Saturday, June 6, 2020

නැති වුණු ආදරයක්



නැති වුණු ආදරයක් වෙනුවෙන් -  හෙලන සුසුම් අන් හදක වැදී
පෑරුනු හදවත් එකිනෙක අමතා - කියන කතාවයි මේ

සුදෝ ........... මම ආදරෙයි -  සුදෝ මම ආදරෙයි

සිතින් පලා ගිය එක් ආදරයක් - දිහා කඳුලු පිරි නෙතින් බලා 
ඉන්නා අතරේ තව ආදරයක් - වෙත හදවත් දොර විවර කළා
සුදෝ............ මම ආදරෙයි සුදෝ මම ආදරෙයි

ආයෙත් නොලැබෙන ආයෙත් නොඑනා ඒ ආදරයට ඉඩ දෙම්දෝ
පාලු හදවතට සෙනෙහස පුදනා මේ ආදරයට ඉඩ දෙම්දෝ
සුදෝ .......... මම ආදරෙයි සුදෝ මම ආදරෙයි

සෙනෙහස ඉතිරුනු ‌ ඒ ආදරයයි සෙනෙහස අයදින මේ ආදරයයි
කොහොම කෙළෙස තුරුලට ගම්දෝ
ඔබට මම ආදරෙයි

ඔබටත් ආදරෙයි

ඔබට මම ආදරෙයි

මුල් ගායනය: සුජාතා අත්තනායක
තනුව: ලයනල් අල්ගම
පද: ගාමිනිි ෆොන්සේකා
චිත්‍රපටය: මයුරිගෙ කතාව

මේ ගායනය: ඩෝසන් ප්‍රීති

වීදුරු - කෙටි කතාව 13



පසළොස්වක ගෙවිල දවස් තුනක් වුන නිසා හඳ එළිය ඉස්සරහ කන්දේ ගස් අතරින් රිංගනකොට රෑ  දහය විතර වෙලා තිබුනා. මෙච්චර වෙලා උඩු බැලි අතට හාන්සි වෙලා අහසේ තරු ගණන් කරපු මට  තේරුණේ පොඩියට පත්තු වෙමින් තිබුණු තරු එක පාරම නොපෙනී යනව කියල . අඩි  දහයක් විතර උස කණු හතරක ආධාරයෙන් හදල තිබුණු ඒ අට්ටාලයට ගමේ මිනිස්සු කිව්වේ බංකරය කියල. බංකරය ගෝනි පඩංගු වලින් හතර පැත්ත ආවරණය කරලා තිබ්බට තුන් පැත්තකින්ම කවුළු තිබුනා එලියට ඔලුව දාන්න පුළුවන් තරමෙ. ඒ එක්කම හඳ එළිය  බංකරයට ඔලුව දැම්මේ වහලේ එල්ලලා තිබුණු ලන්තරුමේ එළියත් අඩු කරගෙන. තවමත් මීදුම කඳු වලට පහලින් නිම්නයෙන් ගලා  යන උමා ඔයත්, දෙපස වෙල්යායත් විතරක් වහගෙන තිබුණ. අර්තාපල් යායේ සුදු පාට මල්  අහසේ තරු අතුරල තියෙනවා වගේ ලස්සනට බැබලුනේ පොඩි කාලේ කියවපු කතන්දර පොත් වල තිබබ මල්වැටුණු කෙළවරක් නොපෙනෙන සේලයක් වගේ. කඳු පාමුල ඉදල මිදුම ගලාගෙන ඇවිල්ල මේ සෙලයේ  බාගයක් වහගන්නකොට මම  කවුළුවෙන් එලියට ඇවිදගෙන ගියේ වලාකුළු අතරින් මිදුම් කැටි දියවෙන තරමේ ඝර්ශනයක්වත් ඇති නොවෙන විදිහට. දෙපසින් දුහුල් රෙදි  වලින්  නිරුවත අඩක්  වසාගත් ඇත්දළ පැහැති චවි කල්‍යානියෙන් යුත් කන්‍යාවියන්  පවන් සලන්නට විය. ඈත කෙළවරක මා  එන තුරු මග බලා සිටින දෙවඟන ලජ්ජාවෙන් මුහුණ බිමට හරවාගෙන සිටින්නීය. සිතේ තෙරපෙමින් තිබු බොහෝ දේ කියන්නට පෙරුම් පුරා අවසානයේ ඒ මොහොතට ලඟා  වී ඇති බව මට   වැටහිණ. ඒත්  තියෙනවා නෝක්කාඩුවක්.

