Friday, February 14, 2014

සංසාර චක්‍රයේ කෙළවර-කෙටි කතාව (4)


සංසාර චක්‍රයේ කෙළවර 


කුඹුක් ගසේ විශාල මුලක දෙබලේ කහ-තැඹිලි පැහැති තුවායෙන් එතු කමිසය, කොට කලිසම සහ ජංගම දුරකථනය තබා රබර් සෙරෙප්පු දෙක ගං ඉවුරේ  ගලවා දමා දුමින්ද සීතල වතුරට සීරුවෙන් පය තබයි. සෙමෙන් ගලා යන ජල කඳ දෙසට යනවිට  රොන්මඩ දියසෙවෙල රහිත ගං පතුලේ පිරිසිදු වැලි නග්න දෙපතුල් කිති කවයි. පහුගිය දින කිහිපයේ තිබු වර්ෂාව හේතුවෙන්  රොන්මඩ සහ රොඩුබොඩු   ගසා ගෙන ගොසිනි. දෙපස තැනින් තැන ඇති කුඹුක් ගස්වල විශාල අතුවලින් ගඟ වසා ගෙන තිබේ. සන්තතිකව ඒවා අතර වැවී ඇති කහ උණ සහ බට පඳුරු ගඟ දෙසට නැමී  ඇත. ඒවායේ අතු කෙළවර දිගට දිගේ එල්ලෙන අලංකාර වඩු කුරුළු කූඩු වෙසක් පොහොයට එල්ලූ කූඩු  සේ සුළඟට ඒ මේ අත සෙලවේ. හිරු ඈත කඳු පන්තියට මුවා වීමට ඇත්තේ  තවත් පැය  එක හමාරක් පමණ වන්නට ඇති බැවින් ද සිහිල් සුළං හේතුවෙන් ද එකවරම දියේ ගිලීමට තරම්  දුමින්දගේ ඇඟ උණුසුම් නැත. ජලයේ ගැඹුර ඔහුගේ කොට කලිසමේ ඉහල ඉලාස්ටික් වාටියෙන්  කෙළවර වේ. පියවි ඇසට නොපෙනෙන තරමේ ආනතියකින් ජලය ගලා බසී. ගලන සීතල වතුර අත් වලින් ඇඟේ තවරා ගනිමින් ගඟ ඉහලට ටික දුරක් ඔහු පියමං කරන්නේ කිසිදු අරමුණක් ඇතිව නොවේ. මෙසේ සෙමෙන් ගමන් කරනවිට කවුරුන් හෝ කොඳුරන හඬක්  ඇසෙන්නේ කුමන දිශාවෙන්දැයි ඔහු  විමසිලිමත් වූවේය. වන සතුන් ගඟට බැසීමට බට පඳුරු දෙබෑ කර ඒවා අතරින් සාදාගත් උමං මාර්ග ගඟ දෙපස සෑම අඩි දහය දොළහකටම හමුවේ. බට පඳුරු වලින් අහස වැසී ගිය එවැනි ගඟ දෙසට දිවෙන එබඳු ආවරණය වූ ස්ථානයක සෝදා අවසන් කළ රෙදි පොදියකි. ඊට ආසන්නයේ කුඹුක් මුලක් උඩ වාඩි වී දුමින්ද නොදන්නා තරුණයෙකු සමග තුරුළු වී පෙම්බස් දොඩන්නේ හිරුනිකා අක්කාය. ඇයට පෙම්වතුන් කොපමණ සිටීදැයි දුමින්දට ඇත්තේ මහත් ප්‍රහේලිකාවකි. දුමින්ද එසැණින් දියේ ගිලී  නොපෙනී යන්නේ ඔවුන්ගේ ඇස ගැටීමට පෙරය-මතුවූයේ ඔහුගේ ඇඳුම් පොදිය තිබු ස්ථානය සමීපයෙනි.

