Saturday, September 13, 2014

හකාවතී ලංකාවට







සමාජ සාර ධර්ම පයට පෑගෙන දුවිල්ලක් තරම්වත් මායිම් නොකරන අරාජික වූ ශ්‍රී ලාංකික සමාජයේ පදනම් විරහිත ආගමික, සංස්කෘතික මතවාදයන් විවිධ පැතිකඩවල් වලින් ප්‍රශ්න කිරීමට සිදුව ඇත්තේ මෙතෙක් කල් මුල්බැසගත්, සමාජයට බලෙන් පටවන ලද හා අවිඥානිකවම  වැලදගත් මතවාද මෙන්ම සමාජ මුලධර්ම වල ප්‍රතිපලයක් ලෙස පණ අදිමින් පවතින  ප්‍රගතිශීලි සමාජය දෙස බැලිමේදීය.

රාත්‍රියේ සිට සමාජ ශාලා වල  විස්කි බ්‍රැන්ඩි බෝතල් හිස් කරමින්, බිලියට් ගසමින් ගණිකාවන් සමග යහන්ගත්වෙමින් රැය පහන් කරන පාලකයෝ   උදෑසන සුද්දාගේ ජංගිය උජාරුවට ඇඳ ඊට උඩින් ජාතික ඇඳුම පටලවාගෙන  වේදිකාව මතට නැග ජාතික අනන්‍යතාවය පිළිබඳව පුරසාරම් දොඩති. සිංහල බෟද්ධයන් ගේ රට ලෙස ලංකාව හඳුන්වා දෙන්නේ බුද්ධ ධර්මය නේපාලයේ සිට ලංකාවට පැමිණි බව අමතක වී දැයි ද ගැටළුවක් පවතී. සමාජ පෙරගමන් කරුවන්ගේ  මෙම පරස් පරය සමාජයට නොතේරෙන්නේ ද එසේ නොමැති නම් තේරුම් ගත්තද සත්‍ය වෙනුවෙන් පෙනී සිටීමට ඇති අකමැත්ත නිසා නොතේරෙනවා සේ  සිටින්නේ දැයි වටහා  ගැනීම අපහසුය. සමස්ථයක් සේ ගත්විට මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රගමනය සඳහා වන කාර්ය භාරය බොහෝ දෙනෙකුට අමතක වී ගොසිණි . මිත්‍යා දේශීය අනන්‍යතාවයක් පිලිබඳ සිහින මවන්නේ  අනන්‍ය වූ ජාන කිටුවක් හෝ නොමැති සමාජයක මිනිසුන්ය.මෙවැනි පසුබිමක් තුල ශ්‍රී ලාංකීය කලා කරුවාගේ කාර්ය භාරය සබුද්ධික ජනතාවට ගැටලුවක් වන යුගයක ඩෝසන් ප්‍රීතිගේ "හකාවතී" බොහෝ දෙනෙකුගේ කන හරහා රිදෙන්නට පහරක් ගසයි. මෙම අනන්‍යතාවය පිලිබඳ මිත්‍යා මතය බැහැර කර ශ්‍රී ලාංකීය රසිකයාට මිනිස් වර්ගයා පිළිබඳව විශ්වීය අත්දැකීමක් ලබා දී, මිනිස් සමාජයේ විවිධ ගැටළු අලුත් කෝණයකින් විග්‍රහ කරන්නට ආරාධනා කරයි. "හකාවතී"ලෙස කෙටි කතා සංග්‍රහය නම් කිරීමද බොහෝ දෙනෙකුට ගැටලුවකි. "හකාවතී" යනු ගුවන් විදුලි, රුපවාහිනී නැති යුගයක කතන්දර කියන්නෙකි. මෙය අරාබි භාෂාවේ එන වචනයකි. 2008 වසරේදී ලෙබනන් ජාතික .රබින් අලම්දින් නම්  කතුවරයා විසින් The  Hakawati නම් ග්‍රන්ථයක් ඇමරිකාවේදී පල කිරීම හේතුවෙන් මෙම වචනයේ තේරුම අරාබි කරයෙන් පිටත මිනිසුන් අතරට පැමිණියේය. හුදෙක් වචනයේ අර්ථයෙන් පමණක්  එහි සමාන කමක් තිබුනද වෙනත් කිසිදු සමාන කමක් මෙම ග්‍රන්ථ අතර නොමැත.එවැනි යුගයක කතන්දර කියන්නෙකු ඉතා වටිනා චරිතයකි, රුපවාහිනී, ගුවන් විදුලි පමණක් නොව අතේ ඇති ජංගම දුර කථනයේද අන්තර් ජාල පහසුකම් ඇති යුගයක හකාවතී සමාජ ගතවන්නේ පාටකයාට සමාජය දැකීමට නව උපැස් යුවලක් ලබා දෙමිනි.


එක්  අතකින් සියලු සමාජ වගකීම් අමතක කොට පවුල වෙත පසු බසින අප සමාජයේ පැති කඩක් නිරූපනය  කිරීමට  "විනෝදය" කෙටිකතාව තුලින් උත්සහ දරා තිබේ, සමාජ වෙබ් අඩවි ටෙලිනාට්‍ය, දේශපාලන  වන්දි බට්ටයන්ගේ පුවත් පත්, ගුවන් විදුලි සේවා, වෙබ් අඩවි හරහා විනෝදය සොයා යන යථාර්තය නොදකින සමාජයයේ එක් පුද්ගලයෙකු ලෙස  එම කෙටි කතාවේ ප්‍රධාන චරිතය ලෙස එන "සුගතදාස  වලිමුලි" හැඳින්විය හැකිය. විශ්‍රාමික ගුරුවරයෙකු මෙන්ම ලේඛකයෙකු වන ඔහු නවකතාවක් ලියන්නේ යයි හඟවමින් සිටියද මුහුණු පොතේ සිට කාලය කා දමයි. ඔහුට සමාජය පිලිබඳ මනා වැටහීමක් තිබුනද, එහි ගමන සුභවාදී නොවන බව හැඟී ගියද ඔහු තම විනෝදයට බාධාකරගැනීමට මැලි කමක් දක්වයි. මිනිසුන්ගේ තාවකාලික විනෝදය සමස්තයක් ලෙස කොතරම් විනාශකාරී දැයි මෙයින් අනතුරු අඟවා තිබේ. මෙම විනෝදය සැපයීම තුල පැවැත්ම තහවුරු කරගන්නා දේශපාලුවන්ගේ ගොදුරු වන්නේ ඔහුන් පමණක් නොව මුළු මහත් සමාජයමය. ජනතාවට අවශ්‍ය විනෝදය සපයා  දීමටත් එම විනෝදය තුල සිවිල් සමාජයේ අත් පය ගැටගසා කටට ප්ලාස්ටර් අලවා නිහඬ කර  දේශපාලකයන් උන්මත්තකයන් ලෙස අන පනත් වෙනස් කරමින් නිතිය අතට ගනිමින් සිටින ආකාරය "On Line පාන්ෂකුල" කෙටිකතාවෙන් උපහාසාත්මකව   සාකච්චාවට බඳුන් කර ඇත.

සමාජ ප්‍රවාහයක් වෙනස් කිරීමට විප්ලවයක් අවශ්‍යය, නමුත් එම කටයුත්තට මිනිසුන් සුදානම් කිරීම අතීතයේදී එතරම් අපහසු කාරණයක් වුයේ නැත. විප්ලවවාදීන් මිනිසුන්ගේ සිතුම් පැතුම් හඳුනාගෙන පස්චාත් විප්ලව යුගයේදී ඒවා ක්‍රියාවට නැංවීම තුලින් දියුණුවේ හිනිපෙත්තටම පැමිණි ජාතීන් පිළිබඳව උදාහරණ බොහොමයක් වේ. 1775 ඇමරිකානු නිදහස් සටන, 1793 දී ප්‍රංශ විප්ලවය,  1917 රුසියානු විප්ලවය, 1953 කියුබන් විප්ලවය ආදිය මෙයට කදිම නිදසුන්ය. නමුත් පස්චාත් නුතන යුගය වනවිට ඉතා සංකීර්ණ මෙන්ම ව්‍යාකුල වූ මනෝ භාවයන් විප්ලවවාදීන් විසින් ඉතා සියුම් ලෙස හැසිරවීමට අපොහොසත් වූ බවක් දක්නට ලැබේ. එබැවින් සාර්ථක ප්‍රතිපල ලබාගත් විප්ලවයක් මෑත යුගයේදී හමු නොවේ. ජනතාවට විප්ලවයකට පෙළ ගැසුනද, ඔවුන්ගේ සිතුම් පැතුම් වල වෙනසක් සිදු නොවීම හේතුවෙන් ම විප්ලවයෙන් පසුව අරාජික වූ රටවල් බොහොමයක් මෑත ඉතිහාසය තුල දක්නට ලැබේ. හොඳම උදාහරණ වන්නේ ඊජිප්තුවයි, සිරියාව තුර්කිය වැනි රටවල ඉරණම එයින් බොහෝ වෙනස් වේ යයි සිතීම අපසුය. "මිරැන්ඩා" කෙටි කතාව  ශ්‍රී ලංකික මෑත ඉතිහාසයේ විප්ලවාදීන්  සැබෑ ලෙස මිනිසුන්ගේ සිතුම් පැතුම් හඳුනා නොගැනීම හේතුවෙන් ම සහ විප්ලවයට පෙර එම සිතුම් පැතුම් වෙනස් කර අවශ්‍ය මුලික වටපිටාව සකස් කර නොගැනීම හේතුවෙන් ඇතිවන පරස්පරය තුල අසාර්ථක වන ආකාරය විශ්ලේෂණය කිරීමට ගත උත්සාහයක් ලෙස පෙනේ. එසේම සාර්ථක හෝ අසාර්ථක විප්ලවයකින් පසු ශේෂ වන ද්‍රව්‍යමය සහ මානසික කරුණු හේතුවෙන් සමාජය අරාජික වන ආකාරය  "මාරාව" කෙටි කතාව තුලින් ඉතා කදිමට ඉදිරිපත් කරයි. එහි භාෂා හැසිරවීම ඉතා විශිෂ්ටය.

මිහිපිට කිසිම මිනිසෙකු අත් දැක නැති නිර්වාණය, වැනි අවිධ්‍යාත්මක ආගමික සංකල්ප උපහාසයෙන් යුතුව බැහැර කරන්නේ "සඳකඩ පහණ" කෙටි කතාවේදීය. දාර්ශනිකයෙක් ලෙස බුදු රජාණන් වහන්සේගේ ඉතා උසස් තලයක සිටි බව අවිවාදයෙන් පිළිගත යුතුය, දර්ශනයක් ලෙස බුද්ධ ධර්මය ඉතා වටිනා සමාජ මෙහෙවරක් ඉටු කළ බව සැබෑය, නමුත් ගැටලුව වන්නේ සිංහල බෟද්ධ රාජ්‍ය තුල පවතින්නේ එම බුද්ධ ධර්මයද යන්නය. සිඟාලෝවාද සුත්‍රයේ එන දෙමාපියන්ගෙන් දරුවන්ට- දරුවන්ගෙන් දෙමාපියන්ට ඉටු විය යුතු යුතුකම් වත් ලංකාවේ චීවර ධාරීන් මිනිසුන්ට උගන්වා තිබේ දැයි ඇත්තේ ගැටලුවකි. නමුත් ඔවුන්  ගිනි අවියක් කරේ එල්ලාගෙන අහිංසක දෙමල දරුවන්, ගැබිණි මව්වරුන් මරාදමන්නට යන සෙබළුන් කී  දහසකගේ අත්  වල පිරිත් නුල් බැඳ ඇත්ද? මිනී මරු දේශපාලකයන්, මත්ද්‍රව්‍ය වෙළෙන්දන් ට දින පතා ආශීර්වාද පුජ පවත්වති. බෟද්ධයෝ  පන්සිල් රකිති, සතුන් නොමරති, එහෙත් තම සිඟිති දරුවන්  පන්සලේ ගල්තලාවේ ගසා මරා දමති, බිරිඳ සහ දරුවා මරා වල දැමීමට ගෙතුලම වලවල් හාරති. මෙවන් යුගයක ශ්‍රී ලංකාවේ ආගමික මතවාද ප්‍රශ්න කල යුතුව ඇත. එය ඩෝසන් විසින් කිරීමට ඉදිරිපත් වීම කාලෝචිතය.


