Friday, October 3, 2014

සිතාසි ( කෙටි කතාව 10 )








කුඩා විසිත්ත කාමරයේ වූ රුපවාහිනී යන්ත්‍රය තුලට වී චිත්‍ර පට වල රඟපාන නළු නිළියන්ද සින්දු කියන ගායක ගයිකාවන්ද ප්‍රවෘති ඉදිරිපත් කරන නිවේදක නිවේදිකාවන් ද දැනට  මාස ගණනකින් කිසිදු හඬක් නොනගා සිසිර තාරක නින්දකට වැටී ඇති සෙයකි. එහි තිබු එකම මේසය මත සති අන්ත පුවත් පත්, මාසික සඟරා මෙන්ම, හිස් වූ පලතුරු බිම බෝතල්, ටොනික් කෑන් ලට්ට ලොට්ට අතර  අර්ධයක් හිස් වූ  වොඩ්කා බෝතලයක් ද විය. මේසය යට හිස් වූ විස්කි, බ්‍රැන්ඩි, වොඩ්කා ආදී බෝතල් ද සෝඩා කෑන වලින්ද බිම දුවිලි තට්ටුවකින් ආවරණය වීම වලක්වා තිබිණ.

සෝපා සෙටියේ ඒ මේ අත දඟලමින් පැය දෙකක් පමණ නිදා ගැනීමට උත්සහ කළද  ඔහුට එය කිසිදු අර්ථයක් නොමැති ක්‍රියාවක් බව වැටහිණ. වායු සමීකරණ යන්ත්‍රය පැය විසිහතර පුරාම ක්‍රියාත්මක වූවද ඔහුගේ මුළු ශරීරයම දහඩියෙන් තෙත් වී තිබිණ. විසිත්ත කාමරයට යාබද නිදන කාමරයේ තිබු ඇඳෙහි අවසන් වරට ඔහු නිදා ගත් දවසක් ඔහුගේ මතකයට එන්නේ නැත. දෑස වසා ගත් කල හිසට කුළුගෙඩි පහරවල් එල්ල කරන්නාක් මෙන් තමන්ට වද දෙන්නේ තමාගේම සිතුවිලි දැයි ඔහුට වැටහෙන්නේ නැත. විටින් විට   තම සිඟිති දියණිය සුදෝ සුදු වලා කුළු අතරින් පාවී විත් ඔහු හා දොඩමලු වන සුන්දර දසුනකින් ඝන අන්ධකාරය ඒකාලෝක වන්නා සේ හිතට මහත් සැනසිලි දායක හැඟීමක් ඇතිවේ. ගෙවුණු වසරක පමණ කාලය එම සුන්දර සිහිනය සමග පණ අදිමින් තිබෙන තම ආත්මය කුමක් හෝ අරමුණක් වෙත දිනෙන් දින ඉදිරියට රැගෙන පැමිණියද එයට  තව දුරටත් ඉදිරියට ගමන් කිරීමට තරම් ප්‍රමාණවත් ජවයක් නොමැති තරම්ය.

"ඇස් දෙක ඇරලා කියපිය බැල්ලිගෙ පුතෝ තෝ මෙතනට ආවේ ඇයි කියල"

කන හරහා වැදුණු පහරින් පසුව තත්පර කිහිපයක් ඉදිරිපස බිත්තියේ එල්ලා තිබු ඔරලෝසුවේ කටු වාමාවර්ථව වට කිහිපයක් කැරකී නතර විය.

ඔහුගේ වයස අවුරුදු හතලිස් දෙකද, දාසයද යන්න ඔහුට සිතාගත නොහැකි විය.

