Saturday, September 13, 2014

හකාවතී ලංකාවට







සමාජ සාර ධර්ම පයට පෑගෙන දුවිල්ලක් තරම්වත් මායිම් නොකරන අරාජික වූ ශ්‍රී ලාංකික සමාජයේ පදනම් විරහිත ආගමික, සංස්කෘතික මතවාදයන් විවිධ පැතිකඩවල් වලින් ප්‍රශ්න කිරීමට සිදුව ඇත්තේ මෙතෙක් කල් මුල්බැසගත්, සමාජයට බලෙන් පටවන ලද හා අවිඥානිකවම  වැලදගත් මතවාද මෙන්ම සමාජ මුලධර්ම වල ප්‍රතිපලයක් ලෙස පණ අදිමින් පවතින  ප්‍රගතිශීලි සමාජය දෙස බැලිමේදීය.

රාත්‍රියේ සිට සමාජ ශාලා වල  විස්කි බ්‍රැන්ඩි බෝතල් හිස් කරමින්, බිලියට් ගසමින් ගණිකාවන් සමග යහන්ගත්වෙමින් රැය පහන් කරන පාලකයෝ   උදෑසන සුද්දාගේ ජංගිය උජාරුවට ඇඳ ඊට උඩින් ජාතික ඇඳුම පටලවාගෙන  වේදිකාව මතට නැග ජාතික අනන්‍යතාවය පිළිබඳව පුරසාරම් දොඩති. සිංහල බෟද්ධයන් ගේ රට ලෙස ලංකාව හඳුන්වා දෙන්නේ බුද්ධ ධර්මය නේපාලයේ සිට ලංකාවට පැමිණි බව අමතක වී දැයි ද ගැටළුවක් පවතී. සමාජ පෙරගමන් කරුවන්ගේ  මෙම පරස් පරය සමාජයට නොතේරෙන්නේ ද එසේ නොමැති නම් තේරුම් ගත්තද සත්‍ය වෙනුවෙන් පෙනී සිටීමට ඇති අකමැත්ත නිසා නොතේරෙනවා සේ  සිටින්නේ දැයි වටහා  ගැනීම අපහසුය. සමස්ථයක් සේ ගත්විට මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රගමනය සඳහා වන කාර්ය භාරය බොහෝ දෙනෙකුට අමතක වී ගොසිණි . මිත්‍යා දේශීය අනන්‍යතාවයක් පිලිබඳ සිහින මවන්නේ  අනන්‍ය වූ ජාන කිටුවක් හෝ නොමැති සමාජයක මිනිසුන්ය.මෙවැනි පසුබිමක් තුල ශ්‍රී ලාංකීය කලා කරුවාගේ කාර්ය භාරය සබුද්ධික ජනතාවට ගැටලුවක් වන යුගයක ඩෝසන් ප්‍රීතිගේ "හකාවතී" බොහෝ දෙනෙකුගේ කන හරහා රිදෙන්නට පහරක් ගසයි. මෙම අනන්‍යතාවය පිලිබඳ මිත්‍යා මතය බැහැර කර ශ්‍රී ලාංකීය රසිකයාට මිනිස් වර්ගයා පිළිබඳව විශ්වීය අත්දැකීමක් ලබා දී, මිනිස් සමාජයේ විවිධ ගැටළු අලුත් කෝණයකින් විග්‍රහ කරන්නට ආරාධනා කරයි. "හකාවතී"ලෙස කෙටි කතා සංග්‍රහය නම් කිරීමද බොහෝ දෙනෙකුට ගැටලුවකි. "හකාවතී" යනු ගුවන් විදුලි, රුපවාහිනී නැති යුගයක කතන්දර කියන්නෙකි. මෙය අරාබි භාෂාවේ එන වචනයකි. 2008 වසරේදී ලෙබනන් ජාතික .රබින් අලම්දින් නම්  කතුවරයා විසින් The  Hakawati නම් ග්‍රන්ථයක් ඇමරිකාවේදී පල කිරීම හේතුවෙන් මෙම වචනයේ තේරුම අරාබි කරයෙන් පිටත මිනිසුන් අතරට පැමිණියේය. හුදෙක් වචනයේ අර්ථයෙන් පමණක්  එහි සමාන කමක් තිබුනද වෙනත් කිසිදු සමාන කමක් මෙම ග්‍රන්ථ අතර නොමැත.එවැනි යුගයක කතන්දර කියන්නෙකු ඉතා වටිනා චරිතයකි, රුපවාහිනී, ගුවන් විදුලි පමණක් නොව අතේ ඇති ජංගම දුර කථනයේද අන්තර් ජාල පහසුකම් ඇති යුගයක හකාවතී සමාජ ගතවන්නේ පාටකයාට සමාජය දැකීමට නව උපැස් යුවලක් ලබා දෙමිනි.