'හකාවතී " කෙටි  කතා සංග්‍රහය තුල සකච්චා වන බොහෝ දෑ  අතරින් ඉතා වැදගත් සංකල්පයක් වන්නේ, මිනිසුන් තුල පවතින මිලේච්චත්වයයි එසේත් නොමැති නම් අසැබි සිත්විලිය. මෙය ඉතා කදිමට එසේම රසවත්ව ඉදිරිපත් කරන එක් අවස්ථාවක් වන්නේ "ජයසරනංකර " කෙටි කතාවේය. මිනිසුන්ගේ අසැබි සිතුවිලි යනු යම් පිරිසකට පමණක් සිමා වුවක් නොවන බවත් සියලු මිනිසුන් තුල එවැනි සිතුවිලි පවතින්නේය යන දැනුම සමාජයේ බොහේ දේ විග්‍රහ කර ගැනීමට අතවශ්‍යය. එබැවින් එම විරල ගැඹුරු ප්‍රවේශය අගය කල යුතුය.

ඩෝසන් ප්‍රීති මෙම කෙටි කතා සංග්‍රහය තුලින් ඉතා වැදගත් මෙන්ම බරපතල සමාජ කරුණු ගණනාවක් වේදිකා ගත කරයි. සියුම් ලෙස සලකා  බැලීමේදී ඔහුගේ ලියවිල්ල තුල මිනිස් මනෝ භාවය පිලිබඳ ගැඹුරු හැදෑරීමක් ද සහිතය, එසේම ඔහු සමාජයට යම්  පණිවිඩයක් දෙමින් ඔවුන්ට ආරාධනා කරන්නේ දැනුම තුලින් තම තමන්ගේ සමාජ කාර්ය භාරය පිළිබඳව ස්වයං විග්‍රහයක යෙදෙන ලෙස නොවේද?

- ජානක ගුණතිලක



Saturday, May 10, 2014

අමරණිය පිරමීඩය -( කෙටි කතාව - 9 )

                                       අමරණීය පිරමීඩය






කෙළවරක් නොපෙනෙන නිල් පැහැති සාගරයේ පාවෙමින් තිබු එම දැවැන්ත නෞකාව දිගින්  මීටර දෙදහස් දාහතරක් විය. නැව් තට්ටුවමත තැබූ  විශාල දිය  බුබුලක්  සේ විදුරු වලින්  ආවරණය කළ  නියමු කුටිය අවම වශයෙන් හැට දෙනෙකුටවත් ප්‍රමාණවත් වන සේ සකසා තිබිණ. මෙය නැව් තට්ටුව මත නැවේ ඉදිරි පසට වන්නට පිහිටා තිබිණ. නියමු කුටියට පිටුපසින්  වර්ග කිලෝමීටර දෙකක පමණ ප්‍රදේශය එහි ගමන් කරන මගීන්ගේ විනෝදාශ්වාදය සඳහා අලංකාර උයනක් නිර්මාණය කිරීමට වෙන් කර ඇති බව එය නිෂ්පාදනය කිරීමට පෙර  මුලික සැලසුම් පුවත් පත් වල ප්‍රචාරය කරන විට සඳහන්ව පැවතියත් පසුව එම සැලසුම් ක්‍රියාත්මක නොවිණ. මහල් හතකින් යුත් එම නෞකාවේ ඉහලම මහල් දෙක එහි  ගමන් කල කපිතාන්ගේ ඥාතීන් සහ ප්‍රභූන් සඳහා වෙන් කර තිබිණ. සතියේ දින පහක් තිස්සේ මස් ගාත ගිලදමමින්ද, වර්ණවත් විවිධ හැඩවල  බෝතල් වල අසුරා ඇති මිල අධික මත් පැන්  පානය කරමින් ද මධ්‍යම රාත්‍රිය වන තුරු නෞකාවේ අවන් හලේ රැඳී සිට එහි සේවය කරන   සුරූපී නළඟනන්  සමග රැය පහන් කරන ප්‍රභූ  පුතුන්ගේ නහර වල තැම්පත් වන කොලෙස්ටරෝල් තට්ටු සති අන්තයේදී දිය කර හැරීමට සකස් කළ පා පන්දු  පිට්ටනිය නියමු කුටියට පසු පසු පසින් ඊට යාබදව සකස් කර තිබිණ.ඊට සමාන්තරව දැල් පන්දු ක්‍රීඩා පිට්ටනියකි.  කපිතාන්ගේ දියණිය නායකත්වය දරන දැල් පන්දු කණ්ඩායම ද කපිතාන්ගේ පුත්‍රයා නායකත්වය දරණ  පා පන්දු කණ්ඩායම ද  සෑම සති අන්තයකම හවස සහ  රාත්‍රියේ පවත්වන දැල් පන්දු සහ පා පන්දු තරඟ වලදී ජයග්‍රහණය කරති. කපිතාන්ගේ දෙවන විවාහයේ තරුණ බිරිඳ දියණියට  ද කපිතාන් පුත්‍රයාටද කුසලානය බැගින් පිරි නමා සෑ ම සති අන්තයකම ජය පැන් බොති. නැව් තට්ටුවේ අපර ප්‍රදේශයේ වර්ග කිලෝ මිරටරයක පමණ  සින්තටික් මෝටර් රථ ධාවන පථයකි, සෑම පසළොස්වක පොහොය දිනකම කපිතාන්ගේ පුත්‍රයා පදවන මෝටර් රථය ජය ගන්නා  තරඟයක් එහි පවත්වයි. නියමු කුටිය මැදින් ඉහලට ගමන් කරන කුඹගස මිටර් හැත්තෑ පහක් පමණ උසින් යුක්ත විය. කුඹ ගසේ ඉහල සකස් කර ඇති අට්ටාලයේ සිට ඔත්තු බලමින් සිටි කොටළුවන් දෙදෙනා දින කිහිපයක් තිස්සේ නිල් සයුර හැර කිසිවක් නිරීක්ෂණය නොකළෝය.

නියමු කුටියේ සිටි කපිතාන් නෞකාවේ   ඉංජින් සියල්ල  නතර කිරීමට රහස් පණිවිඩ යවා  තිබිණ. ඉංජින් කාමරයේ සිටි තාක්ෂණික නිලධාරියා නැව නතර කිරීමට හේතුව විමසා සිටියේ කපිතාන්ගේ පණිවිඩ කරුවාගෙනි.

"අපි දැන් නැව න්‍යෂ්ඨික ඉන්ධන වලින් දුවන්න ලෑස්ති කරලා තියෙන්නේ, ඔය ගල් අඟුරු වැඩ දැන් ඉවරයි, ගල් අඟුරු නොදැම්මට බලන්නකෝ නැව යන අපුරුව "කියා ඔහු බිත්තියේ සවි කර තිබු රුපවාහිනී තිරය දෙසට දබරගිල්ල යොමු කර පිටත්ව ගියේය. දැවැන්ත ඉංජිම නතර වී තිබුණද විශාල පුළුල් තිර වල නෞකාව  ඉදිරියට ගමන් කරන බව පෙන්වන පටිගත කරන ලද දර්ශන සජීවී ඒවා ලෙස විකාශනය වෙමින් පැවතිණ. සාගරය නිස්කලංකය මෘදු රළ නැව් බඳේ ගැටුනද එය නැව සෙලවීමට තරම් ප්‍රමාණවත් නොවේ. දෙපස සවි කල විශාල දැති රෝද යුගලකින් මුහුදු ජලය කළඹා රළ ඇති කර පටිගත කරයි. නැව ගමන් කරන විට ඉංජිමෙන් නිකුත් වන හඬ ද පටිගත කර රූපවාහිනී තිර වල දර්ශන වලට සමගාමිව විකාශනය කෙරිණ. තාක්ෂණ නිලධාරියාට  තමා සිටින්නේ පියවි සිහියෙන්දැයි අසිහියෙන්දැයි සිතා ගැනීමට නොහැකිව අසල තිබු පුටුවට ඇද වැටුනේය.

සියලු රුපවාහිනී තිර වල විකාශන වල සාමාන්‍ය විකාශන කටයුතු හදිස්සියේ නතර විය, අනතුරු හැඟවීමේ සයිරන් නලා නැව පුරා නාද  විය, නිදා ගෙන සිටි වුන් අවධි වුහ, කොරිඩෝ වල ගමන් කරමින් සිටි ආරක්ෂක නිලධාරින්ද, තම ළදරුවන්ට කෑම කවමින් සිටි සහ මව් කිරි දෙමින් සිටි මව්වරුන්ද, පිළිසකර වැඩ වල නියුතු සේවකයන්ද ප්‍රාණවත් වූ පුරුෂ ලිංග  මෙන් තම කන් ඉහලට ඔසවා ඇස් ගෙඩි ගොළු බෙල්ලෙකුගේ සංවේදක මෙන් ඉදිරියට යොමාගෙන එම තිර දෙසට තම අවධානය යොමු කලෝය.කළු පැහැති  වූ තිරයේ "BREAKING NEWS " ලෙස  දිස් වූ රතු පැහැති අකුරු දෙස ඇසිපිය නොහෙලා බලා සිටියෝය. මොහොතකින් නැවේ නියමු කුටියේ  සිට ගෙනෙන සජීවී ප්‍රවෘති විකාශය ආරම්භ විය. කපිතාන් එයට සජීවීව සම්බන්ධ කරගන්නා  ලදී.

"සතුරු නැව් සමුහයක් වේගයෙන් ඒෂියන් වොන්ඩර්ස් නැව  දෙසට වේගයෙන් ලඟා වන  බවත් සියලු දෙනා සටනට සුදානම් විය යුතු බවත් කපිතාන්  විසින් ප්‍රකාශ කරන ලදී. ඉහළ අට්ටාලයේ සිටින කොටළුවන් දෙදෙනාද සජීවී ප්‍රවෘති විකාශය අතර තුර සම්බන්ධ කරගන්නා  ලදී. ඔවුන් පවසා සිටියේ අඩුම තරමින් සතුරු නැව් හතරක් මේ වන විට ඔවුන්ගේ දුරේක්ෂ වලට නිරීක්ෂණය වන බවත් සංඛ්‍යාව ඊට වඩා වැඩි විය හැකි බවත්ය. ඔවුන් දෙදෙනා ඉදිරියේ වූ පරිගණක තිරය හරහා නියමු කුටියේ සිට ලබා දුන් වාර්තාව එසේ ඉදිරි පත් කළේය."

කපිතාන්ගේ අණින් මහල් හතකින් යුත් මුළු නෞකාවම මහා සටනකට සුදානම් වුයේ එහි යුධ නිතිය ක්‍රියාත්මක කිරීමත් සමගිනි. ඉහලම මහලේ සිටි ඔහුගේ නෑදෑ පිරිවර ද දෙවන මහලේ සිටි ප්‍රභූ පිරිවරද පහත මහල වලට පැමිණ ඒවායේ හුන් පිරිස දැනුවත් කරන්නට වුහ. සතුරු සේනා වලට නිරීක්ෂණය කිරීමට නොහැකි වන ලෙස පිටතට ඇති සියලු විදුරු කවුළු කළු කඩදාසි වලින් ආවරණය කිරීමට ඔවුන් උපදෙස් ලබා දුන්නෝය. ඉන් පසුව ටෙලිනාට්‍ය අතරතුරද පුවත් රුපවාහිනී නාලිකාවේ විකාශනය විය, නමුත් වෙළඳ දැන්වීම් වල අඩුවක් පෙනෙන්නට තිබුනේද නැත. ඉහල සිටි කොටළුවන් දෙදෙනා ඇස් ගෙඩි ලොවි ගෙඩි මෙන් කරගෙන පුවත් ඉදිරිපත් කළහ. එම ප්‍රවෘතියෙන් පසු දින සිට සතුරු සේනාවට විරුද්ධව සටන් ආරම්භ කළ බව ප්‍රචාරය කෙරිණ. ඉන් පසු දින කිහිපය පුරා කොටළුවන් දෙදෙනා රාත්‍රී පුවත් ඉදිරිපත් කරන අතරතුර අහසේ මල්වෙඩි මෙන් අලංකාර රටා මවමින් නැවෙහි තුවක්කු වලින් පිටවන මුනිස්සම් සහ කාලතුවක්කු වලින් පිටවන උණ්ඩ  පිටු පසින් දිස් විය. 