ඔහු දෑස විවර කළේය, වේලාව දහවල්  එකොළහ පමණ වුවද ඔහුට කාලය හෝ වේලාව පිලිබඳ හැඟීමක් නොවිය. පෙර දින රාත්‍රියේ  සිටම දැල්වෙමින් තිබු විදුලි බුබුල තවමත් ඒ ආකාරයෙන්ම දැල්වී තිබීම ඔහුට යම් ආත්ම විශ්වාසයක් ඇති කර ගැනීමට තරම් ප්‍රමාණවත් විය. ඉතා අපහසුවෙන් සොපාවේ ඇන්දට වාරු වී සිට ගත්තේය. ඔහු ඇඳ සිටි කොට කලිසම ගලවා දමා එය මතම සිට ගත්තේය. තම ආත්මය තමා හැර දා ගොසින් හෝ තම ආත්මය බවට තමා හඳුනා ගත් සත්‍ය එය නොවේ හෝ යන හැඟීමක් ඔහුට ඇතිවිය. තමා යනු අනෙකුන්ගේ හැඟීම් වලින් පෝෂණය වන්නෙකු බවත් ඔවුන් වෙනුවෙන් තමා ජිවත් වන්නේය යන අතාත්වික සිතුවිල්ල තුල තමා මං මුලා වුයේ යයි ඔහුට සිතිණ. තමාගේ නිරුවත වසා ගෙන සිටින්නේ තමා වෙනුවෙන් නොවන බවත් අනුන් වෙනුවෙන් බවත්, අනෙකෙකු නොමැති විට තමා විලි වසා ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද , සිරුරෙහි කිසිදු වටිනාකමක් නොමැති බව ඔහුට සිතිණ.

"කෝ මගේ ආත්මය ? ",

"මට කවුරුත් නෑ, මට කවුරුත් නෑ, මට මොකුත් හිතෙන්නෑ, මට තියෙන්නේ ශරීරයක් විතරයි, මට මොකුත් හිතෙන්නේ නෑ, මට මොකුත් හිතෙන්නෑ "

එසේ මුමුණමින් ඔලුව එකදිගට කිහිප විටක් බිත්තියේ ඇන  ගත්තේය. ටික වේලාවකින් බිතියට කම්මුල තබාගෙන කුඩා දරුවෙකු සේ ඉකිබිඳින්නට විය.

"සර් මේකා  ? "

"නම ?"

"විනුර නවරත්න "

"ඕකා මරන්න  මොකටද හු..තෝ බුලට් එකක් නාස්ති කරන්නේ....? මේ නැට්ටට කිරි උනපු නැති එකෙකුට,  ගහපිය පුකට පයින් පාලං ගැට්ටක තියල, මගෙන් තවත් අහගන්නේ නැතුව  "

ඇයගේ නම රේණුකා  මලිතා විජේසේකර  නම් විය. අස්වනු නෙළන කාලයට ලුණු, මිරිස් කුණු කොල්ලයට විකිනීමට සිදුවූ ගොවියන්ගේ අදෝනාව සිත පතුලටම  කා වද්දාගත් ඔහුට ආදරේ පහස දැනෙන්නට විය. කිරි වැදුණු ගොයම් පිදුණු බඩ ඉරිඟු , රතුපාටින් ඉඳුණු මිරිස් යායවල් වලින් ද නිල දිය කඳින් ඉතිරී  ගලන වැව්  අමුණු  තම සිත කුල්මත් කළ යුගය ඔහුට සිහිපත් විය. අර්ධයක් හිස් වූ වොඩ්කා බෝතලයෙන් මිලි ලීටර් හතළිහක් පමණ වීදුරුවට වත් කර ගෙන  ශීතකරණය විවෘත වෙත යාමට තිබු අකමැත්ත හේතුවෙන්ම එය කටට  හලා  ගත්තේය. එවන් සිතුවිල්ලක සිටි ඔහුට  ඇය මුණ ගැසෙන්නේ උසස් පෙළ අධ්‍යාපණය නැවත ආරම්භ කල යුතු බවට  දෙමාපිය නෑදෑයන්ගේ වාග් සංග්‍රාමයක ප්‍රතිපලයක් ලෙසය.

එදවස තමන්ට සිදු වුයේ කුමක්දැයි තේරුම්ගත නොහැකිව සිටින විට, තමා උන්මත්තකයෙකු ලෙස තම හිතවතුන් හංවඩු ගසන විට තමා කල කී දෑ  ගැන දෙගිඩියාවක් නොමැතිව, තම යුතු කම් කොටස ඉටු කිරීමට ගත්  උත්සාහය පිළිබඳව ඔහු අත්මාභිමානයෙන් යුක්තව සියල්ල විඳ  දරා ගත්තේය.

"දාගනින් ඔය රෙදි ටික බෑග්  එකට" කියා ඇඳ  මත ගොඩ ගසා තිබු රෙදි ගොඩ  ඔහුට පෙන්වුයේ ඔහුගේම වැඩිමහල් සහෝදරියයි.

