Sunday, October 26, 2014

ඉකෙලොසීය සන්ධර්භයක හකාවති කියවීම.


   
ඩෝසන් කියූ හැටියේම  මුලින්ම අප අබියසටවිත්  හිටගනුයේ ස්ථම්භයකි. කොලමීය කුළුණකි. ඩෝසන් කුළුණ යනු මෙයයි.කඩුගන්නාව මුදුනත සිට  ඇඟ කිලිපොලා යන අර පල්ලම දෙස අභීතව බලන් සිටිනා කුළුණ ය.  ‘‘කොහොම මේ ප්‍රපාතයක් අයිනෙ පාරක් කැපුවද මන්ද?’’  කුළුණ හිතන්නේ ය.  කුළුණක්ව සිටිනා, එසේ වුව සිතනා, කවුද ඒ ඩෝසන්‍ඔහු වනාහී ඉංජිනේරුවරයෙකි.  ‘‘රාජකීය ඉන්ජිනේරු බලකාය’’ට අයත් ව සිටි කැප්ටන් ඩෝසන්, ‘‘බ්‍රිටිෂ් - සිලොන්’’ ලෙස නම් ලත් දිවයිනේ පළමු මහාමාර්ගය වූ ‘‘කොළඹ - නුවර’’ පාර හැදිමට අනුයුක්ත කෙරුණ චරිතයකි.  අවාසනාවකටදෝ පාර විවෘත කිරීමට පෙර ඔහු මිය ගියේ ය. නමුත් ඔහු කැපවුණු මිනිසකු බව දත් මිත්‍රයෝ මේ පාරේ එහා මෙහා යන අයට ඔහු මෙනෙහි කළ යුතු චරිතයක් බව තීන්දු කළහ. ඩෝසන් ස්ථම්භය යනු මෙයයි.

කැප්ටන් ඩෝසන් හදිසියේ මිය ගියේ කෙසේදනයෙක් ගැසීමෙන්දබොහෝ දුරට උත්තරය‘‘ඔව්’’. ඔහු කොළඹ රැගෙන ආයේනයි විස සමඟින්දඑසේනම් ඔහු මිය ගියේ නයි විස සමගන්ද?

උත්තරය........?

කෙසේ හෝ අවසානයේ ඩෝසන් පුන්රුප්පත්තිය ලබා තිබේ. ඩෝසන් ප්‍රීති නමිනි. රෝහණයේ උපන් පුතෙකුට ඩෝසන් යනුවෙන් නම් තබන්නට තාත්තකුට හිතෙන්නේ ඉන්ජිනේරුකම මිටින් අරන් උපන් නිසා නොවේදඔහු අලුත් පාරක් හදන්නට මුල් වන බව දැනුණු නිසා නොවේද?  නොඑසේ නම් ප්‍රීතීන්ගේ තාත්තා වහාම ඔහු ඩෝසන් යනුවෙන් නම් කළේ ඇයි ඔහුගේ අනාගතය ගැන දැන සිටි බැවින් මිස අන් කවර හේතුවක් නිසාද? නමුත් මේ උතුම් තාත්තා නොදැන සිටි ‘‘එක් සුවිශේෂ දෙයක්’’තිබේ. ඒ ඔහු පුනුරුප්පත්තිය ලැබුවේ අර නයි විසද සමගින් බව ය. ඔහු තුළ නයි විස වූ බව කෙමෙන් පිටතට පෙනෙන්නට වූයේ ඔහු භාෂාව හරහා සමාජයට දෂ්ඨ කරන්නට වූ විටයි. මෙය මෙතෙක් කාටවත් කියවා ගත නොහැකි වුවාට මා මක් කරන්නද?මට එය ඔප්පු කළ හැකිය. ගන්න ඔහුගේ පළමු කවි පොත අතට. මොකද්ද නම‘‘මුචලින්ද තාප්පය’’. දැන් හරිද

නමුත් මේ නයි විසෙන් මියගිය ඉන්ජිනේරුවානයි විස සමඟින්ම යළි උපතලබා ඇති බව අපට හරියටම දැනේනනේ ‘‘ඔහු තම විස කැවු බස’’ අප හදවතට මුදා හැරිය නිෂ්චිතම නිමේෂය වන ‘‘හකාවති’’හරහා බව මම ඔබට පවසමි.
මා එසේ කියන්නේ ඇයිදැයි මා පැහැදිය යුතු ය. සාධනය කර පෙන්විය යුතු ය. නොඑසේ නම් එය ප්‍රලාප ගනයට වැටේ. එවන් නන් දොඩවන්නෙකු දක්වා පිරිහෙළනු ලැබීමට මම නොකැමැත්තෙමි. ප්‍රලාප ඇදබා මිත්‍රද්‍රෝහියකු වීම නොමනා ය. තරම් නොවේ.

ඩෝසන්ගේ ප්‍රකටම කෙටිකතාව ලෙස මේතාක් සියල්ලන්ම සංවාදයට නතු කර ඇති ‘‘මිරැන්ඩා’’  ඇරඹෙන්නේ මෙලෙසිනි. පළමු ඡේදය ය.

‘‘
රතුපාට නිල්පාට කොරහැඩි දිලිසෙන සර්පයා සිය සියුම් දිගැටි දෙපෙති දිව "සුරුස්... සුරුස්" හඩින් පිඹිමින් ජනේලයේ මළකඩ කෑ යකඩ පොලු අතරින් කාමරයට සිය හිස ඇතුල් කරද්දී ගැබ්බර සඳලතා තවත් තම උදරය යහන් ගැබේ සුසුදු පලස මත සීරුවට බර කර නින්දේ පසු වූවා ය.රතු නිල් පැල්ලම් අතර රන්වන් කොරපොතු රටාවේ දිස්නයෙන් දිලිසෙන සර්ප බඳ කළු පාට ජනෙල් පොල්ලෙන් එතී පහලට චලනය වූයේ ඔරලෝසුවේ විනාඩි කටුවේ අත දෙකේ ඉලක්කම උඩින් සෙමෙන් ගමන් ගත් තරම් වේගයෙනි. සර්පයා සඳලතාගේ දෙකළවා යුගල අතරින් නොපෙනී යත්ම නිශ්ශංක මරළතෝනි දීගෙන ඇඳෙන් පනිද්දී මිරැන්ඩාගේ මන්නා පහර නිශ්ශංක සදහට නිශ්ශබ්ද කළ බැව් කිසිවෙකුත් නොදුටුවේය.’’

නිශ්ශංක දකිමින් සිටි සිහිනයේ රතු-කොළ කොරහැඩි දිළෙන සර්පයා ඇතුළු වන්නේ සඳලතාගේ කලවා අතරින් මිස මිරැන්ඩාගේ විප්ලවීය රතුපාට විප්ලවීය කලවා අතරින් නොවේ.  එය එසේ වී නම් එළැඹෙන මොහොතේ මරණ දෙකක් සිදුවන්නේ නැත.  සඳලතා ගැබ සැහැල්ලු කර ගන්නා මොහොතේදී එළියට ඒමට නියමිතව ඇති දෙදෙනෙක් මිරැන්ඩා තුළ සිටිති. එකකු දැරුවා ය. දෙවැන්නා නිල්-කොළ ලප සහිත සරුපයා ය.  දෙනොම එළියට නෑවිත් ඇතැයි අපට හැඟේ.  ඒත් සරුපයා?  සඳලතාත්, නිශ්ශංකත්, දරුවාත් ලෝකයෙන් තොලොංජි වුවද නිල් - කොළ ලප සහිත, රන්වන් කොරපොතු ඇති සර්පයාත්, විප්ලවීය මිරැන්ඩාත් තවමත් හිඳී.  මේ නම් කදිම කතාවක කදිම අවශේෂයකි. විෂ සහිත අවසානයකි.  ඩෝසන්ගේ සර්ප විෂ ය.

