Thursday, October 23, 2014

මැජික් පිහාටු ( කෙටි කතාව 11 )



ජනේලේ රෙද්ද මෑත් කරන කොට එකපාරම වීදුරුවෙන් එහා පැත්තෙන් මතු වුනේ ලේ වලින් වැහිච්ච කිර්තිගේ මුණ. කොන්ඩේ ලේ වලින් තෙත් වෙලා තිබ්බා ඇස් දෙක ගිණි බෝල දෙකක් වගේ තරහින් ගිනි ගත්තා. නළල හරහා තිබ්බ කැපුම් පාරට ඔලු කට්ට සුදුවට මතු වෙලා තිබුණා. තොල් දෙක හරියට බුලත් කඩේ විමල අක්කගේ චීත්තෙයි, හිරට ඇඳපු හැට්ටෙයි අතරින් එලියට පැනපු බඩ ගෙඩිය වගේ. වීදුරුවට මුණ තද වෙනකොට වීදුරුව දිගේ ලේ ගලාගෙන පහලට වැක් කෙරුණා. මං  එකපාරටම ජනෙල් රෙද්ද අත ඇරියේ ඒ මුණ දිහා තවත් බලාගෙන ඉන්න බැරි කමට. මට ඉබේටම කෑ ගැහුණා ඒ එක්කම පිටි පස්සෙන් මගේ උරහිසේ ගෑවුණ සීතල අතක් නිසා.

"මොකද මේ වෙව්ලන්නේ, හීනෙන් බය උණාද?"

කෙස් ගස් අතරින් ඇඟිලි තුඩු යවමින් සිටියා මිස ඇය කිසිවක් නොකීවාය. ඇයගේ උකුල මත සුවබරව නිඳන පළමු දින එය යයි මට සිතිණ. එය රාත්‍රියද උදෑසනද යන්න නිච්චියක් නොවීය, කෙසේ හෝ හිරු නොපායා ඇති හෝරාවක් විය, කාමරයේ බිත්ති වලට සවිකර තිබු විදුලි පහන්  වල ආලෝකය ඉටි පහනක ආලෝකය තරම්වත් දීප්තිමත් නොවිය. ඇයට  යමක් පවසන්නට මට උවමනා විය, නමුත් ඒ කුමක්දැයි මා දැන සිටියේ නැත.උගුරේ නූල් බෝලයක් වැනි යමක් සිරවී ඇති බව පමණක් වැටහිණ.

මුළු ඇඟම රිදෙන්නේ හරියට ඩිංගි පාලයාගේ කෙල්ල හොරෙන් ගේන්න ගිහිල්ලා ගමේම මිනිස්සුන්ගෙන් ගුටි කාපු දවසේ වගේමයි. ඒත් ඒ ඊයෙ නෙවෙයි කියල නං හොදටම විශ්වාසයි, ඒත් යකෝ  මෙච්චර ඇටකටු වල ඉඳන් දැනෙන්න තරං වේදනාවක් කවදාවත්ම දැනිල නැති තරමට දැනෙන්නේ කොහොමද කියල මං කලපනා කර කර නැගිට්ටම තමයි තේරුනේ  මේ ඉන්නෙත් ගෙදර නොවෙන වග.

'එහෙනං වීල් එක කෝ? " පලවෙනි පාර ඒක මගෙන් අහගෙන, දෙවනි පාර ඇහැව්වා සරම ඇතුලේ  නිදාගෙන හිටපු එකාගේ සරම ඔලුවෙන් පහලට ඇදල. ඌයි මායි එක ඇඳේ නිදාගෙන හිටියට දැන් තමයි දැනගත්තේ ඌ සමිතය කියල.

"හරි හරි තව ටිකක් නිදා ගනින්කෝ තාම එළි  වෙලත් නෑනේ"

ඌ එහෙම කිව්වට, මම නැගිටලා ජනේලේ රෙද්ද මෑත් කරලා  බැලුව විතරයි අව්වේ රස්නෙට ඇස් දෙකෙන් කුරුල්ලෝ පියාඹල ගියා, ආයෙත් ටිකකින් ඇස් අරිනකොට  මට එක එල්ලේ පෙනුනේ මගේ වීල් එක පාක් එකේ නතර කරලා තියෙනවා අගේට.

"එතකොට යකෝ  මං ඉන්නේ ....................?"

චාටර් කිර්තිගේ කඩේ උඩ තට්ටුව කියල මට තේරුණා, සමිතය සරම ඇතුලේ ඔලුව හංග ගන්නත් කලින්.

