Saturday, May 26, 2018

විල්පත්තුවේ කැලා කැපීම සහ Limelight








බොහෝ දෙනෙකුගේ මතකය ක්ෂණිකව  අවධි කලවිට චාලි චැප්ලින් විකට නළුවෙකු ලෙස හැඟී ගියද ඔහුගේ පසු කාලීන නිර්මාණයක් පිලිබඳ අවධානය යොමු කිරීම තුලින් ඔහුගේ වඩාත් සංවේදී දෘෂ්ඨිකෝන හඳුනා ගත හැකිය. Limelight සිනමා පටය මුලින්ම තිරගත වන්නේ 1952 වසරේය. 1930 දී කථා නාද චිත්‍ර පට හඳුන්වා දීමත් සමග චාලි චැප්ලින්ගේ නිහඩ චිත්‍ර පට කලාවට නැවතීමේ තිත තැබිය යුතු බව බොහෝ දෙනෙකුකේ විශ්වාසය විය නමුත් ඔහු ශ්‍රේෂ්ඨ කළා කරුවෙකු ලෙස එයට අභියෝග කරන්නේ දෙබස් රහිත Modern Times  චිත්‍ර පටය 1934 දී නිපදවා නැවතත් ප්‍රේක්ෂකයා දිනා ගනිමිණි. ඔහුගේ උපහාසය මෙන්ම අභියෝගය එල්ල වන්නේ ගතානුගතික සමාජයට නොව තත් කාලීන සමාජය වැළඳ ගනිමින් තිබු වඩා විශිෂ්ඨ යයි පිළිගත් ධනවාදී මුල ධර්ම වලටය. එකතරා අවස්ථාවක පැසිස්ට් වාදය උපහාසයෙන් අභියෝගයට ලක් කරන්නේ යුදෙව් ජාතික කරන වැමියා හිට්ලර්ගේ ජවනිකාවට පණ පොවන Great Dictator චිත්‍ර පටයෙනි. නමුත් වඩාත් උත්කෘෂ්ඨ අභියෝගය වන්නේ Limelight සිනමා පටය තුල ඔහුගේ චරිතය මිනිස් අවිඥානයට අභියෝග කිරීමය.

හුදෙක් අවිඥානය විසින් මෙහෙයවනු ලබන සිංහල ධෟද්ධයන් සිටින ලංකාවේ සිටින අපිට එහි කථා වස්තුව සුරංගනා කතාවකි. නමුත් ලෝකයේ දියුණු ශිෂ්ඨාචාර වර්තමානයේ තිබෙන මෙන්ම ඇතැම් අරාබි රටවලද දක්නට ලැබෙන නීතිය විසින් හිකමවනු ලැබූ මෙන්ම ස්වයං විනය විසින් මෙහෙයවනු ලබන සමාජ තුල දක්නට ලැබෙන යථාර්තයකි.

කැල්වේරෝ නම් ඔහු විශ්‍රාමික විකට නළුවෙකි. තෙරේසා නම් බැලේ නාට්‍ය ශිල්පිනිය ඔහුට හමු වන්නේ සිය දිවි හානි කර ගැනීමට දොරගුළුලාගෙන ගෑස් පයිප්ප විවෘත කරගෙන සිහිසුන්ව සිටින විටදීය.මනුෂ්‍ය ජීවිතයක වටිනාකම හඳුනන මිනිසුන් සමාජයක ජිවත් වන්නේ නම් එය ඉතා උත්කෘෂ්ඨ සමාජයක් වනු ඇත. බස් රථයකදී අසනීප වී පණ අදින මිනිසෙකු මහමග මියැදෙන්නට දමා  යන්නේ අපේ උතුම් යැයි කියාගන්නා මිනිසුන්ය. ගැබිණි මවක් පාපුවරුවෙන් වැටී මියයන්නේ ද ලංකාවේය. මහමග අනතුරකදී  පණ අදින මිනිසුන් නොදැක්කා සේ යාමට අපට කිසිදු හිරිකිතයක් නැත. 

