකට හේතු විය හැකිය. "ගුඩ්ඩා" ඔහුගේ ප්‍රතිභිම්හය කුකුලෙකු සේ දැකීමද යම් තාක් දුරකට මෙයට සළෙලු ස්වාහාවය තහවුරු කරන්නක් බඳුය.

අද අපට හමුවන්නේ සත්‍ය හෝ යුක්තිය කුමක්දැයි හඳුනා ගත්තද ඒ වෙනුවෙන් පෙනී සිටින හෝ  නොදන්නා  බව හඟවන නරුමවාදී  (cynical )සමාජයකය. එදිනෙදා ජීවිකාව සම්පුර්ණ කරන අඩක් කුස ගින්නේ සිටින මිනිසුන් ඔවුන්ගේ ප්‍රතිබිම්හය නොමැති බව වත් නොදනී; මෙය නිරුපනය කරන්නේ අපගේ ජිවන රටාවම නොවේයැයි කිසිවෙකුට කිව හැකිද? "broom stick " ලෙස හදුන්වන තරුණිය නරුම වාදයේ සංකේතයක් වන්නේ ඇය තමන්ගේ ප්‍රතිම්භය නොමැති බව දැන දැනත් එය නොදන්නවා සේ ජිවත් වීම සහ "ගුඩ්ඩා"ගේ ප්‍රතිභිම්භය අතුරුදහන් වී ඇති බව ඇය දැන සිටියත් ඒ බව "ගුඩ්ඩා"ට නොපැවසිමය. ගෙහිමි කාන්තාව සැබවින්ම මෙම සමාජ ක්‍රමයේ ශෝකාන්තය නිරුපනය කරයි. ඇයට  පමණක් තම ප්‍රතිබිම්භය දර්පනයෙන් බලාගත හැකිය.මෙම නාට්‍යයේ එන  අනෙකුත් චරිත තුනම සත්‍යාවබෝධය ( realization ) නම් අවස්ථාවට කිනම් හෝ අවස්ථාව පැමිණේ, නමුත් ඇය එම අවස්ථාවෙන් බොහෝ දුරකය. ඇයගේ ප්‍රත්බිම්භයේ පැවැත්ම ඇත්තේ ඇය නොපවතින  බැවින්ය. ඇයගේ ප්‍රතිබිම්හයට පැවැත්ම ඇත්තේ අනෙකාගේ ආශාව තුල ඇය පැවතීම හේතුවෙන්මය එසේ නොමැතිනම් ඇය තමාගේ ප්‍රතිබිම්බය ලෙස දකින්නේ තමා අනෙකාගෙන් දැකිය යුතු යයි සිතන ප්‍රතිබිම්භයයි. 

මහේෂ් අල්කුන්ච්වාර් ගේ නාට්‍යමය ප්‍රවේශය ඉතා විශිෂ්ඨ වන්නේ සමාජ ප්‍රතිසංස්කරණයක් බලා පොරොත්තු වන්නේ නම් ඒ සඳහා මුදල්මත පදනම් වූ පන්ති ක්‍රමය පමණක් නොව දැනුම මත පදනම් වූ පංති ක්‍රමයද පරාජය  කල  යුතු බවයි. දැනුම වැදගත් වන්නේ මිනිසුන්ගේ සිතුවිලි විශ්ලේෂණය කිරීම සඳහාය. මෙනිසුන්ගේ සිතැඟි හඳුනා නොගෙන කරන විප්ලවයක් මෙම  යුගය තුල සාර්ථක නොවේ යන්න මොහුහේ පණිවිඩයයි. කොඩි නම් චරිතය තරුණයා සම්ච්ච්චලයට ලක් කරන්නේ මුදල් ලැබීම සම්බන්ධයෙන් ඔහු මධ්‍යම පාන්තිකයෙකු වන බැවින්ය. ප්‍රතිබිම්භ අහිමි පුද්ගලයන් හා සැසඳීමේදී තරුණයා මෙන්ම අඩු අදායම් ලාභී ප්‍රතිබිම්හ රේඛාවෙන් පහල ජිවත් වන සියල්ලම අයිති වන්නේ එකම පන්තියක බව කොඩිට අමතක වන්නේ දැයි සැකයක් මතුවේ. එකිනෙකාට තනි තනියෙන් කල හැකි වෙනස් කිරීම් ඉතා අල්පය. සමාජයක් ලෙස දැනුමෙන් සන්නද්ධ වී සටන් කිරීමෙන් පමණක් සාර්ථක විය හැකිය. කෙසේ නමුත් මෙහි එන චරිත හතරම සත්‍ය හඳුනා ගැනීම යන සංකල්පය සැලකු විට ඉතා දුර්වල බව හැඟී යයි, එය නාට්‍ය කරුවා සබුබ්ධික ප්‍රේක්ෂකයාට  එම චරිත වල හැසිරීමට  ඔබ්බෙන් සිතිය යුතුය යන ආදර්ශය ලබා දෙයි. වර්තමාන සමාජයේ දක්නට ලැබෙන පොදු සෝචනීය ලක්ෂණය නම් තම තමන්ගේ විනෝදය ( small pleasures ) සොයා යාම තුල අතරමං වන අප හට එක්ව යමක් කල නොහැකි වීමය. මෙම නාට්‍ය තුලද මෙය හොඳින් ඉස්මතු වේ. අවම වශයෙන් තරුණයා සහ තරුණිය වත් එක් අරමුණක් සඳහා පොදු එකඟතාවයකට නොපැමිණේ. මෙවැනි මිනිසුන් සිටින සමාජයක විප්ලවය යනු සිහිනයක් පමණක් වනු ඇත.