එක පෙලට නිරුවතින් පෙළ ගැසී දිනකට ලැබෙන එකම කෑම වේලට පෝලිං ගැසී සිටින විට එකෙකු ඉදිරිපසින්  පැමිණ යටි බඩට යකඩ සපත්තු පහරක් එල්ල කර  බිම ඇද වැටුණු පසු තවකෙකු  තුවක්කු බඳෙන් නාලි  දණ්ඩට පහරදුන් විට දැනෙන වේදනාව දරා ගත්  ඔහුට තම හිතෛෂීන්ගේ  වාග් ප්‍රහාර වලදී ඔවුන් පිලිබඳ අනුකම්පාවක් පමණක් ඇති වුනේය. සියල්ල පාවාදුන් පරිසරයක් තම සමාජ කාර්ය භාරය පිළිබඳව මෙන්ම තම අනාගතය පිළිබඳව ද  ඔහුට විශාල ප්‍රශ්නාර්ථයක් ඉතිරි වී තිබුණේය.

පොලවට සමතලා කර තිබු රේල් පිල්ල මත තවදුරටත් ටොන් ගණනක් බරැති රේල්ලුව ඔහුගේ බරද ඔහුගේ සහෝදරියගේ බරද , තවත් සියගනනකගේ බරද පටවාගෙන ඉදිරියට ගමන් කළේය. එකට සමබන්ධ  කර තිබු වානේ රෝද යුගලක් පසු කර යත්ම රේල් පිල්ල ඉහලට එසවීමට තැත් කළේය,නමුත් සිල්බර කොටයට සම්බන්ද කළ  දැවැන්ත ඇණ එයට ඉඩ නොදුන්නේය. මොහොතකින් තවත් ටොන් ගණනක් බරැති රෝද යුගලක් රේල් පිල්ල සිල්බර කොටයට තබා අප්‍රාණ  කරන විට "ටකස්, ටකස්" ලෙස කෙඳුරුම් හඬක් පමණක් නිකුත් විය.

නානු ඔය දුම්රිය නැවතුම් පොලින් එලියට පැමිණෙන  විට ඔහුගේ අවුරුදු විසි පහක් පමණ වූ සහෝදරියගේ මිතුරියත් අවුරුදු පහළොවක් පමණ වූ ඇයගේ සොහොයුරියත් ඔවුන් පිළිගැනීමට එහි පැමිණ සිටියෝය. කුඩා පාත්ති ලෙස සකස් කර තිබු කඳු කර ඉඩම් වල කළු පස්ද ගොම ද ඇඟ පුර තවරාගත් පිරිමින් සහ ගැහැණුන්   වැසි පිනි නොතකා තම ගොවිතැන් වැඩ කටයුතුවල නිරත වන අයුරු බස් රථයේ ජනේලයෙන් ඔහු බලාගෙන සිටියේය. කුඩයක් හෝ ඉටි රෙදි කැබල්ලක් යටට වී සිටින කුඩා දරුවන් ඇතැම් ගොවි බිමක ලතෝනි දුන්හ, තවත් තැනෙක සුව නින්දේ පසු වුහ. ගෝවා කැරට් බිට් රූට් ආදී එළවලු රැගෙන යාමට පැමිණි අතරමැදියන්ගේ වාහනද පිරිසිදු ඇඳුමින් සැරසී රන් මාලයක් කරේ දමාගෙන කමිසයේ ඉහල පොත්තම් දෙක ගලවා පපුවේ රෝම කුප නිරාවරණය කරගෙන සිටි ව්‍යාපාරිකයන්ද අස්වන නෙලන ගොවිබිම් වලට ආසන්නයේ දුම් වැටියක් උරමින් කල්මරූහ.බස් රථ දෙකක ගමන් ගෙන පැයකට පමණ පසු ඔවුහු ගමනාත්තයට ළඟ වුහ.

"මුව දැන් ගමේ තියාගන්න කොහොමටත්  බෑ"

"ඒ ගැන බය වෙන්න එපා අපේ තාත්තා මල්ලිව ඉස්කෝලෙට එක්කරගෙන යයි "

වසර දෙකකට පසුව ආරම්භ කිරීමට යන පාසල් ගමන හෝ අනාගතය පිළිබද ඔහුගේ සිතේ කිසිදු හැඟීමක් ඇති නොවිය. සියල්ල සිදු වී අවසන් වුවා සේ ඔහුට ලබා දුන් කාමරයේ ඇඳ  මතට රෙදි බෑගය විසිකර අසල තිබු මේසයට තබා තිබු ලි පුටුවට වී ජනේලයෙන් කිලෝමීටර් ගණනාවක් ඉදිරියෙන් ඇති කඳු වැටිය දෙස බලාගෙන ඔහු දින කිහිපයක් ගත කරන්නට ඇත. එයට එල්ල වූ විශාලම බාධාව වුයේ පාසල් ගමනය.

