Saturday, March 15, 2014

පොළවේ නොගෑවුණු දෙපය- කෙටි කතාව (8)

පොළවේ නොගෑවුණු  දෙපය





සියළු දෙනාම ඇසිපිය නොහෙලා ඒ දෙස බලා සිටියෝය, කහ පාට සහ කළු පාට ඇල ඉරි සහිත අඟල් හතරක් පමණ පළලින් යුත් පොලිතීන් පටි වලට පිටතින් ඔවුන් සියලු දෙනා කම්මුල් වලට අත් වලින් මුක්කු ගසා ගෙන ඒ දෙස බලා සිටියෝය. කිසිවෙකු කිසිවක් කතා නොකළේය. වැඩිහිටියන්ගේ කකුල් අතරින් රිංගා ඉදිරිය පැමිණීමට උත්සහා දැරූ කොලු ගැටයන්ගේ කන් මිරිකා, ටොකු ඇන තර්ජනාත්මක බැලුම් හෙලා ආපසු හරවා යවන ලදී. ටික වේලාවකින් කොලු ගැටයන් තරමක් ඈතින් තිබු ගස් වල අතු වලට පමණක් නොව අගිස්සට ද නැග ඒ දෙස බලා සිටියේය. දවස් දහයකට පෙර ඔවුන් වල දැමු මිනිය නැවතත් පොලිස් කම්කරුවෝ  ගොඩට ගත්තෝය. පොලිතීන් වළල්ලට ඇතුලතින් සිටි පොලිස් නිලධාරින්ද ගොඩට ගනිමින් තිබු මිනී පෙට්ටිය දෙස බලාගෙන සිටියෝය. වලෙන් ගොඩට ගත් මිනී පෙට්ටිය මෙතෙක් ගොඩට දැමූ පස්ගොඩ මත තබා හහෙස්ත්‍රාත් තුමියගේ විධානයෙන් ඔවුන් විවෘත කළේය. ඒ සමගම සුළඟ හමන දිශාවට ප්‍රති විරුද්ධ දිශාවේ සිටි සියලු දෙනා තමා අත තිබු ලේන්සු වලින්ද, එසේ නොමැති වුවන් කලවා නිරාවරණය කරමින් තම සරමෙන්ද, කිසිවක් කර කියා ගත නොහැකි වුවන් තම දෑත් වලින්ද නාසය ආවරණය කර ගත්තේය. එය විවෘත කරනවාත් සමගම මෙතෙක් නොසිටි නිල මැසි රංචුවක් එය වට කර ගත්හ. මිනිස් සිරුරක හැඩයේ රබර් බැලුනයක් මෙන් ඉදමි විකෘති වී තිබු එම ඕජස් ගලන මල සිරුර සේවකයන් තිදෙනෙකු ඔසවා අසල තිබු ට්‍රොලියේ ඇලුමිනියම් තහඩුව මත තබන ලදී. අධිකරන වෙෙද්‍යවරයා සහ තම සාරි පොටින් නහය වසා ගත් මහේස්ත්‍රාත් තුමිය පිළිකුල් සහගත හැඟීමෙන් තරමක් ලංවී එය දෙස බලා සිටියෝය.

"මේ රෙදි අයින් කරලා පොලිතින් වලින් ඔතල සීල් කරන්න" ඇය  කීවාය.

පොලිතීන් වලින් ද  එය වටා සෙලෝටේප් පටි වලින් ඔතන ලද එම සිරුර ගිලන් රථයට ඇතුළු කරන ලදී.

"මේ පෙට්ටිය වලට දාලා වල වහල දාන්න" කියා අසල සිටි පොලිස් නිලධාරීන් රොක් වී සිටි පිරිසට කිවේය.

"කොහෙද මේක ගෙනියන්නේ" කියා වල වැසීමට මුලින්ම ඉදිරිපත් වූ වයස අවුරුදු හතලිහක පමණ හැඩි දැඩි මිනිසා තමා අසලම සවලක් අතින් ගත් බුද්ධිමත් පෙනුමක් තිබු තැනැත්තාගෙන් ඇසිය.

"කරාපිටියට"

අධිකරණ වෙෙද්‍යවරයා අසලටම වී සියල්ල දෙස බලා  සිටි පාලිතගේ දෑස් වලින් වැටුණු කඳුළු ඔහු අතින් පිසදා ගත්තේය.

පාලිත නිවසට පැමිණියේ ගුවන් තොටුපල කුලී මෝටර් රථයකිනි. අතුරු මාර්ගයේ සිට තම නිවසට යන පාර දෙපස කිසිදු හිඩැසක් නොතබා අඩි සියයක පමණ දුර සුදු පැහැති අවමංගල සමිති වල බැනර් වලින් සරසා තිබිණ. මෝටර් රථය නිවස අසල නතර කරන විට මාර්ගයේ ගමන් ගත් සියලු දෙනාද, මිඳුලේ සිටි අයද නිසොල්මන්ව ඔහු දෙස බලා ගෙන සිටියෝය. රථයෙන් බසින විට ඔහු අත තිබු බෑගය අසල සිටි වයසක පුග්ගලයෙකු කිසිවක් නොකියාම ඉල්ලා ගත්තේය.

