Saturday, May 10, 2014

අමරණිය පිරමීඩය -( කෙටි කතාව - 9 )

                                       අමරණීය පිරමීඩය






කෙළවරක් නොපෙනෙන නිල් පැහැති සාගරයේ පාවෙමින් තිබු එම දැවැන්ත නෞකාව දිගින්  මීටර දෙදහස් දාහතරක් විය. නැව් තට්ටුවමත තැබූ  විශාල දිය  බුබුලක්  සේ විදුරු වලින්  ආවරණය කළ  නියමු කුටිය අවම වශයෙන් හැට දෙනෙකුටවත් ප්‍රමාණවත් වන සේ සකසා තිබිණ. මෙය නැව් තට්ටුව මත නැවේ ඉදිරි පසට වන්නට පිහිටා තිබිණ. නියමු කුටියට පිටුපසින්  වර්ග කිලෝමීටර දෙකක පමණ ප්‍රදේශය එහි ගමන් කරන මගීන්ගේ විනෝදාශ්වාදය සඳහා අලංකාර උයනක් නිර්මාණය කිරීමට වෙන් කර ඇති බව එය නිෂ්පාදනය කිරීමට පෙර  මුලික සැලසුම් පුවත් පත් වල ප්‍රචාරය කරන විට සඳහන්ව පැවතියත් පසුව එම සැලසුම් ක්‍රියාත්මක නොවිණ. මහල් හතකින් යුත් එම නෞකාවේ ඉහලම මහල් දෙක එහි  ගමන් කල කපිතාන්ගේ ඥාතීන් සහ ප්‍රභූන් සඳහා වෙන් කර තිබිණ. සතියේ දින පහක් තිස්සේ මස් ගාත ගිලදමමින්ද, වර්ණවත් විවිධ හැඩවල  බෝතල් වල අසුරා ඇති මිල අධික මත් පැන්  පානය කරමින් ද මධ්‍යම රාත්‍රිය වන තුරු නෞකාවේ අවන් හලේ රැඳී සිට එහි සේවය කරන   සුරූපී නළඟනන්  සමග රැය පහන් කරන ප්‍රභූ  පුතුන්ගේ නහර වල තැම්පත් වන කොලෙස්ටරෝල් තට්ටු සති අන්තයේදී දිය කර හැරීමට සකස් කළ පා පන්දු  පිට්ටනිය නියමු කුටියට පසු පසු පසින් ඊට යාබදව සකස් කර තිබිණ.ඊට සමාන්තරව දැල් පන්දු ක්‍රීඩා පිට්ටනියකි.  කපිතාන්ගේ දියණිය නායකත්වය දරන දැල් පන්දු කණ්ඩායම ද කපිතාන්ගේ පුත්‍රයා නායකත්වය දරණ  පා පන්දු කණ්ඩායම ද  සෑම සති අන්තයකම හවස සහ  රාත්‍රියේ පවත්වන දැල් පන්දු සහ පා පන්දු තරඟ වලදී ජයග්‍රහණය කරති. කපිතාන්ගේ දෙවන විවාහයේ තරුණ බිරිඳ දියණියට  ද කපිතාන් පුත්‍රයාටද කුසලානය බැගින් පිරි නමා සෑ ම සති අන්තයකම ජය පැන් බොති. නැව් තට්ටුවේ අපර ප්‍රදේශයේ වර්ග කිලෝ මිරටරයක පමණ  සින්තටික් මෝටර් රථ ධාවන පථයකි, සෑම පසළොස්වක පොහොය දිනකම කපිතාන්ගේ පුත්‍රයා පදවන මෝටර් රථය ජය ගන්නා  තරඟයක් එහි පවත්වයි. නියමු කුටිය මැදින් ඉහලට ගමන් කරන කුඹගස මිටර් හැත්තෑ පහක් පමණ උසින් යුක්ත විය. කුඹ ගසේ ඉහල සකස් කර ඇති අට්ටාලයේ සිට ඔත්තු බලමින් සිටි කොටළුවන් දෙදෙනා දින කිහිපයක් තිස්සේ නිල් සයුර හැර කිසිවක් නිරීක්ෂණය නොකළෝය.

නියමු කුටියේ සිටි කපිතාන් නෞකාවේ   ඉංජින් සියල්ල  නතර කිරීමට රහස් පණිවිඩ යවා  තිබිණ. ඉංජින් කාමරයේ සිටි තාක්ෂණික නිලධාරියා නැව නතර කිරීමට හේතුව විමසා සිටියේ කපිතාන්ගේ පණිවිඩ කරුවාගෙනි.

"අපි දැන් නැව න්‍යෂ්ඨික ඉන්ධන වලින් දුවන්න ලෑස්ති කරලා තියෙන්නේ, ඔය ගල් අඟුරු වැඩ දැන් ඉවරයි, ගල් අඟුරු නොදැම්මට බලන්නකෝ නැව යන අපුරුව "කියා ඔහු බිත්තියේ සවි කර තිබු රුපවාහිනී තිරය දෙසට දබරගිල්ල යොමු කර පිටත්ව ගියේය. දැවැන්ත ඉංජිම නතර වී තිබුණද විශාල පුළුල් තිර වල නෞකාව  ඉදිරියට ගමන් කරන බව පෙන්වන පටිගත කරන ලද දර්ශන සජීවී ඒවා ලෙස විකාශනය වෙමින් පැවතිණ. සාගරය නිස්කලංකය මෘදු රළ නැව් බඳේ ගැටුනද එය නැව සෙලවීමට තරම් ප්‍රමාණවත් නොවේ. දෙපස සවි කල විශාල දැති රෝද යුගලකින් මුහුදු ජලය කළඹා රළ ඇති කර පටිගත කරයි. නැව ගමන් කරන විට ඉංජිමෙන් නිකුත් වන හඬ ද පටිගත කර රූපවාහිනී තිර වල දර්ශන වලට සමගාමිව විකාශනය කෙරිණ. තාක්ෂණ නිලධාරියාට  තමා සිටින්නේ පියවි සිහියෙන්දැයි අසිහියෙන්දැයි සිතා ගැනීමට නොහැකිව අසල තිබු පුටුවට ඇද වැටුනේය.