වෙල් යායේ සියලු කුඹුරු වල ගොයම් මඩවා බැත ගෙවල් වලට ගෙන ගොස් ඇති බැවින් ගැමියන් වෙල්යායට පැමිණෙන්නේ කලාතුරකිනි. සෑම නිවසකටම පාහේ නල ජලය ඇති බැවින් දිය නෑමට ගඟට එන ගැමියෙක් කලාතුරකින් දැකගත හැකිය. කුඹුරු දෙකක් මැදින් ඇති නියරක් දිගේ ටික දුරක් ගමන්කර  කුඹුරු වලට ජලය සපයන දැනට සිඳී ගොස් ඇති ඇලෙහි  ගැට්ටට නැගගත් දුමින්ද ටික දුරක් ඇවිද යන විට තවත් නියරක් දිගේ පැමිණ රතු පැහැති කුඩා මල් ඇති ගවූමට උඩින් විශාල කහ පැහැති මල් වලින් හැඩ  දමන ලද කොළ පැහැති චීත්තයක් ද ඇඳගෙන වතුර බේරෙන කොණ්ඩයේ තුවායක් පටලවාගෙන හිරුනිකා  අක්කා ද ඇලට ගොඩවිය. දුමින්ද හැරී  පහල ගඟ දෙස බැලුවද ඒ දෙපස ලඳු කැළෑව සහ හිස් කුඹුරුයාය  මිස කිසිවක් නොවිය.

" අද වතුර සීතලයි නේද මල්ලී ? "

"ඔව් අක්කේ "

"මට නං හෙට දහම් පාසලට එන්න වෙන්නේ නෑ, මම ලොකු හාමුදුරුවන්ට කෝල් එකක් දීල කියන්නම් " කියාගෙන ඇය ඔහුට  ඉදිරියෙන් ඉක්මන් ගමනින් නොපෙනී ගියාය. ඔහු ඇය  නොපෙනී යන තුරු නිසොල්මන්ව බලාගෙන සිටියේ ඇල  කන්ඩියේ සිට වූ ගල් පිළිමයක් සේය.

හිරුනිකාගේ අවිවාහක වැඩිමහල් සහෝදරයා හමුදා සේවයේය; පියා වසර කිහිපයකට පෙර මිය ගියේය; මවට අවුරුදු පනස් ගණනක් වුවද කායිකව මෙන්ම මානසිකවද  ඉතා දුර්වල තැනැත්තියක් වුවාය. ඇය නිවසින් බැහැරට යන්නේ සතියකට වතාවක් හඳුන්ගම රෝහලේ සායනයටය.

දුමින්ද පන්සලට ලඟා වන විට  මිනිසුන් එහි ගෙනත් දමා ගොස් සිටි සුනඛයන් හතර දෙනාද, පැටවුන්   දෙදෙනාද, බළලුන්  දෙදෙනාද සමග මාස  දෙකකට ඉහත පැවිදි වූ පොඩි හමුදුරුවෝ ද ඇබිත්තයන් දෙදෙනා ද මිදුලේ තණකොළ පිට්ටනියේ කරණම් ගසන්නේ ලොකු හාමුදුරුවන් පන්සලේ නැති නිසා බව දුමින්ද හොඳින්ම දනී.

"පොඩි හාමුදුරුවෝ, මේ දෙන්නත් එක්ක විහාරේට ගිහිල්ලා බුදුන් වැඳලා එන්න ලොකු හාමුදුරුවෝ එන්න ඉස්සෙල්ල"

"මල් ටිකක් කඩා ගනිල්ල අර මල් පාත්තියෙන්" නැවතත් ඔහු කිවේ තණකොළ ගොඩේ උඩු බැලි අතට නිදා සිටින වයස අවුරුදු දහයේ සහ දොළහේ කොලුගැටයන්  දෙදෙනාටය. බලු පැටවු දෙදෙනා ඔවුන්ගේ කලිසම් සහ කමිස වල කෙළවරවල්වලින් අදිමින් සෙල්ලම් කරති.