ඔහු නිවසට ගොඩවත්ම

"අනේ පාලිත බලන්ඩකෝ රෝසි කරගත්ත දේ" කියා ඔහුගේ බිරිඳ විලාප දෙමින් ඔහුව බදා ගත්තේය. ඇයද වත්තම කරගෙන ඔහු සාලය මැද නිසොල්මන්ව සිටි  සුරූපී සොළොස් වියැති තම දියනියේගේ මෘත ශරීරය දෙසට ලං විය. දරදඬු වී තිබු ඇයගේ නළල ඔහු සිප ගත්තේය, එවිට පුයර දමා තිබුණු මුහුණේ සලකුණු ඉතිරි කරමින් ඔහුගේ කඳුළු කැට කිහිපයක් සුදු පැහැති වෙල්වට් රෙද්දෙහි සැඟව ගියේය. ඔහු තම බිරිඳව  වත්තම් කරගෙන ගෙතුලට ගියේය, කාමරයේ දොර වසා දමා,

"මොනාද සිද්ධ වුණේ" කියා ඇසීය

"රෝසි ස්කූල් වෑන් එකේ ඩ්‍රයිවර් එක්ක යාලු වෙලා ඉඳල තියෙන්නේ, දෙන්න එකට ගත්ත ෆොටෝ ෆොනේ එකේ තිබ්බා, ඒකේ මහ නරක ඒවත් තිබ්බා, ෆොනේ එක විජේලතා ටීචර්ට අහුවෙලා ප්‍රින්සිපල්ට දීලා , පෙරේදාට ඉස්සෙල්ලා දා  උදේ මට ඉස්කෝලෙට එන්න කියල පණිවිඩයක් එවල තිබ්බා, මම ගියාම තමයි ෆෝන් එක මට දුන්නේ. රෝසිට හොඳටම අවවාද කරා, එයා පොරොන්දු උනා සම්බන්ධය නතර කරනවා කියල"

"ඔයත් බැන්නද ළමයට"

"නෑ මම හිත රිදෙන්න මොකුත් කිව්වේ නෑ, හැබැයි දුවගේ හිත ගොඩක් පෑරිල තිබුණේ, පෙරදා රෑ දොළහට විතර ආවා මගේ කාමරේට, ඇවිල්ල කිව්වා"

"අම්මේ මට නින්ද යන්නේ නෑ  කියල"

මම කිව්වා එහෙනං මගේ කාමරේ නිදිය ගන්න කියල, මම තේ එකක් හදල දුන්නම එකත් බීලා එයාගේ කාමරේටම ගියා.

මම උදේ නැගිටලා කුස්සියට යනකොට තමයි දැක්කේ, කෑම කාමරේ උඩ තියෙන බාල්කෙ කඹේ කින් එල්ලිලා ඉන්නවා"

"ඉතිං ඔයාට රෑ මොකක් වත් සද්ධයක් වත් ඇහුනේ නැද්ද?"

"නෑ අනේ මම ඔෆිස් එකේ වැඩ වගයකුත් ගෙදර ගෙනල්ලා කර කර හිටියේ, මට ඊට පස්සේ හොඳට නින්ද ගියා "

"මරණ පරීක්ෂණයේදී මොකක්ද කිව්වේ?"

"විශේෂ දෙයක් නෑ, හැබැයි රෝසි ගැණියෙක් වෙලා ඉඳල තියෙන්නේ "

"එයා ප්‍රෙග්නන්ට්ද ? "

" නෑ "

ඒ වන විට අඳුර වැටි තිබුනද නිවසද මින්දුලේ තාවකාලිකව අටවා ප්ලාස්ටික් පුටු දමා තිබු ස්ථානද මිනිසුන්ගෙන් පිරි පැවතිණ. රාත්‍රී එකොළහ පමණ වන විට තරමක් සෙනග අඩුවිය, පාලිත මිඳූලේ කාඩ් සෙල්ලම් කරමින් සිටි තම අසල්වාසීන් අසලින් හිඳ ගත්තේය.

"පාලිත මහත්තයා පිටත් උනේ කීයටද?" කාඩ් සෙල්ලම දෙස බලාගෙන සිටි අයෙක් ඇසීය.

"මම ඉතාලියෙන් එනකොට පාන්දර දෙකයි "

"යන්නේ කවදද?"

"හත් දවසේ දානේ ඉවර වෙලා තමයි යන්නේ?, දැන්නං රට හිටියා ඇති වගේ, ගිහිල්ලා පුළුවන් තරං ඉක්මනට ආයේ  එනවා "

"අපි හෙට ඉස්කෝලේ ළඟ පිකට් එකක් කරනවා, ප්‍රින්සිපල් මාරු කරන්න කියලා" එතනට එකතු වූ පාලිතගේ බාල සොහොයුරා කිවේය.

"ඒක කරන්න එපා, ප්‍රින්සිපල් වැරදිත් නෑ, දුව එල්ලුනාට එයා මොනා කරන්නද?"