සියලු රුපවාහිනී තිර වල විකාශන වල සාමාන්‍ය විකාශන කටයුතු හදිස්සියේ නතර විය, අනතුරු හැඟවීමේ සයිරන් නලා නැව පුරා නාද  විය, නිදා ගෙන සිටි වුන් අවධි වුහ, කොරිඩෝ වල ගමන් කරමින් සිටි ආරක්ෂක නිලධාරින්ද, තම ළදරුවන්ට කෑම කවමින් සිටි සහ මව් කිරි දෙමින් සිටි මව්වරුන්ද, පිළිසකර වැඩ වල නියුතු සේවකයන්ද ප්‍රාණවත් වූ පුරුෂ ලිංග  මෙන් තම කන් ඉහලට ඔසවා ඇස් ගෙඩි ගොළු බෙල්ලෙකුගේ සංවේදක මෙන් ඉදිරියට යොමාගෙන එම තිර දෙසට තම අවධානය යොමු කලෝය.කළු පැහැති  වූ තිරයේ "BREAKING NEWS " ලෙස  දිස් වූ රතු පැහැති අකුරු දෙස ඇසිපිය නොහෙලා බලා සිටියෝය. මොහොතකින් නැවේ නියමු කුටියේ  සිට ගෙනෙන සජීවී ප්‍රවෘති විකාශය ආරම්භ විය. කපිතාන් එයට සජීවීව සම්බන්ධ කරගන්නා  ලදී.

"සතුරු නැව් සමුහයක් වේගයෙන් ඒෂියන් වොන්ඩර්ස් නැව  දෙසට වේගයෙන් ලඟා වන  බවත් සියලු දෙනා සටනට සුදානම් විය යුතු බවත් කපිතාන්  විසින් ප්‍රකාශ කරන ලදී. ඉහළ අට්ටාලයේ සිටින කොටළුවන් දෙදෙනාද සජීවී ප්‍රවෘති විකාශය අතර තුර සම්බන්ධ කරගන්නා  ලදී. ඔවුන් පවසා සිටියේ අඩුම තරමින් සතුරු නැව් හතරක් මේ වන විට ඔවුන්ගේ දුරේක්ෂ වලට නිරීක්ෂණය වන බවත් සංඛ්‍යාව ඊට වඩා වැඩි විය හැකි බවත්ය. ඔවුන් දෙදෙනා ඉදිරියේ වූ පරිගණක තිරය හරහා නියමු කුටියේ සිට ලබා දුන් වාර්තාව එසේ ඉදිරි පත් කළේය."

කපිතාන්ගේ අණින් මහල් හතකින් යුත් මුළු නෞකාවම මහා සටනකට සුදානම් වුයේ එහි යුධ නිතිය ක්‍රියාත්මක කිරීමත් සමගිනි. ඉහලම මහලේ සිටි ඔහුගේ නෑදෑ පිරිවර ද දෙවන මහලේ සිටි ප්‍රභූ පිරිවරද පහත මහල වලට පැමිණ ඒවායේ හුන් පිරිස දැනුවත් කරන්නට වුහ. සතුරු සේනා වලට නිරීක්ෂණය කිරීමට නොහැකි වන ලෙස පිටතට ඇති සියලු විදුරු කවුළු කළු කඩදාසි වලින් ආවරණය කිරීමට ඔවුන් උපදෙස් ලබා දුන්නෝය. ඉන් පසුව ටෙලිනාට්‍ය අතරතුරද පුවත් රුපවාහිනී නාලිකාවේ විකාශනය විය, නමුත් වෙළඳ දැන්වීම් වල අඩුවක් පෙනෙන්නට තිබුනේද නැත. ඉහල සිටි කොටළුවන් දෙදෙනා ඇස් ගෙඩි ලොවි ගෙඩි මෙන් කරගෙන පුවත් ඉදිරිපත් කළහ. එම ප්‍රවෘතියෙන් පසු දින සිට සතුරු සේනාවට විරුද්ධව සටන් ආරම්භ කළ බව ප්‍රචාරය කෙරිණ. ඉන් පසු දින කිහිපය පුරා කොටළුවන් දෙදෙනා රාත්‍රී පුවත් ඉදිරිපත් කරන අතරතුර අහසේ මල්වෙඩි මෙන් අලංකාර රටා මවමින් නැවෙහි තුවක්කු වලින් පිටවන මුනිස්සම් සහ කාලතුවක්කු වලින් පිටවන උණ්ඩ  පිටු පසින් දිස් විය. 

