කොතන හෙවනැල්ල වැටුනත් ඒ හෙවනැල්ලේ නාහේ නෑ. ඇස් දෙක නෑ. කට නෑ. හිනාවක් නෑ. තරහක් නෑ. එරවිල්ලක් නෑ. ගෙරවිල්ලක් නෑ. හදවතක් ගැහෙන හඩක් නෑ. උණුසුමක් නෑ. කඳුලක් නෑ.
මේ කිසිම දෙයක් හෙවනැල්ලේ නෑ!
ඒ මගේ හෙවනැල්ල වුනාට ඒක මගේය කියල මට හිතා ගන්න වෙන්නේ දාරය දිහා බලල විතරයි. මගේ සිරුර මත පතිත වන ආලෝකයෙන් සිරුර උරාගත් හෝ පරාවර්තනය කළ සියළු ආලෝකය නිසාවෙන් ආලෝක සිදුරක් ඉපදී එය මගේ හෙවනැල්ල වෙයි. මා මත අඳුර පතිත වූ කලෙක මගේ හෙවනැල්ල ලෙස ආලෝකය උපදින්නේ නැතැයි කාට කිව හැකි ද? මා අඳුරේ සිටින විට ඒ ආලෝකය කොහේ හෝ සැඟව සිටිනවා විය යුතුය.
මගේ හෙවනැල්ල මා අඳුරේ සිටින විට පතිත වන්නේ කොහේද?
ආලෝකයක් නැති තැනක හෙවනැල්ලක් ද නැත. ආලෝකය ඇති විටෙක පමණක් හෙවනැල්ල ද ඇත. අඳුරේ සිටින විට ආලෝකය උපදවන ආලෝකමත් හෙවනැල්ලක් නොමැති නම් අඳුරු සෙවනැල්ලක්වත් තිබිය යුතුය. එය කිසිදා නොපෙනෙනු ඇත.
එනමුත් මා හැර නොගිය හෙවනැල්ලක් කොහේ හෝ මා අවට පතිතව තිබෙනු ඇත. නොපෙනුන ද හෙවනැල්ලට මා හැර යා නොහැකි බැවින් අඳුරේ වෙනත් ඇසකට පෙනෙන ලෙස ඔහු ඉන්නවා විය යුතුය. ඒ ඇස මගේ ඇස නොවන බැවින් ඒ හෙවනැල්ල මට නොපෙනේ.
වැදගත් ම දේ! මට වගේම මගේ හෙවනැල්ලටත් හිතෙනව ද මං ගැන? ලේ මස් නහර පසිඳුරන් නැති හෙවනැල්ලට සිතක් කොහෙන් ද? සිත් පිත් නැති හෙවනැල්ල මා අසළම ගැවසෙයි.
හෙළුවැල්ලෙන් හිටියත් හෙවනැල්ල හෙවනැල්ලමය.
No comments:
Post a Comment