සියලු දෙනාගේ සෝ සුසුම් මැද රෝසිගේ දේහය  වලලා දමන ලදී. සත් දවසේ දානය අවසන් වී හවස් වරුවේ පාලිත තම බෑගයට රැගෙන ආ කමිස කලිසම් කිහිපය අසුරන අතරතුර,

" පාලිත ඔයා දැන් රට හිටියා ඇති මෙහෙට එන්න, මට තනියම ඉන්න බෑ දැන්, පොඩි දුවත් ලබන අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගේ කරනවනේ"

"ඔව් මම එන්න තමයි හිතා ගත්තේ, ඒත් අස්වෙලා එන්න මාස හතරක් වත් යනවා"

පසු දින ඔහු ගුවන් තොටුපල කුලී රථයක් ගෙන්වා ගෙන පිටත් වීමට සුදානම් විය. බිරිඳ කිසි දවසක නොවූ ලෙස හඬා වැලපෙන්නට විය. කුඩා දියණිය සිපගත් ඔහු

"තාත්තා ඉක්ක්මනට එනවා දුවේ "කියා කිවේය.

ඔහු මෝටර් රථයට නැගී පිටත්ව ගියේය.

"සර් එයාර් පොර්ට් එකට ආවා" කියා රථයේ රියදුරා ඔහුට කතා කරන විට පාලිත සිටියේ තද නින්දේය.

"අපි ආපහු යං"

"සර් මේ එයාර් පොර්ට් එක"

"මම දන්නවා, තමුසෙට මම සල්ලි ගෙවනවා බය වෙන්න එපා අපි යමු ආපහු"

රථය නැවතත් පැමිණි මග දිගේ ගමන් කළේය. ඔතනින් දකුනට දාලා ඔය තියෙන ඔෆිස් එක ලඟින් නතර කරන්න. මෝටර් රථය රියදුරා  නතර කිරීමට පෙර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මග හරස් කොට නතර කළේය. ඔහු කුලිය ගෙවා මෝටර් රථය පිටත් කළේය.

"මට ඒ එස් පී මහත්තයා හම්බ වෙන්න ඕනි" පාලිත අසල සිටි පොලිස් නිලධාරියාට කිවේය.

"ඇපොයින්මන්ට් එකක් තියෙනවද?"

"නෑ මම මහත්තයාගේ යාලුවෙක්, පාලිත සමරවික්‍රම  ඇවිල්ලා ඉන්නවා කියන්න, පුද්ගලික වැඩකට "

කාර්යාලයේ කොරිඩෝව දිගේ ගමන් කල ඔහු මොහොතකින් නැවත පැමිණියේය.

"ඒ එස් පී මහත්තයා සර්ට එන්න කිව්වා"

පොලිස් නිලධාරියා පසු පසින් ගමන් කළ ඔහු දෙපස අර්ධයක්  විදුරු වලින් ආවරණය කර තිබු කාර්යාල එකිනෙකින් පසු කළේය. තම සෙවනැල්ල ඒවා තුල අපැහැදිලි ලෙස  දිස් වී, කාර්යාල තුල සිටින පොලිස් කාන්තාවන් සහ නිලධාරීන් සමග මුසු වී නැවත නොපෙනී ගියේය. එය තවත් විදුරුවක නැවත දිස් විය, ඒ අතරට ඉදිරියෙන් ගමන් කරන නිලධාරියාගේ ප්‍රතිබිම්භයද වරෙක එකතු විය. කාමරයට මුලින් ඇතුළු වූ පොලිස් නිලධාරියා ආචාර කර  පිටවී ගියේය.පාලිත ඔහු ඉදිරියේ අසුන්ගත්තේය.

"කවදද මචං ආයේ යන්නේ " පාලිත මේසය දෙස බලාගෙන සිටියේය, නැවතත්,

"මටත් හිතා ගන්න බෑ  මචං වෙච්ච දේ, ඒත් මොනා කරන්නද අපිට හිත හදා ගන්න වෙනවනේ" ඔහු තම පුටුවෙන් නික්ම විත් පාලිතගේ පිටට තට්ටු කළේය.

"මට දුවගේ මරණේ ගැන සැකයක් තියෙනවා" එක එල්ලේම ඔහුගේ මුහුණ දෙස බලාගෙන පාලිත කිවේය.

"ඇයි පාලිත එහෙම කියන්නේ? '

"මගේ හිත කියනවා දුව මැරුණේ එල්ලිලා නෙවෙයි කියල"

"මොකක් හරි සැක හිතෙන දෙයක් තියෙනවා නම් කියපන්, අපි බලමු"

"එයා මැරුණේ සිකුරාදානේ, බ්‍රහස්පතින්දා රෑ එයා මාත් එක්ක චැට් කර කර හිටිය ගොඩක් වෙලා, එයා මාත් එක්ක හැම දෙයක්ම කියනවා, කොහොමටත් කෙල්ලෝ තාත්තලත් එක්ක හරි එකතුයිනේ, ඔය ප්‍රින්සිපල් අවවාද කරපු සිද්ධිය මට කිව්වා, ඒත් මම ඒකට කලබල උනේ නෑ, දුව ගොඩක් හිතේ අමාරුවෙන් තමයි හිටියේ, ඒත් ඒ වෙනකන් සිද්ධ වෙලා තිබුණු දේවල් නිසා මැරෙන්න තරම් හේතුවක් තිබුණේ නෑ කියලමයි මට හිතෙන්නේ, එයා අන්තිමට කිව්වේ, තාත්තා දැන් අපි ළඟ ඉන්න එනවා නම් හොඳයි කියන එක, එතකොට රෑ එකොළහට විතර ඇති "

"මචං මේක හරි බරපතල ප්‍රශ්නයක්, කිසිම සාක්ෂියක් නැතුව අපි මෙතැනදී කෙනෙක්ව සැක කරන එක, මොකද, රෑ එකොළහත් වයිෆ්ගේ කට උත්තරයට අනුව මිනිය හම්බ වෙන වෙලාව උදේ පහත්  නිසා, ඒ අතර කාලය තුල ගෙදර හිටියේ වයිෆ් ට අමතරව, පොඩි ළමයනේ, පොඩි ළමය පැත්තකට කරපුවම කෙලින්ම අපිට ඉතිරි වෙන්නේ, වයිෆ්.........."