දහවල් දානයෙන් ඉතිරි වූ ව්‍යංජන සහ බත් රාත්‍රියට ඇති තරම් තිබෙන බැවින් නැවත කෑම පිසින්නට උවමනාවක් නැත. ලොකු හාමුදුරුවන්ට වෙනමම කෑම බෙදා එය වෙනකොට තබා දුමින්ද ඔහුගේ කාමරයට යන්නේ හෙට හවස ඇති ඉංග්‍රීසි පන්තියේ ගෙදර වැඩ ටික අවසන් කිරීමටය. දුමින්දගේ කාමරය ඉතා පිළිවෙලට සකස් කරගෙන තිබේ, එය පොඩි හාමුදුරුවන්ගේ කාමරයට යාබද කාමරයයි. පාඩම් කරන කාලයේදී බිත්තියේ ඇලවූ රූපසටහන්, සමීකරණ තවමත් ඒ ආකාරයෙන්ම තිබේ. බිත්තියට අලුතින් එකතු වී ඇත්තේ  කුඩා කළු ලෑල්ලකි; එහි දිනපතා ඉංග්‍රීසි වචන ලියා තබා ඒවාගේ අකුරු පාඩම් කරයි. මිට අමතරව ඇත්තේ කුඩා ඇඳක්, මේසයක් සහ අල්මාරියකි.

දුමින්දගේ මේ දින වල ව්‍යායාමය  ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගැනීමටය. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල තව මාසයක් ඇතුලත නිකුත්වීම අනිවාර්යය. තමන් සරසවි වරම් ලැබීම ගැන  දුමින්දට කිසිදු සැකයක් නොමැත. මෙවර ලකුණක් දෙකක් මදි වුවද තමාට තව දෙවතාවක් ඊට අවස්ථාව ඇති බව දන්නා ඔහු කිසි සේත්ම ආත්ම විශ්වාසය දෙවැනි තැනට තල්ලු කර දැම්මේ නැත. දෙමාපියන් නොමැති දුමින්දගේ සියලු අවශ්‍යතාවයන් සොයා බැලුවේ කරුණාසාර හමුදුරුවෝය. ගමේ කුඹුරු ඉඩම් වලින් භාගයක් පමණ පන්සලට අයිති ඒවා වන බැවින් එම ඉඩම් වල වී අස්වැන්නෙන් අර්ධයක් ද එළවළු කන්නයේ බදු මුදල් ද ලැබෙන බැවින් පන්සලට අගහිඟකම් තිබුනේ නැත. ඉබි යතුරු දමූ ගරාජයේ තිබෙන මෝටර් රථයේ කල්බදු නියමිත කාලයට පෙරම ගෙවා අවසන් කළේද එය  තහවුරු කරමිනි. උන් වහන්සේ පන්සලේ විහාරාධිපති වන අතරම ගමේ පාසැලේ උප විදුහල්පතිද වේ. උන් වහන්සේගේ වයස දුමින්ද හරි හැටි නොදැනගත්තද අවුරුදු හතළිහක පමණ පෙනුමකින් යුක්තය.

මෙහි ඇති තරම් කාමර මෙන්ම ඇඳන් තිබුනද ඇබිත්තයන් දෙදෙනාට නිදා ගන්නට ඇත්තේ පොඩි හාමුදුරුවන්ගේ කාමරයේ බිමට දැමු මෙට්ටයකි. රාත්‍රී දහයට පමණ ආවාස ගෙයි සියලු දොරවල් හොඳින් වසා  ඇත්දැයි පරික්ෂා කර බලා එනවිට පොඩි හාමුදුරුවන් පොතක් කියවයි, ඇබිත්තයන් දෙදෙනා සැප නින්දේය. දුමින්දගේ සැප පහසු සයනයේ වැතිරී විදුලි බුබුල නිවා දැමූ ඔහුට සිහියට එන්නේ විහාරගෙයි බිත්තියේ ඇති නාරිලතා මල්ය. ඒවායේ නාරි රුප  හිරුනිකා අක්කාගේ රූපයෙන් විස්ථාපනය වී තිබිණ. තිබු කොට්ට දෙකෙන් එකක් යටි බඩ සහ කලවා අතරට හිරකරගත් ඔහු හිරුනිකා අක්කාගේ ලෝකයේ තනි විය. ඇයගේ අලංකාර දිගු කෙස් කළඹ සිනාසෙන විට වල ගැසෙන රෝස පැහැති කම්මුල් ආදී සියල්ල ඔහු ස්පර්ශ කරන්නට විය. 