"නැගිටපන් දැත්තෝ ඉක්මනට, අපි ඉන්නේ චාටරයාගේ කඩේ බං"

දෙබරයක් වගේ සරම ඇතුලේ  උණ්ඩි ගැහිලා හිටපු උගේ සරම කකුල් දෙක පැත්තෙන් උඩට ඇදල මං  කිව්වා. එතකොට ඌටත් තරු පෙනුන වග මට දැනුනේ ඌ සරම රවුමට ඇදේ ඉතිරි වෙන්න හෙළි වැල්ලෙන් හිටගත්ත විදිහට, හරියට සිදුහත් කුමාරයා නෙලුම් මලක් උඩ  හිට ගත්තා වගේ. එතකොටයි මාත් දැක්කේ  ඇඳුමක් නොතිබුනාට  කුණු ලේ පිරිච්ච්ච  නිල්-රතු පැල්ලම් වලින් උගේ මුළු ඇඟම වැහිලා තියෙන්නේ කියල. අප්පිරියාවට මං  අහක බලාගෙනම ළඟ තිබ්බ මෙසේ ළඟ පුටුවෙන් ඉඳ ගත්තා.

සංගීතේ "දඩි බිඩි" සද්දේ ඇහෙනකොට ඇඟ නලියනවා වගේ දැනුන. රුපියල් පනහේ ටිකට් එක ගන්න බැරි කමටත් වඩා "චාටරයා" ඉන්න සංවිදායක කමිටුවට ඔලුව නමන්න තිබ්බ අකමැත්තටම,

"තොපේ සංගීත අපි බලන්නෑ" කිව්වේ ඌත්  එක්ක තිබ්බ ගේමට.

සමිතයයි මායි කිට්ටු කරා සංගීතේ තියෙන පිට්ටනිය පැත්තට ටිකක් අඳුර වැදීගෙන එනකොටම නන්දෙගෙ  පොට් එකෙන් රුපියල් සියේ ෂොට් දෙකකුත් ගෙන. කෝකටත් වීල් දෙක පාක් එකේම තියෙන්න ඇරලා. ඒක පටන්ගෙන ටික වෙලාවක් උනාට නැගල යනවා කවදටත් වඩා හොඳට, ඒක තේරුණේ පිට්ටනියෙන් වැහි වලාකුලක් වගේ ඉහල නගින දුවිලි වලාවට පාට පාට ලයිට් වැටුනම.

චාටර් කිර්තිය කිව්වට වූ චාටර් අපේ ශබ්ධ කොශේට විතරක්ද කියලත් හිතෙනවා වෙලාවකට, මොකද හැමදේම ඉවරවෙනකොට ඌ කිර්තියා  අපි චාටර් නිසා. උගේ එවුං තමයි හැම ගේට්ටුවකම  ටිකට් චෙක් කරන්න හිටියේ, කලිසමක් ඇඳගෙන උන්ට ටිකට් දීලා දෙකට නැමිලා යනවට වඩා හොදයි තවත් කාලක් ගහල ගෙදර බුදිය ගන්න එක කියලත් හිතුණා. එත් "දඩි බිඩි "ගාලා ඇහෙන ඩ්‍රම් සද්දෙට අපිව ඇදිල යනවා පිට්ටනිය දිහාවටම.

චීත්ත පොටවල් දෙකක් වගේ එක මත එක ගිය ටකරං දෙකක්  දෙපැත්තට කරන්න පුළුවන් කියල දැනගන්න ඇතුලෙන්  අතදාලා බලන වෙලාව වෙනකම්ම ඉන්න වෙච්ච එකට, ඔබාගන්න හිතුණා ඔලුව ටකරං වැටට එපිටින් ගලාගෙන ගිය අසුචි කාණුවේ. එළියේ අසුචි කාණුව  උනාට ඇතුලෙනේ තිබ්බේ ආතල් එක හරියට නයිට් ක්ලබ් එකක ඩිනර්  ඩාන්ස් එකක්  වගේ. ගන්න හිතුනෙම නෑ නා ඔලුව පස්සට සමිතය කලිසමෙන් අදිනකන් මාව ආපස්සට.

"කොහොමද ඇතුල ?"

"ආතල් බං " අම්ම මුත්තා කිව්වත් මං නෙවයි ගත්තේ ඔලුව පිටි පස්සට.