  නමුත් කල්වේරෝ තෙරේසාට  පවසන්නේ

 " මිනිසුන් පරිණාමය වීමට අවුරුදු දහස් ගානක් ගතවුණා, ඒ වටිනා ජීවිතය මොහොතකින් විනාශ කර ගන්නට යන්නේ ඇයිද යන්නය," 

මෙලොවට උපදින සෑම මිනිසෙකුගේ ජිවිතයකම ඇත්තේ සමාන වටිනාකමකි. මානව හිමිකම් වල මුලික සිද්ධාන්තය මෙයය. සැම මිනිසෙකුගේම දේ පලකට වටිනාකමක් ඇත. නමුත් ලංකාවේ සිංහලයන් දෙමළුන්ට මෙන්ම මුස්ලිම් මිනිසුන්ට වටා වටිනා ජාතියකැයි සිතති. විල්පත්තුවේ වඳුරන්, අලි කොටි වලසුන්ට ඉඩම් නැතිවීම මෙන්ම එහි දැවැන්ත ගස් කපා දැමීම අහස පොළොව නුහුලන අපරාදයකි,තම ඉඩ කඩම් අහිමිව  ඔවුන්  අනාථ කඳවුරු වල අවුරුදු ගණනක්   සිටියාට කමක් නැත. 

මානව හිමිකම් පිලිබදව ශ්‍රී ලාංකික සමාජය කථා කරන්නේ 1972 ව්‍යවස්ථාවෙන් පසුවය නමුත් අදටත් ලංකාවේ මානව හිමිකම් වලට ඇති තැන පිළිබඳව බටහිර ලෝකයාට මෙන්ම අපටත් ගැටළුවක් ඇත. මතක තබා ගත යුතු කරුණක් වන්නේ ප්‍රංශ ව්‍යවස්ථාවට මානව හිමිකන් පිලිබඳ වගන්ති ඇතුලත් වන්නේ 1792 ප්‍රංශ විප්ලවයෙන් පසුව වීමය. අපට වසර දෙසීයකට පමණ පෙරය. පුරසාරම් දොඩවන අපට නම් සුද්දන් අඹුඩ ගසා ගෙන සිටින කාලයේ අපි සිගිරි ගල මුදුණට වතුර පොම්ප කළේය යන්නය, එහෙත් අදට ඇති ගැටලුව වන්නේ දැන් අඹුඩයද නොමැතිව හෙළුවෙන් සිටින්නේ කවුද යන්නය. 

කැල්වෙරෝ විටෙක හැඟුම් බරය නමුත් ඔහු අවිඥානය විසින් මෙහෙය වනු ලබන චරිතයක් නොවේ. තම මෙහෙකාරියට ඔහු පවසන්නේ

 " මෙහි සිටින්නේ තම බිරිඳ බවයි" 

නමුත් ඔහු තම නිවසේ රැඳී සිටින තරුණිය වෙත කිසිදු බලපෑමක් කරන්නේ නැත. සුනාමියේදී මියගිය ගැහැනුන් පමණක් නොව මෝචරියේ එම්බාම් කිරීමට ඇති මළමිනිය ද දුෂණය කරන මිනිසුන් සිටින අපේ රටේ සිහිසුන්ව සිටින තරුණියක් මරණයෙන් බේරා ගෙන එයින් පසුව එන නීතිමය ගැටළු වලට අප මුහුණ දීමට සිතන්නේ නැත, එක්කෝ ඇඟේ රස්නය යන්නට කලින් ඇය දුෂණය කල යුතුය නැතිනම් ජිවත් කර තම මිලේච්ච ලිංගික ආශාවන් සන්තර්පණය කරගත යුතුය. නමුත් කල්වේරෝ ඇයට නැවතත් තම වෘතිය කරගෙනයාමට අවශ්‍ය මානසික ශක්තිය ඇය තුල ගොඩ නංවයි. පියවරෙන් පියවර අඩියෙන් අඩිය තබා නැවතත් පොලවේ පය ගැසීමට උගන්වයි. එතුලින්ම ඔහු තම ආත්මය දෙපයින් සිටවා ගැනීමට අවශ්‍ය ශක්තිය උපයා  ගනී.

