Friday, February 28, 2014

වැළලී ගිය වචන - ( කෙටි කතාව 6)

වැළලී ගිය වචන


දණහිස දක්වා දිගට තිබු ඇයගේ කෙස් කලඹ කොටට කපා තිබීම ගැන මම පුදුමයට පත් උණෙමි. මා  ඇයගේ මුහුණ දුටුවේ අවුරුද්දකට  පමණ පසුවය. තවමත් ඇයගේ ඕවලාකාර මුහුණේ සුන්දරත්වය එදා මෙන්ම පැවතින, නමුත් මෘදු ඇත් දළ පැහැය ගත් මුහුණ තරමක් සුදු මැලි වී තිබිණ. මා  ඇයට කතා කිරීමට උත්සහා කළද සියලු වචන මාගේ ආත්මය තුළම ගිලී ගියේය කිසිවක් පිටතට පැමිණියේ නැත.

"පොඩි පුතේ මෙහෙන් ඉඳ ගන්න"

මගේ කතාව ආරම්භ කිරීමටත් ප්‍රථම කාන්ති නැන්දා මට බාධා කළාය.

මම සුපුල්සරා  මුලින්ම දකින විට ඇයට වයස මාස දෙකක් පමණ විය,මම සිටියේ පාසලේ පළමු වසරේය, ඒ මාත් අම්මාත් කාන්ති නැන්දා සහ සුසුපුල්සරා බැලීමට ගිය පළමු දවසේය. තාත්තා නිතරම රාජ කාරී බහුල රැකියාවක නියුතු වුයෙන් එකල මෙවැනි ගමන් අම්මාට  යාමට සිදු වුයේ තාත්තාගේ සභාගිත්වයෙන් තොරවය. එවිට ලොකු ආතම්මා බැලීමටද අසල් වැසියන්න්ගේ මළ  ගෙවල් මගුල් ගෙවල් වලද  අම්මා තනියම හෝ මා සමග යාමට පුරුදු වී සිටියාය. ලොකු අක්කාත් පොඩි අක්කාත් ඒ වන විට ඉස්කෝලේ ලොකු පන්ති වල සිටි බැවින්

 "ඔය ගොඩේ මගුල් වල අපිට යන්න බෑ, පේන්නැද්ද මිනිස්සු බුලත්විට කාලා කටවල් රතු කරගෙන ඩොලක්ක වලට ගගහා සින්දු කියන්නේ " කියා එම ගමන් වලට අම්මා සමග තනියට හෝ එන්නේ නැත. තාත්තාගේ යහළුවන්ගේ මගුල් බොහොමයක් නගරයේ හෝටල් වල තිබු  ඇති බැවින් ඒවාට යාමට ඔවුන් දෙදෙනා කාලයෙන් සතියක් දෙකක් පමණද මුදලින් තාත්තාගේ පඩියෙන් භාගයක් පමණද වැය කලෝය.

"මෙන්න නංගි හීනෙන් හිනාවෙනවා"

කියා අම්මා මට ඇයව පෙන්වන විට පැත්තට හැරී නිදා සිටි ඇයගේ බෙල්ලේ වම්පස උරහිසට ආසන්නව තිබු බෝංචි ඇටයක් තරමේ කළු පැහැති ලපය පෙන්නා,

"මේ මොකක්ද අම්මේ" කියා මා ඇසු බව  තාම  මතකය.

කාන්ති නැන්දා අපේ තාත්තාගේ බාල සහෝදරියයි. ඇය තාත්තාටත්, තාත්තා ඇයටත් තිබු අසීමිත ලෙන්ගතුකම හේතුවෙන්ම අපගේ පවුල් අතර තිබු හිතවත් කම තවත් දළුලා වැඩෙන්නට වුයේ පවුල් වලට එකතු වී සිටි නව සාමාජිකයන් හේතුවෙනි. අපගේ ගෙවල් අතර දුර බස් රථයකින් පැය දෙකකකින් සම්බන්ධ කළ හැකි විය. සෑම පාසැල් නිවාඩු කාලයකම අපගේ පවුල් අතර  නෑගම් යොදා ගෙන තිබිණ. සුපුල්සරාත් ඔහුගේ වැඩිමහල් සහෝදරයා, නිම්සරත් වඩාත් සමීප වුයේ මාත් සමගය. ඔවුහු  නාගරික පරිසරයක් ජිවත් වුයෙන් අපේ නිවසට පැමිණීමත් සමගම කුඩුවෙන් නිදහස් කල කුරුල්ලන් මෙන් වෙල්යායවල් දිගේ කඳු ගැට වල පඳුරු අස්සෙන් සොබාදහම සමග අපුරු සබැඳියාවක පැටලී ගියෝය. නිතර දකින එම දසුන් වල වෙනදා නොදුටු සුන්දරත්වයක් සුපුල්සරා සමග ඒවා දකින විට දුටුවෙමි. අපි උණ බට වලින්  තුවක්කු සැදුවෙමු. ( ඔවුන් දෙදෙනාටම මම ඒවා සාදා දුන්නෙමි) ඒවාට කුඩු දවල දමා වෙඩි තැබුවෙමු. ඉඳ හිට නිම්සර සුපුල්සරාට ආඩම් තේට්ටම් කරයි. ඔහු ඇයට උණ බට තුවක්කුවෙන් වෙඩි තැබූ විට ඇයගේ දෑසට පෙර මගේ දෑසේ කඳුළු පිරුණි.