"ඇයි ඔයා වෙනදට මං ලංවෙනකොට  වලාකුල් අතර හැංගෙන්නෙ? "

"ඔයාගේ වයලින් වාදනය ගොඩක් ලස්සන වෙන්නේ ඒ වෙලාවට"

"ඒ කියන්නේ ඔයා වැඩියෙන්ම සතුටු වෙන්නේ මම අඬන වෙලාවටද?"

"අනේ මම කොහොමද ඒකට උත්තර දෙන්නේ, මම වලාකුලෙන් බැහැල ආවේ ඔයාගේ වයලින් වාදනය අහන්න, ඒත් ඔයා  ඒක වයන්නේ දුකට නම් මම කොහොමද ඒක විස්තර කරන්නේ? "

"ඒත් ඔයා ඉන්නේ වයලීන් වාදනය ඇතුලේ නම්? මම ඒක නවත්වපු දවසක ඔයා ආයෙත් ඈත අහසේ මන්දාකිනියක නවතිනවා කියන එක නේද? , "

"ඔයාගේ වයලින් වාදනය මට මුලින්ම ඇහුනේ අර රෑ එලි වෙනකන්ම ඔයා ඒක වයපු දවසේ? මතකද ඔයාට ඒ දවස? ඒ තරම් මිහිරි සංගීත නාදයක් මං  කවදාවත් අහල නෑ "

"ඔව් ඒ මාස තුනකට  විතර ඉස්සෙල්ල, එදා තමයි මම ජිවිතේ දුකින්ම හිටපු දවස. අප්පච්චිගේ හත් දවසේ දානේ ඉවර වෙලා , මායි  ටෙරියයි පැල් රකින්න ආපු මුල්ම දවස.

"කෝ අප්පච්චි?"

"ඇයි ඔයා දන්නේ නැද්ද? මම හිතුවේ ඔයා මං ගැන හැම දෙයක්ම දන්නවා කියල"

“ කමක් නෑ මං කියන්නං, අප්පච්චිට දළ ඌරා ගැහැව්වා, ටෙරියයි මායි ළඟ ඉද්දිම. ටෙරියනම්  නම් දකින්න ඇති සිද්ධිය හොඳට. ඒත් ටෝච් එක තිබ්බෙත් අප්පච්චිගේ අතේ නිසා මම දැක්කේ ඌ එනවා විතරයි, මට තේරෙන්නේ නෑ,ඔයා සතුටු වෙන්නේ මං දුකින් ඉන්නකොට නම්  "

"මං එහෙම කියන්නේ නෑ"

' අපේ  අම්මා කියන්නෙත් උඹට පුළුවන් ඔය හිරමනේ අතුල්ලන්න විතරයි  කියල‘

“ ඉතින් ඒක කොච්චර හොඳ  දෙයක්ද ?“

“ නෑ එහෙම කියන්නෙ මම ඒ  ලෙවෙල්  විභාගෙන් සංගීතේ විතරක් ෆේල් උනේ නැති  නිසා“

" ඒයි නැගිටපන් _ත්තෝ"

සමීරය  මම පෙරවාගෙන හිටපු රෙද්ද ඇදල විසිකරන  ගමන් බෙරිහන් දෙන්නට විය. 

"මොකද යකෝ ? "

" තෝ මෙතන ඉහින් කනින් පොරවාගෙන නිදි, අන්න පහළ කෑල්ලටම ඌරො ගහල"

ගැරඩියෙක් හුඹහින් එලියට ඔලුව දානවා වගේ මං බැලුව ගෝනි පඩංගු දෙක මෑත් කරලා වත්ත දිහා, එකේ ගන්න දෙයක් ඉතිරි වෙලා තිබුණේ නෑ. 

