Monday, December 16, 2013

සුසුමක අවසානය

Breathless (1960)


බ්රෙත්ලස් යන ඉංග්‍රීසි වචනයේ තේරුම හුස්ම නොගෙන හෝ හුස්ම නැතිව යන අරුතයි. ඉතාමත් උද්වේගකර අවස්ථාවක අපට එවැනි හැඟීමක් දැනේ. එබඳු අවස්ථාවක් නිරූපනය කිරීමට හුස්ම ගන්නත් අමතක වුනා වගේ යැයි අපට කියැවේ. ඒ අයුරින්ම සුසුමක අවසානය යන අරුතින් Breathless සිනමා පටයේ මුල් ප්‍රංශ නාමය ඉංගිරිසියෙන් ලියා ඇති ඇති බව විකිපීඩියාවේ සඳහන් වේ.

Breathless (French: À bout de souffle; "out of breath", or literally "at breath's end")

මෙම අරුතින් සිනමා පටයේ ගෙතී ඇති කතාවේ යටි පෙළ කියවා ගත හැකි යතුරක් අපට ලැබේ. එනම් මරණයේ රූපකය යි. සැබැවින්ම සුසුමක අවසානය ඇරඹෙන්නේ ආදරයේ පෙනහලුවලින් වීම කොතරම් ආශ්චර්යයක් ද?

පාදඩයෙකු-සොරෙකු-මිනී මරුවකු සේ ජීවිත කාලයක් ගෙවා එක්තරා දෛවෝගත දිනයක සිය සිතැඟි ආදරිය පිළිබඳ හට ගන්නා සිහිනමය බලාපොරොත්තුවක අභියස එය හඹා ගොස් ජීවිතයේ අවසානය ලඟාකර ගන්නා මිනිසෙකු ගැන කියැවෙන මෙම සිනමා පටය ප්‍රංශ නවරැල්ලේ සමාරම්භක සිනමා කෘතියක් ලෙස සැළකේ.

සිල්ලර අපරාධකරුවකු වන මිෂෙල් එක්තරා දිනක දී පැරීසියට කඩා වදින්නේ පැහැර ගත් රථයක් පදවාගෙන ප්‍රංශයේ ග්‍රාමීය පෙදෙස් පසුකරමින් පොලිස් නිලධාරියෙකු ද ඝාතනය කරමිනි. ඔහු සොයා යන්නේ පැට්රීෂියා නම් වූ නිව්යෝක් ට්රිබියුන් සඟරාව විකිණීමෙන් ජීවත් වන සුන්දර තරුණිය හමු වී ඇයගේ ආදරය ලබා ඇය සමග ඉතාලියට පැන යාමේ බලාපොරොත්තුවෙනි.

මිෂෙල් සොරකම් කරගත් රථයේ නැගී නගරය වෙත යන ගමන චමත්කාරජනක ලෙස සිනමා පටයේ දිග හැරේ. ප්‍රංශයේ හැට ගණන්වල පැවැති සමාජය ප්‍රශ්න කරන්නේ ඔහුගේ රියේ කැබි හෝලයේ තිබී හමුවන පිස්තෝලයකිනි. එම පිස්තෝලය අතට ගන්නා මිෂෙල් රිය පදවමින් ම කුඩා දරුවෙකු සේ ශබ්ද කරමින් පිස්තෝලයෙන් ව්‍යාජ ලෙස වෙඩි තබන අයුරු අනුකරනය කර පෙන්වයි. ඒ අතරතුර ඔහු සිතන දේවල් ඔහුගේ හඩින් අපට ඇසෙන්නට ද සලස්වයි. ඇත්ත වශයෙන්ම මිෂෙල් තනිවම කතා කරමින් ගමනේ යෙදේ.

l ask Patricia, yes or no,…”

"මම පැට්‍රීෂියාගෙන් අහනවා ඔව් ද නැද්ද කියා...."