හාර සියයක් පමණ වන නාවික සෙබළුන්ට සහය වනු පිණිස පහත මාල වල සිටි, නෞකාවේ පන්සියයක් පමණ වූ සේවක මණ්ඩලය හැරුණු විට අනෙක්  සියලු වැඩිහිටි පිරිමින් හට දින තුනක කඩිනම් යුධ පුහුණුවක්  ලබා දීමට කටයුතු සකස් කෙරිණ. ඔවුන් මෝටර් රථ ධාවන පථයේ සකස් කර තිබු ඉලක්කයට වෙඩි තැබීම පුහුණු කරන ස්ථානයේ පුහුණු වන ආකාරයද ශාරීරික අභ්‍යාස වල යෙදෙන ආකාරයද නිතර නිතර රුපවාහිනී දර්ශන වල විකාශය කරන ලදී. අවම වශයෙන් දිනකට එක් වරක් හෝ නාවික සෙබළුන් සමග කඩිනම් පුහුණුව ලැබූ ආධුනික සෙබලුන්ද බෝට්ටුවල නැගී සටනට යන බව පෙන්වුවද කිසිවෙකු නැවත පැමිණෙනු දක්නට නොවිය.

සතියක් පමණ ගතවන විට සටනට ගිය  තම ස්වාමි පුරුෂයා හෝ පියා නැවත එනතුරු හෝ අවම වශයෙන් රූපවාහිනී තිරයෙන් දැක ගැනීමට හෝ බලාගෙන සිටි බිරින්දෑ වරුන්ද දු දරුවන්ද නොකා නොබී තැන තැන හිස් ගසා ගනිමින් වැලපෙන්නට වුහ.  සටනට යාමට සුදානමින් සහ පුහුණුවට යාමට සුදානමින් සිටි සෙබළුන්ගේ ඥාතීන් ගේ අදෝනාවද එයට නොදෙවෙනි විය. තම අත කන කර රන් අභරණ නැවේ පාලකයන්හට ලබා දී අමරණිය පිරමිඩයට ගමන් කිරීමට මැවූ  සිහිනය සිහිනයක්ම පමණක් බව එහි සිටි තමන් වැන්දඹුවන්ද, වැන්දඹුවන්  නොවන වග ද නොදත් කාන්තාවන්ට  කෙමෙන් වැටහෙන්නට විය. නෞකාවේ ඉහල මහල් දෙකේ හැරුණු විට අනෙක් මහල් පහේම සිටි පිරිසගේ සිත් වල බලාපොරොත්තු රහිත මෙන්ම අවිනිශ්චිත අනාගතයක පෙරනිමිති දළුලා වැඩෙන්නට විය. තැන තැන කාමර වල සහ ආලින්ද  වල දී මුණ ගැසුණු කාන්තාවෝ  හෙමින් තම දුක් ගැනවිලිද අනෙකුන්ගේ  ඕපාදුප ද කතා කළහ.

මෙසේ කතා කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ඈතින් පැමිණෙන ආරක්ෂකයෙකු දැක අනෙකාද අතින් ඇද ගෙන තම කාමරයට ගියේ තම කතාව අවසන්  කර ගැනීමට නොහැකි වූ  බැවිනි.

"උඹ දැක්කද ඔය කොරිඩෝවේ ආපු එකා හවසට හවසට අර කෙලවරේ කාමරේ එකීගේ කාමරේට රිංගනවා "

"නෑ "

"තව දවසක් දෙකත් යනකොට අපේ මිනිස්සු ආවේ නැත්තන් අපිටත් ඉතිං උන් එක්ක බුදියගන්න  වෙයිද දන්නේ නෑ  බං"

" උන්ගේ තුවක්කුව අපේ බෙල්ලට තිබ්බම  ඉතිං අපි මොනා කරන්නද? මුහුදට පනින්න යැ ?"


දිනක් රාත්‍රියේ ඉංජින් කාමරයේ රැස්වූ ආරක්ෂක නිලධාරීන් සියයක් පමණ දෙනා අමතමින් සිටියේ සන්නිවේදන අංශයේ සේවය කරමින් සිටි තාක්ෂණික නිලධාරියෙකි.

"සහෝදරවරුනි, අපේ ඉරණම හරියට පිඹුරෙකුට අහුවෙච්ච ගොදුරක තරමට අවාසනාවන්ත වෙලා තියෙන බව මෙතන ඉන්න කී දෙනෙ කුට වැටහෙනවද, තවත් කී දෙනෙක් වටහ ගණන උත්සහා කරනවද කියල මට කියන්න බෑ, ඒත් මේක ප්‍රත්‍යක්ෂයක් බව නම් තව දින දෙක තුනකින් හැමෝටම තේරෙන්න පටන් ගනීවි. දැන් මේ නැවෙන් මරණය හොයාගෙන යනවා හැරෙන්නට අමරණිය පිරමිඩය හොයාගෙන යන එක හීනයක් වෙලා ඉවරයි."

ක්‍රම ක්‍රමයෙන් තාරතාවය ඉහල ගිය  ඔහුගේ හඬ මෙගා ෆෝනයෙන්  කාමර කිහිපයක සිටි පිරිසට ඇසෙත්ම එකිනෙකා ඔහුගේ කතාව ඇසීමට ඇඟිලි වලින් ඇවිදිමින් ඉංජින් කාමරය දෙසට රොක් වුහ.

දරුවන් කිහිල්ලේ ගසා ගෙන පැමිණි මව් වරුන් දෙස බැලූ ඔහු,

"උඹලගේ මිනිස්සු ආයේ  එන්නේ නෑ, මේ නැවට පහර දෙන්න කවුරුත් ආවේ නෑ, ඔය කොටළුවෝ කියන ඒවා ඔක්කොම බොරු, අපේ මිනිසුන්ව බෝට්ටුවල දාලා ඉස්සරහට යවල මේ නැවේ කාලතුවක්කු වලින් ම උන්ගේ බෝට්ටු වලට ගහන එකයි සිද්ධ වෙන්නේ, අපේ ගෑනුන්ගේ රත්තරන් බඩු  ටික පෙට්ටි වල අහුරලා තියාගෙන ඉන්නේ අපිව පිරමීඩයට ගෙනියන්න නෙවෙයි, උන්ට යන්න. මෙන්න තියෙනවා හදපු සැලසුමේ පිටපත, ඊළඟට කරන්න හදන්නේ, නැව ගිලෙනවා කියල ගෑණු දරුවෝ බෝට්ටු වල දාල නැවෙන් පිට කරලා උන්ටත් කාල තුවක්කු පත්තු කරලා ඔය උඩ  තට්ටුවේ ඉන්න එවුන් විතරක් අමරණිය පිරමිඩයට යන්න හදන එකයි"

ඔහු තම අතේ තබාගෙන සිටි පිටු දහයක් දොළහක් සහිත කඩදාසි මිටිය ඉහලට ඔසවමින් උද්වේගයෙන් කතා කළේය.

එහි සිටි පිරිස කසු කුසු ගාන්නට වුහ. මොහොතකින් සියලුදෙනා නොසන්සුන් වන බව කථිකයාට පැහැදිලි විය. ඔහුට නැවත කතාව ආරම්භ කිරීමට විනාඩි කිහිපයක් බලා සිටීමට සිදු විය. නමුත් කතාව නැවත ආරම්භ කලේ ඔහුනොව ඔහුට යාර කිහිපයක් දුරින් තිබු අඩි පහක් පමණ උසැති ගල් අඟුරු ගොඩ උඩ නැග මෙතෙක් වේලා සන්නිවේදන සේවකයාගේ කතාවට සවන්දුන් මහලු ආරක්ෂක නිලධාරියාය. ඔහු කථිකයාගේ සමීපයටම පැමිණ

"මේවා අඬ බෙර ගහල කරන්න පුළුවන් දේවල් නෙවෙයි, කටේ හයියට ඇඟේ හැඩි දැඩි කමට විප්ලව කරපු කාලේ ඉවරයි කොල්ලෝ, සැලසුමක් හදපන් බෙරිහන්දෙන්නේ නැතුව"

තව තවත් පිරිස එක් රැස් වන විට ආරක්ෂක නිලධාරීන් එහි  රැස්ව සිටි  පිරිස විසුරුවා හැරියේය. සන්නිවේදන සේවකයා, මහලු ආරක්ෂක නිලධාරියා සහ තවත් කිහිපදෙනෙකු එහි තව දුරටත් සාකච්චා කරන්නට විය.

"අපිට මේ විනාශයෙන් බේරෙන්න විශාල බලයක් උවමනා කරනවා, එකේ පළවෙනි අඩිතාලම මිනිස්සු, මිනිස්සු කිව්වට නිකම්ම බත් අසූචි  වලට හරවන ශරීර නෙවෙයි, නිරවුල් මනසක් තියෙන හිතන්න පුළුවන්,අනිත් එවුන්ගේ පසුගාමී හිතුවිලි යටපත් කරලා තමන්ට නොලැබෙන නමුත් තමුන්ගේ දරු මුණුබුරන්ට ලැබෙන යහපත්  සමාජයක්  වෙනුවෙන් ජීවිතය කැප කරන්න පුළුවන් මිනිස්සු ටිකක් එක්ක තමයි මේ දේ කරන්න පුළුවන්"

මහලු ආරක්ෂක නිලධාරියා නොනවත්වා කියාගෙන ගොස් තමා දෙස බලා සිටින පිරිස කුමන ප්‍රතිචාරයක් දක්වන්නේදැයි සැක සහිතව බැලීය. පිරිස ඔහුගේ මග පෙන්වීම අපේක්ෂාකරන බව මහල්ලාට වැටහිණ. නැවතත් ඔහු කතාව ආරම්භ කළේය.

"මේක පටන් ගන්න  වෙන්නේ  සන්නිවේදන අංශයෙන්ම තමයි, පුලුවන්නම් කැප්ටන්ගේ ඊ මේල් හැක් කරන්න, නැවේ තොරතුරු අඩංගු මෘදුකාංග පද්ධතියට ඇතුළු වෙන්න, රුපවාහි විකාශන වැඩ සටහන් වල සත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්න: අපි සැලසුම් හදන්න ඕනි මෙතනින් කියලයි මට හිතෙන්නේ"

ඔවුන්ගේ කතාබහ මධ්‍යම රාත්‍රිය වනතුරුත් අවසන් වී නොතිබිණ.

"සතුරු සේනාවට නැවේ යුධ රහස් හෙළි කිරීමට සැලසුම් කල කල්ලියක සාමාජිකයින් පස් දෙනෙකු ඊයේ මධම රාත්‍රියේදී අත් අඩංගුවට ගත් බවත්, එම පිරමිඩ ද්‍රෝහීන්ට  නායකත්වය දුන් සන්නිවේදන අංශයේ තාක්ෂණික නිලධාරියා  මුහුදට පැන දිවි නසාගත් බවත්, කණ්ඩායමට උපදෙස් ලබාදුන් ජේෂ්ඨ ආරක්ෂක නිලධාරියෙකු අත් අඩංගුවට ගැනීමට නියමිත" බවද පසුදින උදෑසන පුවත් විකාශයෙන් කියවින.

දුක් විඳීමේ අරමුණක් තිබිය යුතුය, කිසිදු සැලසුමක් සාර්ථක නොවන බව මහලු ආරක්ෂක නිලධාරියාට වටහා ගැනීමට ඕනෑ තරම් සාක්ෂි විය. මෙම නෞකාව දියත් කර දින කිහිපයක් ගත වන විටම ඔහු මෙම විනාශයේ පෙරනිමිති දකින්නට විය, නමුත් කිසිවෙකු ඔහු පැවසු දෙයක් විශ්වාස කලේ නැත. ඔහු කියූ දේවල් සත්‍ය බව දැක ගැනීමට දැන් ඉතිරිව ඇත්තේ අතලොස්සකි. දින දෙකක් තිස්සේ වෙඩි බෙහෙත් ගබඩාවේ හිස් පීප්පයක සැඟවී සිටි ඔහු අවසන් තිරණයක එළඹින. "ජීවිතය නම් රෝගයට නින්ද තාවකාලික ඖෂදයකි, මරණය ස්ථිර විසඳුම වේ" යයි ඔහු කුඩා කල ඇසු කියමන සිහි විය. මෙහි දුක් විඳින මිනිසුන්ගේ හෙට දින වඩාත් අඳුරු බව ස්ථිරය, මෙහි සැප විඳින්නන්ගේ හෙට දින වඩාත් සැපවත්ය. දුක විඳීමට වඩා මරණය සැපවත් බව මහල්ලා සාක්කුවේ වූ ගිණි පෙට්ටිය එලියට ගනිමින් කල්පනා කරන්නට විය.