දෙදෙනාම නිහඩව ටික වේලාවක්‌ කල්පනා කරන්නට විය.

"වරදක් නොකර පාලිත ඔයා වයිෆ්ව  සැක කරොත් පවුල් ජීවිතෙත් එතනින් කෙලවර වෙනවා මචං, එතකොට පොඩි දුව ? "

"නෑ හල්පේ මටත් තිබුන ප්‍රශ්නේ ඕකම තමයි, මම අද උදේ යන්න ලෑස්ති වෙලා මේස් එකක් නැතුව හොයනකොට, නෝනගේ ෆෝන් එක තිබ්බා ඇඳ අයිනෙන් බිමට වැටිලා පරණ සපත්තුවක් ඇතුලේ, එයා ෆෝන් එක නැති වෙලා කියල කිව්වා දවස් දෙක තුනකට ඉස්සෙල්ල, මම එක චාර්ජ් එකට ගහල ඔන් කරාම මැසේජ් කිහිපයක් ආවා, එකක තිබුණා,

 ' කෝල් එන්ට්‍රි ටික මකල මේ මැසේජ් එකත් මකන්න ' කියල, එතකොට මට පොඩි සැකයක් ආවා, ඒත් මොකුත් වැඩි පුර බලන්න උනේ නෑ, ටැක්සි එක ආවා, මම ඒ ෆෝන් එක සාක්කුවේ දාගෙන ටැක්සියට නැග්ගා"

"මේ තියෙන්නේ ඒක" ඔහු සාක්කුවෙන් එලියට ගත්තේ සුදු පැහැති ඇනරොයිඩ් දුරකතනයකි.

"මම ටැක්සියේ යනගමන් අන්තිමට ගත්ත කෝල් මොනාද කියල බැලුවා"

"ඉතිං  ? "

" බ්‍රහස්පතින්දා රෑ දොළහෙන් පස්සේ හැම පැයකට විනාඩි හතලිස් පහකටම සැරයක් මේකට කෝල් ඇවිල්ලා තියෙනවා, මේකෙන් කෝල් කරලත් තියෙනවා, එකම නම්බර් එකකට"

පොලිස් නිලධාරියා ඔහුගෙන් දුරකථනය උදුරා ගත්තේය,

"අන්තිම කෝල් එක මේකෙන් දීල තියෙන්නේ, සිකුරාදා උදේ හතරයි, හතලිස් අටට" ඔහු එය පරික්ෂා  කරමින් කිවේය.

"මචං එතකොට මුළු රෑම ගෑණි ඇහැරලානේ ඉඳල තියෙන්නේ"

"පාලිත මේක පැමිණිල්ලක් විදිහට ලියමු"

ඔහු මේසය මත තිබු සීනුව නාද  කළේය.

"අම්මේ මට නින්ද යන්නේ ණෑ" කියාගෙන ඇය ඇතුලතින් අගුලු නොදමා  තිබු කාමරයට ඇතුළු වී උළුවස්ස සම්බන්ධ  බිත්තියේම තිබු විදුලි පහනේ  ස්විචය ඔබා ඇඳ දෙසට හැරෙනවාත් සමගම ඇයගේ මුහුණට මුහුණ ගෑවෙන ආසන්නයට අඩ නිරුවතින් පැමිණි මවගේ මුහුණ යක්ෂණියක් සේ දිස්විය. ඇයගේ එක් අතක්  තරුණියගේ ගෙල දෙසට යොමු වූ අතර අනෙකෙන් කෙස් වැටිය ග්‍රහණය කර මුහුණ ඇඳ දෙසින් ස්විචය තිබු බිත්තිය පැත්තට හරවන ලදී. ඇඳෙහි සිටි ඔහු එසැනින් මුහුණ කොට්ටයකින් ආවරණය කර ගත්තේය. කපා හෙලු ගසක් මෙන් රෝසි සිහිසුන්ව බිම ඇද වැටුනාය.

ගෙලට සිරකල  තොන්ඩුව තිබු කඹයේ අනෙක් කෙළවර කෑම කාමරයේ බාල්කයට උඩින් විසිකර, ඔවුන් දෙදෙනාම එකවර එම කෙළවර පහලට ඇද්දෝය. රාත්‍රී නිදි ඇඳුමින් සැරසී සිටි ඇයගේ දෙපා පොළවෙන් ඉහලට එසවෙත්ම සියුම් කෙඳිරිලි හඬක් පමණක් නික්මිණ.

ඔහු නිවසට පැමිණෙන විට අසල්වැසි නිවසේ සිට දුවගෙන ආ  සිඟිති දියණිය,

"තාත්තා ඔයා රට ගිහිල්ලා මෙච්චර ඉක්මනට ආවද" කියා ඇසීය.