වැලි ඔරලෝසුවේ  වැලි ටික වැටිලා ඉවරවෙලා තිබ්බා, ඌ දැම්මා ඔලුව මගේ කකුල් දෙක අස්සෙන්. ඌ තවත් ඇතුලට රිංගද්දී හරියටම මං හිටියේ උගේ ඇඟ උඩ  හරියට  ගෙම්බෝ යුවලක් මෛතුණ සේවනයේ යෙදෙනවා වගේ. සංගීතේ අමතක උණා එහා පැත්තේ ගහට හේත්තු වෙලා හිටපු එවුන් දෙන්නා දෙන්නෙක්ද එකෙක්ද කියල වෙන් කරලා අඳුර ගන්න ගත්ත උත්සාහයේ හැටියට. බිම තිබ්බ තණ කොළ ගැලවිලා නටන උන්ගේ කකුල් සුදු පාට වෙලා, සමහර කකුල් කලිසම් සායවල් වලින් වැහිලා තිබුනට සමහර කකුල් දනිහෙන් උඩටත් වෙනකං පේන්න තිබ්බා ලස්සනට. චිත්‍ර පටියක් වගේ ඇතුලේ තිබ්බ විකාර වික බලන්න ඇස් දෙක ගෙම්බෙක්ගේ වගේ ඔලුව උඩ තිබුනනං හොදයි කියල හිතුනා අංශක තුන්සිය හැටම කරකවන්න පුළුවන් වෙන්න. හැබැයි අපිට ඔක්කොම පෙනුනේ එතන හිටගෙන හිටපු පොලිස් කාරයගෙ කකුල් දෙක අස්සෙන්.මොකුත් කරගන්න වෙලාවක් තිබුනේ නෑ නොසන්ඩාලයෙක්  නොහිතපු වෙලාවක මගේ පස්සට ගහපු පයින් පාරත් එක්ක. දෙන්නම ටකරං දෙක අතර සිදුර හරියට යෝනි මාර්ගයෙන් එලියට දරුවෙක් එනවා වගේ පළල් කරගෙන විසි වෙලා ගිහිං  හිර උනා පොලිස් කාරයගෙ කකුල් දෙක අස්සේ. සමිතයා පස් කාගෙන නතර උනා. මං හිතන්නේ පොලිස් කාරයා  කලිසම මිසක් යට ඇඳුමක් නං ඇඳලා හිටියේ නෑ, මොකද මගේ බෙල්ලට හරියටම දැනුනා උගේ වෘෂණ කෝෂ දෙක තද වෙනවා. ඌ  මරහඬ දුන්නේ හරියට හැත්තෑ එකේ අප්‍රේල් පස්  වෙනිදා වැල්ලවාය පොලිසියේ ඩියුටි හිටපු එකෙක් වගේ. ඊට පස්සේ විසිල් එක බිඹ ගෙන ගියා හරියට ටයිටැනික් එකේ රෝස් ඩෝසන් වගේ. හැමතැනම හිටපු පොලිස් කාරයෝ එකතුවෙනකොට එතනට මං ඌව තල්ලු කරගෙන ගියා අපේ තාත්ත මාව පොඩි කාලේ අරන්ගියා වගේ පස්ගුණයක විතර වේගෙන් ඉස්සරහට. නතර උනේ තවත් පොලිස් කාරයෙක්ගේ කකුල් දෙක අස්සේ, හැබැයි ඌ හිටියේ මගේ පැත්තට හැරිලා. එතැනට එකතු උන එවුන් ගාන ගණන් කරන්න සංක්‍යා ලේඛන දෙපාර්තුමේන්තුවෙන් හිටියත් බැරි වෙන බව නං ෂුවර්. මම අත ඇරියේ නෑ අලුතෙන් අහුවුණ කකුල් දෙක,  ඔලුව බේරගන්න ඕනි නිසා, මට තැලුවේ හරියට කොල්ලු තලනවා වගේ ගෝනියකට දාපු. මට මතක එච්චරයි.

"මේක ගහපං, ඊයේ කාපු කෑමට ඇඟත් රෙදෙනවා ඇතිනේ "

කිර්ති එනපොට මොකක්ද කියල තේරුනේ නෑ මටත් සමිතයටත්, ඌ එනකොට ගල් අරක්කු බෝතලෙකුයි, විදුරුවකුයි සෝඩා බෝතලේකුයි අරගෙන. ඒක ඌ මේසේ උඩ තියල ගියා විතරයි මොකුත් කිව්වේ නෑ ඊට අමතරව. අපි දෙන්න හලාගත්තා වීදුරුවට මාරුවෙන් මාරුවට බෝතල් දෙකෙන්, ඊට පස්සේ කටට. වෙලාව කීයද  කියල බලන්න උවමනාවක් තිබුනෙම නෑ අපි දෙන්නටම.