සමස්ථ කෘතිය පුරා සාවධානව හිඳන්නේ මෙකී උගුරු කාරක චමත්කාරයයි. රමනීය වන්නේ   ‘‘වමනීය’’ වේදනාවයි.  ඩෝසන් භාෂාමය කැටපත අල්ලන්නේ සමාජය වෙත යි.  අප වෙත ප්‍රක්ෂේපණය වන්නේ සමාජමය යථාවයි.  සමාජය කෘෘර වූවාට ඩෝසන් මක්කරන්නද?  සමාජය පාදඩ වූවාට සාහිත්‍යකරුවා මක්කරන්නද?  කාලකන්නභාවය ලඹ දෙන අවාකාශයක, එය, කෘතියකින් නිරූපනය වන්නේ නම් කෘතිය දැමිය හැක්කේ කවර ගොඩට ද? පැහැදිලි ය.  ඩෝසන් ප්‍රීති ස්වකීය කෙටිකතා සමුච්චය හරහා සහෘදභාවය රිදවා ඇත. එකී හදවත් පාරා ඇත.  එසේ සිදුකළ ලියන්නා ඈතක හිඳ අපට හිනාවෙමින් සිටී.  අපට දැනෙන්නේ මාරාන්තික රිදවීමකි. ඒ මාරාන්තිකභාවයේ භාෂාත්මක වික්‍රමය සුවිශේෂි ලෙස පැන නඟින්නෙ ‘‘මාරාව’’ හරහා ය.  කතා නම් මෙහෙමය කියන්නාක් මෙනි. එකිනෙකට සම්බන්ද දේවල් එකිනෙකට වෙනස් උපැහැරණ ඔස්සේ අපට කියවන්නට සැලැස්වීමමාරාව කතාවේ තියෙන මාරාන්තික ශිල්ප දැක්විම ය.

‘‘කැරකිලා යන්න ගත්තා ආකාහේ වළාපටි සේරම කෑදැත්තො තටු ගහපු වේගෙට. පයට පෑගුණු මඩ තල්ලි චිරි චිරි ගාලා ලෙස්සලා යැව්වා කකුල් දෙක පැද්දිලා දෙන්නට දෙන්න ආදාරකර ගෙන සමබර වුනා දුවද්දිම. පේමක්කා හීතලට හීතලවෙලා හිටියේ මට අතේ එතිච්ච මොහොතට දැනුණා අයිස්පලමක් වගේ හංදියේ කඬේ ශීත පෙට්ටියේ ඇසිරිච්ච. අඳුර ගලා ගෙන එන්නේ කුණාටුවක් වගේ ඉහ ඉද්දරින්’’

ඩෝසන්ගේ සමස්ත කතා කලාව පැන නැඟෙන්නේ ‍ෆන්තාසුසීය Phanthasus)පදනමකින් යැයි මම කියමි.  ඔහු මායාමය සහ මිත්‍යාමය සිහින මවන්නකු වන්නේ ය.  එසේ නමුත් වෛරීය දෑ කතා අධ්‍යාත්මය තුළ රෝපනය නොකරයි. නමුත් ඩෝසන්ගේ කතා කලාව ස්ථාපිත වන්නේ ඉකෙලොසීය Ikelos) සන්ධර්භයක යැයි මම පවසමි. ඔහු සිහිනයන්ගෙන් නිමවන්නේ සත්‍යයයි.  ඒ සිහින තාත්වික වන්නේ වෙයි.  එබැවින්ම යථාව නිරූපනය කරන්නේ වෙයි.  යථාව ඥානනය කරන්නේ වෙයි. මේ අනුව ඩෝසන් සිහින පිහිටුවනුයේ ෆ්‍රොයිඩියානු විශ්ලේෂණයට ප්‍රතිපක්ෂව බව මම පවසමි. සිහින දැකීම යනු ප්‍රාර්ථනා සඵල වීමකැයි ෆ්‍රොයිඩියානු අවකාශයේ විග්‍රහවෙතත්, මේ සිහින, ඒ සිහිනයන්ගෙන් වෙන්වන්නේ මේවා සිහින ආකෘතිය තුළ නිමවනා නිර්මාණකරුවකු සිටිනා බැවිනි.  එබැවින් මේ නිර්මාණ සමුච්චය තුළ ප්‍රාර්ථනාවන් නැත.  ඩෝසන් කැටපත අල්ලා පෙන්වනා ලංකාවේ සැබෑවටම පවතිනා මෙ බඳු ම්ලේච්ඡකර අවකාශයක් පතන්නේ එකී ගන්දස්සාරයම පැවැත්ම කරගත් මුග්ධ ධනේෂ්වරයේ දේශපාලක කූඨකයන් විනා නිර්මාණකරුවන් නොවේ.

කෙසේ හෝ කතා 13ක් එකම විග්‍රහයක තැබිය හැක්කේ කලාතුරකිනි. ඒ කලාතුර ඩෝසන් අපට නිමවා දී ඇත.  බොහෝ විට ඔහුකතාවෙහි වන සත්‍ය නිමවන සිහිනය අරඹන්නේ ම එකී සිහිනයට බැරල් බෝම්බයක් හෙලා එය කුඩුපට්ටම් කරලන වැකියකිනි. ඡේදයකිනි. මෙබඳු ය.

‘‘මට කවි පැටියෙක් හදා ගන්න  ඕන! 

සුජාත පුත්‍රයන්ගේ වික්‍රමය පටන් ගන්නේ එහෙම ය. ඊළඟට..........? ඊළඟට මෙහෙම ය.

‘‘කවියාගේ මව ගැස්සී බලා සිටිද්දීම ඇයව කරට උස්සා ගත් කවියාගේ පියා දංගොල්ලට එපිටින් වූ කුඩා වන රොදට ඇයව ඉමහත් වේගයෙන් රැගෙන ගියේය. ’’  

බීට් රූට් ලේ හිදී සිද්ධ වන්නේ කුමක්ද? එය පටන් ගන්නේ මෙන්න මෙහෙම ය.
‘‘ඇය සියල්ලන් මවිතයට පත් කරමින් බීට් අල තැම්බූ වතුර රුධිර පාරවිලයනය සඳහා සාර්ථකව යොදා ගත්තෙන් ස්වර්ගය පෘථිවිය මතට පාත් වූයේ හදිසියේම ස්වර්ගයේ සිදු වූ බර වැඩි විමේ ප‍්‍රතිඵලයක් ලෙසටය යන්න සාක්ෂාත් වූයේ පෘථිවියෙන් අර්ධයක් ජනගහණය මාස තුනක් වැනි කෙටි කාලයක් තුල ස්වර්ගස්ථ වූයෙන් ස්වර්ග ලෝකයේ ගුරුත්ව කේන්ද්‍රය විතැන් වීමෙන් මේ අලකලංචිය සිදු වූ බව තහවුරු කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුවේ ඒකාබද්ධ පර්යේෂණයක ප‍්‍රතිඵලයක් ලෙසය.’’

ඊළඟට........?

‘‘දිගින් දිගටම සිහින තුළ සහ අන්තර් සිහිනමය ප‍්‍රවෘත්ති විකාශය ඔස්සේ පියැවුනු දෙනෙත් පුළුල් තිර මත ප‍්‍රක්ෂේපණය වෙමින් පැවති මේ ස්වර්ග ලෝකයේ පෘථිවි පාතන ජවනිකාව බොඳව ගොස් දෙනෙත් තුළ අන්ධකාර ගුහාමය කළුවක් වැටුනේ ස්වර්ග ලෝකයෙන් ආ අපූරු තණකොල පෙත්තෙක් වැනි සුරංගනාවක් හදිසියේ චන්ද්‍රාණිගේ නහය මත වැසීමත් සමගමය.’’

කතා එකින් එක මෙසේ පෙන්වා දීමට හැකි ය.  කුමටද?  මා  මෙහිදී ඔහුගේ නිර්මාණ අරභයා මතු කරන ප්‍රවාදය සාක්ෂාත් කරලීමට ඔහුම නිදසුන් සපයා දී ඇත.  ඩෝසන් වනාහී අන්තිම හිතුවක්කාරයෙකි.  ඉවසුම් විරහිත මිනිසෙකි.   ඉදින් අප මේ කුමක් කීවද ඔහු තමන්ගේ නිර්මාණ කෙරෙහි වන නීති රීති පද්ධතියක් තෙමේම නිමවන්නේ යැයි හඬගා කියයි.  දැන් ඉතින් කට උත්තර නැත.  බලන්න. ! මහා ජල පාතනය.

ඒ නොපෙනෙන සියල්ල විශ්වාස කරන්නා වූ ද පෙනෙන්නට තිබෙන සෑම දෙයක්ම අවිශ්වාස කරන්නා ද වූ මිනිසාගේ යුගයයි.

භාෂාවේ තර්ක ශාස්ත‍්‍රය ඉපදෙමින් සිටි සමයයි.