නවීකරණය කරන ලද ආවාස ගෙයි මැද මිදුලකි; මෙය මල්ගස් වවා අලංකාර කර ඇත. කරුණාසාර හාමුදුරුවෝ අමුත්තන් මුණගැසෙන ඉදිරිපස ශාලාවේ විශාල මාළු ටැංකියකි, මෙය විසිතුරු මසුන්ගෙන් පුරවා තිබේ. එය නඩත්තු කරන්නේ කරුණාසාර හාමුදුරුවන් විසිනි. අවාස ගෙහි  මිදුල කෙලවර වන්නේ ධර්ම ශාලාව, බෝ මලුව සහ විහාර ගෙය වටා ඇති ප්‍රාකාර බැම්මෙනි. මෙම බැම්මෙන් ඇතුලත බිම සම්පුර්ණයෙන්ම සුදු වැලි අතුරා ඇත. සියලු ගොඩනැගිලි පිහිටා ඇත්තේ එකම මට්ටමේය, එය තරමක් උස් භූමි භාගයකි. ඉරිදා උදෑසන දහම් පාසලේ පන්ති බොහොමයක් පවත්වන්නේ මෙම වැලි මළුවේය. හිරුනිකා අක්කා 'හතර ශ්‍රේණිය'  පන්තිය භාරව කටයුතු කරයි. ඇය උසස් පෙළ විභාගය හොඳින් සමත් නොවුනද අවුරුදු කිහිපයක්ම නොකඩවා දහම්පාසල් ගුරුවරියක් ලෙස කටයුතු කරන්නීය.

"අද හිරුනිකා ටීචර් එන්නේ නෑ කිව්වා, කුමාරි ටීචට කියන්න හතර පහ පන්ති දෙකම එකතු කරලා උගන්නන්න කියල " ලොකු හාමුදුරුවෝ දුමින්දට කතා කොට පැවසීය.

"හොඳමයි හාමුදුරුවනේ " කියා දුමින්ද ධර්ම ශාලාවට ගොඩ වුයේ වැලි මළුවේ ඈත කෙලවරේ සිටි පාසල් සේවයෙන් විශ්‍රමගිය කුමාරි ගුරුතුමිය ලඟට ගොස්  පණිවිඩය ද කීමෙන් පසුවය.

දුමින්දට භාරව තිබුණේ දහම් පාසලේ ඉහලම පන්තිය වන දහය ශ්‍රේණියේ පන්ති භාරකාරත්වයත්, නමය සහ දහය ශ්‍රේණිවලට අභිධර්මය ඉගැන්වීමටත්ය. මෙම එක පන්තියක  සිටින්නේ සිසුන් දහයක් පමණය, ඔවුන්ගෙන් බහුතරය තරුණ ගැහැණු ළමුන් වීම පිළිබඳව දුමින්දට ඇත්තේ කිසිවෙකුටත් නොපවසන සතුටකි. පාසැල් සුදු ගවුමට වැසී ඇති තරුණියන්ගේ බොහෝ ශරීරාංග  දහම් පාසැල් නිල ඇඳුමේදී නිරාවරණය වී තිබීම ඔහුට ශෘංගාරාත්මක හැඟීමක් ඇති කරයි; මෙය අභිධර්මය වඩාත් ගැඹුරට ඉගැන්වීමට ඇති උනන්දුව වැඩි කිරීමට හේතු වී ඇතිදැයි දුමින්දට ද  ගැටලුවකි.