ඇය වඩාගත් ඔහු කඳුළු පිරි දෙනෙතින් ඇයව තුරුළු කර ගත්තේය.

"ඇයි තාත්තේ අම්මවයි, පොඩි බාප්පවයි පොලිසියෙන් එක්කරගෙන ගියේ "


- ජානක ගුණතිලක



Sunday, March 9, 2014

සොෆ්ට් වෙයා ඔෆ් නිර්වාණ - කෙටි කතාව (7)


සොෆ්ට් වෙයා ඔෆ් නිර්වාණ 




"ස්වාමීනී අපි පතස්සු හල්ලුක නම් වෙළඳ දෙබෑයන් වෙමු, බෝ ගසක් යටට වී දුක් විඳිනා ඔබ වහන්සේ ගැන මහත් අනුකම්පාවෙන් අපි මෙහි පැමිණියෙමු, ඔබ වහන්සේට විසඳා ගත නොහැකි බොහෝ ගැටළු ඇතුවාට සැකයක් නෑ, අපගේ වෙළඳාම පාඩු ලබනවා යයි පවසමින් අපිත් ලාභ ලබන්නෙමු. අපිටත් ගැටළු නැතුවාම නොවෙයි, අපගේ පරමාදර්ශි උත්සාහය දුක් විඳින මිනිසුන් මේ සසරින් එතර කිරීමයි ස්වාමිනි "'

"දුක් විඳින මිනිසුන් සසරින් එතර කිරීම ? යකෝ මමත් හොයන්නේ ඒකට ක්‍රමයක්  තමයි,මටත් මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න බැරුවයි ඉන්නේ, තොපි දන්නවද මම මෙහෙම කහ පාට රෙද්දක් පෙරෝගෙන හිටියට සොෆ්ට් වෙයාර් ඉන්ජිනියර් කෙනෙක්, මම දන්නැති එකක් කොහොමද තොපි ළඟ තියෙන්නේ?"

"නෑ  ස්වාමිනී අපි ළඟ තියෙනවා මේකට කෙටි ක්‍රමයක් ඔබ වහන්සේටත් 100% ප්‍රතිඵල ගෙනදෙනවාට සිකුරුයි"

"කියපියව් බලන්ඩ තොපගේ කෙටි ක්‍රමය, මම නොදන්නා කෙටි ක්‍රම තියෙන්න බෑ මේ විශ්වයේ"

හල්ලුක හිසේ බැඳ තිබු කිසිදු අවුලක් නොවූ ජටාව උජාරුවෙන් නැවත සකස් කොට ඩිෆෙන්ඩර් තුනකට පසු පසින් නවතා තිබු මොන්ටේරෝ රථයේ පසුපස දොර විවෘත කර තණ කොළ මිටියක් මැදට අත යවා සීල් කල පොලිතින් උරයක  අසුරා තිබු දාස් පෙති  කොළ වලට සමාන කොළ වලින් යුත් පාර්සලයක් රැගෙන ආවේය. මොන්ටේරෝ රථයට පිටු පසින් කාකි ඇඳුම් ඇඳගත් උත්තුංග දේහධාරී සෙබළුන් පිරිවරාගත් තවත් ඩිෆෙන්ඩර් රථ තුනක් ද විය.

"ස්වාමිනි  මේකෙන් ග්‍රෑම් 162 ක් ගිණි කබලක සෙල්සියස් අංශක 107.5 උෂ්ණත්වයට තත්පර 302.175 ක් රත් කර නිමෙන්නට හැර නවසීලන්තයෙන් ගෙන්වා ගත්  කිරිපිටි හැඳි දෙකකට මිශ්‍ර කර සිනි හැඳි තුනක් දමා පානය කරන්න, ඔබ වහන්සේගේ විද්‍යාගාර සහයකයින් පස් දෙනා මනා පළපුරුද්දක්  ඇති අය බැවින් ඔවුන්ට කියා මෙය සකස් කරගන්න"

පතස්සු ඒ  කතාව නතර කරනවාත් සමගම හල්ලුක වට පිට බලා උන් වහන්සේගේ කනට තම ශ්‍රී මුඛය ලං කළේය. කන සහ කට අතර පරතරය හරියටම මිලිමීටර් 1.8 ක් විය.

"මේකට කියන්නේ ගල් කෝපි කියල, මේක බීලා නිර්වාණයට ගිය වුන් දස දහස් ගණනක්, අපේ මහා රජා ඒකයි මේකට රාජ්‍ය අනුග්‍රහය දීලත් නොදුන්නා වගේ ඉන්නේ, ඒත් උන් වහන්සේ මේක පරසිද්දියේ කියන්නේ නැත්තේ හැම එකාම නිවන් ගියාම උන් වහස්සේට පාලනය කරන්න රාජ්‍යක් ඉතිරි වෙන්නේ නැති නිසා, ඔය ලැබ් ඇසිස්ටන්ට්ලට මේක බොන්න දෙන්න එපා එහෙම උනොත් ඔබ වහන්සේට කලින් එවුන් නිර්වානෙට යයි, එහෙම උනොත් වෙන්නේ ඔබ වහන්සේට මේ ගඟේ පනින්න්න තමයි "

කියා සයිරන් නලා සබ්ධ කරමින් පාරේ යන ගොන් කරත්ත කානු වලට තල්ලු කරමින් ද පාර දෙපස සිටි කුඩා ළමුන් කාන්තාවන් බිය වද්දමින් ද මහා රජාගේ නෑදෑ සේනාව ගුවන් පාලම දිගේ ඉදිරිය ඇදුණි.