මේ අන් යුගයක් නොවේ.  ඉක්ම යන මොහොතයි.  ඔහු කොට්ට උරයක් සේ කනපිට ගසා පෙන්නවන යථාව ඥානනය කළ යුතු මේ නිමේෂයයි.  මේ සියලුම කෙටි කතා ලෙනිනියානු ප්‍රවේශයකින් විග්‍රහ කළ හැකි වනුයේ එබැවිනි.

අවසානායේ මම මෙසේ කියමි.  ඒත් හකාවති ගැන ය. හකාවති යනු අරාබි වචනයකි.  දැන් ඒ වචනය සිංහලයට එකතු වී ඇත.  එය සිංහලෙන් මකා දැමිය නොහැකි ලෙස ය. එය එකතු කරන ලද්දේ ඩෝසන් විසිනි.  වචන නාස්ති කරනා භාෂාප්‍රේමින් සිටින අවකාශයක අලුත් වචනයක හෝ සම්ප්‍රදානයක් සහිතව සාහිත්‍යට එකතු වීම ම වැදගත් වැඩකි. ඩෝසන් එය සිදු කර ඇත.  ඔහු අලුත් පාරක් හදන්නට මඟ එළි පෙහෙලි කර ඇත.  ඔහු ව්‍යාජ විචාරක‘‘සර්පයන්ගේ’’ දෂ්ඨ කිරීම් වලින් ප්‍රවේශම් වී සාහිත්‍යයිකව මිය  නොයන්නේ නම් ඒ පාර තැනෙනවා නියත ය.

මංජුල වෙඩිවර්ධන
2014 ඔක්තෝබර් 25.

Thursday, October 23, 2014

මැජික් පිහාටු ( කෙටි කතාව 11 )



ජනේලේ රෙද්ද මෑත් කරන කොට එකපාරම වීදුරුවෙන් එහා පැත්තෙන් මතු වුනේ ලේ වලින් වැහිච්ච කිර්තිගේ මුණ. කොන්ඩේ ලේ වලින් තෙත් වෙලා තිබ්බා ඇස් දෙක ගිණි බෝල දෙකක් වගේ තරහින් ගිනි ගත්තා. නළල හරහා තිබ්බ කැපුම් පාරට ඔලු කට්ට සුදුවට මතු වෙලා තිබුණා. තොල් දෙක හරියට බුලත් කඩේ විමල අක්කගේ චීත්තෙයි, හිරට ඇඳපු හැට්ටෙයි අතරින් එලියට පැනපු බඩ ගෙඩිය වගේ. වීදුරුවට මුණ තද වෙනකොට වීදුරුව දිගේ ලේ ගලාගෙන පහලට වැක් කෙරුණා. මං  එකපාරටම ජනෙල් රෙද්ද අත ඇරියේ ඒ මුණ දිහා තවත් බලාගෙන ඉන්න බැරි කමට. මට ඉබේටම කෑ ගැහුණා ඒ එක්කම පිටි පස්සෙන් මගේ උරහිසේ ගෑවුණ සීතල අතක් නිසා.

"මොකද මේ වෙව්ලන්නේ, හීනෙන් බය උණාද?"

කෙස් ගස් අතරින් ඇඟිලි තුඩු යවමින් සිටියා මිස ඇය කිසිවක් නොකීවාය. ඇයගේ උකුල මත සුවබරව නිඳන පළමු දින එය යයි මට සිතිණ. එය රාත්‍රියද උදෑසනද යන්න නිච්චියක් නොවීය, කෙසේ හෝ හිරු නොපායා ඇති හෝරාවක් විය, කාමරයේ බිත්ති වලට සවිකර තිබු විදුලි පහන්  වල ආලෝකය ඉටි පහනක ආලෝකය තරම්වත් දීප්තිමත් නොවිය. ඇයට  යමක් පවසන්නට මට උවමනා විය, නමුත් ඒ කුමක්දැයි මා දැන සිටියේ නැත.උගුරේ නූල් බෝලයක් වැනි යමක් සිරවී ඇති බව පමණක් වැටහිණ.

මුළු ඇඟම රිදෙන්නේ හරියට ඩිංගි පාලයාගේ කෙල්ල හොරෙන් ගේන්න ගිහිල්ලා ගමේම මිනිස්සුන්ගෙන් ගුටි කාපු දවසේ වගේමයි. ඒත් ඒ ඊයෙ නෙවෙයි කියල නං හොදටම විශ්වාසයි, ඒත් යකෝ  මෙච්චර ඇටකටු වල ඉඳන් දැනෙන්න තරං වේදනාවක් කවදාවත්ම දැනිල නැති තරමට දැනෙන්නේ කොහොමද කියල මං කලපනා කර කර නැගිට්ටම තමයි තේරුනේ  මේ ඉන්නෙත් ගෙදර නොවෙන වග.

'එහෙනං වීල් එක කෝ? " පලවෙනි පාර ඒක මගෙන් අහගෙන, දෙවනි පාර ඇහැව්වා සරම ඇතුලේ  නිදාගෙන හිටපු එකාගේ සරම ඔලුවෙන් පහලට ඇදල. ඌයි මායි එක ඇඳේ නිදාගෙන හිටියට දැන් තමයි දැනගත්තේ ඌ සමිතය කියල.

"හරි හරි තව ටිකක් නිදා ගනින්කෝ තාම එළි  වෙලත් නෑනේ"

ඌ එහෙම කිව්වට, මම නැගිටලා ජනේලේ රෙද්ද මෑත් කරලා  බැලුව විතරයි අව්වේ රස්නෙට ඇස් දෙකෙන් කුරුල්ලෝ පියාඹල ගියා, ආයෙත් ටිකකින් ඇස් අරිනකොට  මට එක එල්ලේ පෙනුනේ මගේ වීල් එක පාක් එකේ නතර කරලා තියෙනවා අගේට.

"එතකොට යකෝ  මං ඉන්නේ ....................?"

චාටර් කිර්තිගේ කඩේ උඩ තට්ටුව කියල මට තේරුණා, සමිතය සරම ඇතුලේ ඔලුව හංග ගන්නත් කලින්.

"නැගිටපන් දැත්තෝ ඉක්මනට, අපි ඉන්නේ චාටරයාගේ කඩේ බං"

දෙබරයක් වගේ සරම ඇතුලේ  උණ්ඩි ගැහිලා හිටපු උගේ සරම කකුල් දෙක පැත්තෙන් උඩට ඇදල මං  කිව්වා. එතකොට ඌටත් තරු පෙනුන වග මට දැනුනේ ඌ සරම රවුමට ඇදේ ඉතිරි වෙන්න හෙළි වැල්ලෙන් හිටගත්ත විදිහට, හරියට සිදුහත් කුමාරයා නෙලුම් මලක් උඩ  හිට ගත්තා වගේ. එතකොටයි මාත් දැක්කේ  ඇඳුමක් නොතිබුනාට  කුණු ලේ පිරිච්ච්ච  නිල්-රතු පැල්ලම් වලින් උගේ මුළු ඇඟම වැහිලා තියෙන්නේ කියල. අප්පිරියාවට මං  අහක බලාගෙනම ළඟ තිබ්බ මෙසේ ළඟ පුටුවෙන් ඉඳ ගත්තා.

සංගීතේ "දඩි බිඩි" සද්දේ ඇහෙනකොට ඇඟ නලියනවා වගේ දැනුන. රුපියල් පනහේ ටිකට් එක ගන්න බැරි කමටත් වඩා "චාටරයා" ඉන්න සංවිදායක කමිටුවට ඔලුව නමන්න තිබ්බ අකමැත්තටම,

"තොපේ සංගීත අපි බලන්නෑ" කිව්වේ ඌත්  එක්ක තිබ්බ ගේමට.

සමිතයයි මායි කිට්ටු කරා සංගීතේ තියෙන පිට්ටනිය පැත්තට ටිකක් අඳුර වැදීගෙන එනකොටම නන්දෙගෙ  පොට් එකෙන් රුපියල් සියේ ෂොට් දෙකකුත් ගෙන. කෝකටත් වීල් දෙක පාක් එකේම තියෙන්න ඇරලා. ඒක පටන්ගෙන ටික වෙලාවක් උනාට නැගල යනවා කවදටත් වඩා හොඳට, ඒක තේරුණේ පිට්ටනියෙන් වැහි වලාකුලක් වගේ ඉහල නගින දුවිලි වලාවට පාට පාට ලයිට් වැටුනම.