ඉන් සතියකට පමණ පසුව ජීවිතාරක්ෂක බෝට්ටු හතරක සිටි හැට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදු කොල්ලකරුවන් ගේ කුඩා නෞකාවකට අසුවිය. සුදු පැහැති නවීන පන්නයේ නෞකාවක් වූ එහි නැව් බඳෙහි මීටර් දෙකක පමණ නිල් පැහැති ඉරක් නැව වටා ගොස් තිබිණ. නැවෙහි ඉදිරි පසදී එහි පළල මීටර් තුනකට වඩා වැඩි  විය. ඉහල සවි කල දිගු දුර ප්‍රහාර එල්ල කල හැකි අවි වලින් එය නාවික සෙබළුන් භාවිතා කරන නැවක් බව පැහැදිලි විය. දිගින් මීටර් හතලිස් පහක් පමණ වූ එහි සියලු නවීන මෙවලම් මෙන්ම ඉහලම ස්ථානයේ කුඩා රේඩාර් යන්ත්‍රයක් ද විය. එහි උත්තල දර්පනයක් සේ දිස් වූ ලෝහ තැටිය  අංශක එකසිය අසූවක කෝණයකින් දෙපසට් බ්‍රමණය වන බව නැවට සමීපවත්ම දැකගත හැකි විය. විසි දෙනෙකුට ගමන් කල හැකිව තිබු බෝට්ටු වල පස් දෙනෙකුගේ බරට සෑහෙන කිලේ දෙසිය පනහක් පමණ මිනිසුන් සුර ලොවට සැනින් ගෙන යා හැකි වටිනා ඖෂධ  ගෝනි වල දමා පටවා තිබිණ.බෝට්ටු වල බර වැඩි වන විට ආරක්ෂාවට තිබු තුවක්කුද මුහුදට විසි කළහ.  මහලු කපිතාන්ගේ  අත් පිටු පසට තබා  කඹයකින් ගැට ගසා කකුල් දෙකද  පිටි පසට කර දණහිසෙන් අත් වලට තබා කොමාවක හැඩයට එක් බෝට්ටුවක  බිම දමා තිබිණ. කට ගැට  ගසා තිබුණු රෙදි කැබැල්ල  කෙළවලින් නැහැවී තිබුණු අතර "ආක් ඔක්" ලෙස පිටවූ වචන ඇරෙන්නට ඔහුට කතා කර ගත නොහැකි විය. නළල පුපුරා ගැලු රුධිරය වියලී යාමෙන් මුහුණේ මෝස්‌තර කිහිපයන් ඇඳි තිබිණ.පිරිස් මෙහෙය වූ කපිතාන්ගේ  සහෝදරයා සහ ඔහුගේ සහයට සිටි කපිතාන්ගේ  පුතා දෑත් ඔසවා ඔවුන් සියල්ල මුහුදු කොල්ල කරුවන්ට යටත් වන බව හැඟවිය. සමාන්තරව ගමන් කල බෝට්ටු හතරින් ඔවුන්ගේ බෝට්ටුව ඉදිරියට පැමිණ කොල්ල කරුවන්ගේ නැවට මීටර් පහක් පමණ දුරින් නතර කරන ලදී. එහි සිටි නිග්‍රෝ ජාතික  සාමාජිකයා කහ පැහැයට හුරු අඟල් දෙකක පමණ විශ්කම්භයෙන් යුත් කඹය පොටවල් කිහිපයක් රවුමට ඔතා බෝට්ටුවට විසි කර අනෙක් කෙලවර නැවේ වූ ලෝහ කණුවක ගැට ගැසීය. AK 47 වර්ගයේ රයිෆල් සරණාගත බෝට්ටු වෙත එල්ල කරගත් මංකොල්ල කරුවන් විසි දෙනෙක් පමණ නෞකාවේ ඉහල මාලයේ අඩි හතරක් පමණ උසට ඇති වැට අද්දර සිටියෝය. ඔවුන්ගේ නායකයා නියමු කුටියෙන් එලියට පැමිණ අවි අමෝරා සිටින සෙබළුන් පිටු පසින් සිටගත්තේය.

ඉණි මග බෝට්ටුවට දමා එහි සිටින කපිතාන්ගේ  සහෝදරයාත් ඔහුගේ පුතාත් ගෙන්වා ගන්නා ලෙස ඔහු සෙබළුන්ට අණ කළේය.

නාවිකයෙකු ලෙස ඇඳ පැලඳ සිටියද කපිතාන්ගේ  සොහොයුරා ඉණි මගෙහි ඉහලට නැගීමේදී කිහිප වරක් මුහදට ඇද වැටීමට ගොස් යාන්තමින් බේරිණ. ඉනිමග කඹ දෙකක් DNA අනුවක ෆොස්පේට් අණු  සහ පෙන්ටෝස් සීනි අණු ලෙස දෙපසින් විය. ද්විත්ව හේලික්ෂය සම්පුර්ණ කරමින් ඒවා සම්බන්ධ කරන නයිට්‍රුජනිය භෂ්ම ලෙස  ඇල්මිනියම් දඬු අඩියක පමණ පරතරයකින් සම්බන්ධ කර තිබිණ. දෙවනුව නැවට ගොඩ වූ නියමුවාගේ පුතා එතරම් අපහසු තාවයකින් තොරව දෙපසට වැනෙන ඉනිම නැග ගත්තේය.

"තොපි කුමන දිශාවකට ගමන් කරන්නහුද ? " මුහුදු කොල්ල කරුවන්ගේ නායකයා ඇසීය. ඔහු අඩි පහ හමාරක් පමණ උස කෙසඟ සිරුරක් සහිත සුදු ජාතිකයෙකි. රැවුල සම්පුර්ණයෙන්ම මුඩු කොට තිබු ඔහුගේ මුහුණෙන් ඉතා මිත්‍රශීලි පෙනුමක් දිස් විය. නියමුවාගේ සොහොයුරා නපුංසක පෙනුමක් සහිත වූ අතර ඉතා බයාදු ගති ඇත්තකු විය. පුත්‍රයා දාමරික ගති ඇත්තකු වුවද සතුරු දේශයකදී යටහත් වීම හැරෙන්න්ට වෙනත් විකල්පයක් නොමැති බව දන සිටියෙන් නිවට සිනාවක් පෑවේය.

"අපි ඒෂියන් වොන්ඩර්ස් නැවෙන් අමරණිය පිරමිඩයට ඇතුල් වීමට  යන ගමනේදී එය මුහුදු බත් උණා" කපිතාන්ගේ සොහොයුරා පිළිතුරු ලබා දුන්නේය. උඩු තල්ලේ ගැටෙන ලෙස ඔහුගේ මුව තුලට යැවූ දිලිසෙන පිස්තෝලයේ බටය දෙපසට කරකවා,

"තොපි ළඟ වටිනා භාණ්ඩ මොනවද තියෙන්නේ? " යැයි කොල්ල කරුවන්ගේ නායකයා පොලවේ අඩි හප්පා ප්‍රශ්ණ කළේය.

"අපි ළඟ තියෙනවා, ලොව වටිනාම ඖෂධ වලින් කිලෝ දාහක් විතර" කපිතාන්ගේ පුත්‍රයා පිළිතුරු දුන්නේය.

"ඒකෙන් උඹලට අමරණිය පිරමිඩයට යන්න බෑ , ලේසියෙන්ම මිනී මෝරුන්ගේ බඩවල්  ඇතුලට  නං යන්න පුළුවන්" නායකයා තම සගයෙකුට ඇසින් ඉඟි කරමින් පැවසිය.

කපිතාන්ගේ සහෝදරයාගේ කලිසම දිගේ පහලට මළ මුත්‍රා ගලමින් තිබිණ. ඔහුට තව දුරටත් කතා කරගත නොහැකි විය සිහිසුන්ව බිම ඇද වැටුණි. නායකයා නාසය අතින් වසාගෙන ඔහුව ඉවතට රැගෙන යන ලෙස තම පිස්තෝලයෙන් සංඥා  කරන ලදී. සෙබළුන් දෙදෙනෙකු  නැවේ කෙලවර වැට ආසන්නයට මියගිය සුනඛයෙකු සේ ඇදගෙන ගොස් බිම දමා ගිණි නිවීමට ජලය විදින රබර් නලයක් ගෙන අධි පීඩන ජාල ධාරාව ඔහු වෙත යොමු කළේය. මොහොතකින් ඔහු නැවත පියවි සිහියට පැමිණ ඉතා අපහසුවෙන් වැට අල්ලාගෙන සිටගත්තේය. ජල ධාරාවෙන් මුහුණ බේරා ගැනීමට ඔහු මුහුද දෙසට හැරුණේය. ජල ධාරාවේ පිඩනයට දණහිස් දෙක ඉදිරියට නැමී ගිය අතර කකුල් දෙක නැව් තට්ටුවෙන් එලියට විසිවී ගියේය. ඔහු මරහඬ තියමින් වැටේ එල්ලින. තට්ටම් දෙකට යොමු කල ජල ධාරාවෙන් කලිසම, යට කලිසම මෙන්ම රබර් පටියකින් ඉනට සම්බන්ධ කර තිබු කෘතීම වෘෂණ කෝෂ යුගලද  ගැලවී මුහුදට වැටිණ. නායකයා කොක් හඬලා සිනා සීමට පටන් ගත් විට තුවක්කු අමෝරා සිටියවුන් සියලු දෙනාද එයට එක වුහ. ජල පහර නතර කළ විට ඉතා අපහසුවෙන් නැවට ගොඩවූ යටි කය නිර්වස්ත්‍ර ඔහු අසල බිත්තියේ වූ ගිනි නිවීමට යොදා ගන්නා කාබන් ඩයොක්සයිඩ් සිලින්ඩරය ගලවා එය  කොල්ල කරුවන්ගේ නායකයා දෙසට විසි කළේය.

එය ඔහුගේ මුහුණ ආසන්නයෙන් ගමන් කරන විට ඔහු දෙපය  නොසෙල්වා  ශරීරය ප්‍රති විරුද්ධ දිශාවට ඇල වී  ප්‍රහාරයෙන් ගැලවිණ . නැවත කෙලින් සිටගත් ඔහු වම්  පාදය පියවරක් ඉදිරියට තබා තමාට මීටර් තුනක් පමණ ඉදිරියෙන් සිටි කපිතාන්ගේ සොහොයුරාගේ දෙසට  එල්ල කර පිට පිට මුනිස්සම් දෙකක් මුඳා  හැරියේය. පළමු වැන්න පපුව සිදුරු කරගෙන මස් වැදලි සමග පිටෙන් මතුවූ අතර දෙවැන්න ඔහු ඇද වැටෙන විට නිකටෙන් ඇතුළු වී මුඛය හරහා ගොස් කුඩු වූ මොළයේ කැබලිද සමග අපර කපාල අස්ථියේ කොටසක් කඩාගෙන හිසෙන් මතු විය. වෙඩි පහරවල් සමග පිටු පසට විසි වුණු ඔහු වැටට හේත්තු විය, සෙබලෙකු වහා ඉදිරියට පැන ඔහුගේ කකුල් දෙකෙන් ඔසවා මුහුදට තල්ලු කළේය. ජල නලය අතැතිව සිටි සෙබලා බිම ඉහිරුණු ලේ පැල්ලම් සේදී යන්නට ජල පහරක් ඇල්ලීය. බෝට්ටුවල සිටි පිරිස විලාප දෙන්නට විය.

කපිතාන්ගේ පුත්‍රයා නායකයාගේ දෙපා මුල වැඳ වැටුනේය.

"අපි ළඟ සල්ලි, රත්රන් මුතු මැණික් තියෙනවා, ඒ ඔක්කොම අරගෙන අපිට යන්න දෙන්න කැප්ටන් " ඔහු වැලපෙන්නට විය.