"උඹට  මේ අල හැදිල්ල  හරියන්නේ නෑ බං , බලපන් තාත්තගේ තුන් මාසේ දානේ දෙන්නත් කලින් වියදං  කරපු ඒවගෙන් බාගයක් ඉවර වෙලා ගියානේ,  උඹ ආයේ විභාගේ කරපං, උඹ අර විදුරු  රාජගේ කෙල්ල පස්සේ වැටුනේ නැත්තං ඔය විභාගේ කරගන්නවනේ  ගිය වතාවෙම"

*  *  *

"සුසන්ත , සුසන්ත, දොර ඇරපන් ඉක්මනට"

හවස ඉඳල  ඇද හැලෙන නිලි වැස්සත් , මුළු පරිසරය වසාගත් මීදුමත්,  රාත්‍රී අන්ධකාරයත් මැද  රෑ දහය හමාරට විතර,  ටිකකට ඉස්සෙල්ල හොඳට බීල ගෙදර යනවා කිව්ව සමීරය  දොරට තඩිබානවා. 

"හිටපන් බං , ඔය දොර කඩන්නේ නැතුව මට ඇහෙනවා, වීදුරුවට දාගත්ත එක කටට දාගන්න දෙන්නේ නැතුව මොන මගුලක් නටනවද ? " 

"දොර ඇරපන්කෝ ඉක්මනට, මං කියන්නම්"

" ඒකනේ කියන්නේ තොපිත් එක්ක බොනවට වැඩිය හොඳයි තනියම වහ ටිකක් බොන එක  කියල, උඹලත් එක්ක බිව්වොත්  ලෙඩක්, දැන් උඹ ගියේ ගෙදර යනවා කියලනේ  "

" නෑ බං මං සිගරට් දෙකක් ගන්න රාජාගේ  කඩේට යනකොට අන්න ඌ  දුලිෂාට තඩි බානවා, ගෙදරින් එලියට දානවා කියල "

" ඒ මොන _ත්තකටද ? "

" මොන _ත්තකටද නෙවෙයි, තෝ ඒකිව සන්ජුවගේ රෙස්ට් හවුස් එකට ඇදපු එක රාජාට  කව්ද කියල බං"

 " මල _ත්තයි, මං යනවා "

" තෝ කොහෙද යන්නේ?"

" යකෝ ඒකි ගුටි කනකන් මට බලන් ඉන්නද  කියන්නේ?"

" එහෙනං උඹ ඒකිව අරං එන්නද යන්නේ? "

" මොන මගුලක් හරි කරන්න යන්න එපැයි "

ඌ නමට විතරයි වීදුරු  රාජා වුනේ, උගේ අයියා  පළාත් සභාවේ මන්ත්‍රී, උගෙත් අයියා ඉස්සර පාර්ලිමේන්තුවේ ඉඳල, පස්සේ ඡන්දෙ පැරදුනාම දැන් මොකක්දෝ සංස්ථාවක සභාපති කෙනෙක්ලු. කරන්නේ හෝටලයක්, විකුනන්නේ හොර අරක්කු, ඕනි රට බීම බෝතයක් උනත් ගන්න  බාර්, රෙස්ටුරන්ට් තියෙන   ටවුමේ  හොදම පොට් එක. හෝටලේට අල්ලපු කඩේ විදුරැ විකුණන එකක් , ඒක උගේ අයියගේ,ඒකේ වීදුරු කපපු එක තමයි මූ ඉස්සර කරලා තියෙන්නේ. හවසට උණු උණුවේ බාන පාන්වල සුවඳට  මිනිස්සු එතැනට එනවා කියල තමයි නොදන්නා එකෙක්ට හිතෙන්නේ, ඒ වුනාට  රාජා දන්නවා ඕනි එකෙක් කැෂියර් කූඩුව දිහා බලන විදීහෙන් ඌට  ඕනි පාන් ද  , ෂොට් එකක් ද කියල. හෝටලේ තනිකරම දුවන්නේ රාජයි, උගේ පවුලයි, දුලිෂයි එක්ක . 