මිනිසෙකු තුල ගොඩ නැගුනු ආත්ම අභිමානය ඉතා අගනේය, ඔහු කිසිම විටෙක එය  පාවා නොදෙයි. මෙය අපගේ සමාජ සන්ධර්බය තුල පරාමිතීන්ට හාත් පසින්ම වෙනස්ය, එසේ වන්නේ පිරිමින්ගේ ආශාවේ රෝග ලක්ෂණය වන කාන්තාව තමා ඉදිරියේ සිටින විට කල්වේරෝ  හැසිරෙන ආකාරය විශ්ලේෂණය කිරීමෙනි.මෙය අපරදිග පිරිමියාට පමණක් නොව බටහිර පිරිමියාටත් පොදු ධර්මතාවයකි. නමුත් හැසිරීමේ වෙනස ඇති කරන්නේ අවිඥානය සහ සවිඥානය ක්‍රියාත්මක වන ආකාරය අනුවය, ශ්‍රී ලාංකේය සමාජය තුලනම් පිරිමියාට කාන්තාවගේ සමාජ ස්ථානගතවීම වැදගත් නැත. මෙවන් අසරණ කාන්තාවක් අපට තවත් ලිංගික උත්තේජනයක් පමණි. කල්වේරෝ අවිඥානයට  අභියෝග කරන්නේ මෙහිදීය.

තෙරේසා කල්වෙරෝට ආදරය ප්‍රකාශ කල විට ඔහු නිවසින්ද පලා යයි. නමුත් තම අභිමානය ගොඩ නගා ගැනීමට තත් කරන්නේ තම හැකියාවන් කුඩා සංගීත කණ්ඩායමක් සමග බෙදා හදා ගනිමින් වීදිවල සින්දු කීමෙනි. තෙරෙසාගේ ආදරය වඩාත් වැදගත් වන්නේ ඇය අසරණව සිටින විට පමණක් නොව ඇය මහද්වීපික සංචාරයට පසුවද එනම් වෘතීය මට්ටමෙන් වඩාත් ඉහලට පැමිණි පසුවද ඔහුට ආදරය කිරීමය. අපගේ සමාජය තුල නම් හමුදා සෙබලාගේ මාසික පඩියෙන් යැපී සරසවි අධ්‍යාපනය නිම කරන තරුණිය ඔහුටත් නොකියාම විධායක ශේණියේ පුද්ගලයෙකුට පෙම් කරන්නට පටන්ගනී. හමුදා සෙබළා තරුණියගේ නිවස අසලට විත් සිය ගිනි අවියෙන් වෙඩි තබා ගෙන සියදිවි හානි කර ගනී, එසේත් නොමැතිනම් තරුණියද මරා ඔහු සියදිවි හානි කරගනී. රාජකීය බැලේ කණ්ඩායමේ සාමාජිකාවක් වන තෙරේසා නැවතත් කල්වේරෝ සොයාගෙන පැමිණෙන්නේ ඔහු විදි නාට්‍ය කණ්ඩායමක සාමාජිකයෙක්ව සිටියදීය. මෙහි ඇති අනෙක් වැදගත් කම වන්නේ කඩවසම් සංගීත ශිල්පියෙකු තෙරේසාගේ අත ගැනීමට බලාපොරොත්තුවෙන් සිටියට ඇය තම ස්ථාවරය වෙනස් නොකිරීමය. 