නායකයා ජයග්‍රාහී මෙන්ම උපහාසාත්මක සිනහවක් පා කපිතාන්ගේ පුත්‍රයා කැඳවාගෙන රහස් කාමරයට ගියේය. කාමරයේ දොර වසාගත් අතර දෙදෙනෙකු පිටතින් රැකවල් ලා සිටියෝය.

"අපේ නැව මුහුදුබත් වුනේ මෙතනදී' කපිතාන්ගේ පුත්‍රයා තම සාක්කුවෙන් එලියට ගත් සිතියම මේසය මත දිග හරිමින්, කිවේය. ඔහු පෙන්වූ තැන කතිරයක් යොදා අක්ෂාංශ සහ දේශාංශ ලියා  තිබිණ.

"නැවේ තියෙනවා රත්රන් ටොන් බාගයක්, තවත් ටොන් එකකට කිට්ටුව මුතු මැණික්, රිදී "

"මේ ඔක්කොම ඇත්ත නම් අපි උඹලව අමරණිය පිරමිඩයට ඇරලවනවා, බාගයක් අපිට"

"මම කැමතියි "

සිතියම මත දෙදෙනා අත්සන් කලෝය. එකිනෙකා වැළඳ ගෙන කාමරයෙන් පිටතට පැමිණියෝය. නැවේ වැට අද්දරට ගොස් කපිතාන් නිදහස් කරන ලෙසට පුත්‍රයා බෝට්ටුවේ සිටි පිරිසට අණ  කළේය. නැවේ සිටි සෙබළුන් නායකයාගේ අණින් ගෝනිවල දමා නැව් තට්ටුවට රැගෙන ආ පාන් සහ  වතුර බෝතල් කිහිපයක් බෝට්ටු වලට  විසි කලෝය. කපිතාන්ගේ  තරුණ බිරිය කපිතාන්ගේ  මුඛය ආවරණය කර තිබු රෙදි කඩ ගලවා දමන විට ඔහුගේ තරුණ දියණිය දෙපා සහ අත් බැඳ තිබු කඹය කපා දැමුවාය.

නැවේ  නියමු කුටියට පිටු පසින් නැව් තට්ටුව මත නතර කර තිබු  සුදු පැහැති හෙළිකොප්ටරය වෙත නායකයා සහ කපිතාන්ගේ පුත්‍රයා ගමන් කරන විට එය පනගන්වා තිබිණ. මීටර් දාහතරක් පමණ විශ්කම්භයක වෘතාකාර පථයක බ්‍රමණය වූ එහි තටු ආසන්නයට ගමන් කරන විට හිස පහත් කර ගත්තෝය, සන්නද්ධ සෙබළුන් හතර දෙනෙක්ද කිමිදුම් කරුවන් දෙදෙනෙකුද නියමුවා සහ ඔවුන් දෙදෙනාට අමතරව හෙලිකොප්ටරයට ගොඩ විය. නායකයා තම කලවා මත තබාගත් සිතියම පරික්ෂා කර නියමුවාට එහි අක්ෂාංශ සහ දේශාංශ පිහිටීම ලබා දුන්නේය, ඔහු එය නියමු අසුන ඉදිරිපස පරිගණක යතුරු පුවරුවෙන් GPS පද්ධතියට ලබා දුන් විට අදාළ ස්ථානය රතු පැහැති තිතකින්ද වර්තමාන පිහිටීම කොළ පැහැති තිතකින්ද අඟල් හතක් පමණ වන තිරයේ දිස් විය.  නැව් බඳ චලනය කරමින් ඉහලට කමන් කළ හෙලිකොප්ටරය විනාඩි තිස් පහක කාලයකදී අදාල ස්ථානයට ලඟා විය. තැන තැන පාවෙමින් තිබෙන සියගණනක් මළසිරුරු වල ඇස් උගුල්ලමින් ඒවා තම පැටවුන්ට කවන උකුස්සන් වැනි පක්ෂීන් රාශියකි.මිනී මෝරුන්ගේ ප්‍රහාරයට ලක්වීමෙන් මියගිය මිනිසුන්ගේ අත් පා කැබලි මෙන්ම බොකු බඩ වැල්ද පාවෙමින් තිබිණ. හෙලිකොප්ටරය මුහුදට වඩා ලං වන විට මිනී ගඳ උසුලාගත නොහැකි තරම් විය. මළ සිරුරු ඉදමි පුළුන් කොට්ට මෙන් විය, සම පිලිස්සී දුඹුරු පැහැගෙන තිබිණ. යානය මුහුදට අඩි 25කටත් අඩු උසකින් නිශ්චලව පැවතිණ, අධි තාක්ෂණික, ඉතා අඩු සංඛාත  VLF ලෝහ අනාවරකයන් දෙකක් මුහුදු පතුල වෙත යවන ලදී, ඒවා පාලනය කිරීම නායකයා විසින් හෙලිකොප්ටරයේ සිට සිදු කරන ලද අතර කිමිදුම් කරුවන් දෙදෙනා, වරින් වර ජලය තුලට ගමන් කරමින්ද ඉහලට පැමිනෙමින්ද යන්ත්‍ර වල රැහැන් එකිනෙක පැටලී යන විට ඒවා, නැවත සකස් කලෝය. මුහුදේ ගැඹුර මීටර් දෙසීයකට අඩු වූ එම ප්‍රදේශයේ ඔවුන්ගේ මෙහෙයුම වඩාත් පහසු විය. පැයක් ගත වන්නටත් මත්තෙන් ලෝහ අනාවරකයන් රත්රන් පෙට්ටි සමුහය ඇති ස්ථානය අනාවරණය කරගත්තේය. නායකයා සෑහීමට පත්වූ බව හැඟවිය, සුදු මැලි වූ කපිතාන්ගේ පුත්‍රයාගේ මුහුණට ලේ ගමන් කරන්නට පටන් ගත් බවක් දැනින. ආම්පන්න සියල්ල යානයට පටවා ගෙන කිමිදුම් කරුවන් දෙදෙනා එයට ගොඩ වූ පසු එය වේගය වැඩි කරමින් ඉහලට හමන් ඇරඹීය. විවෘත කර තිබු දොරටුවෙන් මුහුදේ පාවෙන මල මිනී හෙලිකොප්ටරයේ සුළං පහරට ඇතිවන රැලි වලින් ඉහල පහල යන දෙස බලා සිටියේය. පසු පසින් සිටි සෙබලා AK 47 ගිනි අවියක බඳෙන්  හිස පසු පසට එල්ල කළ  පහරත් සමගම නායකයා ඔහුව හෙලිකොප්ටරයෙන්  මුහුදට තල්ලු කළේය. අඩි සියගණනක් ඉහල සිට මරලතෝනි දෙමින් කපිතාන්ගේ පුත්‍රයා මුහුදට පතිත විය.

දිනකට පමණ පසුව ජාත්‍යන්තර ප්‍රවෘති විකාශන බොහෝමයක උද්යෝගයෙන් වාර්තා කරන ලද්දේ අමරණිය පිරමිඩයය  ආසන්න මුහුදේදී ලොව දරුණුම මුහුදු කොල්ල කරුවන් කණ්ඩායමකට පහර දී ඔවුන්ගේ කුඩා ප්‍රමාණයේ නෞකාවක්, බෝට්ටු හතරක් සහ හෙලිකොප්ටරයක් විනාශ කල බවයි. බෝට්ටු වලට මෙන්ම නැවට ගුවනේ සිට එල්ල කරන ලද බෝම්බ වලින් ඒවා කළු පැහැති දුම් රොටු වලින් වැසි යන ආකාරයත් පසුව නැව කෙමෙන් මුහුදට ගිලා බසින දර්ශනත් පෙන්වන ලදී.

- ජානක ගුණතිලක

Saturday, March 15, 2014

පොළවේ නොගෑවුණු දෙපය- කෙටි කතාව (8)

පොළවේ නොගෑවුණු  දෙපය





සියළු දෙනාම ඇසිපිය නොහෙලා ඒ දෙස බලා සිටියෝය, කහ පාට සහ කළු පාට ඇල ඉරි සහිත අඟල් හතරක් පමණ පළලින් යුත් පොලිතීන් පටි වලට පිටතින් ඔවුන් සියලු දෙනා කම්මුල් වලට අත් වලින් මුක්කු ගසා ගෙන ඒ දෙස බලා සිටියෝය. කිසිවෙකු කිසිවක් කතා නොකළේය. වැඩිහිටියන්ගේ කකුල් අතරින් රිංගා ඉදිරිය පැමිණීමට උත්සහා දැරූ කොලු ගැටයන්ගේ කන් මිරිකා, ටොකු ඇන තර්ජනාත්මක බැලුම් හෙලා ආපසු හරවා යවන ලදී. ටික වේලාවකින් කොලු ගැටයන් තරමක් ඈතින් තිබු ගස් වල අතු වලට පමණක් නොව අගිස්සට ද නැග ඒ දෙස බලා සිටියේය. දවස් දහයකට පෙර ඔවුන් වල දැමු මිනිය නැවතත් පොලිස් කම්කරුවෝ  ගොඩට ගත්තෝය. පොලිතීන් වළල්ලට ඇතුලතින් සිටි පොලිස් නිලධාරින්ද ගොඩට ගනිමින් තිබු මිනී පෙට්ටිය දෙස බලාගෙන සිටියෝය. වලෙන් ගොඩට ගත් මිනී පෙට්ටිය මෙතෙක් ගොඩට දැමූ පස්ගොඩ මත තබා හහෙස්ත්‍රාත් තුමියගේ විධානයෙන් ඔවුන් විවෘත කළේය. ඒ සමගම සුළඟ හමන දිශාවට ප්‍රති විරුද්ධ දිශාවේ සිටි සියලු දෙනා තමා අත තිබු ලේන්සු වලින්ද, එසේ නොමැති වුවන් කලවා නිරාවරණය කරමින් තම සරමෙන්ද, කිසිවක් කර කියා ගත නොහැකි වුවන් තම දෑත් වලින්ද නාසය ආවරණය කර ගත්තේය. එය විවෘත කරනවාත් සමගම මෙතෙක් නොසිටි නිල මැසි රංචුවක් එය වට කර ගත්හ. මිනිස් සිරුරක හැඩයේ රබර් බැලුනයක් මෙන් ඉදමි විකෘති වී තිබු එම ඕජස් ගලන මල සිරුර සේවකයන් තිදෙනෙකු ඔසවා අසල තිබු ට්‍රොලියේ ඇලුමිනියම් තහඩුව මත තබන ලදී. අධිකරන වෙෙද්‍යවරයා සහ තම සාරි පොටින් නහය වසා ගත් මහේස්ත්‍රාත් තුමිය පිළිකුල් සහගත හැඟීමෙන් තරමක් ලංවී එය දෙස බලා සිටියෝය.

"මේ රෙදි අයින් කරලා පොලිතින් වලින් ඔතල සීල් කරන්න" ඇය  කීවාය.

පොලිතීන් වලින් ද  එය වටා සෙලෝටේප් පටි වලින් ඔතන ලද එම සිරුර ගිලන් රථයට ඇතුළු කරන ලදී.

"මේ පෙට්ටිය වලට දාලා වල වහල දාන්න" කියා අසල සිටි පොලිස් නිලධාරීන් රොක් වී සිටි පිරිසට කිවේය.

"කොහෙද මේක ගෙනියන්නේ" කියා වල වැසීමට මුලින්ම ඉදිරිපත් වූ වයස අවුරුදු හතලිහක පමණ හැඩි දැඩි මිනිසා තමා අසලම සවලක් අතින් ගත් බුද්ධිමත් පෙනුමක් තිබු තැනැත්තාගෙන් ඇසිය.

"කරාපිටියට"

අධිකරණ වෙෙද්‍යවරයා අසලටම වී සියල්ල දෙස බලා  සිටි පාලිතගේ දෑස් වලින් වැටුණු කඳුළු ඔහු අතින් පිසදා ගත්තේය.