අද දින "යථාර්තය" යනු කුමක්දැයි ප්‍රශ්න කල යුතුය. එක අතකින් එකිනෙකාගේ සිත් වලට ඇතුළු වෙමින් ඔවුන් සැබෑවට සිදු වී ඇති දෙය හෙවත් යථාර්තය කුමක් දැයි සොයාගැනීමට උත්සහා දරයි. නමුත් යථාර්තය සෙවීමේ අරමුණින් සමස්තය කුඩා කොටස් වලට විච්චේදනය කිරීම කොතරම් ප්‍රයෝගික දැයි යන ගැටලුවත් සමගය. මිනිස් සිරුරක සැබෑ යාන්ත්‍රනය සෙවීමට එය අවයව පදිධති වලටත් පසුව පටක , සෛල බවටත් පත් කල හැකිය. සෛල තවදුරටත් සංකීර්ණ සහ සරල අණු වලට වෙන් කොට පරමාණු සහ උප පරමාණුක අංශු වලටද බෙදා වෙන් කල පසු එහි ජීවයක් නොපවතී. යථාර්තය සෙවීමේදී ඇතිවන් අගටලුඅවද එයමය. සිතුවිලි එකිනෙකින් වෙන් කරගෙන යාමේදී අවසානයේ සොයාගත හැකි දෙයක් නැත. යථාර්තය සොයාගෙන යාම ගැටළුවක් වන සේම යථාර්තය බවතිද යන්නද අවසානයේදි ගැටළුවක් වේ. එසේ වන්නේ භාෂාව තුල යථාර්තය හමු නොවීමයි,එසේත් නොමැතිනම්  වචන වලට පරිවර්තනය කල නොහැකි දේ යථාර්තය ලෙස පැවතීමයි.

තරුණිය ගුඩ්ඩාගේ  සිතට ඇතුළු වූ පසු එහි අඳුර මිස වෙන කිසිවක්  නොදකී. එය ඔහුගේ අභ්‍යන්තරික බිඳ වැටීමය, එසේත් නොමැතිනම් හිස් බවය.දියේ පාවෙන අයිස් කන්දක් බඳු  මනසේ සවිඥානය ඉතා කුඩා වපසරියක් නම් එහි ජයේ ගිලි පවතින කොටස තරම් අවිඥානය විශාල වේ. මිනිසුන්ගේ කතිකා තුල නිරන්තරයෙන් අනවරතව අවිඥානික සහ සවිඥානික සිතුවිලි අතර දෝලනයක් සිදු වෙමින් ඉදිරියට ඇදී යයි. නමුත් මෙම මෝබියස් සම්බන්ධය සාමාන්‍ය එනම් එදිනෙදා සිදුවන කතිකාවක සිදුවන්නේද අවිඥානිකවය. මෙම නාට්‍ය තුල ඇති සුවිශේෂම කාරණය  වන්නේ මෙම අවිඥානික සහ සවිඥානික අනවරත සම්බන්ධය චේදනය කර ප්‍රේක්ෂකයාට එය තේරුම් ගැනීමට හැරීමයි. මේ සඳහා යොදාගත් නාට්‍යමය උපක්‍රමය වන්නේ සවිඥානික සංවාදය සිදුවන්නේ එකිනෙකා කාමරයට දොරෙන් ඇතුළු වූ විටය. අවිඥානික හැසිරීම ඉස්මතු වන්නේ ඔවුන් ජනේලයෙන් ඇතුළු වූ පසුවය. ඒ අනුව ජනේලයෙන් ඇතුළු වීම යටි හිතට ඇතුළු වීම ලෙස මෙම සන්ධර්හය තුල   පැහැදිලි කිරීම ප්‍රේක්ෂකයාට කරන සාධාරණයක්  වන්නේ එය  සරල වීම අවබෝධ කරගැනීමට ඇති පහසුව නිසාය.