බොහෝ දිනවල සවස පන්සලේ සිටින්නේ දුමින්ද සහ ලොකු හාමුදුරුවන් පමණි, ඒ පොඩි හාමුදුරුවන් සහ කොලු ගැටයින් දෙදෙනා පිරිවෙණට යන බැවිණි. දුමින්ද සවස තුනට තිබූ ඉංග්‍රීසි පන්තියට පිටත්ව ගියද එදින ගුරුවරයා හදිස්සියේ  එය අවලංගු කර තිබු බැවින් සැලසුම් කළ වෙලාවට කලින් පන්සලට නැවත පැමිණීමට සිදුවිය. අවාස ගෙයි ප්‍රධාන දොරටුව වසා  තිබු බැවින් පසුපස දොරින් දුමින්ද ඇතුළු වන විට දොර බිත්තියේ වැදී තරමක හඬක් නිකුත් විය. ඒ සමගම කරුණාසාර හාමුදුරුවන්ගේ කාමරයෙන් එලියට දිව ආවේ හිරුනිකා අක්කාය. ඇය දුමින්දට වචනයක් වත් කතා කලේ නැත. ඔහු පසු කරගෙන වේගවත් ගමනින් විවෘත කර තිබු දොරින් පිටව ගියාය.

මෙම සිද්ධියෙන් පසුව ඇය සති කිහිපයක් දහම් පාසැලට පැමිණියේ  නැත. එක්තරා  පොහොය දිනක සවස බෝධි පුජාව අවසන් වුයේ රාත්‍රී හතට පමණය, විහාර මළුවේ විදුලි පහන් නිවා දැමීමට දුමින්ද හෙමින් සීරුවේ ධර්ම ශාලාව පසු කර යනවිට විනාඩි විස්සක් පමණ ගතවී තිබිණ.

"මට දැන් මැරෙනවා ඇරන්න කරන්න දෙයක් නෑ"

ඒ හිරුනිකාගේ කටහඬ බව දුමින්ද එකවර හඳුනා ගත්තේ, ඒ සමීපයේ විශාල ස්ථම්භයට මුවා වුයේ කරුණාසාර හාමුදුරුවන් බවද ඔහු දුටුවේය, නමුත් කිසිවක්  නොදැක්කා  සේ ඔහු මළුවේ කෙලවරට ගොස් එහි සිට විදුලි බුබුළු එකිනෙක වෙනදාටත් වඩා  සෙමෙන් නිවා දමමින් පැමිණෙන විට කිසිවෙකු පෙනෙන්නට සිටියේ නැත.

මෙම සිද්ධියෙන් පසුව කරුණාසාර හාමුදුරුවන්ගේ දින චර්යාව සම්පුර්ණයෙන්ම උඩුයටිකුරු  වී ඇති බව දුමින්දට වටහා ගැනීමට සාක්ෂි උවමනා තරම් විය. පාසැල ඇරී පන්සලට පැමිණෙන උන්වහන්සේ කාමරයෙන් එලියට පැමිණෙන්නේද කලාතුරකිනි. දින ගණනකින් කොලු ගැටයන් දෙදෙනාගෙන් සවස ගාථා පාඩම් ගන්නවා දුමින්දට ඇසුනේ නැත. සවසට අඳුර වැටෙන තුරු මිදුලේ සිමෙන්ති බංකුවට වී සති අන්ත  පුවත්පතක් හෝ පොතක් කියවන පුරුද්ද ද දැන් මග හැරී ගොසිණි. දායකයෙකු සමග  පිංකමක් පිලිබඳ සාකච්චා කරගැනීමට පැමිණියද එය අවසන් වූ වහාම වහාම කාමරයට ගොස් දොර වසා ගත්තේය.