දුලිෂා කිව්වේ රජාගේ දුව. ටියුෂන් පන්ති යන දවස් වල අපි රජාගේ හෝටලේට යන්නේ පන්ති දෙකක් අතර විනාඩි පහළොවේ ඉන්ටර්වල් එකට රෝල් එකක් කාල, ප්ලේන්ටියක් බීල  එන්න. අපි ඕලෙවෙල් කරන කාලේ දුලිෂ හිටියේ හතේ හරි අටේ හරි පංතියේ , කොල්ලෝ ඔක්කොම රාජාගේ කඩේට තේ බොන්ඩ යන්නේ බඩ ගින්නටම නෙවෙයි, ටවුමේ වෙන කඩ නැති හින්දත් නෙවෙයි, දුලිෂාව බලන්න. ඒ කොච්ච්චර කඩේට ගියත්  රාජා තේ පැන්ට්‍රිය පැත්තට ගිය වෙලාවක විතරයි කැෂියර් එකේ ඉන්න දුලිෂා දිහා බලන්න අවස්ථාව එන්නේ, හරියට කැස්බෑව විය සිදුරෙන් අහස බලනවා වගේ, මොකද රාජා නැත්තං දුලිෂා ඉන්නේ නමුනුකුල අක්කත් එක්ක. නමුනුකුල අක්ක කියල කියන්නේ රජාගේ ගෑණිට, හැමෝම එහෙම කියන්නේ කඩේ නම නමුනුකුල හෝටලය කියල ඉස්ස‍ර පොල් සයිස් අකුරෙන් ලියල, වටේට ටියුබ් ලයිට් එල්ලලා, නත්තලට එල්ලන බල්බ් වැලකුත් දාල තියෙන නිසා. හැබැයි එතකොට ඒ ලෙවෙල් පන්තිවල හිටපු කොල්ලෝ කිව්වේ රාජා, අක්කගේ තන් දෙක ඉස්සෙල්ලාම දැකපු දවස මතක්ව වෙන්න තමයි ඔය නමුනුකුල කියන නම හෝටලේට දැම්මේ කියල. ඒක ඇත්ත වෙන්න ඇති කියල අපිටත් හිතුණා.

 අක්ක එච්චරටම හැඩයි, ටවුමේ ඩියුටි ඉන්න පොලිස් රාලහාමිලගේ පටන් , බස් ස්ටෑන්ඩ් එකේ ටයිම් කීපර්ල, අපේ ටියුටරියේ අයිති කසුන් සර් විතරක් නෙවෙයි සිංහල උන්ගන්නපු සෝරත හාමුදුරුවොත් මේ නමුනුකුල හෝටලේටම  එන්නේ අක්කව බලන්න කියල තමයි අපිටත්  හිතුණේ, මොකද මොඩර්න් විදිහට විදුරු දොරවල් දාල, මැස්සෝ එනවට ලයිට්  ට්‍රැප් තියල, අතින් අල්ලන්නේ නැතුව පේපෙර්  සර්වියට් එක්ක ලස්සසනට  පේස්ට්‍රි විකුණන සිල්වා අංකල්ගේ කැෆේ  එකට යන්නේ පංතිවලට එන කෙල්ලෝ විතරමයි වගේ, අහම්බෙන් වගේ තව කෙනෙක් දෙන්නෙක් යනවා ඇති.

 මුල් දවස් වල ප්ලේන්ටියක් ගහන්න ගියාම අපෙන් ගන්නේ ප්ලේන්ටියටයි රෝල් එකටයි දෙකටම රුපියල් හතලිහක් උනාට, කඩේ ඇතුලේ ඉඳල ඇවිල්ල ප්ලේන්ටි එකයි කියන බස්කොන්දොස්තරලගෙන් ඩ්‍රයිවර්ලා ගෙන් විතරක් නෙවෙයි ගොඩ දෙනෙක්ගෙන්ම.