අවසානයේ විද්‍යාගාර සහයකයින් පස්දෙනා ඩිජිටල් උෂ්ණත්ව මාපකයෙන් උෂ්ණත්වය පරික්ෂා කරමින්  තුන් කූරු ආධාරකය මත, බන්සන් දාහකයට ඉහලින්  තබා තිබුණු යකඩ තැටියේ වූ කොළ පැහැති පත්‍ර දුඹුරු පැහැයට හැරෙන තෙක් කර කලෝය. ඉන් එකෙකු උෂ්ණත්වය සෙල්සියස් අංශක 107.5 අගයේ පවතින බවට තහවුරු කළේය. විරාම ඝටිකාව ක්‍රියාත්මක කිරීමට තවත් අයෙකු යොදවා තිබිණ. ඔහු තත්පර 302.175 අවසන් වන විට තැටිය ඉවත් කරගන්නා ලෙසට විධානය දීමට සැදී පැහැදී සිටියේය. නමුත් ඔහු වයෝවෘද වුයෙන් ප්‍රතික්‍රියා කාලය පිළිබඳව උපකල්පනය කිරීමට තිබු පරිකල්පන ශක්තිය හින වී ගොස් තිබිණ. ඔහු විධානය දෙන විට විරාම ඝටිකාවේ 302.198 සඳහන්ව තිබිණ. නමුත් එය ඔහු කිසිවෙකුටත් දැන ගත නොහැකි වන සේ  නතර  කර දමන ලදී.

හිරු නැගීමට පෙර ගල් කෝපි මිලි ලීටර් 175 ක් පමණ  පොලි ස්ටයරින් කෝප්පයක දමා එය පාත්තරයක තබා සුදු රෙදි කඩකින් ආවරණය කර පරිණත භාවයේ පිළිවෙලට එකා පිටු පස එකා පෙළ ගැසී පෙරහැරකින් ගොස් උන් වහන්සේට පිලි ගන්වන ලදී.

එය පානය කිරීමෙන් අනතුරුව  විනාඩි  කිහිපයක්  ගත වීමත් සමගම සුජාතා නම් සිටු දියණිය හිමිදිරියේ පිසින ලද කිරි පිඩු දානයක් රැගෙන උන් වහන්සේ වෙත පැමිණියාය. එය පිලි ගැන්වූ ඇය උන් වහන්සේ ඉදිරි පිට සුදු වැලි මළුවේ බිම හිඳ ගත්තාය. සුන්දර දිගැටි මුහුණකට හිමි කම් කියූ ඇයගේ පියයුරු යුගල දුහුල් රෙදි කඩකින් වසාගෙන සිටියාය. නමුත් තන පුඩුව එම රෙදි කඩින් එලියට නෙරාවිත් තිබිණ. අංශක 90 වක කෝණයට නවා එක් කකුලක් සම්පුර්ණයෙන්ම වැලි මලුවේ මෘදු වැල්ලේ ස්පර්ශ වන සේ  තබා,  එය මත තබා තිබු සිටි ඇයගේ අනෙක් කකුලේ දණහිස මදක් එසවී තිබිණ. දණහිස දක්වා ඇඳ සිටි වස්ත්‍රය දෙකකුල් අතරින් මෑත් වී ඇයගේ යට ඇඳුම උන් වහන්සේට දර්ශනය විය. පින් දීම අතර තුර ප්‍රාණවත් වූ ලිඟුව කහ පැහැති සිවුර කුඩාරමක් සේ නැගී සිටීම වලක්වා ලීමට උන් වහන්සේ තල් කොළය  දරාසිටි අත එය මත තබා ජලයේ ඉපිලෙන රබර්බෝලයක් ජලය තුලම තැබීමට ගන්නා උත්සාහයට නොදෙවෙනි උත්සාහයක් දැරුවේය.

ටික වෙලාවකින්,

"මෙන්න බලා පල්ලා පාත්තරය යනවා උඩු ගං බලා' කියා උන් වහන්සේ කෑ මොර දෙන්නට විය. විද්‍යාගාර සහයකයින් පස් දෙනා ගඟ දිගේ පහලට යන පාත්තරය දෙස නොව උන් වහන්සේ දෙස වික්ෂිප්තව බලා ගෙන සිටි යෝය. වැලි මළුවේ සිටගත් සුජාතා තම යටි කය ආවරණය කරගෙන තිබු දුහුල් රෙදි කඩ කලවා අතරට තද කර ගත්තාය.

කෑ මොර දීම නොනවතින කල පස් දෙනා ආයාසයෙන් ඔහුව ප්‍රථමාධාර කාමරයට ගෙනගොස් දෙපතුලේ භුමි තෙල්ද, හිසේ දෙහිද අලේප කලෝය. එයින් සුවයක් නොලද කල්හි තැඹිලි වතුරට ග්ලුකෝස් දමා පිළිගන්වන ලදී. අවසානයේ ඔහු පියවි සිහියට පැමිණියේයැයි ඔවුන් සියලු දෙන තිතුහ.