මෙසේ දිනපතා කැලැන්ඩරයේ කොළ එකිනෙක ගැලවී ගොස් එක් සෙනසුරාදා දිනක වෘතියෙන් හෙදියක් වන කරුණාසාර හාමුදුරුවන්ගේ ඥාති සහෝදරියක් පන්සලට පැමිණියාය. තලතුනා ඇය ශ්‍රියානි නම් විය. ශ්‍රියානි මාස  කිහිපයකට වරක් පන්සලට පැමිණෙන්නේ රස කැවිලි මෙන්ම පලතුරු ද මල්ලක පුරවාගෙනය.

"ආ, දුමින්ද කෝ අපේ හාමුදුරුවෝ? "

"කාමරයේ ඉන්නවා නෝනා"

කාමරයට ගිය ඇය  නැවත එලියට පැමිණියේ පැයකට පමණ පසුය, ඔවුන්  තීරණාත්මක ස්වරයෙන් යම් බරපතල ප්‍රශ්නයකට විසඳුම් සොයන්නට වෙහෙසෙන බව නම් දුමින්දට කිසිදු සැකයකින් තොරව ඔප්පු වී හමාරය. ඔහු කාමරය ආසන්නයෙන් කිහිප විටක් ගමන් කළ ද කතා කරනවා මිස කුමක් කතා කරන්නේ දැයි හඳුනා ගැනීමට නොහැකි විය. කාමරයෙන් එලියට පැමිණි ඇය දුමින්ද දෙස පිළිකුල් බැල්මක් හෙලා මිඳුලේ ඇති බැංකුවේ වාඩි වී  ජංගම දුරකතනයෙන් කතා  කරන්නට විය. ටික වෙලාවකින් කරුණාසාර හාමුදුරුවෝ මිදුලට පැමිණියේය.

"මම වෙලාවක් කියල කෝල් එකක් දෙන්නම්" කියා ඇය  උන් වහන්සේට වැඳ පිටත්ව ගියාය.

රාත්‍රී කෑමෙන් පසුව දුමින්ද පොතක් කියවමින් සිටියදී පොඩි හාමුදුරුවන් පැමිණ,

"දුමින්ද අය්යට ලොකු හාමුදුරුවෝ කතා කරනවා" කිවේය.

දුමින්ද කරුණාසාර හිමියන්ගේ කාමරයට ඇතුළු වූ පසුව හාමුදුරුවන් විසින්ම කාමරයේ දොර වසා ලියන මේසයේ පුටුවේ හිඳ ගත්තේය. දුමින්ද මේසය ආසන්නයේ සිටගෙන සිටියි.

"මම උඹට කරන්න පුළුවන් හැම උදව්වක්ම කරලා තියෙනවා දුමින්ද, මට පුළුවන් විදිහට මම උඹට හොඳට ඉගැන්නුවා අම්මා තාත්ත  නැතුව හිටපු උඹට අනාතයෙක් වෙන්නේ නැති තරමට මම ඉන්ඩ හිටින්න දුන්නා"

කරුණාසාර හාමුදුරුවෝ කතාව නතර කර දිගු සුසුමක් හෙලයි. දුමින්ද නිසොල්මන්ව  මේසය දෙස බලාගෙන එය මත තබා ඇති අලංකාර පිට කවරයකින් යුත් පන්සිය පනස් ජාතක කතා පොත දෙස බලා  සිටින්නේය.

"මේක මගේ නරක කාලයක්, මට උඹෙන් උදව්වක් ඕනි හැබැයි කිසි කෙනෙක් එක්ක මේ ගැන කතා කරන්න බෑ  " කරුණාසාර  හාමුදුරුවෝ දිගටම කියාගෙන යයි, එය ඉල්ලීමක්ද තර්ජනයක්ද කියා වෙන් කර ගැනීමට දුමින්දට අපහසුය, ඒ සමගම අල්මාරියේ දොර ඇර එයින් සල්ලි මිටියක් එලියට ගනී.

"හෙට උදේ දහයට ජනතා ෆාමසි එක ලඟට යන්න ඕනි " කියා සල්ලි මිටිය දුමින්ද අත තැබීය.