දිනක් තේ කෝප්පයක් රැගෙන කාමරයට පැමිණි මලිති

"අය්යා ඇයි හිරේ ගියේ? " කියා ඇසුවාය.

"මේ ලෝකේ මිනිසුන්ට ආදරය කරපු නිසා "

"ආදරේ කරනවට මිනිස්සුන්ව හිරේ දානවද?'

"ඒවා වැඩක් නෑ, මලිති මොනාද ලෝකේ ගැන දන්නේ? ලබන අවුරුද්දේ විභාගේ කරන්න නේද ඉන්නේ? ගිහිල්ල පොතක් බලා ගන්න"

"ඔව් ඉතින් විභාගෙට ලියන්න ලෝකේ ගැන දැන ගන්න එපැයි"

"ඔය දන්නා හරිය ඇති"

"ඇයි කියල දෙන්න අකමැතිද?"

සරල රේඛාවක් ඇඳ එහි අතීතය වර්තමානය සහ අනාගතය ලෙස සලකුණු කල හැකිය, අතීත සිද්දීන් මත වර්තමානය ගොඩනැන්වී ඇති බවද අවබෝධ කරගත හැකිය, එහෙත් වර්තමානයේ අහඹු සිදු වීමක අනාගත  ප්‍රතිඵලය බලාගැනීමට කාලයන්ත්‍රයක්  නොතිබීම කොතරම් අභාග්‍යයක්දැයි ඔහුට සිතුනු වාර අනන්තය.

අතේ  තිබු හිස් වූ වීදුරුව කුඩු වී යන්නන්ට සිමෙන්ති පොලවේ ගැසීය.

විදුලු බුබුලෙන්ද, ජනේලයෙන් ද  වැටෙන ආලෝකයෙන් කාමරය පුරා  විසිවූ විදුරු කැබලි දිලිසෙන්නට විය, එම පරාවර්තිත ආලෝක කිරණ තැන තැන ආලෝක ලප ඇති කළේය. එම ආලෝකය  දෑස්මත නලියන්නට වූයෙන් ඉවසා ගත නොහී නග්න දෙපයින් විදුරු කැබලි මේසය යටට තල්ලු කරන්නට පටං ගත්තේය.නැවතත් සෝපාවට පැමිණෙන විට රත්ලේ පා සටහන් ඔහු ආ මග ලකුණු කර තිබුණි.

ගිනි අවි බෙදා හැරීම ඔහුට භාරය තිබු රාජකාරිය විය. පාසල් සිසුවෙකු වූ ඔහු සැකයට භාජනය නොවී බොහෝ ආරක්ෂක දැල් වලින් පහසුවෙන් රිංගා යාම ඔහු පිලිබඳ විශ්වාසය ඉහල නැංවීමට හේතු විය.

"චටස් කරස්....
කර කරස් චට චටස්"

ඔහුගේ අතැඟිලි ඉසියුම් ලෙස රිවෝල්වරයෙ උණ්ඩ බැරලය මුදන්නටත් යලි කරකවා පද්දා ස්ථානගත කරන්නටත් ඇසිපියලන වේගයකින් ආරක්ෂක උගුල මුදන්නටත් සමත් වූයේ කෑලි කපන අඳුරේ දී ය. 

ඝන  අන්ධකාරයේ එකල භාවිත වූ ඕනෑම ගිනි අවියක් කොටස් වලට ගැලවීමටත් නැවත එකලස් කිරීමටත් තිබු හැකියාව බොහෝ දෙනෙක් විමතියට පත් කිරීමට සමත් විය. එකම ඇඳුම දින ගණනක් ඇඳ සිටීමට පුරුදු වී සිටි ඔහු උදැසනක විවේකයක් ලැබුණු විට අයුධ ගබඩා කර තිබු ගල් ගුහාව සමීපයෙන් ගලා බසින දිය පහරින් ඇදුම් සියල්ල සෝදා ගල් තලාවේ වේලෙන්නට දමා ඒමත නිර්වස්ත්‍රව නිදා සිටි අයුරු ඔහුට සිහිපත් විය.