මම සාමාන්‍ය පෙළ විභාගයෙන් හොඳින් සමත් වී  නගරයේ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වන විට සුපුල්සරා එම පාසලේම හත් වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබුවාය. විවේක කාලයේදී මිතුරියන්  සමග ආපන ශාලාවට පැමිණ අපගේ පන්ති කාමර තිබෙන ශාලාවේ මිදුලෙන් ගමන් කරන විට ඉහල මාලයේ සිට මම ඇය  දෙස බලා සිටියෙමි, තම හෙහෙලියන්ට නොපෙනෙන සේ ඇය මා දෙස බැල්මක් හෙලා බිම බලාගෙන ගමන් කළාය. පාසලේ සිට සුපුල්සරාගේ නිවසට සැතපුමක් වත් නැත. පාසැලේ ගැහැණු ළමුන් කිහිප දෙනෙකුට නවාතැන් පහසුකම් සපයා ඉන් අමතර අදායමක් උපාය ගැනීමට අනෙකුත් අසල් වැසියන් මෙන්ම කාන්ති නැන්දාද පුරුදු වී සිටියාය. පාසල් යාමට මම නතර වුයේ මිතුරෙකුගේ සහෝදරියකගේ නිවසේය.

" පොඩි පුතේ මේ නංගිලාට ඉංග්‍රීසි ටිකක් උගන්නන්නකෝ" කියා කාන්ති නැන්දා දිනක් මට පැවසුවාය.

ඉන්සුව මම සුපුල්සරාටත් ඇයගේ මිතුරියන් තිදෙනෙකුටත් වසර දෙකක් තිස්සේ ඉගැන්නුවෙමි. ඇය ඉතා උනන්දුවෙන් අසා  සිටියාය. එය මාගේ උනන්දුව තවත් වැඩි කළේය. නමුත් එය ටික කලකින් උඩු යටිකුරු විය, ඒ ඔවුන්ගේ නිවසේ නවාතැන් ගෙන සිටි නුවනි මා ගැන වැඩි උනන්දුවක් පෙන්වූ බැවිණි. සුපුල්සරා මා සමග නිතර වාද  විවාද වලට පැටලුණි, මට කිසි හේතුවක් තේරුම් ගත නොහැකි විය. අවසානයේ මම නුවනි සමග පෙමින් බැඳුණි. උසස් පෙළ අවසන් වීමත් සමගම ඉංග්‍රීසි පන්තිය නතර විය. මම ඉබාගාතේ ඇවිදිමින් වසරක් ගත කරන අතර තුර නුවනි සරසවියට ඇතුළු වුවාය. එම ප්‍රේම වෘර්තාන්තය එතැනින් නිමාවිය.

මම ඉංග්‍රීසි සාහිත්‍ය විශ්ව විද්‍යාලයේදී විෂයක් ලෙස තෝරාගෙන සිටියෙමි. බොහෝ සති අන්ත වල මම නිවසට පැමිණියේ එම ගමන පැය තුනක් පමණ වූ බැවිණි. සුපුල්සරා ද උසස් පෙළ ඉංග්‍රීසි විෂයක් ලෙස තෝරාගෙන තිබිණ. සති අන්ත වල මම නැවතත් ඇයට ඉගැන්වීම ආරම්භ කලෙමි. විලියම් බ්ලේක් ගේ කවි වලට මා මෙන්ම ඇයද   ඇලුම් කළාය. "Chimney Sweeper", "Tiger"  වැනි මාගේ ප්‍රියතම කවි ඇයගේද ප්‍රියතම ඒවා විය. "Stopping by the Woods in a Snowy Evening" වැනි  රොබර්ට් ෆොස්ට් ගේ කවි මෙන්ම ඇල්ෆ්‍රෙඩ් ලෝඩ් ටෙනිසන්ගේ   "Break Break Break " වැනි සාහිත්‍ය නිර්මාණ ද අපි දෙදෙනා රස වින්දෙමු. අපගේ සවේදී කතාබහ සම්පුර්ණ ඉංග්‍රීසි භාෂාවෙන් සිදුවිය, එය අවසන් වන විට රාත්‍රී එකොළහ පමණ වන බැවින් ඒ වන විට අනෙකුත් සියලු දෙනා නින්දට ගොසිණි. සුපුල්සරාගේ කාමරය මට නිදා ගැනීමට සකස් කර දී ඇය කාන්ති නැන්දාගේ කාමරයට යයි. එය මට තාමත් සුන්දර සිහිනයකි.