ඔහුගේ සිහිනය වන්නේ පැට්‍රීෂියා කැටුව රෝමයට පළා යාමයි. එසේ ගොස් නව ජීවිතයක් ඇරඹීම ඔහුගේ බලාපොරොත්තුවයි. රොමියෝ ජුලියට් වැනි අමරණීය පෙම් යුවලක් වීමට පැට්‍රීෂියා සිහින දකින්නී මිෂෙල් ගේ ආශාවේ වස්තුව වන්නී ය.

නගරයට එන මිෂෙල් සිතූ පරිද්දෙන් කිසිවක් සිදු නොවෙයි. සිය සරාගී ආශාවන් ඉටු කර ගන්නට කිසිදු ඉඩක් නොදී ඔහුව නන්නත්තාර කරවන පැට්‍රීෂියාගේ ජීවන විලාසය නිසාවෙන් ඔහු ඉමහත් පීඩනයට පත්වන බැව් අපට දැක ගත හැකිය. කෙසේ වුව ද මිෂෙල් සහ පැට්‍රීෂීයා අතර ඇතිවන කතෝපකථනයන් විසින් වඩ වඩාත් හෙළිදරව්වට ලක්වන මිෂෙල් කෙරෙහි පැට්‍රීෂියා තුළ ප්‍රේ මයක් ඇති දැයි සිතා ගැනීමට ඇය සිදු කරන පර්යේෂණය මිෂෙල්ගේ මරණයෙන් කෙළවර වීම ස්ත්‍රියකගේ ආදරය පිළිබඳ ඇතුළාන්තය ප්‍රශ්න කරවන්නට සමත් විය හැකිය.

හැට ගණන්වල ප්‍රංශ සමාජය තුළ හට ගන්නා නිදහස්කාමී බව මෙන්ම සමාජයෙන් කැඩී බිඳී ගිය තාරුණ්‍යය ද නිරූපනය කරන මෙම චරිතයෝ තමන් කුමක් කරමින් සිටින්නේ දැයි නොදැන කිසිවක් කරමින් සිටින්නෝ ලෙස ද දැකිය හැකිය. ඔවුහු සමාජ සම්බන්ධතා තුට්ටුවකට මායිම් නොකර නිදහස්කාමී ලෙස ජීවිතය විඳිමින් සිටිනා බවක් ද පෙනේ.

අපරාධකරුවෙකු වුව ද මිෂෙල් නිරන්තරයෙන්ම උණුසුම් පුවත් දැන ගැනීමේ අටියෙන් පුවත්පත් මිළ දී ගනියි. එක්තරා තැනක දී ඔහු මිළට ගත් පුවත් පතක අවශ්‍ය දේ පමණක් බලා වහා තම සපත්තු පිස දා ගැනීමට එම පුවත්පත පාවිච්චි කරයි. පාවහන් පිස දැමීමෙන් අනතුරුව පුවත්පත කසල ලෙස බැහැර කරමින් සිය ගමනේ යෙදෙන මිෂෙල් තාරුණ්‍ය යේ සැහැල්ලුව ඕනෑවටත් වඩා වැඩියෙන් සිනමා තිරය මත පින්තාරු කරයි. අධික ලෙස දුම්වැටි උරමින් සිටින මිෂෙල්, හම්ප්‍රි බොගාට් අනුකරණයේ යෙදෙන බවට ඉඟි මතු වෙයි. සමහර විට බෝගාට් අතික්‍රමණය කරන පෞරුෂයක් හඹා යන්නේ යැයි සිතෙන තරමට මිෂෙල් අධි රංගනයක යෙදෙයි.