පාලිත නිවසට පැමිණියේ ගුවන් තොටුපල කුලී මෝටර් රථයකිනි. අතුරු මාර්ගයේ සිට තම නිවසට යන පාර දෙපස කිසිදු හිඩැසක් නොතබා අඩි සියයක පමණ දුර සුදු පැහැති අවමංගල සමිති වල බැනර් වලින් සරසා තිබිණ. මෝටර් රථය නිවස අසල නතර කරන විට මාර්ගයේ ගමන් ගත් සියලු දෙනාද, මිඳුලේ සිටි අයද නිසොල්මන්ව ඔහු දෙස බලා ගෙන සිටියෝය. රථයෙන් බසින විට ඔහු අත තිබු බෑගය අසල සිටි වයසක පුග්ගලයෙකු කිසිවක් නොකියාම ඉල්ලා ගත්තේය.

ඔහු නිවසට ගොඩවත්ම

"අනේ පාලිත බලන්ඩකෝ රෝසි කරගත්ත දේ" කියා ඔහුගේ බිරිඳ විලාප දෙමින් ඔහුව බදා ගත්තේය. ඇයද වත්තම කරගෙන ඔහු සාලය මැද නිසොල්මන්ව සිටි  සුරූපී සොළොස් වියැති තම දියනියේගේ මෘත ශරීරය දෙසට ලං විය. දරදඬු වී තිබු ඇයගේ නළල ඔහු සිප ගත්තේය, එවිට පුයර දමා තිබුණු මුහුණේ සලකුණු ඉතිරි කරමින් ඔහුගේ කඳුළු කැට කිහිපයක් සුදු පැහැති වෙල්වට් රෙද්දෙහි සැඟව ගියේය. ඔහු තම බිරිඳව  වත්තම් කරගෙන ගෙතුලට ගියේය, කාමරයේ දොර වසා දමා,

"මොනාද සිද්ධ වුණේ" කියා ඇසීය

"රෝසි ස්කූල් වෑන් එකේ ඩ්‍රයිවර් එක්ක යාලු වෙලා ඉඳල තියෙන්නේ, දෙන්න එකට ගත්ත ෆොටෝ ෆොනේ එකේ තිබ්බා, ඒකේ මහ නරක ඒවත් තිබ්බා, ෆොනේ එක විජේලතා ටීචර්ට අහුවෙලා ප්‍රින්සිපල්ට දීලා , පෙරේදාට ඉස්සෙල්ලා දා  උදේ මට ඉස්කෝලෙට එන්න කියල පණිවිඩයක් එවල තිබ්බා, මම ගියාම තමයි ෆෝන් එක මට දුන්නේ. රෝසිට හොඳටම අවවාද කරා, එයා පොරොන්දු උනා සම්බන්ධය නතර කරනවා කියල"

"ඔයත් බැන්නද ළමයට"

"නෑ මම හිත රිදෙන්න මොකුත් කිව්වේ නෑ, හැබැයි දුවගේ හිත ගොඩක් පෑරිල තිබුණේ, පෙරදා රෑ දොළහට විතර ආවා මගේ කාමරේට, ඇවිල්ල කිව්වා"

"අම්මේ මට නින්ද යන්නේ නෑ  කියල"

මම කිව්වා එහෙනං මගේ කාමරේ නිදිය ගන්න කියල, මම තේ එකක් හදල දුන්නම එකත් බීලා එයාගේ කාමරේටම ගියා.

මම උදේ නැගිටලා කුස්සියට යනකොට තමයි දැක්කේ, කෑම කාමරේ උඩ තියෙන බාල්කෙ කඹේ කින් එල්ලිලා ඉන්නවා"

"ඉතිං ඔයාට රෑ මොකක් වත් සද්ධයක් වත් ඇහුනේ නැද්ද?"

"නෑ අනේ මම ඔෆිස් එකේ වැඩ වගයකුත් ගෙදර ගෙනල්ලා කර කර හිටියේ, මට ඊට පස්සේ හොඳට නින්ද ගියා "

"මරණ පරීක්ෂණයේදී මොකක්ද කිව්වේ?"

"විශේෂ දෙයක් නෑ, හැබැයි රෝසි ගැණියෙක් වෙලා ඉඳල තියෙන්නේ "

"එයා ප්‍රෙග්නන්ට්ද ? "

" නෑ "

ඒ වන විට අඳුර වැටි තිබුනද නිවසද මින්දුලේ තාවකාලිකව අටවා ප්ලාස්ටික් පුටු දමා තිබු ස්ථානද මිනිසුන්ගෙන් පිරි පැවතිණ. රාත්‍රී එකොළහ පමණ වන විට තරමක් සෙනග අඩුවිය, පාලිත මිඳූලේ කාඩ් සෙල්ලම් කරමින් සිටි තම අසල්වාසීන් අසලින් හිඳ ගත්තේය.

"පාලිත මහත්තයා පිටත් උනේ කීයටද?" කාඩ් සෙල්ලම දෙස බලාගෙන සිටි අයෙක් ඇසීය.

"මම ඉතාලියෙන් එනකොට පාන්දර දෙකයි "

"යන්නේ කවදද?"

"හත් දවසේ දානේ ඉවර වෙලා තමයි යන්නේ?, දැන්නං රට හිටියා ඇති වගේ, ගිහිල්ලා පුළුවන් තරං ඉක්මනට ආයේ  එනවා "

"අපි හෙට ඉස්කෝලේ ළඟ පිකට් එකක් කරනවා, ප්‍රින්සිපල් මාරු කරන්න කියලා" එතනට එකතු වූ පාලිතගේ බාල සොහොයුරා කිවේය.

"ඒක කරන්න එපා, ප්‍රින්සිපල් වැරදිත් නෑ, දුව එල්ලුනාට එයා මොනා කරන්නද?"

සියලු දෙනාගේ සෝ සුසුම් මැද රෝසිගේ දේහය  වලලා දමන ලදී. සත් දවසේ දානය අවසන් වී හවස් වරුවේ පාලිත තම බෑගයට රැගෙන ආ කමිස කලිසම් කිහිපය අසුරන අතරතුර,

" පාලිත ඔයා දැන් රට හිටියා ඇති මෙහෙට එන්න, මට තනියම ඉන්න බෑ දැන්, පොඩි දුවත් ලබන අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගේ කරනවනේ"

"ඔව් මම එන්න තමයි හිතා ගත්තේ, ඒත් අස්වෙලා එන්න මාස හතරක් වත් යනවා"

පසු දින ඔහු ගුවන් තොටුපල කුලී රථයක් ගෙන්වා ගෙන පිටත් වීමට සුදානම් විය. බිරිඳ කිසි දවසක නොවූ ලෙස හඬා වැලපෙන්නට විය. කුඩා දියණිය සිපගත් ඔහු

"තාත්තා ඉක්ක්මනට එනවා දුවේ "කියා කිවේය.

ඔහු මෝටර් රථයට නැගී පිටත්ව ගියේය.

"සර් එයාර් පොර්ට් එකට ආවා" කියා රථයේ රියදුරා ඔහුට කතා කරන විට පාලිත සිටියේ තද නින්දේය.

"අපි ආපහු යං"

"සර් මේ එයාර් පොර්ට් එක"

"මම දන්නවා, තමුසෙට මම සල්ලි ගෙවනවා බය වෙන්න එපා අපි යමු ආපහු"

රථය නැවතත් පැමිණි මග දිගේ ගමන් කළේය. ඔතනින් දකුනට දාලා ඔය තියෙන ඔෆිස් එක ලඟින් නතර කරන්න. මෝටර් රථය රියදුරා  නතර කිරීමට පෙර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මග හරස් කොට නතර කළේය. ඔහු කුලිය ගෙවා මෝටර් රථය පිටත් කළේය.

"මට ඒ එස් පී මහත්තයා හම්බ වෙන්න ඕනි" පාලිත අසල සිටි පොලිස් නිලධාරියාට කිවේය.

"ඇපොයින්මන්ට් එකක් තියෙනවද?"

"නෑ මම මහත්තයාගේ යාලුවෙක්, පාලිත සමරවික්‍රම  ඇවිල්ලා ඉන්නවා කියන්න, පුද්ගලික වැඩකට "

කාර්යාලයේ කොරිඩෝව දිගේ ගමන් කල ඔහු මොහොතකින් නැවත පැමිණියේය.

"ඒ එස් පී මහත්තයා සර්ට එන්න කිව්වා"

පොලිස් නිලධාරියා පසු පසින් ගමන් කළ ඔහු දෙපස අර්ධයක්  විදුරු වලින් ආවරණය කර තිබු කාර්යාල එකිනෙකින් පසු කළේය. තම සෙවනැල්ල ඒවා තුල අපැහැදිලි ලෙස  දිස් වී, කාර්යාල තුල සිටින පොලිස් කාන්තාවන් සහ නිලධාරීන් සමග මුසු වී නැවත නොපෙනී ගියේය. එය තවත් විදුරුවක නැවත දිස් විය, ඒ අතරට ඉදිරියෙන් ගමන් කරන නිලධාරියාගේ ප්‍රතිබිම්භයද වරෙක එකතු විය. කාමරයට මුලින් ඇතුළු වූ පොලිස් නිලධාරියා ආචාර කර  පිටවී ගියේය.පාලිත ඔහු ඉදිරියේ අසුන්ගත්තේය.

"කවදද මචං ආයේ යන්නේ " පාලිත මේසය දෙස බලාගෙන සිටියේය, නැවතත්,

"මටත් හිතා ගන්න බෑ  මචං වෙච්ච දේ, ඒත් මොනා කරන්නද අපිට හිත හදා ගන්න වෙනවනේ" ඔහු තම පුටුවෙන් නික්ම විත් පාලිතගේ පිටට තට්ටු කළේය.

"මට දුවගේ මරණේ ගැන සැකයක් තියෙනවා" එක එල්ලේම ඔහුගේ මුහුණ දෙස බලාගෙන පාලිත කිවේය.

"ඇයි පාලිත එහෙම කියන්නේ? '

"මගේ හිත කියනවා දුව මැරුණේ එල්ලිලා නෙවෙයි කියල"

"මොකක් හරි සැක හිතෙන දෙයක් තියෙනවා නම් කියපන්, අපි බලමු"

"එයා මැරුණේ සිකුරාදානේ, බ්‍රහස්පතින්දා රෑ එයා මාත් එක්ක චැට් කර කර හිටිය ගොඩක් වෙලා, එයා මාත් එක්ක හැම දෙයක්ම කියනවා, කොහොමටත් කෙල්ලෝ තාත්තලත් එක්ක හරි එකතුයිනේ, ඔය ප්‍රින්සිපල් අවවාද කරපු සිද්ධිය මට කිව්වා, ඒත් මම ඒකට කලබල උනේ නෑ, දුව ගොඩක් හිතේ අමාරුවෙන් තමයි හිටියේ, ඒත් ඒ වෙනකන් සිද්ධ වෙලා තිබුණු දේවල් නිසා මැරෙන්න තරම් හේතුවක් තිබුණේ නෑ කියලමයි මට හිතෙන්නේ, එයා අන්තිමට කිව්වේ, තාත්තා දැන් අපි ළඟ ඉන්න එනවා නම් හොඳයි කියන එක, එතකොට රෑ එකොළහට විතර ඇති "

"මචං මේක හරි බරපතල ප්‍රශ්නයක්, කිසිම සාක්ෂියක් නැතුව අපි මෙතැනදී කෙනෙක්ව සැක කරන එක, මොකද, රෑ එකොළහත් වයිෆ්ගේ කට උත්තරයට අනුව මිනිය හම්බ වෙන වෙලාව උදේ පහත්  නිසා, ඒ අතර කාලය තුල ගෙදර හිටියේ වයිෆ් ට අමතරව, පොඩි ළමයනේ, පොඩි ළමය පැත්තකට කරපුවම කෙලින්ම අපිට ඉතිරි වෙන්නේ, වයිෆ්.........."

දෙදෙනාම නිහඩව ටික වේලාවක්‌ කල්පනා කරන්නට විය.