ඔහු කිසිවක් නොකියාම කාමරයෙන් පිටවිය. තම කාමරයට පැමිණ සල්ලි මිටිය මේසයේ ලාච්චුවට දමා සිදු වන්නේ කුමක්දැයි සිතා ගැනීමට උත්සහා කළේය. ඇඳේ හාන්සි වී දෑස පියා ගත් විට  විහාර ගෙයි බිත්තියේ ඇති නාරිලතා මල් සහ  යක්ෂ රුප, උසස් පෙළ ප්‍රතිඵල ලේඛණ, සල්ලි මිටි ආදී එකිනෙකට කිසිදු සම්බන්ධයක් නොමැති  විකාර රූපි සිහින පෙනෙන්නට ගනී.

දුමින්ද පසුදින උදේ නමයට පමණ සුදානම් වී සල්ලි මිටියද සාක්කුවේ දමාගෙන බස් නැවතුමට එන විට එහි හිරුනිකාද විය. ඇය ඔහුට සිනාසුන නමුත් කතා කළේවත් සමීපයට පැමිණියේවත් නැත. බස් රථය විනාඩි හතලිස් පහක පමණ ගමනින් පසුව හඳුන්ගම නගරයට ලඟා විය.

"ෆාමසිය ළඟ කරුණාසාර හාමුදුරුවන්ගේ අක්කා ඉන්නවා කිව්වා- මල්ලිත් එක්ක එයාව මුණ ගැහෙන්න කිව්වා " යයි හිරුනිකා කිවේ බසයෙන් බැසගන්නවාත් සමගය.

දෙදෙනා එහි යන විට ඊයේ පන්සලට පැමිණි කරුණාසාර හාමුදුරුවන්ගේ සහෝදරිය ශ්‍රියානි ෆාමසිය ඉදිරියේ සිටගෙන බලාගෙන සිටින්නීය. මෙය ෆාමසියක් ලෙස නමට තිබුනද තට්ටු තුනක් පුරා පවත්වාගෙන යන ප්‍රසිද්ධ චැනල් සෙන්ටර් එකකි. 

ඇය කීවේ "යමු" කියන වචනය පමණි, දුමින්දත් හිරුනිකාත් ඇය පිටුපසින් ගොස් ඇතුළත රෝගීන් ලියා පදිංචි කරණ කාමරයට ඇතුළු වූහ.

"කව්ද ඩොක්ට" අසන්නේ කවුන්ටරයේ සිටින කාන්තාවය.

" ඩොක්ට අතුල ද සිල්වා " පිළිතුරු දෙන්නේ ශ්‍රියානිය.

" ලෙඩාගේ නම "

"හිරුනිකා කුමාරි අත්තනායක"

"භාර කාරයා "

"දුමින්ද " කියා පිළිතුරු දෙන්නී ශ්‍රියානිය.

"අයිඩින්ටි කාර්ඩ් එක දෙන්න" දුමින්ද සාක්කුවෙන් එලියට ගන්නා හැඳුනුම්පත මේසය මත තබයි.

"මෙතනින් අත්සන් කරන්න "

"රුපියල් පාලොස්දාහයි " ඔහු අත්සන් කරන අතර තුර සේවිකාව පැවසීය.

දුමින්ද සාක්කුවෙන් එලියට ගන්නා සල්ලි මිටියෙන් එය ගෙවා දැමූ විට,

"තුන්වෙනි තට්ටුවේ කාමර අංක අටට යන්න" කියා මුදල් ගෙවූ තුන්දුව ලබාදී හිරුනිකාට පසු පසින් සිටි අනෙක් තරුණියට ඉදිරියට කතා කළාය.

තරප්පු පේලි දෙකක් නැග ගෙන ගොස් වීදුරු දොර විවර කරගෙන අංක අට කාමරයට මුලින්ම පිවිසෙන්නී ශ්‍රියානිය.