හාර සියයක් පමණ වන නාවික සෙබළුන්ට සහය වනු පිණිස පහත මාල වල සිටි, නෞකාවේ පන්සියයක් පමණ වූ සේවක මණ්ඩලය හැරුණු විට අනෙක්  සියලු වැඩිහිටි පිරිමින් හට දින තුනක කඩිනම් යුධ පුහුණුවක්  ලබා දීමට කටයුතු සකස් කෙරිණ. ඔවුන් මෝටර් රථ ධාවන පථයේ සකස් කර තිබු ඉලක්කයට වෙඩි තැබීම පුහුණු කරන ස්ථානයේ පුහුණු වන ආකාරයද ශාරීරික අභ්‍යාස වල යෙදෙන ආකාරයද නිතර නිතර රුපවාහිනී දර්ශන වල විකාශය කරන ලදී. අවම වශයෙන් දිනකට එක් වරක් හෝ නාවික සෙබළුන් සමග කඩිනම් පුහුණුව ලැබූ ආධුනික සෙබලුන්ද බෝට්ටුවල නැගී සටනට යන බව පෙන්වුවද කිසිවෙකු නැවත පැමිණෙනු දක්නට නොවිය.

සතියක් පමණ ගතවන විට සටනට ගිය  තම ස්වාමි පුරුෂයා හෝ පියා නැවත එනතුරු හෝ අවම වශයෙන් රූපවාහිනී තිරයෙන් දැක ගැනීමට හෝ බලාගෙන සිටි බිරින්දෑ වරුන්ද දු දරුවන්ද නොකා නොබී තැන තැන හිස් ගසා ගනිමින් වැලපෙන්නට වුහ.  සටනට යාමට සුදානමින් සහ පුහුණුවට යාමට සුදානමින් සිටි සෙබළුන්ගේ ඥාතීන් ගේ අදෝනාවද එයට නොදෙවෙනි විය. තම අත කන කර රන් අභරණ නැවේ පාලකයන්හට ලබා දී අමරණිය පිරමිඩයට ගමන් කිරීමට මැවූ  සිහිනය සිහිනයක්ම පමණක් බව එහි සිටි තමන් වැන්දඹුවන්ද, වැන්දඹුවන්  නොවන වග ද නොදත් කාන්තාවන්ට  කෙමෙන් වැටහෙන්නට විය. නෞකාවේ ඉහල මහල් දෙකේ හැරුණු විට අනෙක් මහල් පහේම සිටි පිරිසගේ සිත් වල බලාපොරොත්තු රහිත මෙන්ම අවිනිශ්චිත අනාගතයක පෙරනිමිති දළුලා වැඩෙන්නට විය. තැන තැන කාමර වල සහ ආලින්ද  වල දී මුණ ගැසුණු කාන්තාවෝ  හෙමින් තම දුක් ගැනවිලිද අනෙකුන්ගේ  ඕපාදුප ද කතා කළහ.

මෙසේ කතා කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ඈතින් පැමිණෙන ආරක්ෂකයෙකු දැක අනෙකාද අතින් ඇද ගෙන තම කාමරයට ගියේ තම කතාව අවසන්  කර ගැනීමට නොහැකි වූ  බැවිනි.

"උඹ දැක්කද ඔය කොරිඩෝවේ ආපු එකා හවසට හවසට අර කෙලවරේ කාමරේ එකීගේ කාමරේට රිංගනවා "

"නෑ "

"තව දවසක් දෙකත් යනකොට අපේ මිනිස්සු ආවේ නැත්තන් අපිටත් ඉතිං උන් එක්ක බුදියගන්න  වෙයිද දන්නේ නෑ  බං"

" උන්ගේ තුවක්කුව අපේ බෙල්ලට තිබ්බම  ඉතිං අපි මොනා කරන්නද? මුහුදට පනින්න යැ ?"


දිනක් රාත්‍රියේ ඉංජින් කාමරයේ රැස්වූ ආරක්ෂක නිලධාරීන් සියයක් පමණ දෙනා අමතමින් සිටියේ සන්නිවේදන අංශයේ සේවය කරමින් සිටි තාක්ෂණික නිලධාරියෙකි.

"සහෝදරවරුනි, අපේ ඉරණම හරියට පිඹුරෙකුට අහුවෙච්ච ගොදුරක තරමට අවාසනාවන්ත වෙලා තියෙන බව මෙතන ඉන්න කී දෙනෙ කුට වැටහෙනවද, තවත් කී දෙනෙක් වටහ ගණන උත්සහා කරනවද කියල මට කියන්න බෑ, ඒත් මේක ප්‍රත්‍යක්ෂයක් බව නම් තව දින දෙක තුනකින් හැමෝටම තේරෙන්න පටන් ගනීවි. දැන් මේ නැවෙන් මරණය හොයාගෙන යනවා හැරෙන්නට අමරණිය පිරමිඩය හොයාගෙන යන එක හීනයක් වෙලා ඉවරයි."

ක්‍රම ක්‍රමයෙන් තාරතාවය ඉහල ගිය  ඔහුගේ හඬ මෙගා ෆෝනයෙන්  කාමර කිහිපයක සිටි පිරිසට ඇසෙත්ම එකිනෙකා ඔහුගේ කතාව ඇසීමට ඇඟිලි වලින් ඇවිදිමින් ඉංජින් කාමරය දෙසට රොක් වුහ.