 " ප්ලේන්ටි එකයි" 

කිව්වම රුපියල් සීයක්  ගන්නවා, ටී එකක් කිව්වොත්  දෙසීයක් ගන්නවා. හැබැයි මේ ප්ලේන්ටි වලට ටී වලට ඩබල් ට්‍රිපල් වෙලා ගන්නේ බිම්ගාස්තු කියල තමයි අපිට මුලින් හිතුණේ මොකද, ඔහොම වෙන්නේ හෝටලේ පිටිපස්ස කෙලවරේ තියෙන කාර්ඩ් බෝර්ඩ් බිත්ති වලින් වෙන් කරපු මේස වලට යන ඔරලෝසු කණුව ළඟ ඩියුටි ඉන්න බුරුසු රවුල් තියෙන පරණ පොලිස් කාරයෝ, උන් පස්සින් එන පොඩි පොලිස් කාරයෝ, කහපාට සියුරු පොරවගත්ත හාමුදුරුවෝ වගේ අයට. ඒ විතරක් නෙවෙයි  බස් ස්ටෑන්ඩ් එකේ ටයිම් කීපර්ල, ටියුටරියේ ගුරුවරු එහෙම යන්නේ ඊටත් එහායින් තියෙන "කෑමට පමණයි" කියල ලියල තිබුණ  කාමරේට, අපි කිව්වේ ඒකට ස්මෝකින් රූම් එක කියල, ඒත් අපි සිගරට් එකක් බොන්න ගියත් ස්මෝකින් රූම් එක අපිට තහනම්. ඒවාට යන වුන්ගෙන් ගන්න ගණනුත් ඒ වගේමයි.  තිස්ස කාරයාගේ ලොජික් අපි ඉගෙන ගත්තට මේවා අපබ්‍රංශ වගේ තමයි. අපේ ඒ ලෙවෙල්  කාලේදී අක්කාගෙන් සිගරට් එකක් ගත්තත් කියන්නේ,

 " මල්ලී ටොයි ලැට් එක පැත්තට යන්න " කියල.

" හා අක්කේ" 

කියල ඉතුරු සල්ලි ගන්න ගමන් හොරෙන් දුලිෂා දිහා බලාගන්න එක  තමයි දවසටම තිබුණු ලොකුම ටාර්ගට් එක. ඇත්තටම දුලිෂා හරි ලස්සනයි, 

ඒ ටොයි ලැට් එක තිබුණේ හෝටලේ පිටිපස්සේ දොරෙන් එලියට ගියාට පස්සේ, කඩ පේලියේ මායිමට තිබුණු කුණු කානුව ළඟ. මුළු ටවුමෙම එවුන්ගේ කුණු ඒකේ දියවෙලා තියෙනවා කියන එක නම් ඇත්තම වෙන්න ඕනි, ඒක තේරෙන්නේ ඒකේ තිබුණු ඉවසන්න බැරි ගඳයි, අප්‍රසන්න පාටයි නිසා. සිගරට් දුම  කොච්චර සුවඳද කියල හිතෙනවා ඒ කාණුවේ ගඳ එනකොට. මාළු මාර්කට් එකෙන් විසිකරන බොකු බඩවැල්, පොලෙන් විසිකරන කුණු වෙච්ච එළවලු, කඩ වලින් හරවපු අසුචි බට වලින් එන ජරාව, ඔක්කොම යන්නේ මෙතනින් තමයි. අන්තිමට අපිත්  සිගරට් කොටේ  ඒකටම විසිකරලා යනවා අනිත් පංතියට.