"වරදක් නොකර පාලිත ඔයා වයිෆ්ව  සැක කරොත් පවුල් ජීවිතෙත් එතනින් කෙලවර වෙනවා මචං, එතකොට පොඩි දුව ? "

"නෑ හල්පේ මටත් තිබුන ප්‍රශ්නේ ඕකම තමයි, මම අද උදේ යන්න ලෑස්ති වෙලා මේස් එකක් නැතුව හොයනකොට, නෝනගේ ෆෝන් එක තිබ්බා ඇඳ අයිනෙන් බිමට වැටිලා පරණ සපත්තුවක් ඇතුලේ, එයා ෆෝන් එක නැති වෙලා කියල කිව්වා දවස් දෙක තුනකට ඉස්සෙල්ල, මම එක චාර්ජ් එකට ගහල ඔන් කරාම මැසේජ් කිහිපයක් ආවා, එකක තිබුණා,

 ' කෝල් එන්ට්‍රි ටික මකල මේ මැසේජ් එකත් මකන්න ' කියල, එතකොට මට පොඩි සැකයක් ආවා, ඒත් මොකුත් වැඩි පුර බලන්න උනේ නෑ, ටැක්සි එක ආවා, මම ඒ ෆෝන් එක සාක්කුවේ දාගෙන ටැක්සියට නැග්ගා"

"මේ තියෙන්නේ ඒක" ඔහු සාක්කුවෙන් එලියට ගත්තේ සුදු පැහැති ඇනරොයිඩ් දුරකතනයකි.

"මම ටැක්සියේ යනගමන් අන්තිමට ගත්ත කෝල් මොනාද කියල බැලුවා"

"ඉතිං  ? "

" බ්‍රහස්පතින්දා රෑ දොළහෙන් පස්සේ හැම පැයකට විනාඩි හතලිස් පහකටම සැරයක් මේකට කෝල් ඇවිල්ලා තියෙනවා, මේකෙන් කෝල් කරලත් තියෙනවා, එකම නම්බර් එකකට"

පොලිස් නිලධාරියා ඔහුගෙන් දුරකථනය උදුරා ගත්තේය,

"අන්තිම කෝල් එක මේකෙන් දීල තියෙන්නේ, සිකුරාදා උදේ හතරයි, හතලිස් අටට" ඔහු එය පරික්ෂා  කරමින් කිවේය.

"මචං එතකොට මුළු රෑම ගෑණි ඇහැරලානේ ඉඳල තියෙන්නේ"

"පාලිත මේක පැමිණිල්ලක් විදිහට ලියමු"

ඔහු මේසය මත තිබු සීනුව නාද  කළේය.

"අම්මේ මට නින්ද යන්නේ ණෑ" කියාගෙන ඇය ඇතුලතින් අගුලු නොදමා  තිබු කාමරයට ඇතුළු වී උළුවස්ස සම්බන්ධ  බිත්තියේම තිබු විදුලි පහනේ  ස්විචය ඔබා ඇඳ දෙසට හැරෙනවාත් සමගම ඇයගේ මුහුණට මුහුණ ගෑවෙන ආසන්නයට අඩ නිරුවතින් පැමිණි මවගේ මුහුණ යක්ෂණියක් සේ දිස්විය. ඇයගේ එක් අතක්  තරුණියගේ ගෙල දෙසට යොමු වූ අතර අනෙකෙන් කෙස් වැටිය ග්‍රහණය කර මුහුණ ඇඳ දෙසින් ස්විචය තිබු බිත්තිය පැත්තට හරවන ලදී. ඇඳෙහි සිටි ඔහු එසැනින් මුහුණ කොට්ටයකින් ආවරණය කර ගත්තේය. කපා හෙලු ගසක් මෙන් රෝසි සිහිසුන්ව බිම ඇද වැටුනාය.

ගෙලට සිරකල  තොන්ඩුව තිබු කඹයේ අනෙක් කෙළවර කෑම කාමරයේ බාල්කයට උඩින් විසිකර, ඔවුන් දෙදෙනාම එකවර එම කෙළවර පහලට ඇද්දෝය. රාත්‍රී නිදි ඇඳුමින් සැරසී සිටි ඇයගේ දෙපා පොළවෙන් ඉහලට එසවෙත්ම සියුම් කෙඳිරිලි හඬක් පමණක් නික්මිණ.

ඔහු නිවසට පැමිණෙන විට අසල්වැසි නිවසේ සිට දුවගෙන ආ  සිඟිති දියණිය,

"තාත්තා ඔයා රට ගිහිල්ලා මෙච්චර ඉක්මනට ආවද" කියා ඇසීය.

ඇය වඩාගත් ඔහු කඳුළු පිරි දෙනෙතින් ඇයව තුරුළු කර ගත්තේය.

"ඇයි තාත්තේ අම්මවයි, පොඩි බාප්පවයි පොලිසියෙන් එක්කරගෙන ගියේ "


- ජානක ගුණතිලක



Sunday, March 9, 2014

සොෆ්ට් වෙයා ඔෆ් නිර්වාණ - කෙටි කතාව (7)


සොෆ්ට් වෙයා ඔෆ් නිර්වාණ 




"ස්වාමීනී අපි පතස්සු හල්ලුක නම් වෙළඳ දෙබෑයන් වෙමු, බෝ ගසක් යටට වී දුක් විඳිනා ඔබ වහන්සේ ගැන මහත් අනුකම්පාවෙන් අපි මෙහි පැමිණියෙමු, ඔබ වහන්සේට විසඳා ගත නොහැකි බොහෝ ගැටළු ඇතුවාට සැකයක් නෑ, අපගේ වෙළඳාම පාඩු ලබනවා යයි පවසමින් අපිත් ලාභ ලබන්නෙමු. අපිටත් ගැටළු නැතුවාම නොවෙයි, අපගේ පරමාදර්ශි උත්සාහය දුක් විඳින මිනිසුන් මේ සසරින් එතර කිරීමයි ස්වාමිනි "'

"දුක් විඳින මිනිසුන් සසරින් එතර කිරීම ? යකෝ මමත් හොයන්නේ ඒකට ක්‍රමයක්  තමයි,මටත් මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න බැරුවයි ඉන්නේ, තොපි දන්නවද මම මෙහෙම කහ පාට රෙද්දක් පෙරෝගෙන හිටියට සොෆ්ට් වෙයාර් ඉන්ජිනියර් කෙනෙක්, මම දන්නැති එකක් කොහොමද තොපි ළඟ තියෙන්නේ?"

"නෑ  ස්වාමිනී අපි ළඟ තියෙනවා මේකට කෙටි ක්‍රමයක් ඔබ වහන්සේටත් 100% ප්‍රතිඵල ගෙනදෙනවාට සිකුරුයි"

"කියපියව් බලන්ඩ තොපගේ කෙටි ක්‍රමය, මම නොදන්නා කෙටි ක්‍රම තියෙන්න බෑ මේ විශ්වයේ"

හල්ලුක හිසේ බැඳ තිබු කිසිදු අවුලක් නොවූ ජටාව උජාරුවෙන් නැවත සකස් කොට ඩිෆෙන්ඩර් තුනකට පසු පසින් නවතා තිබු මොන්ටේරෝ රථයේ පසුපස දොර විවෘත කර තණ කොළ මිටියක් මැදට අත යවා සීල් කල පොලිතින් උරයක  අසුරා තිබු දාස් පෙති  කොළ වලට සමාන කොළ වලින් යුත් පාර්සලයක් රැගෙන ආවේය. මොන්ටේරෝ රථයට පිටු පසින් කාකි ඇඳුම් ඇඳගත් උත්තුංග දේහධාරී සෙබළුන් පිරිවරාගත් තවත් ඩිෆෙන්ඩර් රථ තුනක් ද විය.

"ස්වාමිනි  මේකෙන් ග්‍රෑම් 162 ක් ගිණි කබලක සෙල්සියස් අංශක 107.5 උෂ්ණත්වයට තත්පර 302.175 ක් රත් කර නිමෙන්නට හැර නවසීලන්තයෙන් ගෙන්වා ගත්  කිරිපිටි හැඳි දෙකකට මිශ්‍ර කර සිනි හැඳි තුනක් දමා පානය කරන්න, ඔබ වහන්සේගේ විද්‍යාගාර සහයකයින් පස් දෙනා මනා පළපුරුද්දක්  ඇති අය බැවින් ඔවුන්ට කියා මෙය සකස් කරගන්න"

පතස්සු ඒ  කතාව නතර කරනවාත් සමගම හල්ලුක වට පිට බලා උන් වහන්සේගේ කනට තම ශ්‍රී මුඛය ලං කළේය. කන සහ කට අතර පරතරය හරියටම මිලිමීටර් 1.8 ක් විය.

"මේකට කියන්නේ ගල් කෝපි කියල, මේක බීලා නිර්වාණයට ගිය වුන් දස දහස් ගණනක්, අපේ මහා රජා ඒකයි මේකට රාජ්‍ය අනුග්‍රහය දීලත් නොදුන්නා වගේ ඉන්නේ, ඒත් උන් වහන්සේ මේක පරසිද්දියේ කියන්නේ නැත්තේ හැම එකාම නිවන් ගියාම උන් වහස්සේට පාලනය කරන්න රාජ්‍යක් ඉතිරි වෙන්නේ නැති නිසා, ඔය ලැබ් ඇසිස්ටන්ට්ලට මේක බොන්න දෙන්න එපා එහෙම උනොත් ඔබ වහන්සේට කලින් එවුන් නිර්වානෙට යයි, එහෙම උනොත් වෙන්නේ ඔබ වහන්සේට මේ ගඟේ පනින්න්න තමයි "

කියා සයිරන් නලා සබ්ධ කරමින් පාරේ යන ගොන් කරත්ත කානු වලට තල්ලු කරමින් ද පාර දෙපස සිටි කුඩා ළමුන් කාන්තාවන් බිය වද්දමින් ද මහා රජාගේ නෑදෑ සේනාව ගුවන් පාලම දිගේ ඉදිරිය ඇදුණි.

අවසානයේ විද්‍යාගාර සහයකයින් පස්දෙනා ඩිජිටල් උෂ්ණත්ව මාපකයෙන් උෂ්ණත්වය පරික්ෂා කරමින්  තුන් කූරු ආධාරකය මත, බන්සන් දාහකයට ඉහලින්  තබා තිබුණු යකඩ තැටියේ වූ කොළ පැහැති පත්‍ර දුඹුරු පැහැයට හැරෙන තෙක් කර කලෝය. ඉන් එකෙකු උෂ්ණත්වය සෙල්සියස් අංශක 107.5 අගයේ පවතින බවට තහවුරු කළේය. විරාම ඝටිකාව ක්‍රියාත්මක කිරීමට තවත් අයෙකු යොදවා තිබිණ. ඔහු තත්පර 302.175 අවසන් වන විට තැටිය ඉවත් කරගන්නා ලෙසට විධානය දීමට සැදී පැහැදී සිටියේය. නමුත් ඔහු වයෝවෘද වුයෙන් ප්‍රතික්‍රියා කාලය පිළිබඳව උපකල්පනය කිරීමට තිබු පරිකල්පන ශක්තිය හින වී ගොස් තිබිණ. ඔහු විධානය දෙන විට විරාම ඝටිකාවේ 302.198 සඳහන්ව තිබිණ. නමුත් එය ඔහු කිසිවෙකුටත් දැන ගත නොහැකි වන සේ  නතර  කර දමන ලදී.

හිරු නැගීමට පෙර ගල් කෝපි මිලි ලීටර් 175 ක් පමණ  පොලි ස්ටයරින් කෝප්පයක දමා එය පාත්තරයක තබා සුදු රෙදි කඩකින් ආවරණය කර පරිණත භාවයේ පිළිවෙලට එකා පිටු පස එකා පෙළ ගැසී පෙරහැරකින් ගොස් උන් වහන්සේට පිලි ගන්වන ලදී.

එය පානය කිරීමෙන් අනතුරුව  විනාඩි  කිහිපයක්  ගත වීමත් සමගම සුජාතා නම් සිටු දියණිය හිමිදිරියේ පිසින ලද කිරි පිඩු දානයක් රැගෙන උන් වහන්සේ වෙත පැමිණියාය. එය පිලි ගැන්වූ ඇය උන් වහන්සේ ඉදිරි පිට සුදු වැලි මළුවේ බිම හිඳ ගත්තාය. සුන්දර දිගැටි මුහුණකට හිමි කම් කියූ ඇයගේ පියයුරු යුගල දුහුල් රෙදි කඩකින් වසාගෙන සිටියාය. නමුත් තන පුඩුව එම රෙදි කඩින් එලියට නෙරාවිත් තිබිණ. අංශක 90 වක කෝණයට නවා එක් කකුලක් සම්පුර්ණයෙන්ම වැලි මලුවේ මෘදු වැල්ලේ ස්පර්ශ වන සේ  තබා,  එය මත තබා තිබු සිටි ඇයගේ අනෙක් කකුලේ දණහිස මදක් එසවී තිබිණ. දණහිස දක්වා ඇඳ සිටි වස්ත්‍රය දෙකකුල් අතරින් මෑත් වී ඇයගේ යට ඇඳුම උන් වහන්සේට දර්ශනය විය. පින් දීම අතර තුර ප්‍රාණවත් වූ ලිඟුව කහ පැහැති සිවුර කුඩාරමක් සේ නැගී සිටීම වලක්වා ලීමට උන් වහන්සේ තල් කොළය  දරාසිටි අත එය මත තබා ජලයේ ඉපිලෙන රබර්බෝලයක් ජලය තුලම තැබීමට ගන්නා උත්සාහයට නොදෙවෙනි උත්සාහයක් දැරුවේය.