"මේ රෙද්ද උස්සන එකේ එපා වෙලා බං" කියාගෙන ආයෙත් සමිත උස්සල බැලුවා ජනේලේ රෙද්ද.

"ඒයි අර බලපං වීල් පාර්ක් එකම පොලිසියෙන් වටකරලා "

මාත් බැලුවා සමිතගේ කර උඩ නැගල. කහපාට කලුපාට ඉරි තියෙන පොලිතීන් පටි වලින් වට කරා වීල් දහයක් විතර තිබ්බ පාර්ක් එකම. ඩිංගි පාල, හිචබු වගේම පාර්ක් එකේ හිටපු හැමෝම බලාගෙන හිටියේ කිසිදෙයක් හිතාගන්න බැරුව. පොලිසියෙන් දෙන්නෙක් ගියේ ඊට පිටි පස්සේ තියෙන මානං කැලාව පිරගෙන, ඊට පස්සේ තව කිහිප දෙනෙක්. දුරේක්ෂ අන්වීක්ෂ නොතිබුනාට අපි දෙන්නම දැක්කා එතන තිබුණේ ප්‍රියන්තගේ මිනිය කියල. වීල් දොළහකට අවසර තිබුණ පාර්ක්  එකේ තිබ්බේ කිර්තිගේ වීල් නමේකුයි සමිතගෙයි මගෙයි දෙකයි ප්‍රියන්තගේ වීල් එකයි. කිර්තිගේ තේ කඩේ මෙතන තිබුනට බිස්නස් නැගල ගියේ ටවුමේ තිබ්බ රෙස්ටුරන්ට් එකේ. හයර් දිව්වේ අපි තුන්දෙනා විතරක් උනාට අනිත් වුන්ට තිබ්බේ හෝටලේට එන සුද්දොන්ට බඩු සප්ලයි කරන එකයි උන් එක්ක බුදිය ගන්න එකයි විතරයි. බඩු  කිව්වට බඩු ජාති තුනක් තිබ්බා, එකක් පොඩි පැකට් වල, අනිත් එක කේරලෙන්, තුන්වෙනි එක පණ පිටිං . කිර්ති කිසි දෙයක් නොදන්න එකා වගේ සරමකුයි බැනියමකුයි ගහගෙන සෙරෙප්පු දෙකකුත් නැතුව තේ හදනවා, උගේ බෑනා රෙස්ටුරන්ට් එකේ බිස්නස් එක රන් කරනවා.

කිර්තියගේ රෙස්ටුරන්ට් එකට පොලිසියෙන් පැන්නේ අපේ ඔත්තුවකට කියල තමයි ඌ හිතාගෙන හිටියේ. කුඩු කිලෝ තුන අහුවුණේ බෑනාගේ කාමරේ නිසා ඌට යන්න උණා අවුරුදු පහකට හිරේ, හැබැයි පත්තරේට විතරයි. යස අගේට මිනිහ ඉන්නවා මැනේජර් පුටුවේ වාඩි වෙලා මාස දෙකකින්  ඇපීල් කරාට පස්සේ.

තරු ගොඩක් ගහපු එකා කීර්තියට සැලියුට් එක නොගැහුව්වා විතරයි නැමුනා හරියට හතරට කපපු හබරල දණ්ඩ ගොඩින් තිබ්බා වගේ. ඒත් පුදුමේ කියන්නේ කිර්තිට බැනගෙන ගිය උගේ ලොක්කා  දාගත්තා කිර්තිව  ජිප් එක‍ට, නොතාරිස් නෝනා දොස්තරත් එක්ක මිනිය බලන වෙලාවෙම. අපි දෙන්නට හිතුනා රාජා මුදලාලිගෙන් ගුලියක් කෑවද කියලත් එක වෙලාවකට. මං සෝඩා බෝතලෙන් ටිකක් අතට දාගෙන ඇස් දෙක පිහදගෙන බැලුවා මේ හීනයක්ද කියලත්, ඒත් වෙනසක් වුණේ නෑ මෙතකන්, ඉස්සරහට කොහොම උනත්. තව පොලිස් කාරයෝ දෙන්නෙක් එනවා දැක්කා අපි ඉන්න පැත්තට, මට දැනුනා සමිතයගේ වම් කෝෂිකාව මගේ වම් කෝෂිකාවේ වදිනවා කියල. ඕනි ටොෆියක්  කියල අපි දෙන්න හලාගත්තා තව දෙකක් බෝතලේ ඉවර වෙන්නම.