චාටර් කිර්තිය කිව්වට වූ චාටර් අපේ ශබ්ධ කොශේට විතරක්ද කියලත් හිතෙනවා වෙලාවකට, මොකද හැමදේම ඉවරවෙනකොට ඌ කිර්තියා  අපි චාටර් නිසා. උගේ එවුං තමයි හැම ගේට්ටුවකම  ටිකට් චෙක් කරන්න හිටියේ, කලිසමක් ඇඳගෙන උන්ට ටිකට් දීලා දෙකට නැමිලා යනවට වඩා හොදයි තවත් කාලක් ගහල ගෙදර බුදිය ගන්න එක කියලත් හිතුණා. එත් "දඩි බිඩි "ගාලා ඇහෙන ඩ්‍රම් සද්දෙට අපිව ඇදිල යනවා පිට්ටනිය දිහාවටම.

චීත්ත පොටවල් දෙකක් වගේ එක මත එක ගිය ටකරං දෙකක්  දෙපැත්තට කරන්න පුළුවන් කියල දැනගන්න ඇතුලෙන්  අතදාලා බලන වෙලාව වෙනකම්ම ඉන්න වෙච්ච එකට, ඔබාගන්න හිතුණා ඔලුව ටකරං වැටට එපිටින් ගලාගෙන ගිය අසුචි කාණුවේ. එළියේ අසුචි කාණුව  උනාට ඇතුලෙනේ තිබ්බේ ආතල් එක හරියට නයිට් ක්ලබ් එකක ඩිනර්  ඩාන්ස් එකක්  වගේ. ගන්න හිතුනෙම නෑ නා ඔලුව පස්සට සමිතය කලිසමෙන් අදිනකන් මාව ආපස්සට.

"කොහොමද ඇතුල ?"

"ආතල් බං " අම්ම මුත්තා කිව්වත් මං නෙවයි ගත්තේ ඔලුව පිටි පස්සට.

වැලි ඔරලෝසුවේ  වැලි ටික වැටිලා ඉවරවෙලා තිබ්බා, ඌ දැම්මා ඔලුව මගේ කකුල් දෙක අස්සෙන්. ඌ තවත් ඇතුලට රිංගද්දී හරියටම මං හිටියේ උගේ ඇඟ උඩ  හරියට  ගෙම්බෝ යුවලක් මෛතුණ සේවනයේ යෙදෙනවා වගේ. සංගීතේ අමතක උණා එහා පැත්තේ ගහට හේත්තු වෙලා හිටපු එවුන් දෙන්නා දෙන්නෙක්ද එකෙක්ද කියල වෙන් කරලා අඳුර ගන්න ගත්ත උත්සාහයේ හැටියට. බිම තිබ්බ තණ කොළ ගැලවිලා නටන උන්ගේ කකුල් සුදු පාට වෙලා, සමහර කකුල් කලිසම් සායවල් වලින් වැහිලා තිබුනට සමහර කකුල් දනිහෙන් උඩටත් වෙනකං පේන්න තිබ්බා ලස්සනට. චිත්‍ර පටියක් වගේ ඇතුලේ තිබ්බ විකාර වික බලන්න ඇස් දෙක ගෙම්බෙක්ගේ වගේ ඔලුව උඩ තිබුනනං හොදයි කියල හිතුනා අංශක තුන්සිය හැටම කරකවන්න පුළුවන් වෙන්න. හැබැයි අපිට ඔක්කොම පෙනුනේ එතන හිටගෙන හිටපු පොලිස් කාරයගෙ කකුල් දෙක අස්සෙන්.මොකුත් කරගන්න වෙලාවක් තිබුනේ නෑ නොසන්ඩාලයෙක්  නොහිතපු වෙලාවක මගේ පස්සට ගහපු පයින් පාරත් එක්ක. දෙන්නම ටකරං දෙක අතර සිදුර හරියට යෝනි මාර්ගයෙන් එලියට දරුවෙක් එනවා වගේ පළල් කරගෙන විසි වෙලා ගිහිං  හිර උනා පොලිස් කාරයගෙ කකුල් දෙක අස්සේ. සමිතයා පස් කාගෙන නතර උනා. මං හිතන්නේ පොලිස් කාරයා  කලිසම මිසක් යට ඇඳුමක් නං ඇඳලා හිටියේ නෑ, මොකද මගේ බෙල්ලට හරියටම දැනුනා උගේ වෘෂණ කෝෂ දෙක තද වෙනවා. ඌ  මරහඬ දුන්නේ හරියට හැත්තෑ එකේ අප්‍රේල් පස්  වෙනිදා වැල්ලවාය පොලිසියේ ඩියුටි හිටපු එකෙක් වගේ. ඊට පස්සේ විසිල් එක බිඹ ගෙන ගියා හරියට ටයිටැනික් එකේ රෝස් ඩෝසන් වගේ. හැමතැනම හිටපු පොලිස් කාරයෝ එකතුවෙනකොට එතනට මං ඌව තල්ලු කරගෙන ගියා අපේ තාත්ත මාව පොඩි කාලේ අරන්ගියා වගේ පස්ගුණයක විතර වේගෙන් ඉස්සරහට. නතර උනේ තවත් පොලිස් කාරයෙක්ගේ කකුල් දෙක අස්සේ, හැබැයි ඌ හිටියේ මගේ පැත්තට හැරිලා. එතැනට එකතු උන එවුන් ගාන ගණන් කරන්න සංක්‍යා ලේඛන දෙපාර්තුමේන්තුවෙන් හිටියත් බැරි වෙන බව නං ෂුවර්. මම අත ඇරියේ නෑ අලුතෙන් අහුවුණ කකුල් දෙක,  ඔලුව බේරගන්න ඕනි නිසා, මට තැලුවේ හරියට කොල්ලු තලනවා වගේ ගෝනියකට දාපු. මට මතක එච්චරයි.

"මේක ගහපං, ඊයේ කාපු කෑමට ඇඟත් රෙදෙනවා ඇතිනේ "

කිර්ති එනපොට මොකක්ද කියල තේරුනේ නෑ මටත් සමිතයටත්, ඌ එනකොට ගල් අරක්කු බෝතලෙකුයි, විදුරුවකුයි සෝඩා බෝතලේකුයි අරගෙන. ඒක ඌ මේසේ උඩ තියල ගියා විතරයි මොකුත් කිව්වේ නෑ ඊට අමතරව. අපි දෙන්න හලාගත්තා වීදුරුවට මාරුවෙන් මාරුවට බෝතල් දෙකෙන්, ඊට පස්සේ කටට. වෙලාව කීයද  කියල බලන්න උවමනාවක් තිබුනෙම නෑ අපි දෙන්නටම.

"මේ රෙද්ද උස්සන එකේ එපා වෙලා බං" කියාගෙන ආයෙත් සමිත උස්සල බැලුවා ජනේලේ රෙද්ද.

"ඒයි අර බලපං වීල් පාර්ක් එකම පොලිසියෙන් වටකරලා "

මාත් බැලුවා සමිතගේ කර උඩ නැගල. කහපාට කලුපාට ඉරි තියෙන පොලිතීන් පටි වලින් වට කරා වීල් දහයක් විතර තිබ්බ පාර්ක් එකම. ඩිංගි පාල, හිචබු වගේම පාර්ක් එකේ හිටපු හැමෝම බලාගෙන හිටියේ කිසිදෙයක් හිතාගන්න බැරුව. පොලිසියෙන් දෙන්නෙක් ගියේ ඊට පිටි පස්සේ තියෙන මානං කැලාව පිරගෙන, ඊට පස්සේ තව කිහිප දෙනෙක්. දුරේක්ෂ අන්වීක්ෂ නොතිබුනාට අපි දෙන්නම දැක්කා එතන තිබුණේ ප්‍රියන්තගේ මිනිය කියල. වීල් දොළහකට අවසර තිබුණ පාර්ක්  එකේ තිබ්බේ කිර්තිගේ වීල් නමේකුයි සමිතගෙයි මගෙයි දෙකයි ප්‍රියන්තගේ වීල් එකයි. කිර්තිගේ තේ කඩේ මෙතන තිබුනට බිස්නස් නැගල ගියේ ටවුමේ තිබ්බ රෙස්ටුරන්ට් එකේ. හයර් දිව්වේ අපි තුන්දෙනා විතරක් උනාට අනිත් වුන්ට තිබ්බේ හෝටලේට එන සුද්දොන්ට බඩු සප්ලයි කරන එකයි උන් එක්ක බුදිය ගන්න එකයි විතරයි. බඩු  කිව්වට බඩු ජාති තුනක් තිබ්බා, එකක් පොඩි පැකට් වල, අනිත් එක කේරලෙන්, තුන්වෙනි එක පණ පිටිං . කිර්ති කිසි දෙයක් නොදන්න එකා වගේ සරමකුයි බැනියමකුයි ගහගෙන සෙරෙප්පු දෙකකුත් නැතුව තේ හදනවා, උගේ බෑනා රෙස්ටුරන්ට් එකේ බිස්නස් එක රන් කරනවා.