උගේ ඇස්  දෙක දිහා අපි ඒකාලේ කෙලින් බලන්නේ නෑ, ඒ එදායින් පස්සේ. මායි සමීරයයි හිටියේ ප්ලේන්ටියක් බොන ගමන්, ඉස්සරහ සෙඩ් එකෙන් තෙල් ගහගෙන බොඩිය පුරා ස්ටිකර් අලවපු ඩොල්පින් වෑන් එකක් නැවැත්තුව හෝටලේ ඉස්සරහ. ඒකෙන් බැහැගත්තේ හිරට ඩෙනිම් ඇඳගත්තු එවුන්  දෙන්නෙකුයි, එල්ලෙන වැල් තියෙන කලිසමක්  ඇඳගත්තු එකෙකුයි. උන් ඔක්කොම ඇඳලා හිටියේ ඇඟට හිරවෙන ටී ෂර්ට්, ඔක්කොම හරියට බොඩි බිල්ඩර්ලා  වගේ, සමහරවිට ආමි එකේ එවුන් වෙන්න ඇති, එක විදිහට උස මහත හින්ද. ඒත් ගම් වල රස්සාවක් නැතුව ආමි එකට ගිහිල්ල අර බඩ මැදට බෙල්ට් එක දාන උන් වගේ නෙවෙයි මුන්ගේ තිබ්බේ ඔෆිසර්ලගේ  ලෙවෙල් එකේ බොරු උජාරුවක්, සමහරවිට දියතලාවේ ට්‍රේනින් වෙන කැඩෙට් ඔෆිසර්ල වෙන්න ඇති. මුන් පොඩ්ඩක් බීලත් ඉන්න ඇති වගේ, වෑන් එකෙන් බහින ගමන්ම

 " ආ අක්කේ අපිට බීෆ් කොත්තු තුනක්  දාන්න පුලුවන්ද " කියල ඇහුවේ අක්කගේ මුණ දිහා කන්නවගේ බලාගෙන.

තවත් එකෙක්   දුලිෂා දිහා බලාගෙන ඉන්නවා අනිමිස ලෝචන පූජාව වගේ. රාජා හිටියේ බිත්තර රොටි වගයක් දාන ගමන්, ඌ බලාගෙන ඉන්නේ හරියට cctv  කැමරාවක් හයි කරා වගේ. ආව ඉස්සරහට සරම දෙකට නමාගෙන.

" ඉඳගන්න මහත්තුරු" කිව්වට මුණේ හිනාවක් තිබුනේ නෑ, කොහොමටත් ඌ   කවදාවත් හිනා වෙනවා අපි දැකල නෑ. 

රාජා කෙලිනවා ලීක්ස් ගස්,  කැරට්  අල කුඩු වෙන්න, මල පැනල කියල මටත් තේරුණා, වෙලාව හවස පහට විතර ඇති, අපි ආවේ ගෙදර යන්න ඉස්සෙල්ල සිගරට් එකක් ගහල  යන්න කියල, බොරුවට ඉස්සෙල්ල ප්ලේන්ටියක් ඉල්ලුවට. ඒත් දැන් හිතෙනවා සිගරට් එක නැතත් මොකක්ද වෙන්නේ කියල බලන්න ඕනි කියල. 

රාජා දැම්ම කොත්තු තුනම ගෙනැල්ල දුන්න උන්ගේ ටේබල් එකටම. කන්න පටන් ගත්ත, ඊට පස්සේ තමයි යුද්දේ පටන් ගත්තේ, එකෙක් කිව්ව මේකට ලුණු මදි කියල. අනිත් එවුනුත් කිව්ව ඔව් ලුණු මදි කියල. හැබැයි ඒ කියපු ටෝන් එකේ තිබ්බේ එන්නේ කොක්කට කියල. තවත් වචන හුවමාරු උනා, මට හරියට මතක් නෑ.

" අක්කේ මේ කොත්තු බාස් අක්කට හරියන්නේ නෑ" කියල කිව්ව එකෙක්.

 රාජාට මල පැන්න, රාජා ගේනවා ලුණු පැකට් එකක්, ඒ විතරක් නෙවෙයි ලුණු පැකට් එක අරගෙනම ගියේ ඉස්සරහ දොර ලඟට, එතනින් ගත්තේ හවසට කඩේ වහල ලී දොර පියන් වලට දාන අඩි හතරක් විතර දිග මිලි මීටර් දාසයේ යකඩ කූර. ආවා ටේබල් එක ලඟට, දැම්ම හැම  කොත්තුවකටම  ලුණු අහුරක් ගානේ අත  පුරවලා.

 " මහත්තයලට  ලුණු මදි වෙලානේ හිටියේ, දැන් ලුණු දැම්මා, කන්න එහෙනං  පොඩ්ඩක් වත් ඉතිරි කරන්නේ නැතුව"  කිව්වේ දත්මිටි කාගෙන.