දරුවන් කිහිල්ලේ ගසා ගෙන පැමිණි මව් වරුන් දෙස බැලූ ඔහු,

"උඹලගේ මිනිස්සු ආයේ  එන්නේ නෑ, මේ නැවට පහර දෙන්න කවුරුත් ආවේ නෑ, ඔය කොටළුවෝ කියන ඒවා ඔක්කොම බොරු, අපේ මිනිසුන්ව බෝට්ටුවල දාලා ඉස්සරහට යවල මේ නැවේ කාලතුවක්කු වලින් ම උන්ගේ බෝට්ටු වලට ගහන එකයි සිද්ධ වෙන්නේ, අපේ ගෑනුන්ගේ රත්තරන් බඩු  ටික පෙට්ටි වල අහුරලා තියාගෙන ඉන්නේ අපිව පිරමීඩයට ගෙනියන්න නෙවෙයි, උන්ට යන්න. මෙන්න තියෙනවා හදපු සැලසුමේ පිටපත, ඊළඟට කරන්න හදන්නේ, නැව ගිලෙනවා කියල ගෑණු දරුවෝ බෝට්ටු වල දාල නැවෙන් පිට කරලා උන්ටත් කාල තුවක්කු පත්තු කරලා ඔය උඩ  තට්ටුවේ ඉන්න එවුන් විතරක් අමරණිය පිරමිඩයට යන්න හදන එකයි"

ඔහු තම අතේ තබාගෙන සිටි පිටු දහයක් දොළහක් සහිත කඩදාසි මිටිය ඉහලට ඔසවමින් උද්වේගයෙන් කතා කළේය.

එහි සිටි පිරිස කසු කුසු ගාන්නට වුහ. මොහොතකින් සියලුදෙනා නොසන්සුන් වන බව කථිකයාට පැහැදිලි විය. ඔහුට නැවත කතාව ආරම්භ කිරීමට විනාඩි කිහිපයක් බලා සිටීමට සිදු විය. නමුත් කතාව නැවත ආරම්භ කලේ ඔහුනොව ඔහුට යාර කිහිපයක් දුරින් තිබු අඩි පහක් පමණ උසැති ගල් අඟුරු ගොඩ උඩ නැග මෙතෙක් වේලා සන්නිවේදන සේවකයාගේ කතාවට සවන්දුන් මහලු ආරක්ෂක නිලධාරියාය. ඔහු කථිකයාගේ සමීපයටම පැමිණ

"මේවා අඬ බෙර ගහල කරන්න පුළුවන් දේවල් නෙවෙයි, කටේ හයියට ඇඟේ හැඩි දැඩි කමට විප්ලව කරපු කාලේ ඉවරයි කොල්ලෝ, සැලසුමක් හදපන් බෙරිහන්දෙන්නේ නැතුව"

තව තවත් පිරිස එක් රැස් වන විට ආරක්ෂක නිලධාරීන් එහි  රැස්ව සිටි  පිරිස විසුරුවා හැරියේය. සන්නිවේදන සේවකයා, මහලු ආරක්ෂක නිලධාරියා සහ තවත් කිහිපදෙනෙකු එහි තව දුරටත් සාකච්චා කරන්නට විය.

"අපිට මේ විනාශයෙන් බේරෙන්න විශාල බලයක් උවමනා කරනවා, එකේ පළවෙනි අඩිතාලම මිනිස්සු, මිනිස්සු කිව්වට නිකම්ම බත් අසූචි  වලට හරවන ශරීර නෙවෙයි, නිරවුල් මනසක් තියෙන හිතන්න පුළුවන්,අනිත් එවුන්ගේ පසුගාමී හිතුවිලි යටපත් කරලා තමන්ට නොලැබෙන නමුත් තමුන්ගේ දරු මුණුබුරන්ට ලැබෙන යහපත්  සමාජයක්  වෙනුවෙන් ජීවිතය කැප කරන්න පුළුවන් මිනිස්සු ටිකක් එක්ක තමයි මේ දේ කරන්න පුළුවන්"

මහලු ආරක්ෂක නිලධාරියා නොනවත්වා කියාගෙන ගොස් තමා දෙස බලා සිටින පිරිස කුමන ප්‍රතිචාරයක් දක්වන්නේදැයි සැක සහිතව බැලීය. පිරිස ඔහුගේ මග පෙන්වීම අපේක්ෂාකරන බව මහල්ලාට වැටහිණ. නැවතත් ඔහු කතාව ආරම්භ කළේය.

"මේක පටන් ගන්න  වෙන්නේ  සන්නිවේදන අංශයෙන්ම තමයි, පුලුවන්නම් කැප්ටන්ගේ ඊ මේල් හැක් කරන්න, නැවේ තොරතුරු අඩංගු මෘදුකාංග පද්ධතියට ඇතුළු වෙන්න, රුපවාහි විකාශන වැඩ සටහන් වල සත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්න: අපි සැලසුම් හදන්න ඕනි මෙතනින් කියලයි මට හිතෙන්නේ"

ඔවුන්ගේ කතාබහ මධ්‍යම රාත්‍රිය වනතුරුත් අවසන් වී නොතිබිණ.

"සතුරු සේනාවට නැවේ යුධ රහස් හෙළි කිරීමට සැලසුම් කල කල්ලියක සාමාජිකයින් පස් දෙනෙකු ඊයේ මධම රාත්‍රියේදී අත් අඩංගුවට ගත් බවත්, එම පිරමිඩ ද්‍රෝහීන්ට  නායකත්වය දුන් සන්නිවේදන අංශයේ තාක්ෂණික නිලධාරියා  මුහුදට පැන දිවි නසාගත් බවත්, කණ්ඩායමට උපදෙස් ලබාදුන් ජේෂ්ඨ ආරක්ෂක නිලධාරියෙකු අත් අඩංගුවට ගැනීමට නියමිත" බවද පසුදින උදෑසන පුවත් විකාශයෙන් කියවින.