කිර්තියගේ රෙස්ටුරන්ට් එකට පොලිසියෙන් පැන්නේ අපේ ඔත්තුවකට කියල තමයි ඌ හිතාගෙන හිටියේ. කුඩු කිලෝ තුන අහුවුණේ බෑනාගේ කාමරේ නිසා ඌට යන්න උණා අවුරුදු පහකට හිරේ, හැබැයි පත්තරේට විතරයි. යස අගේට මිනිහ ඉන්නවා මැනේජර් පුටුවේ වාඩි වෙලා මාස දෙකකින්  ඇපීල් කරාට පස්සේ.

තරු ගොඩක් ගහපු එකා කීර්තියට සැලියුට් එක නොගැහුව්වා විතරයි නැමුනා හරියට හතරට කපපු හබරල දණ්ඩ ගොඩින් තිබ්බා වගේ. ඒත් පුදුමේ කියන්නේ කිර්තිට බැනගෙන ගිය උගේ ලොක්කා  දාගත්තා කිර්තිව  ජිප් එක‍ට, නොතාරිස් නෝනා දොස්තරත් එක්ක මිනිය බලන වෙලාවෙම. අපි දෙන්නට හිතුනා රාජා මුදලාලිගෙන් ගුලියක් කෑවද කියලත් එක වෙලාවකට. මං සෝඩා බෝතලෙන් ටිකක් අතට දාගෙන ඇස් දෙක පිහදගෙන බැලුවා මේ හීනයක්ද කියලත්, ඒත් වෙනසක් වුණේ නෑ මෙතකන්, ඉස්සරහට කොහොම උනත්. තව පොලිස් කාරයෝ දෙන්නෙක් එනවා දැක්කා අපි ඉන්න පැත්තට, මට දැනුනා සමිතයගේ වම් කෝෂිකාව මගේ වම් කෝෂිකාවේ වදිනවා කියල. ඕනි ටොෆියක්  කියල අපි දෙන්න හලාගත්තා තව දෙකක් බෝතලේ ඉවර වෙන්නම.

"ටක් ටක් "

"ඇරලා තියෙන දොරේ පියනට තට්ටු කරන්න මුන්ගේ මුළු  ඇඟේම මොළේ තියෙන්න ඕනි"  කියල මට  හිතුණා, ඒත් සමිතයට චු ගියා.

දොරට තට්ටු කරන්න තිබ්බ සීලාචාරකම උන්ගේ  වැඩ වල නැති බව මං  කොහොමටත් දැනගෙන හිටියේ. උන් ආවා විතරයි මොකුත් ඇහැව්වේ නෑ  දැම්මා අපි දෙන්නගේ අත් දෙක එකට තියලා මාංචු. සමිතයගේ සරම කඩාගෙන වැටුණා, මාත් පාත් උණා ඌට සරම ඇද ගන්න. මං දැක්කා කුඩල්ලා වගේ පහලට කඩා වැටිච්ච උගේ බිජ්ජෙන් හුජ්ජ බිංදුවක් එල්ලෙනවා හරියට කිලිනොච්චියේ සරණාගත කඳවුරක අම්මෙක්ගේ තනේකින් කිරි බිංදුවක් එල්ලෙනවා  වගේ.

"නැගපියව් කපයෝ ගිහිල්ල ජිප් එකට, ඉන්නවා මෙතන මොකුත් දන්නෑ වගේ"

මගේ පුකට කහපු පයින් පාරට සමිතයට කරගන්න දෙයක් තිබුණේ නෑ මාත් එක්ක ඇදිල යනවා මිසක්. ඒත මං දැක්කා අපි දෙන්නා නිඳා ගෙන හිටපු ඇඳේ මෙට්ටේ යටින් ලේ බේරුණු පිහියක් ඇදල අරගෙන පොලිතින් උරේක දාගන්නවා.

අපි ගියා ජීප් එක ලඟට, වටේට මිනිස්සු ඉන්නවා හරියට මාරක ළිඳ බයිසිකල් පදිනවා බලන්න  වහේ.  කිර්තියත් ඉන්නවා ජීප් එකේ , ඒකයි තියෙන ආතල් එක. ඒත් අපේ ආතල් මොහොතකට, ඌ ගියා බැහැල අපිට නොන්ඩි හිනාවක්  දාලා.

තරු ගහපු එකා කිව්වා

"හරි සර්"කියලා.

මට ඇහැරෙනකොට දුන්යා ඇඳේ හිටියේ නෑ, ඉක්මනට ඇඳෙන් පැනල ගිහිං බැලුවා ජනෙල් වීදුරුවේ ලේ පාර තාම තියෙනවද කියල, දුන්යා එන්න ඉස්සෙල්ල හෝදලා දාන්න. මං  තල්ලු කරන ජනෙල් පියන ඇරගෙන බැල්කනියට ගිහිං බැලුවා එලිය පැත්තෙන්, ඒත් මොන ලකුණක් වත් පේන්න තිබුනේ නෑ, අඩුමගානේ අඩි  පාරක්වත්. මම බැල්කනියෙන් එළිය බැලුවේ වීල් පාර්ක් එක දිහා ප්‍රියන්තගේ මිනිය අරන් ගිහිල්ලද බලන්න.

ඒත් තට්ටු හතක් විතර උඩ ඉඳන් මට පෙනුනා මගේ සුදු පාට කාර් එක පහළ පාර්ක් එකේ නතර කරලා තිබුණා. දුන්යා ඒ ලඟම නවත්තලා තිබ්බ එයාගේ කාර් එකට නගිනකන් මම බලාගෙන හිටියා. එයා ටිකක් ඈතින් මෙට්‍රෝ දුම්රිය පාරට යටින් ගිහිං  ලේන් හයක් විතර එක පැත්තට දුවන හයි වේ එකට වාහනය දාලා තවත් වාහන ගොඩක් මැද නොපෙනී ගියා. කොතනකවත් ත්‍රී වීල් නතර කරලා තියෙනවා වත් පාරේ දුවනවා වත්  මං  දැක්කේ නෑ.

මට මතක් උනා "උඹ බය වෙන්නේ නැතුව හිටපං මං උඹට ගහල දෙන්නං exit එක, ලක්ෂෙකට " කියල ඌ කියපු එක.

ඌ කව්ද කියල උඹ දන්නවනේ? ..


- ජානක ගුණතිලක


Saturday, October 18, 2014

හරි පුදුම ඉස්කෝලෙ




ලංකාවෙ අපි හිටිය
ගේ වටට ඉස්කෝලෙ
ඒත් අපෙ පොඩි පුතුට
ඉඩ තිබුනෙ නෑ එකක

ඉපදිලා පස් වසර
ගෙවුනෙ රටවල් දෙකක
පදින්චියෙ තහවුරැව
පෙන්නන්නෙ මොන බිලද?......


ටෝකියොවට ඇවිත්
ගෙවුනෙ නෑ සිව් මසක්
පොඩි එකා දැන්  ඉන්නෙ
ගේ මුලම ඉස්කෝලෙ


යාන වාහන වලින්
එන්න බෑ පාසලට
ඉතින් කවුරැත් ඉන්නෙ
පයින් ඇවිදින දුරක

TERM TEST ඇගයීම්
නිළ ඇදුම් මොකුත් නැති
සොබා දහමට බැදුන
හරි පුදුම ඉස්කෝලෙ...

ගෙවුන සති අග යෙදුනා
වසරෙ ක්‍රීඩා උළෙල
ඇරඹුමයි නැවතුමයි
තත්පරේටම තිබුනා...

අර ලොක්කා මේ ලොක්කා
කාටවත් නෑ අසුන්
ඉදගන්න ඉඩ තිබුනෙ
ගැබිනි, වියපත් අයට....

පාට පාටින් මහපු
ඇදුම් පැළදුම් නැතුව
මේ ලෝකෙ මම දැකපු
සරල සුන්දර උළෙල....