සමිරය මගේ අතින් අල්ල ගත්ත. රාජා ඉස්සුවා යකඩේ. ඔක්කොම කොත්තු කෑවා එක කරපිංචා කොලයක් වත් ඉතිරි කරන්නේ නැතුව. එකෙක්ට ඔක්කාරෙට ආව, විතරක් නෙවෙයි වූ ඇත්තටම වමනේ දැම්මා, එතකොට රාජා ඉස්සුවා යකඩේ තවත් උසට, හැබැයි මොකුත් කිව්වේ නෑ. මූ ආපු වමනේ ටික අත් දෙකට අරගෙන ආයෙත් කටට දාගෙන ගිල්ලේ හරියට මී හරකෙක් වමාරලා කනවා වගේ.

වැල් කලිසමක් ඇඳගෙන හිටපු එකා  රුපියල් දාහේ කොලයක් තිබ්බ කැෂියර් මේසේ හිටපු නමුනුකුල අක්ක ඉස්සරහ, දුලිෂ හිටියේ අක්කගේ අතේ එල්ලිලා, මුණ අක්කගේ උරහිසට හංගගෙන. තුන් දෙනා  දිව්වා ඉතුරු සල්ලි ගන්නෙත් නැතුව වෑන් එකට, දෙන්නෙක් කඩේ ඉස්සරහම වමනේ දාගෙන ගියේ. 

වෑන් එක ස්ටාර්ට් කරනකොට මොකුත් දන්නේ නෑ වගේ ට්‍රැෆික් සාජන් කාරයයි උගේ කොස්පතාපලුයි  කඩේ ඇතුලේ ඉදං එනවා කට පිහදාගෙන. පොලිස් කාරයින්, ටියුෂන් මාස්ටර්ලා, සෝරත හාමුදුරුවෝ  එහෙම හවස බොන්නේ රාජාගේ හෝටලෙන් කොකා කෝලමයි , පස්සේ තමයි අපිටත් තේරුනේ මිලිලීටර් එකසිය හැත්තෑ පහේ බෝතලෙන් සියක් අරක්කු, ඉතිරිය කොකා කෝල, පාටත් හොඳට ගැලපෙනවනේ, කැෂියර් එකට රුපියල් දෙසීයක් දීල, " කොකා කෝලා එකයි කියල යනවා"

* * *

මට දුලිෂ සෙට් වෙන්නේ කතරගමදී. මම  වෑන් පාර්ක් එකේ දවසෙම හයර්  එකක් නැතුව වේලි වේලි ඉන්නන්කොට රාජා ඇවිල්ල ඇහුව්වා,

 " හෙට උදේ කතරගම හයර් එකක් තියෙනවා, හයට යමු"  කිව්ව. 

ඌ  මගෙන් උත්තරයක් බලාපොරොත්තු උණේ නෑ. 

"උදේ වෑන් එකේ හෝටලේ ලඟට වරෙන්, මේක එතන දාලා අපේ වෑන් එකේ යමු"  

උගෙන් හරස් ප්‍රශ්න අහල වැඩක් නෑ කියල මම කොහොමටත් දන්නවා.

කතරගම යන්න හිටියේ රාජයි  , නමුනුකුල අක්කයි දුලිෂයි, ඒ දවස වල  කඩේ උදව්වට වගේ හිටපු ටිකක් වයසක ඩයල් එකක්, මං හිතන්නේ ඌ රාජාගේ හරි අක්කගේ හරි නෑදෑයෙක්. මොකද අක්ක ඌට  කිව්වේ " බාප්පා" කියල. බාප්පයි රාජයි පලවෙනි බෝතලේ කැඩුවේ දුලිෂ දෝව පන්සලේ පිං කැටේට පඩුරු දාන්න නවත්තපු වෙලාවේ. එතකොට ගමන පිටත්  වෙලා විනාඩි දහයක් වෙන්න ඇති. කතරගමට යනකොට උන්දෙන්නට වෑන් එකෙන් බහින්නත් බැරි ගානට වැදිලා හිටියේ, අන්තිමට බුක් කරලා තිබ්බ රූම් එකකට උන්දෙන්නව දාල දේවාලේ පුජාව තියන්න ගියේ අක්කයි, මායි දුලිෂයි.