ආදරය බිඳ වැටෙන්න්නේ  මිනිසුන් සැබෑ ලෙස  එකිනෙකා හමුවන විටය. 1914 දී තිරගත වූ චාර්ලි චැප්ලින්ගේ City Light චිත්‍ර පටය අවසන් වන්නේ පෙම්වතුන් මුණ ගැසීමත් සමගය නමුත් එය බොහෝ විට ශෝකාන්තයකි, මක්නිසාදයත් අන්ධ තරුණිය තම පෙම්වතා හඳුනා ගනු ලැබුවේ යථාර්තය එලෙසින්ම ග්‍රගනය කරගෙන නොව තම සිහින පෙම්වතා ඇය සමීපයේ සිටින තරුණයා තුලින් දැකීමෙනි. නමුත් ඔහු කිසිදු වත්කමක් නොමැති අහිංසක මිනිසෙකු ලෙස ඇය දැකීමත් සමග ඇයගේ සිහින පෙම්වතාගේ චරිතය බිඳ වැටේ. එයට හේතුව වන්නේ අප ආදරය කරන්නේ මිනිසුන්ගේ යථාර්ථ ස්වරුපයට නොවීමය. අප විසින් මවා ගන්නා ලද චරිතය තම පෙම්වතාගෙන් හෝ පෙම්වතිය තුලින් දැකීමෙනි. නමුත් එම යථාර්තය අතාත්විකය, මෙමම අතාත්වික යථාර්තය ඔවුන් සංකේතීය තලයක ගොඩනංවාගෙන එය මත සිහින මාලිගා තනා ගනිති. නමුත් එකිනෙකා පිලිබඳ සැබෑ ස්වරුපය හඳුනාගැනීමත් සමග ඔවුන්ගේ සංකේතීය වටිනාකම් බිඳ වැටේ. අපගේ සමාජයේ බොහෝ ප්‍රේම වෘත්තාන්ත වල අවසානයද මෙයම වේ.

 නමුත් Limelight හි තෙරේසා තමා අසල සිටින වයෝවෘධ විකට නාට්‍ය ශිල්පියාගේ උසස් මනුෂ්‍ය ගුණාංග වලට ආදරය කරයි. අපගේ සිහින මාලිගා වල සිටින පෙම්වතියන් පෙම්වතුන් මිහිපිට නොමැති බව අප නොදැන සිටීම බොහෝ ශෝකාන්ත වලට හේතුවයි. සැබවින්ම මිහිපිට මිනිසුන් ගැහැනුන් සිටිති, ඔවුන් තුල නරුමයන් මෙන්ම ඉතා වටිනා මිනිසුන්ද සිටිති.ආදරයේ නාමයෙන් කලයුත්තේ  එම මනුෂ්‍යයන් අවධි කිරීම මිස මිනිසුන්ගෙන් අතාත්වික මනස්ගාත බලාපොරොතු වී  නරුමයන් අවධි කිරීම නොවේ.

තෙර්සාගේ ආදරය  සදාකාලික   ආදරයක පෙර නිමිත්තකි, හේතුව වන්නේ මෙය වඩාත් ප්‍රායෝගික වීමය.  චිත්‍ර පටය ශෝකාන්තයක් සේ අවසන්වීම  පෙනී යන්නේ ඇය නර්තනයේ යෙදීම බලා සිටියදීම ඔහු මියයාමෙනි. නමුත් එම අවසන් ජවනිකාව ඉතා අලංකාරය. ඔහු මිය ගිය බව නොදැන ඇය තවදුරටත් නර්තනයේ යෙදෙන්නිය.එය එම සදාකාලික ආදරය සංකේතවත් කරයි. ඔහුගේ මියයාම තුල ඇයට තව දුරටත් ඔහුට ආදරය කල හැකිය.මොවුන්ගේ ආදරය සදාකාලික වන්නේ එය මල්ඵල ගොගැන්විම තුලින්මය. එබැවින් Limelight චිත්‍ර පටය  සැබෑ ප්‍රේම වෘර්තාන්තයක් ලෙස අවසාන වේ. තෙරේසා තවමත් කැල්වෙරෝට ආදරය කරන්නීය.


- ජානක ගුණතිලක








No comments:

Post a Comment