Facebook, twitter ආදී ගිණුම් වල   ව්‍යාජ නම් ගම වලින් ඡායා රූපවලින් පෙනී සිටීමද අනන්‍යතා  අර්බුධයට එක් උදාහරණයකි.පස්චාත් නුතන වෙළඳපොල ආර්ථිකය කේන්ද්‍රකරගත් දෘෂ්ඨිවාදය ( ideology ) විසින් මෙහෙයවනු ලබන සමාජයක ජිවත් වන මිනිසුන්හට තමා හඳුනා ගැනීමට සිදු වන්නේද  මෙම සංකීර්ණත්වය සහිතවමය. එබැවින් තමා ලෙස කෙනෙකු හඳුනා ගන්නේ  තමා නොව අනෙකාය. සයිබර් අවකාශය තුල සැරිසරණ තරුණ තරුණියන් පමණක් නොව බොහෝ දෙනෙකුගේම අනන්‍යතාවය පාරා වළල්ලක් සේ ඔවුනටම ගැටළුවක් වන්නේ අනෙකා විසින් යම් අවස්ථාවක ඔවුන් ප්‍රශ්න කරන විටය. ව්‍යාජ අනන්‍යතාවය අප පවත්වා ගන්නේ අනෙකා වෙනුවෙනි, මෙය එකිනෙකාට සත්‍ය වන විට අනෙකාගේ යතා ස්වරුපයද අතාත්වික ( virtual real ) වන්නේය.මෙවැනි පසු බිමක් තුල අනෙකාගේ පැවත්මද ව්‍යාජ එකකි. යථාර්තය ලෙස දකින දෙයද අතාත්වික වන බව දැන ගැනීමත් සමගම තමාගේ ප්‍රතිරූපය මෙන්ම අනෙකාගේ පැවැත්මද ගැටළුවක් වන්නේය.යථාර්තය යනු කුමක්දැයි විස්තර කර ගත නොහැකි පසුබිමක් සකස් වන්නේද යථාර්ථයේ ස්වරූපය නිරන්තරයෙන් වෙනස් වීම හේතුවෙනි. එබැවින් යථාර්තයට වඩාත් සමීප අත්දැකීම වන්නේ මරණයයි. මෙම තත්වය තුල යථාර්තය සොයන මිනිසුන්  හට  මරණය හැර වෙනත් කිසිවක්  උරුම වන්නේ නැත. මහේෂ් අල්කුන්ච්වර් මෙය නාට්‍ය ආකෘතියකට ආදේශ කිරීම අද දින සැබවින්ම ප්‍රතිබිම්භ අහිමි වූ 99% ක් දෙනාගේ සිතුවිලි උඩු යටිකුරු කිරීමකි.  සැබවින්ම අනෙකා විසින් ගොඩ නංවන සංකේතීය පරාමිතීන් ව්‍යාකුල වූ විට , එනම් තම ප්‍රතිබිම්බය අහිමි බව දැන ගන්නා  දිනයට බොහෝ දෙනෙකු ඉහල මහල් වලින් බිමට පැන සිය දිවි නසා ගන්නවා ඇත. ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන් වන අපට  මෙවැනි  කලාකෘති සියගණනක අඩුපාඩුවක් පවතීන්නේ දැනුම පිලිබඳ ගැටලුව හේතුවෙන්මය.