හැට හැත්තෑ ගණන් යනු හොලිවුඩයේ ස්වර්ණමය යුගය වන අතර බ්රෙත්ලස් ප්‍රංශයේ නව රැල්ලේ ස්වර්ණමය සළකුණකි. ඇමරිකානු තරුණියක වන පැට්‍රීෂියා සෝබෝන් සරසවි වරම් ලබනා බලාපොරොත්තුවෙන් ඇමරිකානු නිව්යොර්ක් හෙරල්ඩ් ට්‍රිබියුන් (New York Herald-Tribune) පුවත් පතේ ප්‍රංශ පිටපත් සමග තම සිරුරත් විකුනමින් නොසිටීම උත්ප්‍රාසාත්මක ය. ඇය ගණිකාවක් නොවූ ව ද ඇයගේ කතාබහින් එලිවන්නේ ඇය අතිශය නිදහස්කාමී ජීවිතය අගය කරන බවයි.

නාසිස්මික මිෂෙල් නිරන්තරයෙන් තම ස්වරූපය දර්පනයෙන් නරඹයි. මුහුනේ ඉරියව් වෙනස් කරමින් සවරූපරාගයෙන් ආශක්ත වෙයි. දුම්වැටියෙන් තොර ඔහුගේ මුහුනේ පිළිබිඹුවක් සිනමා පටයේ නොදැකිය හැකි තරමට ඔහු දුම්පානය කරයි. ඔහු සහ සිගරට් අතර සම්බන්ධය කොතෙක් ද යත් මරණය අභිමුව අවසන් සුසුමේ ද සිගරට් දුම මිශ්‍රව පවතී. ජීවිතය යනු අවසානය තෙක්ම විඳිය යුත්තක් බැව් හම්ප්‍රි බොගාට් ගේ සිනමා පටයක පෝස්ටරයක් එක් තැනක දී සංඥා කරවන්නේ මිෂෙල් වෙතය.

මිෂෙල් අවසානයේ අපරාධ කරුවෙකු ලෙස පොලීසියේ වෙඩි පහරකින් මිය යයි. ඔහු ප්‍රාර්ථනා කරනා ජීවිතය කුමක් දැයි සොයා ගැනීමට දුෂ්කර වන්නේ ඔහු තරුණිය කෙරෙහි තබන විශ්වාස ය ඇය විසින් බිඳ දමා පොලීසියට තමන් පාවා දීමෙන් පසුව පොලීසිය සිය නවාතැන කරා එද්දී පළා යාමේ හැකියාව තිබියදී පවා ඔහු සිරගත වීමට තීරණයක් ගැනීමයි. මන්ද යත් ඇය ඔහුව පාවා දීමෙන් අනතුරුව මයිකල් වෙත පැමිණ ඔහු සිටිනා ස්ථානය පොලීසියට හෙලිදරවු කළෙමියි පැවසූ විට ඔහු ඇයට එරෙහි වන්නේ ද නැති නිසාවෙනි.

ඇය තමන් ඔහුට පෙම් කරන්නේ දැයි සොයා දැන ගැනීමට මේ පාවාදීම උපකාරී වූ බව පවසන්නී ඔහු අරමුණක් රහිත ව කෝපයකින් තොරව නිවීහැනහිල්ලේ ඇය සමග දොඩමලු වෙයි. ඔහු කැඳවා රහසිගත ලෙස ඉතාලියට ගෙන යාමට රියක් පැමිණි විට පවා එය ප්රතික්ෂේප කොට පොලීසියට ද භාර නොවී වෙඩි කා නසින්නේ අවසානයේ මුහුණින් ත්රිත්වාකාර ඉංගිතයන් මවා පා සිය සුරතින්ම දෑස ද වසා දමමිනි.
මෙම සිනමා පටයේ ඇති අපූර්වත්වය වන්නේ ද එහි පාදඩයා - අතේ පිච්චියක් නැති ගණිකාවන්ගේ මුදල් පවා සොරකම් කරනා තුට්ටු දෙකේ අපරාධ කෙරෙහි ආශක්ත මිෂෙල් සිය ආදරය ඉදිරියේ දරා ගන්නා උත්තර තත්වය සිත්තම් කිරීමෙනි.