දුක් විඳීමේ අරමුණක් තිබිය යුතුය, කිසිදු සැලසුමක් සාර්ථක නොවන බව මහලු ආරක්ෂක නිලධාරියාට වටහා ගැනීමට ඕනෑ තරම් සාක්ෂි විය. මෙම නෞකාව දියත් කර දින කිහිපයක් ගත වන විටම ඔහු මෙම විනාශයේ පෙරනිමිති දකින්නට විය, නමුත් කිසිවෙකු ඔහු පැවසු දෙයක් විශ්වාස කලේ නැත. ඔහු කියූ දේවල් සත්‍ය බව දැක ගැනීමට දැන් ඉතිරිව ඇත්තේ අතලොස්සකි. දින දෙකක් තිස්සේ වෙඩි බෙහෙත් ගබඩාවේ හිස් පීප්පයක සැඟවී සිටි ඔහු අවසන් තිරණයක එළඹින. "ජීවිතය නම් රෝගයට නින්ද තාවකාලික ඖෂදයකි, මරණය ස්ථිර විසඳුම වේ" යයි ඔහු කුඩා කල ඇසු කියමන සිහි විය. මෙහි දුක් විඳින මිනිසුන්ගේ හෙට දින වඩාත් අඳුරු බව ස්ථිරය, මෙහි සැප විඳින්නන්ගේ හෙට දින වඩාත් සැපවත්ය. දුක විඳීමට වඩා මරණය සැපවත් බව මහල්ලා සාක්කුවේ වූ ගිණි පෙට්ටිය එලියට ගනිමින් කල්පනා කරන්නට විය.


ඉන් සතියකට පමණ පසුව ජීවිතාරක්ෂක බෝට්ටු හතරක සිටි හැට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදු කොල්ලකරුවන් ගේ කුඩා නෞකාවකට අසුවිය. සුදු පැහැති නවීන පන්නයේ නෞකාවක් වූ එහි නැව් බඳෙහි මීටර් දෙකක පමණ නිල් පැහැති ඉරක් නැව වටා ගොස් තිබිණ. නැවෙහි ඉදිරි පසදී එහි පළල මීටර් තුනකට වඩා වැඩි  විය. ඉහල සවි කල දිගු දුර ප්‍රහාර එල්ල කල හැකි අවි වලින් එය නාවික සෙබළුන් භාවිතා කරන නැවක් බව පැහැදිලි විය. දිගින් මීටර් හතලිස් පහක් පමණ වූ එහි සියලු නවීන මෙවලම් මෙන්ම ඉහලම ස්ථානයේ කුඩා රේඩාර් යන්ත්‍රයක් ද විය. එහි උත්තල දර්පනයක් සේ දිස් වූ ලෝහ තැටිය  අංශක එකසිය අසූවක කෝණයකින් දෙපසට් බ්‍රමණය වන බව නැවට සමීපවත්ම දැකගත හැකි විය. විසි දෙනෙකුට ගමන් කල හැකිව තිබු බෝට්ටු වල පස් දෙනෙකුගේ බරට සෑහෙන කිලේ දෙසිය පනහක් පමණ මිනිසුන් සුර ලොවට සැනින් ගෙන යා හැකි වටිනා ඖෂධ  ගෝනි වල දමා පටවා තිබිණ.බෝට්ටු වල බර වැඩි වන විට ආරක්ෂාවට තිබු තුවක්කුද මුහුදට විසි කළහ.  මහලු කපිතාන්ගේ  අත් පිටු පසට තබා  කඹයකින් ගැට ගසා කකුල් දෙකද  පිටි පසට කර දණහිසෙන් අත් වලට තබා කොමාවක හැඩයට එක් බෝට්ටුවක  බිම දමා තිබිණ. කට ගැට  ගසා තිබුණු රෙදි කැබැල්ල  කෙළවලින් නැහැවී තිබුණු අතර "ආක් ඔක්" ලෙස පිටවූ වචන ඇරෙන්නට ඔහුට කතා කර ගත නොහැකි විය. නළල පුපුරා ගැලු රුධිරය වියලී යාමෙන් මුහුණේ මෝස්‌තර කිහිපයන් ඇඳි තිබිණ.පිරිස් මෙහෙය වූ කපිතාන්ගේ  සහෝදරයා සහ ඔහුගේ සහයට සිටි කපිතාන්ගේ  පුතා දෑත් ඔසවා ඔවුන් සියල්ල මුහුදු කොල්ල කරුවන්ට යටත් වන බව හැඟවිය. සමාන්තරව ගමන් කල බෝට්ටු හතරින් ඔවුන්ගේ බෝට්ටුව ඉදිරියට පැමිණ කොල්ල කරුවන්ගේ නැවට මීටර් පහක් පමණ දුරින් නතර කරන ලදී. එහි සිටි නිග්‍රෝ ජාතික  සාමාජිකයා කහ පැහැයට හුරු අඟල් දෙකක පමණ විශ්කම්භයෙන් යුත් කඹය පොටවල් කිහිපයක් රවුමට ඔතා බෝට්ටුවට විසි කර අනෙක් කෙලවර නැවේ වූ ලෝහ කණුවක ගැට ගැසීය. AK 47 වර්ගයේ රයිෆල් සරණාගත බෝට්ටු වෙත එල්ල කරගත් මංකොල්ල කරුවන් විසි දෙනෙක් පමණ නෞකාවේ ඉහල මාලයේ අඩි හතරක් පමණ උසට ඇති වැට අද්දර සිටියෝය. ඔවුන්ගේ නායකයා නියමු කුටියෙන් එලියට පැමිණ අවි අමෝරා සිටින සෙබළුන් පිටු පසින් සිටගත්තේය.