"මට මේ මැදුම් පිළිවෙත ඇති වෙලා තියෙන්නේ, මගේ ලැප් ටොප් එක ගනපියව්, ඩොන්ගල් එකත්  එක්ක" කියා කියනවාත් සමගම එකෙකු එය පරික්ෂා කර තමා නැරඹු සියලු අසැබි  වෙබ් අඩවි වල ඉතිහාසය මකා දමා එය උන් වහන්සේට පිලි ගැන්විය. අනෙක් සිව් දෙනා ඒ වන විටත් තම ගමන් මලු වලට අඩුම කුඩුම අසුරමින් සිටියෝය. පස් වැන්නාද පසුව ඔවුන්ට එකතු විය.

මධ්‍යම ප්‍රතිපදාවෙන් නිර්වාණය සෙවීම අත්  හළ උන් වහන්සේ ඒ සඳහා මෘදුකාංගයක් නිපදවීමට තවත් වසර පහක්  වැය කළේය.කුසට අහරක් නොමැතිව ගෙවූ දින ගණන කොපමණදැයි ඔහුට මතක නැත, නිදි වැරූ දිනගනනද එසේමය.එය නිපදවා ගත් කල්හි  නිර්වාණය සොයා වෙහෙසෙන්නන් හට මෘදුකාංගය මිලදී ගෙන පහසුවෙන් නිවන් මග සොයාගත හැකි බවට ඔහු දැඩිව විස්වාස කළේය. මේ වන විට ඔහුට උපස්ථාන කිරීමට කිසි වෙකු සිටියේ නැත. වන ගතව වාසය කල ඔහුට හිමාල වනයේ සිටි වෘක්ෂ දේවතාවුන්ද ඉඳ හිට සුර ලොව සිට පැමිණෙන සක්‍රයාගේ නියෝජිත දෙවි වරුන්ද මේ මහා කටයුත්තේ බැරෑරුම් බව අවබෝධ කරගෙන සිටි බැවින් ආහාර පාන ආදියෙන් පමණක් නොව නුතන පරිගණක සහ උපාංග වලින්ද ඔහුට සංග්‍රහ කලෝය. ඔහු ව්‍යාපෘතිය පියවර දෙකකින් අවසන් කිරීමට සැලසුම් කළේය.

01. භෟතික ශරීරයෙන් මනෝ-කය ( සිත )  පිටතට ගැනීම
02. පිටතට ගත් සිතෙන් සියලු ආශාවන් වියුක්ත කර සිත නැවත භෟතික ශරීරයට ඇතුළු කිරීම

මහත් පරිශ්‍රමයක් දරා පළමු පියවර සාර්ථක  ලෙස අවසන් කළේය. භෟතික ශරීරයෙන් පිටතට ගත්  මානසික ශරීරය නිදහසේ ගමන් කල හැකි තරමටම  තම මෘදුකාංගය වර්ධනය කරගත්තේය. මෙය ඍදියෙන්  ගමන් කිරීමේ අවධිය ලෙසද හඳුන්වා දෙන ලදී. පරිගණකයට සම්බන්ධ කල රැහැනේ කෙලවර ඉතා කුඩා අගල් දෙකක පමණ දිගැති ඉතා සියුම් ටයිටේනියම් ලෝහයෙන් නිපද වූ තුඩකි. මෙය ඉලෙක්ට්‍රෝඩයකි. මෙය කශේරුකා දෙකක් අතර හිඩැසින් සුෂුම්නාවට ඇතුළු කර ගත්තේ ඔහු විසින්මය. එවිට පරිගණක තිරයේ දිස්වෙන විවිධ පියවර සඳහා ඔහු විසින්ම අවසර ලබා දුණි. වසර ගණනක් ගස් ගල් යට දුක් විඳිමින් සිත එකඟ කර ගැනීමට දැරූ උත්සහයට දැන් ගත වන්නේ තත්පර කිහිපයකි. අත්හදා බැලීමේ අවස්ථාවේ සිටින බැවින් සිත භෟතික ශරීරයෙන් වෙන් කර තබන කාලය උපරිම පැය දෙකකට සීමා කර තිබිණ. පැය දෙකක කාලය තුල සිත භෟතික ශරීරයට  නැවත නොපැමිණීමෙන් සිදු වන ව්‍යාකුල තාවය මගහරවා ගැනීමේ ආරක්‍ෂිත උපක්‍රමයක් ලෙස කාලසීමාව අවසන් වූ වහාම භෟතික ශරීරය පරිගණකයේ ග්‍රහණයෙන් ස්වයංක්‍රියව මුඳා හරිනු ලැබේ. එවිට ශරීර දෙක අතර දුර කොපමණ උවද මානසික ශරීරය ඇති ස්ථානයට භෟතික ශරීරය ආකර්ෂණය වේ.