පින්න ඉවරවෙලා තිබුණේ නෑ අපි එලියට බහිනකොටත්, සමිරය වෑන් එකෙට නැග්ගේ කැමැත්තෙන් නෙවයි කියල මම දන්නවා, ඒත් ඌ මාව අතාරින්නෙ නෑ කියල මම කොහොමටත් දන්නවා. රාජාගේ හෝටලේම අල්ලලා තමයි උගේ ගේ තියෙන්නෙත්, හෝටලේම පිටිපස්සේ. එතැනට යන්න කිලෝමීටර් දෙකක් වත් නැති උනාට පාරේ බෝක්කු හදන්න හාරලා මඩ වලට පාර ලිස්සනවා බණ්ඩක්ක වගේ, දෙපාරක්ම වෑන් එක පැන්න තාර කට්ටෙන් පිටටත්. ඔරලෝසු කණුව ලඟින් හරවන කොට රෑ එකොළහ වෙලා නැතුව ඇති, සෙඩ් එකත් දහයට වහන  නිසා බස් ස්ටෑන්ඩ් එකෙත් කවුරුත් හිටියේ නෑ. මම වෑන් එක නැවැත්තුව හෝටලේ ඉස්සරහ , කිසි සද්දයක් තිබුණේ නෑ. ගෙදරට යන්න එක්කෝ හෝටලේ ඇතුලෙන් යන්න ඕනි, එහෙම නැත්තං විදුරු කඩෙයි හෝටලෙයි මැදින් තියෙන අඩි හයේ පාරෙන් යන්න ඕනි. 

" උඹ යන්න එපා දැන්, අනිත් එක අපි හවස ඉඳලම ගහල ඉන්නේ' වෑන් එකෙන් බහින්ඩ ඉස්සෙල්ල සමීරය මගේ අතින් අල්ලලා කිව්ව. 

 හෝටලේ වහල  තිබ්බේ, මං හෝටලෙයි විදුරු කඩෙයි මැදින් අඩි දහයක් දොළහක් ගියා විතරයි මතක. 

* * *

" ඒයි සුසන්ත නැගිටපන්, නැගිටපන් යකෝ"

"මොකද බං මැරෙන්න හදන්නේ, ආයෙත් පහල කෑල්ලට ඌරො පැනලද?"

" ඌරො පනින්න, උඹ ඉන්නේ අර අවුරුදු පහකට කලින් හදපු අල හේනෙද ?, හේනට ඌරො පනින එක හොදයි බං, මෙහෙම ඒවා වෙන්නේ නැතුව  " උගේ කට  හඬේ වෙනසක් තියෙනවා කියල මට තේරුණා. 

" කෝ දුලිෂා ? " 

" කෝ දුලිෂා නෙවෙයි බං, බලපිය අපි කොහෙද ඉන්නේ කියල."

" රාජා උඹට ගේම සෙට් කරලා බලාගෙන ඉඳල තියෙන්නේ, කොහොමටත් වැඩේ ටිකක් ලීක් වෙලානේ තිබ්බේ, උඹ මැද පාරට හැරෙන කොටම විදුරු කඩේ ඉඳල සෙට් එකක් බැස්ස බං, පහක් විතර හිටිය. මාත් ඕනි හුත්තක් කියල වෑන් එකේ වීල් බ්‍රෂ් එකත් අරගෙන දිව්වා ඒ පැත්තට, ඒත් වැඩක් උනේ නෑ"

" හරි යකෝ, අපි ගුටි කෑවා තමයි, මොන මගුලක් කරන්නද, මොකද උඹයි මායි මේ විදිහට කාපු පළවෙනි වතාව නෙවෙයිනේ"

" නෑ යකෝ ඒක නෙවෙයි , අර පොලිසියේ  එකා කියනවා උඹේ වෑන් එකේ  කුඩු පැකට් දෙකකුයි, පිස්තොලෙකුයි තිබ්බ කියල"

-ජානක ගුණතිලක
06/06/2020