"සුපුල්සරාට යෝජනාවක් ගෙනල්ලා තියෙනවා මගේ යාලුවෙක් ඒ ගොල්ලන්ගේ දුරින් නෑයෝ වෙන  පුතෙක්ව" කියා කාන්ති නැන්දා කියන විට මගේ පපුව තුලින් මුනිස්සම් කිහිපයක් ගමන් කරන්නාක් මෙන් වේදනාවක් දැනින.

"එයා හොඳ බිස්නස් කාරයෙක් , ආණ්ඩුවේ කොන්ත්‍රාත් එහෙමත් අරගෙන කරනවලු "

නමුත් මා  ඒ වන විට සරසවියේ ශිෂ්‍යාධාරයෙන් ජිවත් වන  තෙවන වසර නිකමෙකු පමණක් විය. සුපුල්සරාට යන්තම් අවුරුදු දහ අට  පිරුනා පමණි. අපගේ සාහිත්‍ය විචාර  ඇයගේ විභාගය දක්වා යන්තමින් ගැට ගසා ගත්තෙමු, නමුත් මම ඇයට ආදරය කළෙමි. නමුත් මට එය ප්‍රකාශ කිරීමට නොහැකි වුයේ ඇය  මා හඳුනා ගන්නේ සහෝදරයෙකු  සේය , කාන්ති නැන්දා මා හඳුනා ගන්නේ පුතෙකු සේය යන සිතුවිල්ලත් සමගය.

මම ඇයගේ මංගල උත්සවයට සභාගී වුයේ ඇවැස්ස මස්සිනා ලෙසිණි. ඇය ඥාතීන්ට බුලත් දී මංගල ගමන යාමට පිටත් වන විට

 "ඇවැස්ස මස්සිනාට බුලත් අත  දෙන්න ඕනි " කියා එකෙකු මාව  ඉදිරියට තල්ලු කළේය.

මම ඇය දුන් බුලත් හුරුල්ල ගන්නවාත් සමගම

"මම යනවා පොඩි අය්යේ" කියා කීවාය.

ඉන්පසු කාල පරිච්චේදය තුල මා තුල හිස් අවකාශයක් නිර්මාණය විය, එය තුලට රිංගා ගැනීමට අවකාශය ඕනෑම අයෙකුට තිබිණ. නමුත් කිසිවෙක් එයට රිංගා ගත්තේ නැත. එක අතකින් මම ඇතුළු වීමට කිසිවෙකුටත් ඉඩ නොතැබුවේ එම සුන්දර අතීතය සමග ජිවත් වීමට තිබු කැමැත්ත නිසාද විය හැක.

වසරකට පමණ පෙර මාමා හෘදයාබාධයකින් හදිසියේ මියගිය බව දැන ගන්නා විට මා  පුහුණු කළ පාසලේ ඉංග්‍රීසි වේදිකා නාට්‍ය කණ්ඩායම සමග සමස්ථ ලංකා තරඟ වලට කොළඹ යාමට සුදානමින් සිටියේය. එම ගමන යන අතර තුර මළ  ගෙදරට ගොඩ වුයේ ළමුන් පිරිස සමග ගමන් කල බස් රථය පාර අයිනේ නතර කර ගෙන සිටින අතරේය.

"පොඩි අය්යා කොළඹ යනවා කියලා  ලොකු නැන්දා කිව්වා" කිවේ මම තේ කෝප්පයක් බොන අතරේ සුපුල්සරාය.

"ඔව් සුපුල්සරා ළමයින්ව එක්කරගෙන යන්න වෙලා තියෙනවා, ඉස්කෝලේ නාට්‍ය කණ්ඩායමක් පලවෙනි වතාවට සමස්ත ලංකා තරඟයකට තේරිලා තියෙන්නේ, ඉතින් යන්නම ඕනි ගමනක්'

"කෝ මහත්තයා ?"