ඉණි මග බෝට්ටුවට දමා එහි සිටින කපිතාන්ගේ  සහෝදරයාත් ඔහුගේ පුතාත් ගෙන්වා ගන්නා ලෙස ඔහු සෙබළුන්ට අණ කළේය.

නාවිකයෙකු ලෙස ඇඳ පැලඳ සිටියද කපිතාන්ගේ  සොහොයුරා ඉණි මගෙහි ඉහලට නැගීමේදී කිහිප වරක් මුහදට ඇද වැටීමට ගොස් යාන්තමින් බේරිණ. ඉනිමග කඹ දෙකක් DNA අනුවක ෆොස්පේට් අණු  සහ පෙන්ටෝස් සීනි අණු ලෙස දෙපසින් විය. ද්විත්ව හේලික්ෂය සම්පුර්ණ කරමින් ඒවා සම්බන්ධ කරන නයිට්‍රුජනිය භෂ්ම ලෙස  ඇල්මිනියම් දඬු අඩියක පමණ පරතරයකින් සම්බන්ධ කර තිබිණ. දෙවනුව නැවට ගොඩ වූ නියමුවාගේ පුතා එතරම් අපහසු තාවයකින් තොරව දෙපසට වැනෙන ඉනිම නැග ගත්තේය.

"තොපි කුමන දිශාවකට ගමන් කරන්නහුද ? " මුහුදු කොල්ල කරුවන්ගේ නායකයා ඇසීය. ඔහු අඩි පහ හමාරක් පමණ උස කෙසඟ සිරුරක් සහිත සුදු ජාතිකයෙකි. රැවුල සම්පුර්ණයෙන්ම මුඩු කොට තිබු ඔහුගේ මුහුණෙන් ඉතා මිත්‍රශීලි පෙනුමක් දිස් විය. නියමුවාගේ සොහොයුරා නපුංසක පෙනුමක් සහිත වූ අතර ඉතා බයාදු ගති ඇත්තකු විය. පුත්‍රයා දාමරික ගති ඇත්තකු වුවද සතුරු දේශයකදී යටහත් වීම හැරෙන්න්ට වෙනත් විකල්පයක් නොමැති බව දන සිටියෙන් නිවට සිනාවක් පෑවේය.

"අපි ඒෂියන් වොන්ඩර්ස් නැවෙන් අමරණිය පිරමිඩයට ඇතුල් වීමට  යන ගමනේදී එය මුහුදු බත් උණා" කපිතාන්ගේ සොහොයුරා පිළිතුරු ලබා දුන්නේය. උඩු තල්ලේ ගැටෙන ලෙස ඔහුගේ මුව තුලට යැවූ දිලිසෙන පිස්තෝලයේ බටය දෙපසට කරකවා,

"තොපි ළඟ වටිනා භාණ්ඩ මොනවද තියෙන්නේ? " යැයි කොල්ල කරුවන්ගේ නායකයා පොලවේ අඩි හප්පා ප්‍රශ්ණ කළේය.

"අපි ළඟ තියෙනවා, ලොව වටිනාම ඖෂධ වලින් කිලෝ දාහක් විතර" කපිතාන්ගේ පුත්‍රයා පිළිතුරු දුන්නේය.

"ඒකෙන් උඹලට අමරණිය පිරමිඩයට යන්න බෑ , ලේසියෙන්ම මිනී මෝරුන්ගේ බඩවල්  ඇතුලට  නං යන්න පුළුවන්" නායකයා තම සගයෙකුට ඇසින් ඉඟි කරමින් පැවසිය.

කපිතාන්ගේ සහෝදරයාගේ කලිසම දිගේ පහලට මළ මුත්‍රා ගලමින් තිබිණ. ඔහුට තව දුරටත් කතා කරගත නොහැකි විය සිහිසුන්ව බිම ඇද වැටුණි. නායකයා නාසය අතින් වසාගෙන ඔහුව ඉවතට රැගෙන යන ලෙස තම පිස්තෝලයෙන් සංඥා  කරන ලදී. සෙබළුන් දෙදෙනෙකු  නැවේ කෙලවර වැට ආසන්නයට මියගිය සුනඛයෙකු සේ ඇදගෙන ගොස් බිම දමා ගිණි නිවීමට ජලය විදින රබර් නලයක් ගෙන අධි පීඩන ජාල ධාරාව ඔහු වෙත යොමු කළේය. මොහොතකින් ඔහු නැවත පියවි සිහියට පැමිණ ඉතා අපහසුවෙන් වැට අල්ලාගෙන සිටගත්තේය. ජල ධාරාවෙන් මුහුණ බේරා ගැනීමට ඔහු මුහුද දෙසට හැරුණේය. ජල ධාරාවේ පිඩනයට දණහිස් දෙක ඉදිරියට නැමී ගිය අතර කකුල් දෙක නැව් තට්ටුවෙන් එලියට විසිවී ගියේය. ඔහු මරහඬ තියමින් වැටේ එල්ලින. තට්ටම් දෙකට යොමු කල ජල ධාරාවෙන් කලිසම, යට කලිසම මෙන්ම රබර් පටියකින් ඉනට සම්බන්ධ කර තිබු කෘතීම වෘෂණ කෝෂ යුගලද  ගැලවී මුහුදට වැටිණ. නායකයා කොක් හඬලා සිනා සීමට පටන් ගත් විට තුවක්කු අමෝරා සිටියවුන් සියලු දෙනාද එයට එක වුහ. ජල පහර නතර කළ විට ඉතා අපහසුවෙන් නැවට ගොඩවූ යටි කය නිර්වස්ත්‍ර ඔහු අසල බිත්තියේ වූ ගිනි නිවීමට යොදා ගන්නා කාබන් ඩයොක්සයිඩ් සිලින්ඩරය ගලවා එය  කොල්ල කරුවන්ගේ නායකයා දෙසට විසි කළේය.

