Monday, December 16, 2013

මටම අයිති මගේම පුද්ගලික ව්‍යසනය

මිනිසුන් අප වැනිය. නිතර ව්‍යසනයට මුහුණ දෙති. ව්‍යසනය යනු පරිපාලනය කළ නොහැක්කකි. කල්තියා දැනගත හැකි නොවන්නකි. ව්‍යසනය සිදු වූ විට පමණක් එය සිදු වූවා යැයි මිනිසුන් දැන ගනිති. ව්‍යසනය යනුම අනාගතය ට අයිති දෙයකි.

ව්‍යසනයකට සුනාමිය කදිම උදාහරණයකි. එය ස්වාභාවික ව්‍යසනයකි.

වසර දෙදහස් දොළහේ දෙසැම්බර් මාසයේ දෙළොස්වන දා සිදුවන්නට කල්යල් බලමින් සිටි ලෝක විනාශය නම් වූ ව්‍යසනය ද ස්වාභාවික ව්‍යසනයක් යැයි නම් කරනවාට වඩා එය මාධ්‍යමය ව්‍යසනයකි. මායාවරුන්ගේ කැලැන්ඩරය කියවා ගන්නට ගොස් සිදු වූ අලකලංචියකි. එදා ලෝකය විනාශ නොවූ බැවින් එම ව්‍යසනය ප්‍රබන්ධාත්මක අතීතයක් අත් කර ගත්තේ ය. නමුත් බොහෝ අය කිසියම් ව්‍යසනයක් සිදු වනු ඇතැයි අනුමානයෙන් අවිනිශ්චිත භාවයෙන් එම දිනය ගත කළාහුය. ඔවුහු කිසියම් වෙනසක් ඉන් බලාපොරොත්තු වූවා වැනිය. මේ ලෝකය සහමුලින් විනාශ වී අලුත් ලෝකයක් හට ගන්නේ නම් මැනවැයි සිතන්නෝ වත්මනේ බහුලය. ඒ තරම් චූල ව්‍යසනයන්ගෙන් ජීවිත පිරී ඇති බැවිනි. එක ව්‍යසනයකින් සියල්ල අවසන්ව අලුතින් සියල්ල හට ගන්නේ නම් කොතරම් හොඳදැයි සිතන්නෝ විරල නැත.

සමහර මිනිසුන් ව්‍යසනවලට ඇත්තටම ප්‍රිය කරති. ඒවා අභියෝග ලෙස බාර ගැනීමට කැමති වෙති. ඒ ජීවිතයම යනු එකම ව්‍යසනයක විවිධ පරිච්ඡේද යැයි සිතීමෙන්ම ඒවා ට නිසඟ ලෙස ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරගත් අයවලුන් වෙති. ව්‍යසන කෙරෙහි ප්‍රතිශක්තිය වර්ධනය කරගත් ඔලු සහිත මිනිසුන් කලාතුරකින් ව්‍යසනයෙන් තම ජීවිත වඩාත් ඉහළ තලයකට රැගෙන යන්නාහු වෙති. ඒ අය ව්‍යසනය ආශිර්වාදයක් කර ගන්නාහුය.

තවත් සමහරු ව්‍යසනයට ඉඩ දී ජීවිතය අවරට කඩා හැලෙන්නට ඉඩ දී සිටින්නාහු වෙති. ඒ අය ජීවිතය යනුම මර උගුලක් ලෙස ද මරණයේ සහ පරාජයේ මාවතක් යැයි ද සනිටුහන් කර ගනිති. ව්‍යසනයේ ම ජීවිතය ප්‍රිය කරති.

මිලාන් කුන්දේරා කීවේ ජීවිතය යනු උගුලක් බවය.

වර්තමානයේ දී ස්වාභාවික ව්‍යසන යනු කළමනාකරණය කළ යුතු දෙයක් ලෙස සිතූ මිනිසුන්ගේ වැඩ වලින් ව්‍යසනකාරී ලෝකයට  කිසියම් අරුතක් ගෙන එන්නට සමත් විය. ව්‍යසනයක් කළමනාකරණය කළ නොහැකි වුව ද එහි විනාශකාරී ප්‍රතිඵල පමණක් කළමනාකරණය කළ හැකිය.

කැනඩා ජාතික චින්තිකාවක වන නයෝමි ක්ලයින් The Shock Doctrine: The Rise of Disaster Capitalism යනුවෙන් දැඩි ආන්දෝලනාත්මක කෘතියක් ලියා පළ කළාය. ඒ වසර 2007 දී ය. එහි වූයේ ද කිසියම් රටක ස්වාභාවික හෝ අස්වාභාවික ව්‍යසනයන්ගේ අතුරු ප්‍රතිඵලයක් ලෙස එම රටවල්වල පාලන රාජ්‍යයන් සිය ජනතාවගේ බහුතර කැමැත්තෙන් අභිමතයෙන් කළ නොහැකි ප්‍රතිපත්තිමය වෙනස් කිරීම් සිදු කිරීමට එවැනි අවස්ථා ප්‍ර යෝජනයට ගන්නා බවයි. ඒ එම කෘතියේ මූලික අදහස සිංහල වචනවලට නැගීමක් වුව ද ඊටත් වඩා විශාල ගවේෂනාත්මක විමර්ෂන රාශියකින් එම කෘතිය සමන්විත වේ. විශේෂයෙන් ව්‍යසනයක දී මිනිසුන් සාමුහික ලෙස අත් විඳින ක්ෂණික කම්පනය ඉතා සියුම් ලෙස ග්‍රහණය කරගන්නට එම කෘතිය සමත් වන බැවිනි.

කෙසේ හෝ අපගේ ජීවිතවල ද නිරන්තරයෙන් සිදු වන ව්‍යසනයන් හේතුවෙන් අප කිසිදා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු නොවූ දැවැන්ත ස්වයං විනාශකාරී තීරණ ක්‍රියාත්මක කරවන්නට අපව යොමු කරවන බව සිතා ගන්නට එය ඉමහත් රුකුලකි. නමුත් මෙය සිදු විය යුත්තක් නොවේ. ව්‍යසනය යනු සිදුවිය යුත්තකි. මන්ද යත් ඒවා ව්‍යසන වන්නේ එබඳු ලෙස අනපේක්ෂිතව සිදුවන්නට ඒවාට ඇති විභවය නිසාමය.

ව්‍යසනය සමග ජීවත් වීම යනු ජීවිතය ඉදිරියේ නොසැලී සිටීමේ ශක්තිය මැන ගන්නා පරීක්ෂනයකට මුහුණ දීමක් බැව් වටහා ගත යුතුය.

නමුත් තමන් විසින්ම ව්‍යසන නිර්මානය කර ගන්නා අය ගැන කුමක් ලියන්න ද?
 

No comments:

Post a Comment