ඔහු හිමාල වනයේ රූස්ස ගස් වලට ඉහලින් ඇති මිදුම් පටල අතරින්ද, ගංගා ඇල දොලට ආසන්නයෙන්ද  පාවී ගියේය. සිටු දියණියන් පිරිසක් දිය කෙලින ආකාරය නතර වී බලාගෙන සිටියේය. නිල් වන ජලය පිරුණු පොකුණ වටා තණ පිට්ටනියකි, මුළු භුමි භාගයම වට කර විශාල ප්‍රකාරයකි, එක් තැනකින් විශාල ගේට්ටුවකි.භෟතික ශරීරය නොතිබුණද කාන්තාවන්ගේ ශරීරයට මෙතරම් පිරිමි ආශා කරන්නේ මන්දැයි ඔහුට තිබූ විශාලම ගැටළුවයි. දිය කෙළින තරුණියන්ගේ ශරීරවල ස්පර්ශ වෙමින්ද ඔවුන්ගේ විවිධ ඉරියව් නිරීක්ෂණය කරමින්ද ගෙවා දැමු කාලය කොතෙක් දැයි ඔහුගේ මතකයෙන් ගිලිහි ගොසිනි.

මොහොතකින් පොකුණේ ජල කඳ දෙබෑ කරමින් නග්න ඔහු තරුණියන් දිය කෙළිමින් සිටි පොකුණ මැදට  පතිත විය. මර ලතෝනි තියමින් තරුණියෝ පොකුණේ ඉවුරට ගොඩවී සී සී කඩ දිව ගියෝය. පොකුණ ආවරණය කල ප්‍රාකාරයෙන් පිටත සිටි හැඩි දැඩි රාජ පුරුෂයා වහා දිව විත්

"මේ වර පාහරයා ගොඩට" කිවේය.

 රහසඟ අත් දෙකෙන් වසා ගෙන ඔහු පොකුණෙන් ඉවුරට ගොඩ විය. ඔහුගේ මුළු සර්වාංගයම බියෙන් වෙව්ලන්නට විය.

"තියපිය ඕක මේ ලී  කොටේ උඩින්" අඩි තුනක් පමණ උස කොටය දිලිසෙන කඩුවේ තුඩින් පෙන්විය.

"අනේ මේක කපන්න එපා, එකයිනේ තියෙන්නේ"

"එකක් තිබිල මෙහෙමනං දෙක තුනක් තිබ්බනං කොහොම වෙයිද?, තියපිය ඕක බෙල්ල කපා දාන්න කලින්"

"මගේ ළඟ තියෙනවා සොෆ්ට් වෙයාර් එකක් කාටවත් නොපෙනී යන්න පුළුවන්, මම ඒක දෙන්නං, මට යන්න දෙන්න" රාජ පුරුෂයාගේ කනට ලං වී කිවේය.

"ආවේ එහෙමයි එහෙනං "

"ඔව් වෙලාවේ පොඩි වැරදීමක් උනා , ඒකයි වැටුණේ" ඔහු ආයාසයෙන් සිනහ වීමට උත්සහ දැරිය.

"මෙන්න මගේ ඊ මේල් අයි ඩී එක, මේකට එවනවා, මේ රෙද්ද පටලවාගෙන දුවල යනවා කවුරුත් දකින්න ඉස්සෙල්ල " රාජ පුරුෂයා ඔහුගේ  කනට ලං වී කිවේය

ඇඳේ දුහුල් සළු පිලි එලා, කාමරය  සුවඳ මලින් සරසා තැන තැන ඉටි පන්දම් දල්වා තිබිණ. ඇඳ මත ඔවුන් තිදෙනාම සිටියේ නිර්වස්ත්‍රවය, උඩුබැලි අතට සිටි කාන්තාවගේ උරහිස් දෙකට යටින් තිබු  ස්වාමි පුරුෂයාගේ අත් දෙක ඇයගේ හිසේ කෙස් අතරට රූටා තිබූ ඇඟිලි වලින් අවසන් විය. ඔවුන්ගේ මුහුණු එකිනෙක ස්පර්ශව පැවතින, ඇයගේ යෝනි මාර්ගය උදර කුහරයේ මැදක් වන තුරුම පැලී සයනය ලේ විලක් වී තිබිණ , එකට තෙරපී පුපුරා ගිය වකු ගඩු  අධෝක්ෂ ධමනි, ශිරා ආදිය මෙන්ම මහාන්ත්‍රය පුපුරා එලියට පැමිණි අසුචිද විය. ඇයගේ ගර්භාශයේ තවත් පුරුෂයෙකුගේ හිසකි, එහි ගෙල ඇයගේ ශ්‍රෝණි මේඛලාවට  හිරවී මිරිකී ගොස් තිබිණ, කාන්තාව මත සිටි මිනිසාගේ පුරුෂ ලිංගය කැඩී වෙන් වී යාමට ආසන්නව,බිදී ගිය  ශ්‍රෝණි මෙඛලාවටත් උදරයේ සිරවී සිටි මිනිසාගේ  හිසටත් සිරවී  තිබිණ. උදරයේ සිරවී සිටි මිනිසාගේ කශේරුකා අතර ඉතා සියුම් රතු සහ දුඹුරු පැහැති තිත් රාශියක් දක්නට ලැබිණ.



-ජානක ගුණතිලක 









Saturday, March 1, 2014

•තරු පුළිඟු•

මම දුර තියා
තරුවකට පෙම් කලෙමි
එහෙත් ලංවන තුරු
ඒ නුඹේ දුම්වැටියෙන්
පැන ආ පුළිඟුවක් බව
නොදත්තෙමි.