එය ඔහුගේ මුහුණ ආසන්නයෙන් ගමන් කරන විට ඔහු දෙපය  නොසෙල්වා  ශරීරය ප්‍රති විරුද්ධ දිශාවට ඇල වී  ප්‍රහාරයෙන් ගැලවිණ . නැවත කෙලින් සිටගත් ඔහු වම්  පාදය පියවරක් ඉදිරියට තබා තමාට මීටර් තුනක් පමණ ඉදිරියෙන් සිටි කපිතාන්ගේ සොහොයුරාගේ දෙසට  එල්ල කර පිට පිට මුනිස්සම් දෙකක් මුඳා  හැරියේය. පළමු වැන්න පපුව සිදුරු කරගෙන මස් වැදලි සමග පිටෙන් මතුවූ අතර දෙවැන්න ඔහු ඇද වැටෙන විට නිකටෙන් ඇතුළු වී මුඛය හරහා ගොස් කුඩු වූ මොළයේ කැබලිද සමග අපර කපාල අස්ථියේ කොටසක් කඩාගෙන හිසෙන් මතු විය. වෙඩි පහරවල් සමග පිටු පසට විසි වුණු ඔහු වැටට හේත්තු විය, සෙබලෙකු වහා ඉදිරියට පැන ඔහුගේ කකුල් දෙකෙන් ඔසවා මුහුදට තල්ලු කළේය. ජල නලය අතැතිව සිටි සෙබලා බිම ඉහිරුණු ලේ පැල්ලම් සේදී යන්නට ජල පහරක් ඇල්ලීය. බෝට්ටුවල සිටි පිරිස විලාප දෙන්නට විය.

කපිතාන්ගේ පුත්‍රයා නායකයාගේ දෙපා මුල වැඳ වැටුනේය.

"අපි ළඟ සල්ලි, රත්රන් මුතු මැණික් තියෙනවා, ඒ ඔක්කොම අරගෙන අපිට යන්න දෙන්න කැප්ටන් " ඔහු වැලපෙන්නට විය.

නායකයා ජයග්‍රාහී මෙන්ම උපහාසාත්මක සිනහවක් පා කපිතාන්ගේ පුත්‍රයා කැඳවාගෙන රහස් කාමරයට ගියේය. කාමරයේ දොර වසාගත් අතර දෙදෙනෙකු පිටතින් රැකවල් ලා සිටියෝය.

"අපේ නැව මුහුදුබත් වුනේ මෙතනදී' කපිතාන්ගේ පුත්‍රයා තම සාක්කුවෙන් එලියට ගත් සිතියම මේසය මත දිග හරිමින්, කිවේය. ඔහු පෙන්වූ තැන කතිරයක් යොදා අක්ෂාංශ සහ දේශාංශ ලියා  තිබිණ.

"නැවේ තියෙනවා රත්රන් ටොන් බාගයක්, තවත් ටොන් එකකට කිට්ටුව මුතු මැණික්, රිදී "

"මේ ඔක්කොම ඇත්ත නම් අපි උඹලව අමරණිය පිරමිඩයට ඇරලවනවා, බාගයක් අපිට"

"මම කැමතියි "

සිතියම මත දෙදෙනා අත්සන් කලෝය. එකිනෙකා වැළඳ ගෙන කාමරයෙන් පිටතට පැමිණියෝය. නැවේ වැට අද්දරට ගොස් කපිතාන් නිදහස් කරන ලෙසට පුත්‍රයා බෝට්ටුවේ සිටි පිරිසට අණ  කළේය. නැවේ සිටි සෙබළුන් නායකයාගේ අණින් ගෝනිවල දමා නැව් තට්ටුවට රැගෙන ආ පාන් සහ  වතුර බෝතල් කිහිපයක් බෝට්ටු වලට  විසි කලෝය. කපිතාන්ගේ  තරුණ බිරිය කපිතාන්ගේ  මුඛය ආවරණය කර තිබු රෙදි කඩ ගලවා දමන විට ඔහුගේ තරුණ දියණිය දෙපා සහ අත් බැඳ තිබු කඹය කපා දැමුවාය.