"එයා පාරක කොන්ත්‍රාත් එකක් කරනවා මේ දවස් වල, මම තනියම ආවේ" ඇය සුදු සාරි පොට වමතින් අල්ලාගෙන දකුණු අතේ මහපටගිල්ලෙන් සහ දබරගිල්ලෙන් එය අඹරවමින් බිම බලාගෙන පිළිතුරු දුන්නාය.

ඒ සමගම මම පිටත්ව ගියේ නැවත හත් දවසේ දානයට හෝ පැමිණෙන බලාපොරෝත්තුවෙනි. නමුත් දුෂ්කර සේවයේ අවුරුදු පහක් සේවය කල යුතු බවට තර්ජනය කර හද්දා පිටිසර පාසලකට ලබා දුන් පත්වීමත් සමග පවුලේ කටයුතු බෝහෝමයක් මග හැරී තිබිණ.

විවාහයක් කර ගැනීමට මට විශේෂ අවශ්‍යතාවයක් නොතිබිණ, මගේ විවාහය සමාජ අවශ්‍යතාවයක් ලෙස බාහිරින් මා හට බලපෑම් කරන්නට විය. මටම කීකරු නොවන මගේම සිත මා කුමන ඉසව්වකට පා කර හරී දැයි මා නොදන්නා බැවින් අවසානයේ  "අම්මලා කවුරු හරි හොයන්න" කියා, මගේ තීරණය සභා ගත කළේය.

හිඳ ගැනීමට පෙර උඩු බැලි අතට වැතිරී සිටි සුපුල්සරාගේ කම්මුල මගේ ඇඟිලි වල පිට පැත්තෙන් ස්පර්ශ කළෙමි. අයිස් කැටයක් මෙන් සිතල වූ කම්මුල් වල ප්‍රාණය නිරුද්ධ වී ගොසිණි. හිස මුදුණින් කොන්ඩ කටු ගසා සකසා තිබුණද කොණ්ඩය උරහිස ආසන්නයෙන් කපා දමා තිබුණු බව මම දුටුවෙමි.

"ඇයි නැන්දේ මොකද උනේ?"

මම කාන්ති නැන්දා විසිත්ත කාමරය ආසන්නයේ වූ කාමරයට කැඳවා ගෙන ගියෙමි.

"අපි රැවටුණා පොඩි පුතේ, අර කාලකන්නියා කෙල්ලව බැඳලා තියෙන්නේ ආදරේකට නෙවෙයි, ලොකු දෑවැද්දක් හම්බ වෙයි කියල හිතාගෙන. ඒත් පුතේ අපිට ගෙවල් දොරවල් බඩු මුට්ටු, වාහනයක්  තිබුනට සල්ලි ගොඩගහගෙන හිටියේ නෑනේ. ඌ කොන්ත්‍රාත් කරාට හැම තැනටම ණය වෙලා ඉඳලා තියෙන්නේ, දෑවැද්දට හම්බ වෙන සල්ලි වලින් උගේ ණය බේරගන්න තමයි හිතාගෙන ඉඳල තියෙන්නේ. දුවගෙන් සල්ලි ඉල්ලලා මුලදී නිතරම කරදර කරා, කෙල්ල මුලින් කිව්වේ නෑ, පස්සේ මම නිතර නිතර ගෙදර එන්න ගත්තම අහල අහල දැනගත්තේ, මාමා ලෙඩ වෙන්නත් ගත්තේ කෙල්ල දුක් විඳිනවා බලාගෙන ඉන්න බැරි කමට. අපි ගෙදර ඉඩමෙන් භාගයක් විකුණලා ලක්ෂ පහක් දුන්නා එත් ඒක ඉවර උනාම ආයෙත් සල්ලි ඉල්ලන්න පටන් ගත්තා. මාමාගේ මළ  ගෙදරටවත් ඕකා අවේ නෑ  පුතේ"

ඇය ඉකි ගසමින් අඬන්නට  විය නිම්සර කාමරයට පැමිණියත් මගේ පිටට තට්ටු කර නැවත එලියට ගියේය.

"අන්තිමට කෙල්ල ගෙදර ආවේ ගිය සතියේ, ආයේ යන්න බෑ කියාගෙන. බලන්ඩකෝ පුතේ එනකොට කෙල්ලගේ කොන්ඩේ උරහිස ගාවින් කපල දාලා.