එක්  අතකින් සියලු සමාජ වගකීම් අමතක කොට පවුල වෙත පසු බසින අප සමාජයේ පැති කඩක් නිරූපනය  කිරීමට  "විනෝදය" කෙටිකතාව තුලින් උත්සහ දරා තිබේ, සමාජ වෙබ් අඩවි ටෙලිනාට්‍ය, දේශපාලන  වන්දි බට්ටයන්ගේ පුවත් පත්, ගුවන් විදුලි සේවා, වෙබ් අඩවි හරහා විනෝදය සොයා යන යථාර්තය නොදකින සමාජයයේ එක් පුද්ගලයෙකු ලෙස  එම කෙටි කතාවේ ප්‍රධාන චරිතය ලෙස එන "සුගතදාස  වලිමුලි" හැඳින්විය හැකිය. විශ්‍රාමික ගුරුවරයෙකු මෙන්ම ලේඛකයෙකු වන ඔහු නවකතාවක් ලියන්නේ යයි හඟවමින් සිටියද මුහුණු පොතේ සිට කාලය කා දමයි. ඔහුට සමාජය පිලිබඳ මනා වැටහීමක් තිබුනද, එහි ගමන සුභවාදී නොවන බව හැඟී ගියද ඔහු තම විනෝදයට බාධාකරගැනීමට මැලි කමක් දක්වයි. මිනිසුන්ගේ තාවකාලික විනෝදය සමස්තයක් ලෙස කොතරම් විනාශකාරී දැයි මෙයින් අනතුරු අඟවා තිබේ. මෙම විනෝදය සැපයීම තුල පැවැත්ම තහවුරු කරගන්නා දේශපාලුවන්ගේ ගොදුරු වන්නේ ඔහුන් පමණක් නොව මුළු මහත් සමාජයමය. ජනතාවට අවශ්‍ය විනෝදය සපයා  දීමටත් එම විනෝදය තුල සිවිල් සමාජයේ අත් පය ගැටගසා කටට ප්ලාස්ටර් අලවා නිහඬ කර  දේශපාලකයන් උන්මත්තකයන් ලෙස අන පනත් වෙනස් කරමින් නිතිය අතට ගනිමින් සිටින ආකාරය "On Line පාන්ෂකුල" කෙටිකතාවෙන් උපහාසාත්මකව   සාකච්චාවට බඳුන් කර ඇත.

සමාජ ප්‍රවාහයක් වෙනස් කිරීමට විප්ලවයක් අවශ්‍යය, නමුත් එම කටයුත්තට මිනිසුන් සුදානම් කිරීම අතීතයේදී එතරම් අපහසු කාරණයක් වුයේ නැත. විප්ලවවාදීන් මිනිසුන්ගේ සිතුම් පැතුම් හඳුනාගෙන පස්චාත් විප්ලව යුගයේදී ඒවා ක්‍රියාවට නැංවීම තුලින් දියුණුවේ හිනිපෙත්තටම පැමිණි ජාතීන් පිළිබඳව උදාහරණ බොහොමයක් වේ. 1775 ඇමරිකානු නිදහස් සටන, 1793 දී ප්‍රංශ විප්ලවය,  1917 රුසියානු විප්ලවය, 1953 කියුබන් විප්ලවය ආදිය මෙයට කදිම නිදසුන්ය. නමුත් පස්චාත් නුතන යුගය වනවිට ඉතා සංකීර්ණ මෙන්ම ව්‍යාකුල වූ මනෝ භාවයන් විප්ලවවාදීන් විසින් ඉතා සියුම් ලෙස හැසිරවීමට අපොහොසත් වූ බවක් දක්නට ලැබේ. එබැවින් සාර්ථක ප්‍රතිපල ලබාගත් විප්ලවයක් මෑත යුගයේදී හමු නොවේ. ජනතාවට විප්ලවයකට පෙළ ගැසුනද, ඔවුන්ගේ සිතුම් පැතුම් වල වෙනසක් සිදු නොවීම හේතුවෙන් ම විප්ලවයෙන් පසුව අරාජික වූ රටවල් බොහොමයක් මෑත ඉතිහාසය තුල දක්නට ලැබේ. හොඳම උදාහරණ වන්නේ ඊජිප්තුවයි, සිරියාව තුර්කිය වැනි රටවල ඉරණම එයින් බොහෝ වෙනස් වේ යයි සිතීම අපසුය. "මිරැන්ඩා" කෙටි කතාව  ශ්‍රී ලංකික මෑත ඉතිහාසයේ විප්ලවාදීන්  සැබෑ ලෙස මිනිසුන්ගේ සිතුම් පැතුම් හඳුනා නොගැනීම හේතුවෙන් ම සහ විප්ලවයට පෙර එම සිතුම් පැතුම් වෙනස් කර අවශ්‍ය මුලික වටපිටාව සකස් කර නොගැනීම හේතුවෙන් ඇතිවන පරස්පරය තුල අසාර්ථක වන ආකාරය විශ්ලේෂණය කිරීමට ගත උත්සාහයක් ලෙස පෙනේ. එසේම සාර්ථක හෝ අසාර්ථක විප්ලවයකින් පසු ශේෂ වන ද්‍රව්‍යමය සහ මානසික කරුණු හේතුවෙන් සමාජය අරාජික වන ආකාරය  "මාරාව" කෙටි කතාව තුලින් ඉතා කදිමට ඉදිරිපත් කරයි. එහි භාෂා හැසිරවීම ඉතා විශිෂ්ටය.