"ආ ශ්‍රියානි මෙයා ගැනද කිව්වේ?" මේසය සමග ඇති පුටුවේ වාඩි වී සිටින ප්‍රියමනාප තරුණ දොස්තර අසන්නේ හිරුනිකාට ඔහු ආසන්නයේ ඇති පුටුව පෙන්වමිණි.

"ඔව් ඩොක්ට"

"මාස කීයද ?"

"තුනක් විතර" හිරුනිකා පිළිතුරු දෙයි,

"බය වෙන්න දෙයක් නෑ ඇතුළට යමු" හිරුනිකා ශ්‍රියානි  සහ දොස්තර  තිරයෙන් ඇතුළට ගමන් කළහ.

දුමින්ද කාමරයෙන් පිටතට පැමිණ කොරිඩෝවේ සිට නගරයේ එහා මෙහා ගමන් කරන වාහන සහ මිනිසුන් දෙස බලමින් පැයකට වඩා එහි ගත කරන්නට ඇත.

අවසානයේ ශ්‍රියානි හිරුනිකා ද සමග පිටතට පැමිණියාය. හිරුනිකා ඉතා අපහසුවෙන් තරප්පු පෙළ බැසගෙන ශ්‍රියානි සමග වීදියට පිවිසෙන විට, දී තිබු බෙහෙත් තුන්දුවේ බෙහෙත් ටික මිලදී ගැනීමට  දුමින්ද ප්‍රමාද විය. ඔහු පිටතට පැමිණෙන විට කාන්තාවන් දෙදෙනා ත්‍රීරෝද රථයකට ගොඩවී සිටියහ. පැය භාගයකට ආසන්න ගමනේදී කිසිවෙක් කතා නොකළහ. මිලදී ගත්  බෙහෙත් දුමින්ද හිරුනිකාගේ අත්  බෑගයට දැමුවේය.

ත්‍රී රෝද රථය හිරුනිකාගේ නිවස ළඟ නතර කර ශ්‍රියානි ඇයව නිවසට ඇරලුවාය. රථය සහ නිවස අතර අඩි සියයක පමණ දුරක් විය. ශ්‍රියානි නැවත පැමිණෙන විට දුමින්ද සිටියේ ත්‍රී රෝද රථයට මදක් ඈතිණි. ඔහු සමීපයට පැමිණි ශ්‍රියානි,

"උඹට අපේ හාමුදුරුවෝ සැළකුවා වැඩි වුනා, අම්මා තාත්තා නැතුව මැරෙන්න යනකොට අපේ පවුලේ එකෙක් කියල හිතල හාමුදුරුවෝ උඹට සැලකුවේ. යන්තන් පණ ගහල එනකොට පටන් ගත්තා දඩාවතේ යන ගෑණු පස්සේ යන්න, එක්කෝ උඹට යන්න වෙන්නේ හිරේ, එහෙම නැත්තන් කසාදයක් බැඳගෙන මේ ගෙදර බින්න බහින්න වෙන්නෙ. උඹ  මෙහෙම අසමජ්ජාති වැඩ කරනකොට  කොහොමද යකෝ අපේ හාමුදුරුවෝ සිවුරක් ඇඳගෙන පාරේ බැහැල යන්නේ? තුක් විතරක් තෝ වගේ කලකන්නියෙක් , මම අපේ හාමුදුරුවන්ගේ වචනෙට ආවා මිසක්"  තරහින් පුපුරමින් සිටි ඇයට තවත් කතා කරගත නොහැකි වූ විට ත්‍රී රෝද රථයට ගොඩ වුවාය. දුමින්ද කිසිවක් අදහා ගත  නොහැකිව ත්‍රී රෝද රථය ගමන් කරන දෙස ඇසි පිය නොහෙලා බලාගෙන සිටියේය.

- ජානක ගුණතිලක

3 comments:

  1. ඔබගේ බ්ලොගයට අදයි මුලින්ම ආවේ. නැවත එන්නම්. ජය!!

    ReplyDelete
  2. යමක්‌ කියවන කෙනෙක් හඳුනා ගැනීම සතුටක්‌ ..

    ReplyDelete