නිල් පාට SHORT එක
සුදුයි T SHIRT එක
පිටින් රතු නොපිට සුදු
තොප්පියකි හැමොටම....

රතුපාට අකා ගුමි
සුදුපාට ශිරො ගුමි
නිවාසාන්තර උළෙලෙ
ඔය නමින් හවුස් දෙක....

රතුපාට තොප්පියම
නොපිට හරවලා දාපු
ශිරො ගුමි පැටව් ටික
සුදු පුලුන් වගෙ දුරට

ප්‍රාථමික පාසලේ
හයේ පන්තියයි ලොකු
දෙසිය දෙක හෝ හතර
පන්තියක උපරිමය....

50m දිව්වා
එක වසරෙ බට්ටො ටික
එක පෙලට හය දෙනයි
තුන ගානෙ නිවාසෙට...

නිවාසය දිනවන්න
වෙර යොදා වර නැගු
පොඩි එවුන් සිහිකලා
මට මගේ බාලවිය

දෙසිය දෙදෙනෙක් දුවපු
මහා ධාවන තරගෙ
නිමවෙන්න ඇත්තටම
ගියෙ නෑනෙ අඩ පැයක්

ළමයි තෝරන තරග
තියෙන අපෙ මව්බිමේ
කල්පයක් ගියත් තව
කොහෙද පිලිවෙල මෙහෙම...

අඩ පැයට මදක් වැඩි
විවේකය මද්දහනෙ
එලා පැදුරක් මිදුලෙ
කෑවා බත් ගුලි එක්ව

විදුහලේ ප්‍රධානියා
කියලා වෙනසක් නැතුව
ඔහු ඇතුළු ගුරැවරැත්
ඇන්දෙ නිල් සුදු ඇදුම....

එකා පිට එකා නැගි
ජිම්නාස්ටික් සරඹ
වැටෙන අය අල්ලන්නෙ
අනේ අර ප්‍රින්සිපල්.....

කුසලානෙ පිරිනමා
උත්සවය නිමාවිය
පොඩි එකෙක් කල පසුව
ස්තූති කතාවක්...

තෑගි ලැබුනේ පසුව
හැමෝටම පන්තියෙදි
පාසලේ නම රැදුන
යතුරැ ඇමුණුමකි එය...

උත්සවය පුරාවට
මගෙ මතක අවදි කල
ටොට්ටො චන්ගේ පුටුවෙ
අද ඉන්නෙ මගෙ පුතා....

-සඳමාලි සකුන්තලා 

Friday, October 10, 2014

සිහිනය





වැරදුනා ඉලක්කය දෙවරක්ම
සැගෙව්වා තුවක්කුව පොළව යට
පැලවෙන්න දළු දමා ඵල බරව

සිටියේය සිහිනයක ඉන් පසුව
නෙලන්නට  ගල් කටස් පිස්තෝල
තබන්නට එක පෙලට වෙඩි උණ්ඩ

වීදි වල උන් එවුන් හැංගිලා
කඩ වීදි භීතියෙන් ඇලලිලා
ගෙවල් වල  ඉටිපහන් ගොස් නිවී

වල් වැදී සරු කෙතම වැනසිලා
දිය කඩිති සිඳී ගොස් වියලිලා
සතර දිග විනාශව ඉරිතලා
අත වැනුව සා ගින්න මරබියෙන්

ගත වුනත් කාලයක් ඉන් පසුව
දැමුවත් සරු පොහොර නිරතුරුව
තෙත් කලත් මහ පොලව අනතුරුව
මතු නොවින කිසි දිනෙක අංකුරය

හෑරුවා යලි  පොලව වෙෙරයෙන් 
ගොඩ ගන්න තුවක්කුව ඒ වලෙන්
මල බැඳී විනාශව පස් ගොඩෙන්
මතු උනා අවශේෂ කුණු වලෙන්

- ජානක ගුණතිලක

Friday, October 3, 2014

සිතාසි ( කෙටි කතාව 10 )








කුඩා විසිත්ත කාමරයේ වූ රුපවාහිනී යන්ත්‍රය තුලට වී චිත්‍ර පට වල රඟපාන නළු නිළියන්ද සින්දු කියන ගායක ගයිකාවන්ද ප්‍රවෘති ඉදිරිපත් කරන නිවේදක නිවේදිකාවන් ද දැනට  මාස ගණනකින් කිසිදු හඬක් නොනගා සිසිර තාරක නින්දකට වැටී ඇති සෙයකි. එහි තිබු එකම මේසය මත සති අන්ත පුවත් පත්, මාසික සඟරා මෙන්ම, හිස් වූ පලතුරු බිම බෝතල්, ටොනික් කෑන් ලට්ට ලොට්ට අතර  අර්ධයක් හිස් වූ  වොඩ්කා බෝතලයක් ද විය. මේසය යට හිස් වූ විස්කි, බ්‍රැන්ඩි, වොඩ්කා ආදී බෝතල් ද සෝඩා කෑන වලින්ද බිම දුවිලි තට්ටුවකින් ආවරණය වීම වලක්වා තිබිණ.

සෝපා සෙටියේ ඒ මේ අත දඟලමින් පැය දෙකක් පමණ නිදා ගැනීමට උත්සහ කළද  ඔහුට එය කිසිදු අර්ථයක් නොමැති ක්‍රියාවක් බව වැටහිණ. වායු සමීකරණ යන්ත්‍රය පැය විසිහතර පුරාම ක්‍රියාත්මක වූවද ඔහුගේ මුළු ශරීරයම දහඩියෙන් තෙත් වී තිබිණ. විසිත්ත කාමරයට යාබද නිදන කාමරයේ තිබු ඇඳෙහි අවසන් වරට ඔහු නිදා ගත් දවසක් ඔහුගේ මතකයට එන්නේ නැත. දෑස වසා ගත් කල හිසට කුළුගෙඩි පහරවල් එල්ල කරන්නාක් මෙන් තමන්ට වද දෙන්නේ තමාගේම සිතුවිලි දැයි ඔහුට වැටහෙන්නේ නැත. විටින් විට   තම සිඟිති දියණිය සුදෝ සුදු වලා කුළු අතරින් පාවී විත් ඔහු හා දොඩමලු වන සුන්දර දසුනකින් ඝන අන්ධකාරය ඒකාලෝක වන්නා සේ හිතට මහත් සැනසිලි දායක හැඟීමක් ඇතිවේ. ගෙවුණු වසරක පමණ කාලය එම සුන්දර සිහිනය සමග පණ අදිමින් තිබෙන තම ආත්මය කුමක් හෝ අරමුණක් වෙත දිනෙන් දින ඉදිරියට රැගෙන පැමිණියද එයට  තව දුරටත් ඉදිරියට ගමන් කිරීමට තරම් ප්‍රමාණවත් ජවයක් නොමැති තරම්ය.

"ඇස් දෙක ඇරලා කියපිය බැල්ලිගෙ පුතෝ තෝ මෙතනට ආවේ ඇයි කියල"

කන හරහා වැදුණු පහරින් පසුව තත්පර කිහිපයක් ඉදිරිපස බිත්තියේ එල්ලා තිබු ඔරලෝසුවේ කටු වාමාවර්ථව වට කිහිපයක් කැරකී නතර විය.

ඔහුගේ වයස අවුරුදු හතලිස් දෙකද, දාසයද යන්න ඔහුට සිතාගත නොහැකි විය.

ඔහු දෑස විවර කළේය, වේලාව දහවල්  එකොළහ පමණ වුවද ඔහුට කාලය හෝ වේලාව පිලිබඳ හැඟීමක් නොවිය. පෙර දින රාත්‍රියේ  සිටම දැල්වෙමින් තිබු විදුලි බුබුල තවමත් ඒ ආකාරයෙන්ම දැල්වී තිබීම ඔහුට යම් ආත්ම විශ්වාසයක් ඇති කර ගැනීමට තරම් ප්‍රමාණවත් විය. ඉතා අපහසුවෙන් සොපාවේ ඇන්දට වාරු වී සිට ගත්තේය. ඔහු ඇඳ සිටි කොට කලිසම ගලවා දමා එය මතම සිට ගත්තේය. තම ආත්මය තමා හැර දා ගොසින් හෝ තම ආත්මය බවට තමා හඳුනා ගත් සත්‍ය එය නොවේ හෝ යන හැඟීමක් ඔහුට ඇතිවිය. තමා යනු අනෙකුන්ගේ හැඟීම් වලින් පෝෂණය වන්නෙකු බවත් ඔවුන් වෙනුවෙන් තමා ජිවත් වන්නේය යන අතාත්වික සිතුවිල්ල තුල තමා මං මුලා වුයේ යයි ඔහුට සිතිණ. තමාගේ නිරුවත වසා ගෙන සිටින්නේ තමා වෙනුවෙන් නොවන බවත් අනුන් වෙනුවෙන් බවත්, අනෙකෙකු නොමැති විට තමා විලි වසා ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද , සිරුරෙහි කිසිදු වටිනාකමක් නොමැති බව ඔහුට සිතිණ.