මිහිපිට කිසිම මිනිසෙකු අත් දැක නැති නිර්වාණය, වැනි අවිධ්‍යාත්මක ආගමික සංකල්ප උපහාසයෙන් යුතුව බැහැර කරන්නේ "සඳකඩ පහණ" කෙටි කතාවේදීය. දාර්ශනිකයෙක් ලෙස බුදු රජාණන් වහන්සේගේ ඉතා උසස් තලයක සිටි බව අවිවාදයෙන් පිළිගත යුතුය, දර්ශනයක් ලෙස බුද්ධ ධර්මය ඉතා වටිනා සමාජ මෙහෙවරක් ඉටු කළ බව සැබෑය, නමුත් ගැටලුව වන්නේ සිංහල බෟද්ධ රාජ්‍ය තුල පවතින්නේ එම බුද්ධ ධර්මයද යන්නය. සිඟාලෝවාද සුත්‍රයේ එන දෙමාපියන්ගෙන් දරුවන්ට- දරුවන්ගෙන් දෙමාපියන්ට ඉටු විය යුතු යුතුකම් වත් ලංකාවේ චීවර ධාරීන් මිනිසුන්ට උගන්වා තිබේ දැයි ඇත්තේ ගැටලුවකි. නමුත් ඔවුන්  ගිනි අවියක් කරේ එල්ලාගෙන අහිංසක දෙමල දරුවන්, ගැබිණි මව්වරුන් මරාදමන්නට යන සෙබළුන් කී  දහසකගේ අත්  වල පිරිත් නුල් බැඳ ඇත්ද? මිනී මරු දේශපාලකයන්, මත්ද්‍රව්‍ය වෙළෙන්දන් ට දින පතා ආශීර්වාද පුජ පවත්වති. බෟද්ධයෝ  පන්සිල් රකිති, සතුන් නොමරති, එහෙත් තම සිඟිති දරුවන්  පන්සලේ ගල්තලාවේ ගසා මරා දමති, බිරිඳ සහ දරුවා මරා වල දැමීමට ගෙතුලම වලවල් හාරති. මෙවන් යුගයක ශ්‍රී ලංකාවේ ආගමික මතවාද ප්‍රශ්න කල යුතුව ඇත. එය ඩෝසන් විසින් කිරීමට ඉදිරිපත් වීම කාලෝචිතය.


'හකාවතී " කෙටි  කතා සංග්‍රහය තුල සකච්චා වන බොහෝ දෑ  අතරින් ඉතා වැදගත් සංකල්පයක් වන්නේ, මිනිසුන් තුල පවතින මිලේච්චත්වයයි එසේත් නොමැති නම් අසැබි සිත්විලිය. මෙය ඉතා කදිමට එසේම රසවත්ව ඉදිරිපත් කරන එක් අවස්ථාවක් වන්නේ "ජයසරනංකර " කෙටි කතාවේය. මිනිසුන්ගේ අසැබි සිතුවිලි යනු යම් පිරිසකට පමණක් සිමා වුවක් නොවන බවත් සියලු මිනිසුන් තුල එවැනි සිතුවිලි පවතින්නේය යන දැනුම සමාජයේ බොහේ දේ විග්‍රහ කර ගැනීමට අතවශ්‍යය. එබැවින් එම විරල ගැඹුරු ප්‍රවේශය අගය කල යුතුය.

ඩෝසන් ප්‍රීති මෙම කෙටි කතා සංග්‍රහය තුලින් ඉතා වැදගත් මෙන්ම බරපතල සමාජ කරුණු ගණනාවක් වේදිකා ගත කරයි. සියුම් ලෙස සලකා  බැලීමේදී ඔහුගේ ලියවිල්ල තුල මිනිස් මනෝ භාවය පිලිබඳ ගැඹුරු හැදෑරීමක් ද සහිතය, එසේම ඔහු සමාජයට යම්  පණිවිඩයක් දෙමින් ඔවුන්ට ආරාධනා කරන්නේ දැනුම තුලින් තම තමන්ගේ සමාජ කාර්ය භාරය පිළිබඳව ස්වයං විග්‍රහයක යෙදෙන ලෙස නොවේද?

- ජානක ගුණතිලක



No comments:

Post a Comment