චිත්‍ර පටයක මෙවැනි සංකීර්ණ මානසික තත්වයන් මෙන්ම හැසිරීම් පිලිබඳ දැනුම ප්‍රේක්ෂකයාට ප්‍රේරණය කිරම තරමක පහසු කටයුත්තකි. ජනප්‍රිය හොලොවුඩ් නිර්මාණ වන "Psycho " , "Sunglasses ", "Basic  instincts" වැනි චිත්‍ර පටවල මෙය දක්නට ලැබේ.චිත්‍ර පටියක සිය දහස් ගණනක් පසු තල මොහොතින් මොහොත වෙනස් වේ, මේ සියළු පසු තල එහි චරිත වල විසින් ප්‍රේක්ෂකයා ගොඩ නගා ගන්නා  චිත්ත රුප හා සම්බන්ධ වෙමින් බහුවිධ අර්ථ සපයයි. එය චිත්‍ර පටයක දෙබස් වලින් තොරව කතාව ගොඩ නැගීමට මහත් රුකුලක් සපයයි. නමුත් වේදිකා නාට්‍යක පසුතල සිමාසහිතය. මෙය එහි ශිල්පීන්ට මහත් අභියෝගයකි. නාට්‍ය සාර්ථක වීමට නම් එහි එන දෙබස් වල ප්‍රාණවත් අව ඉතා වැදගත්ය, සිනමා පටයක රූපරාමුවක් නැවත නැවතත් සංස්කරණය කල හැකිය, නමුත් වේදිකා නාට්‍යක සංස්කරණය තහනම් වචනයකි; සියල්ල සජීවීව කලයුතු වීම නිසාම වේදිකා නාට්‍ය කලාව තවමත් ඉතා ඉහල පිළිගැනීමට ලක්වූ මාධ්‍යකි. සමාජයේ භෛෟතික වෙනස් වීම් හෝ මිනිසුන්ගේ භෛෟතික අන්තර් සම්බන්ධතා කලා කෘතියකින් ඉදිරිපත් කිරීම තරමක පහසු කටයුත්තකි. නමුත් අද සමාජයේ මිනිසුන්ගේ භෛෟතික හැසිරීම් සහ අනෙකා සමග අන්තර් ක්‍රියා වලට හේතුවන මානසික ස්වභාවය වේදිකාව මත විශ්ලේෂණය කීරම සැබවින්ම අභියෝගයකි. මෙම කටයුත්ත පහසු කර ගැනීම සඳහා ඔහුගේ උපක්‍රම ඉතා සිත්ගන්න සුළුය. චරිත එකිනෙකාගේ යටි සිත හෙවත් අවිඥානය ආමන්ත්‍රණය කිරීමට අවශ්‍ය වූ විට ජනේලයෙන් ඇතුළු වීමත් සවිඥානය ආමන්ත්‍රණ කිරීමට දොරෙන් පැමිණීමත් ප්‍රේක්ෂකයා සංකීර්ණ සන්ධර්හයක අතරමං නොකර සරල ලෙස අවබෝධකර ගැනීමට අවස්ථාව සලස්වා නාට්‍ය සමග ඇද බැඳ තබා ගැනීමට ගත් සාර්ථක උත්සාහයක් බව පෙනේ. එසේම සමස්ථ කතාව ඉදිරිපත් කිරීම සඳහා නළු නිළියන් හතර දෙනෙකු පමණක් යොදා ගැනීමද ප්‍රේක්ෂකයාට කල සාධාරණයක් ලෙස හැඳින්විය හැකිය, එමගින් චරිත අතර පවතින අන්තර් සම්බන්ධතාවය අඩුවී අවබෝධ කරගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කරදෙයි.එසේම සියල්ල ව්‍යාපාර වූ විට විටෙක  ලාභ නොලබන කොපමණ උසස්  කලා කෘතියක් වුවද දිගු කාලීනව නඩත්තු කල නොහැකිය.සීමිත සාමාජිකයින් ගණනක් සිටින නාට්‍ය කණ්ඩායමක් සඳහා දැරීමට සිදුවන පිරිවැය අවම වීම තුල එහි නිෂ්පාදන කටයුත්ත ප්‍රයෝගික යථාර්තයක් කර ගැනීම පහසුය. 

 සියල්ල වෙළඳපල මත තීරණය කරනු ලබන සමාජයක සැබවින්ම මරණයද වටනා කමක් ඇත. නමුත් එය ඛේදජනකය. එම වටිනාකමේ වාසිය ලැබෙන්නේ මරණයට ලක්වන පුද්ගලයාට හෝ සමීප පුද්ගලයන්ට නොව වෙළඳ භාණ්ඩයක් කරගත් මල්ශාලා හිමියන් ආදී ව්‍යාපාරිකයන්ටය  . දිරා යන මළ සිරුර  වෙළඳ භාණ්ඩයක් බවට පත්වී ඇත්තේද තත්කාලීන දෘෂ්ඨිවාදය ( ideology )  තුලය. එවැනි සමාජයක ජිවත් වන මිනිසෙකුගේ මරණයට සෑහෙන මිලක් තිබේ. එම මිල ගෙවිය යුත්තේ මරණයට පත්වන පුද්ගලයාගේ සමීපතමයන් විසිනි. සමාජය පිලිබඳ කලකිරීමට සියදිවි හානි කරගන්නා පුද්ගලයෙකු හැර අනෙක් සෑම සාමාන්‍ය  පුද්ගලයෙකුටම  තම මරණයේ වෙළඳපලට ගෙවිය යුතු මුදල පිළිබද කනස්සල්ලක් පවතී. සියලු මිනිස් අගයන් රුපියල් ශත වලින් නියම කරන පස්චාත් නුතන සමාජ යාන්ත්‍රණය පැහැදිලි කීරම උදෙසා ලැකානියානු සිද්ධාන්ත වල මෙහෙය මිල කල නොහැකිය. නමුත් තම සායනයට පැමිණෙන රෝගියාගේ පොකට්ටුව හිරිකිතයකින් තොරව හිස් කර උපයාගත් මහා ධනස්කන්ධය තහවුරු කරන්නේ ඔහුද  ප්‍රතිභිම්භය අහිමි වූ තවත් එක් පුද්ගලයෙකු බවයි.

-ජානක ගුණතිලක