"කෝ මගේ ආත්මය ? ",

"මට කවුරුත් නෑ, මට කවුරුත් නෑ, මට මොකුත් හිතෙන්නෑ, මට තියෙන්නේ ශරීරයක් විතරයි, මට මොකුත් හිතෙන්නේ නෑ, මට මොකුත් හිතෙන්නෑ "

එසේ මුමුණමින් ඔලුව එකදිගට කිහිප විටක් බිත්තියේ ඇන  ගත්තේය. ටික වේලාවකින් බිතියට කම්මුල තබාගෙන කුඩා දරුවෙකු සේ ඉකිබිඳින්නට විය.

"සර් මේකා  ? "

"නම ?"

"විනුර නවරත්න "

"ඕකා මරන්න  මොකටද හු..තෝ බුලට් එකක් නාස්ති කරන්නේ....? මේ නැට්ටට කිරි උනපු නැති එකෙකුට,  ගහපිය පුකට පයින් පාලං ගැට්ටක තියල, මගෙන් තවත් අහගන්නේ නැතුව  "

ඇයගේ නම රේණුකා  මලිතා විජේසේකර  නම් විය. අස්වනු නෙළන කාලයට ලුණු, මිරිස් කුණු කොල්ලයට විකිනීමට සිදුවූ ගොවියන්ගේ අදෝනාව සිත පතුලටම  කා වද්දාගත් ඔහුට ආදරේ පහස දැනෙන්නට විය. කිරි වැදුණු ගොයම් පිදුණු බඩ ඉරිඟු , රතුපාටින් ඉඳුණු මිරිස් යායවල් වලින් ද නිල දිය කඳින් ඉතිරී  ගලන වැව්  අමුණු  තම සිත කුල්මත් කළ යුගය ඔහුට සිහිපත් විය. අර්ධයක් හිස් වූ වොඩ්කා බෝතලයෙන් මිලි ලීටර් හතළිහක් පමණ වීදුරුවට වත් කර ගෙන  ශීතකරණය විවෘත වෙත යාමට තිබු අකමැත්ත හේතුවෙන්ම එය කටට  හලා  ගත්තේය. එවන් සිතුවිල්ලක සිටි ඔහුට  ඇය මුණ ගැසෙන්නේ උසස් පෙළ අධ්‍යාපණය නැවත ආරම්භ කල යුතු බවට  දෙමාපිය නෑදෑයන්ගේ වාග් සංග්‍රාමයක ප්‍රතිපලයක් ලෙසය.

එදවස තමන්ට සිදු වුයේ කුමක්දැයි තේරුම්ගත නොහැකිව සිටින විට, තමා උන්මත්තකයෙකු ලෙස තම හිතවතුන් හංවඩු ගසන විට තමා කල කී දෑ  ගැන දෙගිඩියාවක් නොමැතිව, තම යුතු කම් කොටස ඉටු කිරීමට ගත්  උත්සාහය පිළිබඳව ඔහු අත්මාභිමානයෙන් යුක්තව සියල්ල විඳ  දරා ගත්තේය.

"දාගනින් ඔය රෙදි ටික බෑග්  එකට" කියා ඇඳ  මත ගොඩ ගසා තිබු රෙදි ගොඩ  ඔහුට පෙන්වුයේ ඔහුගේම වැඩිමහල් සහෝදරියයි.

එක පෙලට නිරුවතින් පෙළ ගැසී දිනකට ලැබෙන එකම කෑම වේලට පෝලිං ගැසී සිටින විට එකෙකු ඉදිරිපසින්  පැමිණ යටි බඩට යකඩ සපත්තු පහරක් එල්ල කර  බිම ඇද වැටුණු පසු තවකෙකු  තුවක්කු බඳෙන් නාලි  දණ්ඩට පහරදුන් විට දැනෙන වේදනාව දරා ගත්  ඔහුට තම හිතෛෂීන්ගේ  වාග් ප්‍රහාර වලදී ඔවුන් පිලිබඳ අනුකම්පාවක් පමණක් ඇති වුනේය. සියල්ල පාවාදුන් පරිසරයක් තම සමාජ කාර්ය භාරය පිළිබඳව මෙන්ම තම අනාගතය පිළිබඳව ද  ඔහුට විශාල ප්‍රශ්නාර්ථයක් ඉතිරි වී තිබුණේය.

පොලවට සමතලා කර තිබු රේල් පිල්ල මත තවදුරටත් ටොන් ගණනක් බරැති රේල්ලුව ඔහුගේ බරද ඔහුගේ සහෝදරියගේ බරද , තවත් සියගනනකගේ බරද පටවාගෙන ඉදිරියට ගමන් කළේය. එකට සමබන්ධ  කර තිබු වානේ රෝද යුගලක් පසු කර යත්ම රේල් පිල්ල ඉහලට එසවීමට තැත් කළේය,නමුත් සිල්බර කොටයට සම්බන්ද කළ  දැවැන්ත ඇණ එයට ඉඩ නොදුන්නේය. මොහොතකින් තවත් ටොන් ගණනක් බරැති රෝද යුගලක් රේල් පිල්ල සිල්බර කොටයට තබා අප්‍රාණ  කරන විට "ටකස්, ටකස්" ලෙස කෙඳුරුම් හඬක් පමණක් නිකුත් විය.

නානු ඔය දුම්රිය නැවතුම් පොලින් එලියට පැමිණෙන  විට ඔහුගේ අවුරුදු විසි පහක් පමණ වූ සහෝදරියගේ මිතුරියත් අවුරුදු පහළොවක් පමණ වූ ඇයගේ සොහොයුරියත් ඔවුන් පිළිගැනීමට එහි පැමිණ සිටියෝය. කුඩා පාත්ති ලෙස සකස් කර තිබු කඳු කර ඉඩම් වල කළු පස්ද ගොම ද ඇඟ පුර තවරාගත් පිරිමින් සහ ගැහැණුන්   වැසි පිනි නොතකා තම ගොවිතැන් වැඩ කටයුතුවල නිරත වන අයුරු බස් රථයේ ජනේලයෙන් ඔහු බලාගෙන සිටියේය. කුඩයක් හෝ ඉටි රෙදි කැබල්ලක් යටට වී සිටින කුඩා දරුවන් ඇතැම් ගොවි බිමක ලතෝනි දුන්හ, තවත් තැනෙක සුව නින්දේ පසු වුහ. ගෝවා කැරට් බිට් රූට් ආදී එළවලු රැගෙන යාමට පැමිණි අතරමැදියන්ගේ වාහනද පිරිසිදු ඇඳුමින් සැරසී රන් මාලයක් කරේ දමාගෙන කමිසයේ ඉහල පොත්තම් දෙක ගලවා පපුවේ රෝම කුප නිරාවරණය කරගෙන සිටි ව්‍යාපාරිකයන්ද අස්වන නෙලන ගොවිබිම් වලට ආසන්නයේ දුම් වැටියක් උරමින් කල්මරූහ.බස් රථ දෙකක ගමන් ගෙන පැයකට පමණ පසු ඔවුහු ගමනාත්තයට ළඟ වුහ.

"මුව දැන් ගමේ තියාගන්න කොහොමටත්  බෑ"

"ඒ ගැන බය වෙන්න එපා අපේ තාත්තා මල්ලිව ඉස්කෝලෙට එක්කරගෙන යයි "

වසර දෙකකට පසුව ආරම්භ කිරීමට යන පාසල් ගමන හෝ අනාගතය පිළිබද ඔහුගේ සිතේ කිසිදු හැඟීමක් ඇති නොවිය. සියල්ල සිදු වී අවසන් වුවා සේ ඔහුට ලබා දුන් කාමරයේ ඇඳ  මතට රෙදි බෑගය විසිකර අසල තිබු මේසයට තබා තිබු ලි පුටුවට වී ජනේලයෙන් කිලෝමීටර් ගණනාවක් ඉදිරියෙන් ඇති කඳු වැටිය දෙස බලාගෙන ඔහු දින කිහිපයක් ගත කරන්නට ඇත. එයට එල්ල වූ විශාලම බාධාව වුයේ පාසල් ගමනය.