"ඊළඟ පාර අම්මේ මගේ බෙල්ල කපනවා කිව්වා, මට නං එහෙ ඉන්න බෑ"

කියාගෙන ආවේ. මට පුතේ මගේ කෙල්ල වැඩි නෑ. මාමගේ පෙන්ෂන් එකෙන් කන්න අඳින්න පුළුවන්නේ, මම කිව්වා අපි දික් කසාදෙට නඩු දාමු කියල. එතකොට දුව කිව්වා,

 "එයාට ඕනි දික්කසාද වෙන්න තමයි, වෙන ගැණියෙක් ඉන්නවා එයාට, ඒක ඉස්සර ඉඳන්ම තිබුණ සම්බන්ධයක්, මාව බැඳලා තියෙන්නේ මට සල්ලි තියෙනවා කියල හිතාගෙන"

"සුපුල්සරාගේ පොතේ ලක්ෂ එකහමාරක් විතර තිබුණා, ඒ මාමා පොඩි කාලේ ඉඳල පොතට දාපු ඒවා, අපි රත්තරං බඩු ඔක්කොම හදල දුන්නා, ගෙදරට ඕනි කරන ඔක්කොම ලී බඩු  අරන් දුන්නා, අපිට ඊ  වඩා කරන්න පුළුවන් කමක් තිබුනේ නෑ පොඩි පුතේ."

"ඔයිට වඩා මොනා කරන්නද නැන්දේ පිරිමි ඉන්නේ ගෑනිගේ දෑවැද්දෙන් ජිවත් වෙන්න නෙවෙයිනේ " මම කාන්ති නැන්දාට වතුර වීදුරුවක් ගෙනත් දුන්නෙමි.

"ඇයි නැන්දලා මට මේ මොකුත් කිව්වේ නැත්තේ?" මම ඇසුවෙමි.

"මම පුතේ මේවා කොහොම කියන්නද? මම හිතුවේ මේ සල්ලි ටික දුන්නම ඉවරවෙයි, අරටික දුන්නම ඉවරවෙයි කියල හිතාගෙන. අන්තිමට බලන්නකෝ වෙච්ච දේ පුතේ"

"ඊයේ උදේ නැගිටලා තේ එක බොන  ගමන් දුව කිව්වා පොඩි පුතාට කතා කරන්න ඕනි කියල, එත් අපි ළඟ පුතාගේ හෑන්ඩ් ෆෝන් නම්බර් එක තිබුණේ නෑනේ, මම කිව්වා පුතාලගේ ගෙදරට කතා කරලා එක ඉල්ලගමු කියල"

"පුතාව මතක් කරන කොට කෙල්ලගේ මුණ මලක් වගේ ලස්සන වුණා  මයේ පුතේ"

"මම දැනගෙන හිටියේ නෑ ඒ වෙනකන් සුපුල්සරා පුතාට ආදරෙන් හිටිය කියල පුතේ, මම ඇහැව්වා දුවගෙන්  එයා පොඩි පුතාට ආදරෙන් හිටියද කියල. එතකොට දුව කිව්වා"

"අනේ අම්මේ මට පොඩි අය්යව බඳින්න තරම් වාසනාවක් තිබුනේ නෑනේ, පොඩි අය්යා මට කොච්චර ආදරෙන් හිටියද, මම එයාට කොච්චර ආදරෙන් හිටියද?  ඒත් අපිට ඒක කියා ගන්න බැරි උනානේ " කියල.

"මම පුතාගේ නොම්බරේ ඉල්ල ගන්න කතා කරාම  තමයි අම්මගෙන් දැනගත්තේ පුතාගේ මගුල තීන්දු කරලා කියල"

"මම ඒක දුවට කිව්වා පුතේ"

"පුතා දුවට උගන්නන්න එන කාලේ මට මේ ගැන පුතාගෙන් අහන්න ඕනි කියල හිතුන වාර අනන්තයි, මට ඒ දවස් වලම හිතුනා පුතා අපේ දුවට හරි ආදරෙයි කියල, එත් මට එක අහගන්න බැරි උනානේ" ඇය ඉකි ගසයි.

"මම ඒ ටික කතා කර කර ඉඳල පොලට ගියා බඩු  ගේන්න, එනකොට එයා කරගන්න ඕනි ටික කරගෙන මයේ පුතේ............................................."


- ජානක ගුණතිලක 


















3 comments:

  1. ඔබේ කතාව රස වින්දා..

    ReplyDelete
  2. බ්ලොගර් ෆලෝවරය එකතු කරන්න

    ReplyDelete
  3. well done sir I did nt know that you are such a great writer. All the best to you

    ReplyDelete