"ඇයි  අය්යේ ඔය එකම ඇඳුම දවස් ගානක් අඳින්නේ?"

"පුරුද්දට "

"ගලවලා දෙන්න ඔය ටී ෂර්ට් එක මම හෝදලා දෙන්නම් "

"ඕනි නෑ මං හෝද ගන්නං"

"දෙන්න අනේ ආඩම්බර නොවී, අම්මලත් ගෙදර නෑ දැන්"

ඇය ඔහුගේ බඳ වටා ඇත දෙක යවා ඇඳ  සිටි ඇඳුම ගලවන්නට උත්සහ කළේය, ඇයගේ පියයුරු යුගල ඇඳ  සිටි දුහුල් ගවුමේ  කොටට කපා තිබු කරෙන් ඔහුට දර්ශනය විය, තන පටක්  ඇඳ නොසිටි ඇයගේ තනපුඩු දුහුල් ගවුම පසාරු කරගෙන ඔහුගේ නිරුවත් උදරයේ ස්පර්ශ වන්නට  විය. ඇයගේ තට්ටම් යුගල දෑතින් මිරිකා ඇයව තම ශරීරයට තබා ඔහු තද කර ගත්තේය.

ඔහු ඇයට  ලෝකය ගැන කියා දීම ආරම්භ කළේය, නමුත් වසරක් ගතවන විට ඇය ඔහුට ලෝකය වසන් කර තැබීමට සමත් වුවාය. මස් වැදැල්ලක් මස් වැදැල්ලක සපර්ෂ වීමෙන් මිනිසෙකුගේ ලෝකාර්ථය  මෙතරම් විපර්යාසයකට ලක්වේයැයි ඔහුට සිතා ගැනීමට අපහසුය. ලෝකයට ආදරය කිරීම අවසානයේ ඇයගේ ආදරයෙන් කෙලවර වීම දක්වා වසර දෙකක චාරිකාව අද ඔහුට විලම්භිතයකි.

"සර් අර බෝයගනේ ව්‍යපෘතිතේ පරිසර අධ්‍යන වාර්තාව එවල තියෙනවා, ඒකට සර්ගේ කමෙන්ට් එක දාන්න කියල අමාත්‍යංශ ලේකම් සර්ට වෙනමම ලියුමක් එවල තියෙනවා"

කාමරයට පැමිණි සේවකයා ලියුමක් දිගු කරමින් පැවසිය. බිම තිබු කොට කලිසම ඇඳ ගැනීමට තරම් වෙලාවක් නොතිබූනද යන්තම් විලි වසා ගැනීමට තිබු වේලාව ප්‍රමාණවත් විය. ඔහු කිසිවක් නොපැවසීය.

"සර්ට සිතාසියක් තියෙනවා සර්, එළියේ රාළහාමි කෙනෙක් ඉන්නවා, මම කිව්වා සර් ඉන්නවද බලල එන්නම් කියල, මොනාද කියන්නේ සර්?"

"ඉතිං එන්න කියනවා "

"සර් මේක ඇඳ ගන්න"

"හරි හරි අරූට එන්න කියනවා"

බිත්තිය ගිගේ ගමන් කරමින් සිටින කුහුඹුවෝ  එකිනෙකා පසු පස ගමන් කලෝය. ඔවුන් දෙපසට වන ලෙස මැදින් ඇඟිල්ලෙන් ඔහු මනකංකල්පිත රේඛාවක් බිත්තියේ සලකුණු කළ විට කුහුඹුවන්ගේ සී සී කඩ විසිර ගියේය.

"ඕක කියවනවා බලන්න"

"සර් මේක රේණුකා මලිතා විජේසේකර කියල කෙනෙක් දාපු නඩුවකට"

"පට්ට බැල්ලි, ඕකිට ඕනි වෙලා තිබ්බේ ඕක විතරයි, යකෝ ඕක දික්කසාදෙට දාපු නඩුව"

සේවකයා එදෙස මද වෙලාවක් බලාගෙන සිටියේය.

"සර්, සර්, එපා, සර් එපාාාා.................................,"


- ජානක ගුණතිලක


No comments:

Post a Comment