මිෂෙල් පැට්රීෂියා සමග යහන්ගත වන්නට දරන ආශාව විදහා දක්වන්නට සිනමා පටයේ කාලයෙන් විශාල ප්රෙමාණයක් වැය කළ ද පැට්රීසෂියා විවිධ මිනිසුන් සමග යහන්ගතව දීන ස්ත්රියයක ලෙස දිවි ගෙවුවද ඇය කැටුව නව ජීවිතයක් ඇරඹීමේ ආශාව අත් නොහරින මයිකල් ඇයව අවසාන මොහොත දක්වා ම සිය ආදරයේ පූජනීය වස්තුව ලෙස පිළිගනී. මරණ අවස්ථාවේ අවසන් සුසුම හෙලද්දී ද මයිකල් ජීවිතය පිළිබඳ දිය හැකි අපූරු ඉඟිය කිසිදු පසුතැවිල්ලක් කැටි නොවූ ශුද්ධ වූ මුහුණින් මවා පා මිය යන්නට තරම් ශාන්ත තත්වයකට පත් වීම අතිශය උත්ප්රාිසාත්මක අවසානයකි.

මරණයේ අභිමුව මිෂෙල්ගේ මුවින් පිටවන වදන් කීපය අසා ගන්නට පැට්රී ෂියා ද ඔහු වැතිර සිටින වීදියේ කෙළවරට පොලිසියේ වෙඩික්කරුවන් සමග එකතු වන අතර ඔහු කීවේ කුමක් දැයි ඇසූ විට පොලිසියේ අය පවසන්නේ ඇය නිසාවෙන් ඔහුට ඔක්කාරයක් එන බැව් පැවසූ බවයි. එම ජුගුප්සාජනක හැඟුම කිමැයි වටහා ගත නොහැකි වන පැට්රීෂියා ඉමහත් හෘදය කැළඹීමකින් අප දෙස බලා සිට නැවත හැරී යෑමෙන් සිනමා පටය අවසන් වේ.

ජීන් ලූක් ගොඩාර්ඩ්ගේ අධ්යක්ෂණයක් වන මෙම සිනමා පටය ප්රංශ නවරැල්ලේ පුරෝගාමී සිනමා පටයක් ලෙස සැළකේ.

ආරම්භක රූප පෙලේ සිනමා ශාලාවක් ඉදිරියේ ප්රකදර්ශනය වන හම්ප්රිප බෝගාට් ගේ පෝස්ටරයක් දෙස බලා සිටින මිෂෙල් ඔහුව අනුකරණයේ සිතැඟි ඇත්තේ නිරන්තරයෙන් දුම් පානයෙන් ද පාදඩයෙකු සේ හැසිරෙමින් ද සිය චරිතය පණ පොවන්නේ ජීන් පෝල් බැල්මොන්ඩේ ය. ඔහුගේ සුරූපි පෙම්වතිය ලෙස රඟන්නේ ජීන් සෙබර්ග් ය.

හැට ගණන්වල පැරිස් නගරයේ අව්‍යාජ පිළිඹිබුවත් වයසට වඩා වැඩි චරිතයක් රඟපෑමේ අවදානමෙන් පෙලෙමින් බැල්මොන්ඩේ ඉදිරිපත් කරන අසමසම රංගනයත් සිය ජීවිතය පාවා දුන් ප්‍රේමනීය කමලාවක කෙරෙහි අවෛරී ලෙස ප්‍රතිචාර දක්වන පාදඩයෙකුගේ මරණ මංචකයේ මුහුණක් කුමක් වැනි දැයි දැක බලා ගැනීමටත් මෙම සිනමා කෘතිය නැරඹිය යුතුය.
"ඔබගේ අවසාන බලාපොරොත්තුව කුමක් ද?"

"අමරණීයත්වයට පත්ව මරණයට පත් වීමයි!"



 



 
 
 
 
 
 
 
 

සිනමා පටයේ පෝස්ටර උපුටා ගත්තේ මෙතැනින්.

No comments:

Post a Comment