දිනක් තේ කෝප්පයක් රැගෙන කාමරයට පැමිණි මලිති

"අය්යා ඇයි හිරේ ගියේ? " කියා ඇසුවාය.

"මේ ලෝකේ මිනිසුන්ට ආදරය කරපු නිසා "

"ආදරේ කරනවට මිනිස්සුන්ව හිරේ දානවද?'

"ඒවා වැඩක් නෑ, මලිති මොනාද ලෝකේ ගැන දන්නේ? ලබන අවුරුද්දේ විභාගේ කරන්න නේද ඉන්නේ? ගිහිල්ල පොතක් බලා ගන්න"

"ඔව් ඉතින් විභාගෙට ලියන්න ලෝකේ ගැන දැන ගන්න එපැයි"

"ඔය දන්නා හරිය ඇති"

"ඇයි කියල දෙන්න අකමැතිද?"

සරල රේඛාවක් ඇඳ එහි අතීතය වර්තමානය සහ අනාගතය ලෙස සලකුණු කල හැකිය, අතීත සිද්දීන් මත වර්තමානය ගොඩනැන්වී ඇති බවද අවබෝධ කරගත හැකිය, එහෙත් වර්තමානයේ අහඹු සිදු වීමක අනාගත  ප්‍රතිඵලය බලාගැනීමට කාලයන්ත්‍රයක්  නොතිබීම කොතරම් අභාග්‍යයක්දැයි ඔහුට සිතුනු වාර අනන්තය.

අතේ  තිබු හිස් වූ වීදුරුව කුඩු වී යන්නන්ට සිමෙන්ති පොලවේ ගැසීය.

විදුලු බුබුලෙන්ද, ජනේලයෙන් ද  වැටෙන ආලෝකයෙන් කාමරය පුරා  විසිවූ විදුරු කැබලි දිලිසෙන්නට විය, එම පරාවර්තිත ආලෝක කිරණ තැන තැන ආලෝක ලප ඇති කළේය. එම ආලෝකය  දෑස්මත නලියන්නට වූයෙන් ඉවසා ගත නොහී නග්න දෙපයින් විදුරු කැබලි මේසය යටට තල්ලු කරන්නට පටං ගත්තේය.නැවතත් සෝපාවට පැමිණෙන විට රත්ලේ පා සටහන් ඔහු ආ මග ලකුණු කර තිබුණි.

ගිනි අවි බෙදා හැරීම ඔහුට භාරය තිබු රාජකාරිය විය. පාසල් සිසුවෙකු වූ ඔහු සැකයට භාජනය නොවී බොහෝ ආරක්ෂක දැල් වලින් පහසුවෙන් රිංගා යාම ඔහු පිලිබඳ විශ්වාසය ඉහල නැංවීමට හේතු විය.

"චටස් කරස්....
කර කරස් චට චටස්"

ඔහුගේ අතැඟිලි ඉසියුම් ලෙස රිවෝල්වරයෙ උණ්ඩ බැරලය මුදන්නටත් යලි කරකවා පද්දා ස්ථානගත කරන්නටත් ඇසිපියලන වේගයකින් ආරක්ෂක උගුල මුදන්නටත් සමත් වූයේ කෑලි කපන අඳුරේ දී ය. 

ඝන  අන්ධකාරයේ එකල භාවිත වූ ඕනෑම ගිනි අවියක් කොටස් වලට ගැලවීමටත් නැවත එකලස් කිරීමටත් තිබු හැකියාව බොහෝ දෙනෙක් විමතියට පත් කිරීමට සමත් විය. එකම ඇඳුම දින ගණනක් ඇඳ සිටීමට පුරුදු වී සිටි ඔහු උදැසනක විවේකයක් ලැබුණු විට අයුධ ගබඩා කර තිබු ගල් ගුහාව සමීපයෙන් ගලා බසින දිය පහරින් ඇදුම් සියල්ල සෝදා ගල් තලාවේ වේලෙන්නට දමා ඒමත නිර්වස්ත්‍රව නිදා සිටි අයුරු ඔහුට සිහිපත් විය.

"ඇයි  අය්යේ ඔය එකම ඇඳුම දවස් ගානක් අඳින්නේ?"

"පුරුද්දට "

"ගලවලා දෙන්න ඔය ටී ෂර්ට් එක මම හෝදලා දෙන්නම් "

"ඕනි නෑ මං හෝද ගන්නං"

"දෙන්න අනේ ආඩම්බර නොවී, අම්මලත් ගෙදර නෑ දැන්"

ඇය ඔහුගේ බඳ වටා ඇත දෙක යවා ඇඳ  සිටි ඇඳුම ගලවන්නට උත්සහ කළේය, ඇයගේ පියයුරු යුගල ඇඳ  සිටි දුහුල් ගවුමේ  කොටට කපා තිබු කරෙන් ඔහුට දර්ශනය විය, තන පටක්  ඇඳ නොසිටි ඇයගේ තනපුඩු දුහුල් ගවුම පසාරු කරගෙන ඔහුගේ නිරුවත් උදරයේ ස්පර්ශ වන්නට  විය. ඇයගේ තට්ටම් යුගල දෑතින් මිරිකා ඇයව තම ශරීරයට තබා ඔහු තද කර ගත්තේය.

ඔහු ඇයට  ලෝකය ගැන කියා දීම ආරම්භ කළේය, නමුත් වසරක් ගතවන විට ඇය ඔහුට ලෝකය වසන් කර තැබීමට සමත් වුවාය. මස් වැදැල්ලක් මස් වැදැල්ලක සපර්ෂ වීමෙන් මිනිසෙකුගේ ලෝකාර්ථය  මෙතරම් විපර්යාසයකට ලක්වේයැයි ඔහුට සිතා ගැනීමට අපහසුය. ලෝකයට ආදරය කිරීම අවසානයේ ඇයගේ ආදරයෙන් කෙලවර වීම දක්වා වසර දෙකක චාරිකාව අද ඔහුට විලම්භිතයකි.

"සර් අර බෝයගනේ ව්‍යපෘතිතේ පරිසර අධ්‍යන වාර්තාව එවල තියෙනවා, ඒකට සර්ගේ කමෙන්ට් එක දාන්න කියල අමාත්‍යංශ ලේකම් සර්ට වෙනමම ලියුමක් එවල තියෙනවා"

කාමරයට පැමිණි සේවකයා ලියුමක් දිගු කරමින් පැවසිය. බිම තිබු කොට කලිසම ඇඳ ගැනීමට තරම් වෙලාවක් නොතිබූනද යන්තම් විලි වසා ගැනීමට තිබු වේලාව ප්‍රමාණවත් විය. ඔහු කිසිවක් නොපැවසීය.

"සර්ට සිතාසියක් තියෙනවා සර්, එළියේ රාළහාමි කෙනෙක් ඉන්නවා, මම කිව්වා සර් ඉන්නවද බලල එන්නම් කියල, මොනාද කියන්නේ සර්?"

"ඉතිං එන්න කියනවා "

"සර් මේක ඇඳ ගන්න"

"හරි හරි අරූට එන්න කියනවා"

බිත්තිය ගිගේ ගමන් කරමින් සිටින කුහුඹුවෝ  එකිනෙකා පසු පස ගමන් කලෝය. ඔවුන් දෙපසට වන ලෙස මැදින් ඇඟිල්ලෙන් ඔහු මනකංකල්පිත රේඛාවක් බිත්තියේ සලකුණු කළ විට කුහුඹුවන්ගේ සී සී කඩ විසිර ගියේය.

"ඕක කියවනවා බලන්න"

"සර් මේක රේණුකා මලිතා විජේසේකර කියල කෙනෙක් දාපු නඩුවකට"

"පට්ට බැල්ලි, ඕකිට ඕනි වෙලා තිබ්බේ ඕක විතරයි, යකෝ ඕක දික්කසාදෙට දාපු නඩුව"

සේවකයා එදෙස මද වෙලාවක් බලාගෙන සිටියේය.

"සර්, සර්, එපා, සර් එපාාාා.................................,"


- ජානක ගුණතිලක