"ටක් ටක් "

"ඇරලා තියෙන දොරේ පියනට තට්ටු කරන්න මුන්ගේ මුළු  ඇඟේම මොළේ තියෙන්න ඕනි"  කියල මට  හිතුණා, ඒත් සමිතයට චු ගියා.

දොරට තට්ටු කරන්න තිබ්බ සීලාචාරකම උන්ගේ  වැඩ වල නැති බව මං  කොහොමටත් දැනගෙන හිටියේ. උන් ආවා විතරයි මොකුත් ඇහැව්වේ නෑ  දැම්මා අපි දෙන්නගේ අත් දෙක එකට තියලා මාංචු. සමිතයගේ සරම කඩාගෙන වැටුණා, මාත් පාත් උණා ඌට සරම ඇද ගන්න. මං දැක්කා කුඩල්ලා වගේ පහලට කඩා වැටිච්ච උගේ බිජ්ජෙන් හුජ්ජ බිංදුවක් එල්ලෙනවා හරියට කිලිනොච්චියේ සරණාගත කඳවුරක අම්මෙක්ගේ තනේකින් කිරි බිංදුවක් එල්ලෙනවා  වගේ.

"නැගපියව් කපයෝ ගිහිල්ල ජිප් එකට, ඉන්නවා මෙතන මොකුත් දන්නෑ වගේ"

මගේ පුකට කහපු පයින් පාරට සමිතයට කරගන්න දෙයක් තිබුණේ නෑ මාත් එක්ක ඇදිල යනවා මිසක්. ඒත මං දැක්කා අපි දෙන්නා නිඳා ගෙන හිටපු ඇඳේ මෙට්ටේ යටින් ලේ බේරුණු පිහියක් ඇදල අරගෙන පොලිතින් උරේක දාගන්නවා.

අපි ගියා ජීප් එක ලඟට, වටේට මිනිස්සු ඉන්නවා හරියට මාරක ළිඳ බයිසිකල් පදිනවා බලන්න  වහේ.  කිර්තියත් ඉන්නවා ජීප් එකේ , ඒකයි තියෙන ආතල් එක. ඒත් අපේ ආතල් මොහොතකට, ඌ ගියා බැහැල අපිට නොන්ඩි හිනාවක්  දාලා.

තරු ගහපු එකා කිව්වා

"හරි සර්"කියලා.

මට ඇහැරෙනකොට දුන්යා ඇඳේ හිටියේ නෑ, ඉක්මනට ඇඳෙන් පැනල ගිහිං බැලුවා ජනෙල් වීදුරුවේ ලේ පාර තාම තියෙනවද කියල, දුන්යා එන්න ඉස්සෙල්ල හෝදලා දාන්න. මං  තල්ලු කරන ජනෙල් පියන ඇරගෙන බැල්කනියට ගිහිං බැලුවා එලිය පැත්තෙන්, ඒත් මොන ලකුණක් වත් පේන්න තිබුනේ නෑ, අඩුමගානේ අඩි  පාරක්වත්. මම බැල්කනියෙන් එළිය බැලුවේ වීල් පාර්ක් එක දිහා ප්‍රියන්තගේ මිනිය අරන් ගිහිල්ලද බලන්න.

ඒත් තට්ටු හතක් විතර උඩ ඉඳන් මට පෙනුනා මගේ සුදු පාට කාර් එක පහළ පාර්ක් එකේ නතර කරලා තිබුණා. දුන්යා ඒ ලඟම නවත්තලා තිබ්බ එයාගේ කාර් එකට නගිනකන් මම බලාගෙන හිටියා. එයා ටිකක් ඈතින් මෙට්‍රෝ දුම්රිය පාරට යටින් ගිහිං  ලේන් හයක් විතර එක පැත්තට දුවන හයි වේ එකට වාහනය දාලා තවත් වාහන ගොඩක් මැද නොපෙනී ගියා. කොතනකවත් ත්‍රී වීල් නතර කරලා තියෙනවා වත් පාරේ දුවනවා වත්  මං  දැක්කේ නෑ.

මට මතක් උනා "උඹ බය වෙන්නේ නැතුව හිටපං මං උඹට ගහල දෙන්නං exit එක, ලක්ෂෙකට " කියල ඌ කියපු එක.

ඌ කව්ද කියල උඹ දන්නවනේ? ..


- ජානක ගුණතිලක


1 comment:

  1. ලස්සන ලියවිල්ලක්. සිද්ධිය ලස්සන නැති උනාට, අපේ මොලේ වෙහෙසවනවා හැම වචනයකින්ම.මම ආසයි එහෙම

    ReplyDelete