ටික වෙලාවකින්,

"මෙන්න බලා පල්ලා පාත්තරය යනවා උඩු ගං බලා' කියා උන් වහන්සේ කෑ මොර දෙන්නට විය. විද්‍යාගාර සහයකයින් පස් දෙනා ගඟ දිගේ පහලට යන පාත්තරය දෙස නොව උන් වහන්සේ දෙස වික්ෂිප්තව බලා ගෙන සිටි යෝය. වැලි මළුවේ සිටගත් සුජාතා තම යටි කය ආවරණය කරගෙන තිබු දුහුල් රෙදි කඩ කලවා අතරට තද කර ගත්තාය.

කෑ මොර දීම නොනවතින කල පස් දෙනා ආයාසයෙන් ඔහුව ප්‍රථමාධාර කාමරයට ගෙනගොස් දෙපතුලේ භුමි තෙල්ද, හිසේ දෙහිද අලේප කලෝය. එයින් සුවයක් නොලද කල්හි තැඹිලි වතුරට ග්ලුකෝස් දමා පිළිගන්වන ලදී. අවසානයේ ඔහු පියවි සිහියට පැමිණියේයැයි ඔවුන් සියලු දෙන තිතුහ.

"මට මේ මැදුම් පිළිවෙත ඇති වෙලා තියෙන්නේ, මගේ ලැප් ටොප් එක ගනපියව්, ඩොන්ගල් එකත්  එක්ක" කියා කියනවාත් සමගම එකෙකු එය පරික්ෂා කර තමා නැරඹු සියලු අසැබි  වෙබ් අඩවි වල ඉතිහාසය මකා දමා එය උන් වහන්සේට පිලි ගැන්විය. අනෙක් සිව් දෙනා ඒ වන විටත් තම ගමන් මලු වලට අඩුම කුඩුම අසුරමින් සිටියෝය. පස් වැන්නාද පසුව ඔවුන්ට එකතු විය.

මධ්‍යම ප්‍රතිපදාවෙන් නිර්වාණය සෙවීම අත්  හළ උන් වහන්සේ ඒ සඳහා මෘදුකාංගයක් නිපදවීමට තවත් වසර පහක්  වැය කළේය.කුසට අහරක් නොමැතිව ගෙවූ දින ගණන කොපමණදැයි ඔහුට මතක නැත, නිදි වැරූ දිනගනනද එසේමය.එය නිපදවා ගත් කල්හි  නිර්වාණය සොයා වෙහෙසෙන්නන් හට මෘදුකාංගය මිලදී ගෙන පහසුවෙන් නිවන් මග සොයාගත හැකි බවට ඔහු දැඩිව විස්වාස කළේය. මේ වන විට ඔහුට උපස්ථාන කිරීමට කිසි වෙකු සිටියේ නැත. වන ගතව වාසය කල ඔහුට හිමාල වනයේ සිටි වෘක්ෂ දේවතාවුන්ද ඉඳ හිට සුර ලොව සිට පැමිණෙන සක්‍රයාගේ නියෝජිත දෙවි වරුන්ද මේ මහා කටයුත්තේ බැරෑරුම් බව අවබෝධ කරගෙන සිටි බැවින් ආහාර පාන ආදියෙන් පමණක් නොව නුතන පරිගණක සහ උපාංග වලින්ද ඔහුට සංග්‍රහ කලෝය. ඔහු ව්‍යාපෘතිය පියවර දෙකකින් අවසන් කිරීමට සැලසුම් කළේය.

01. භෟතික ශරීරයෙන් මනෝ-කය ( සිත )  පිටතට ගැනීම
02. පිටතට ගත් සිතෙන් සියලු ආශාවන් වියුක්ත කර සිත නැවත භෟතික ශරීරයට ඇතුළු කිරීම

මහත් පරිශ්‍රමයක් දරා පළමු පියවර සාර්ථක  ලෙස අවසන් කළේය. භෟතික ශරීරයෙන් පිටතට ගත්  මානසික ශරීරය නිදහසේ ගමන් කල හැකි තරමටම  තම මෘදුකාංගය වර්ධනය කරගත්තේය. මෙය ඍදියෙන්  ගමන් කිරීමේ අවධිය ලෙසද හඳුන්වා දෙන ලදී. පරිගණකයට සම්බන්ධ කල රැහැනේ කෙලවර ඉතා කුඩා අගල් දෙකක පමණ දිගැති ඉතා සියුම් ටයිටේනියම් ලෝහයෙන් නිපද වූ තුඩකි. මෙය ඉලෙක්ට්‍රෝඩයකි. මෙය කශේරුකා දෙකක් අතර හිඩැසින් සුෂුම්නාවට ඇතුළු කර ගත්තේ ඔහු විසින්මය. එවිට පරිගණක තිරයේ දිස්වෙන විවිධ පියවර සඳහා ඔහු විසින්ම අවසර ලබා දුණි. වසර ගණනක් ගස් ගල් යට දුක් විඳිමින් සිත එකඟ කර ගැනීමට දැරූ උත්සහයට දැන් ගත වන්නේ තත්පර කිහිපයකි. අත්හදා බැලීමේ අවස්ථාවේ සිටින බැවින් සිත භෟතික ශරීරයෙන් වෙන් කර තබන කාලය උපරිම පැය දෙකකට සීමා කර තිබිණ. පැය දෙකක කාලය තුල සිත භෟතික ශරීරයට  නැවත නොපැමිණීමෙන් සිදු වන ව්‍යාකුල තාවය මගහරවා ගැනීමේ ආරක්‍ෂිත උපක්‍රමයක් ලෙස කාලසීමාව අවසන් වූ වහාම භෟතික ශරීරය පරිගණකයේ ග්‍රහණයෙන් ස්වයංක්‍රියව මුඳා හරිනු ලැබේ. එවිට ශරීර දෙක අතර දුර කොපමණ උවද මානසික ශරීරය ඇති ස්ථානයට භෟතික ශරීරය ආකර්ෂණය වේ.

ඔහු හිමාල වනයේ රූස්ස ගස් වලට ඉහලින් ඇති මිදුම් පටල අතරින්ද, ගංගා ඇල දොලට ආසන්නයෙන්ද  පාවී ගියේය. සිටු දියණියන් පිරිසක් දිය කෙලින ආකාරය නතර වී බලාගෙන සිටියේය. නිල් වන ජලය පිරුණු පොකුණ වටා තණ පිට්ටනියකි, මුළු භුමි භාගයම වට කර විශාල ප්‍රකාරයකි, එක් තැනකින් විශාල ගේට්ටුවකි.භෟතික ශරීරය නොතිබුණද කාන්තාවන්ගේ ශරීරයට මෙතරම් පිරිමි ආශා කරන්නේ මන්දැයි ඔහුට තිබූ විශාලම ගැටළුවයි. දිය කෙළින තරුණියන්ගේ ශරීරවල ස්පර්ශ වෙමින්ද ඔවුන්ගේ විවිධ ඉරියව් නිරීක්ෂණය කරමින්ද ගෙවා දැමු කාලය කොතෙක් දැයි ඔහුගේ මතකයෙන් ගිලිහි ගොසිනි.

මොහොතකින් පොකුණේ ජල කඳ දෙබෑ කරමින් නග්න ඔහු තරුණියන් දිය කෙළිමින් සිටි පොකුණ මැදට  පතිත විය. මර ලතෝනි තියමින් තරුණියෝ පොකුණේ ඉවුරට ගොඩවී සී සී කඩ දිව ගියෝය. පොකුණ ආවරණය කල ප්‍රාකාරයෙන් පිටත සිටි හැඩි දැඩි රාජ පුරුෂයා වහා දිව විත්

"මේ වර පාහරයා ගොඩට" කිවේය.

 රහසඟ අත් දෙකෙන් වසා ගෙන ඔහු පොකුණෙන් ඉවුරට ගොඩ විය. ඔහුගේ මුළු සර්වාංගයම බියෙන් වෙව්ලන්නට විය.

"තියපිය ඕක මේ ලී  කොටේ උඩින්" අඩි තුනක් පමණ උස කොටය දිලිසෙන කඩුවේ තුඩින් පෙන්විය.

"අනේ මේක කපන්න එපා, එකයිනේ තියෙන්නේ"

"එකක් තිබිල මෙහෙමනං දෙක තුනක් තිබ්බනං කොහොම වෙයිද?, තියපිය ඕක බෙල්ල කපා දාන්න කලින්"

"මගේ ළඟ තියෙනවා සොෆ්ට් වෙයාර් එකක් කාටවත් නොපෙනී යන්න පුළුවන්, මම ඒක දෙන්නං, මට යන්න දෙන්න" රාජ පුරුෂයාගේ කනට ලං වී කිවේය.

"ආවේ එහෙමයි එහෙනං "

"ඔව් වෙලාවේ පොඩි වැරදීමක් උනා , ඒකයි වැටුණේ" ඔහු ආයාසයෙන් සිනහ වීමට උත්සහ දැරිය.

"මෙන්න මගේ ඊ මේල් අයි ඩී එක, මේකට එවනවා, මේ රෙද්ද පටලවාගෙන දුවල යනවා කවුරුත් දකින්න ඉස්සෙල්ල " රාජ පුරුෂයා ඔහුගේ  කනට ලං වී කිවේය

ඇඳේ දුහුල් සළු පිලි එලා, කාමරය  සුවඳ මලින් සරසා තැන තැන ඉටි පන්දම් දල්වා තිබිණ. ඇඳ මත ඔවුන් තිදෙනාම සිටියේ නිර්වස්ත්‍රවය, උඩුබැලි අතට සිටි කාන්තාවගේ උරහිස් දෙකට යටින් තිබු  ස්වාමි පුරුෂයාගේ අත් දෙක ඇයගේ හිසේ කෙස් අතරට රූටා තිබූ ඇඟිලි වලින් අවසන් විය. ඔවුන්ගේ මුහුණු එකිනෙක ස්පර්ශව පැවතින, ඇයගේ යෝනි මාර්ගය උදර කුහරයේ මැදක් වන තුරුම පැලී සයනය ලේ විලක් වී තිබිණ , එකට තෙරපී පුපුරා ගිය වකු ගඩු  අධෝක්ෂ ධමනි, ශිරා ආදිය මෙන්ම මහාන්ත්‍රය පුපුරා එලියට පැමිණි අසුචිද විය. ඇයගේ ගර්භාශයේ තවත් පුරුෂයෙකුගේ හිසකි, එහි ගෙල ඇයගේ ශ්‍රෝණි මේඛලාවට  හිරවී මිරිකී ගොස් තිබිණ, කාන්තාව මත සිටි මිනිසාගේ පුරුෂ ලිංගය කැඩී වෙන් වී යාමට ආසන්නව,බිදී ගිය  ශ්‍රෝණි මෙඛලාවටත් උදරයේ සිරවී සිටි මිනිසාගේ  හිසටත් සිරවී  තිබිණ. උදරයේ සිරවී සිටි මිනිසාගේ කශේරුකා අතර ඉතා සියුම් රතු සහ දුඹුරු පැහැති තිත් රාශියක් දක්නට ලැබිණ.



-ජානක ගුණතිලක 









Saturday, March 1, 2014

•තරු පුළිඟු•

මම දුර තියා
තරුවකට පෙම් කලෙමි
එහෙත් ලංවන තුරු
ඒ නුඹේ දුම්වැටියෙන්
පැන ආ පුළිඟුවක් බව
නොදත්තෙමි.