නැවේ  නියමු කුටියට පිටු පසින් නැව් තට්ටුව මත නතර කර තිබු  සුදු පැහැති හෙළිකොප්ටරය වෙත නායකයා සහ කපිතාන්ගේ පුත්‍රයා ගමන් කරන විට එය පනගන්වා තිබිණ. මීටර් දාහතරක් පමණ විශ්කම්භයක වෘතාකාර පථයක බ්‍රමණය වූ එහි තටු ආසන්නයට ගමන් කරන විට හිස පහත් කර ගත්තෝය, සන්නද්ධ සෙබළුන් හතර දෙනෙක්ද කිමිදුම් කරුවන් දෙදෙනෙකුද නියමුවා සහ ඔවුන් දෙදෙනාට අමතරව හෙලිකොප්ටරයට ගොඩ විය. නායකයා තම කලවා මත තබාගත් සිතියම පරික්ෂා කර නියමුවාට එහි අක්ෂාංශ සහ දේශාංශ පිහිටීම ලබා දුන්නේය, ඔහු එය නියමු අසුන ඉදිරිපස පරිගණක යතුරු පුවරුවෙන් GPS පද්ධතියට ලබා දුන් විට අදාළ ස්ථානය රතු පැහැති තිතකින්ද වර්තමාන පිහිටීම කොළ පැහැති තිතකින්ද අඟල් හතක් පමණ වන තිරයේ දිස් විය.  නැව් බඳ චලනය කරමින් ඉහලට කමන් කළ හෙලිකොප්ටරය විනාඩි තිස් පහක කාලයකදී අදාල ස්ථානයට ලඟා විය. තැන තැන පාවෙමින් තිබෙන සියගණනක් මළසිරුරු වල ඇස් උගුල්ලමින් ඒවා තම පැටවුන්ට කවන උකුස්සන් වැනි පක්ෂීන් රාශියකි.මිනී මෝරුන්ගේ ප්‍රහාරයට ලක්වීමෙන් මියගිය මිනිසුන්ගේ අත් පා කැබලි මෙන්ම බොකු බඩ වැල්ද පාවෙමින් තිබිණ. හෙලිකොප්ටරය මුහුදට වඩා ලං වන විට මිනී ගඳ උසුලාගත නොහැකි තරම් විය. මළ සිරුරු ඉදමි පුළුන් කොට්ට මෙන් විය, සම පිලිස්සී දුඹුරු පැහැගෙන තිබිණ. යානය මුහුදට අඩි 25කටත් අඩු උසකින් නිශ්චලව පැවතිණ, අධි තාක්ෂණික, ඉතා අඩු සංඛාත  VLF ලෝහ අනාවරකයන් දෙකක් මුහුදු පතුල වෙත යවන ලදී, ඒවා පාලනය කිරීම නායකයා විසින් හෙලිකොප්ටරයේ සිට සිදු කරන ලද අතර කිමිදුම් කරුවන් දෙදෙනා, වරින් වර ජලය තුලට ගමන් කරමින්ද ඉහලට පැමිනෙමින්ද යන්ත්‍ර වල රැහැන් එකිනෙක පැටලී යන විට ඒවා, නැවත සකස් කලෝය. මුහුදේ ගැඹුර මීටර් දෙසීයකට අඩු වූ එම ප්‍රදේශයේ ඔවුන්ගේ මෙහෙයුම වඩාත් පහසු විය. පැයක් ගත වන්නටත් මත්තෙන් ලෝහ අනාවරකයන් රත්රන් පෙට්ටි සමුහය ඇති ස්ථානය අනාවරණය කරගත්තේය. නායකයා සෑහීමට පත්වූ බව හැඟවිය, සුදු මැලි වූ කපිතාන්ගේ පුත්‍රයාගේ මුහුණට ලේ ගමන් කරන්නට පටන් ගත් බවක් දැනින. ආම්පන්න සියල්ල යානයට පටවා ගෙන කිමිදුම් කරුවන් දෙදෙනා එයට ගොඩ වූ පසු එය වේගය වැඩි කරමින් ඉහලට හමන් ඇරඹීය. විවෘත කර තිබු දොරටුවෙන් මුහුදේ පාවෙන මල මිනී හෙලිකොප්ටරයේ සුළං පහරට ඇතිවන රැලි වලින් ඉහල පහල යන දෙස බලා සිටියේය. පසු පසින් සිටි සෙබලා AK 47 ගිනි අවියක බඳෙන්  හිස පසු පසට එල්ල කළ  පහරත් සමගම නායකයා ඔහුව හෙලිකොප්ටරයෙන්  මුහුදට තල්ලු කළේය. අඩි සියගණනක් ඉහල සිට මරලතෝනි දෙමින් කපිතාන්ගේ පුත්‍රයා මුහුදට පතිත විය.

දිනකට පමණ පසුව ජාත්‍යන්තර ප්‍රවෘති විකාශන බොහෝමයක උද්යෝගයෙන් වාර්තා කරන ලද්දේ අමරණිය පිරමිඩයය  ආසන්න මුහුදේදී ලොව දරුණුම මුහුදු කොල්ල කරුවන් කණ්ඩායමකට පහර දී ඔවුන්ගේ කුඩා ප්‍රමාණයේ නෞකාවක්, බෝට්ටු හතරක් සහ හෙලිකොප්ටරයක් විනාශ කල බවයි. බෝට්ටු වලට මෙන්ම නැවට ගුවනේ සිට එල්ල කරන ලද බෝම්බ වලින් ඒවා කළු පැහැති දුම් රොටු වලින් වැසි යන ආකාරයත් පසුව නැව කෙමෙන් මුහුදට ගිලා බසින දර්ශනත් පෙන්වන ලදී.

- ජානක ගුණතිලක

No comments:

Post a Comment