Friday, February 21, 2014

අකුරු අමුණන්නා දුටු රතු තීන්ත රටාව- කෙටි කතාව (5)

අකුරු අමුණන්නා දුටු රතු තීන්ත රටාව 


දොරේ මාර ලෑල්ලක ඇති කුඩා සිදුරින් එන ආලෝක කදම්භය මීදුම් සහිත දිනයක රාත්‍රියේ විදුලි  පන්දම් එළියකින් ඇති වන කේතු ආකාර ආලෝකයේ හැඩය ගනී. නමුත් මෙය අනන්තය දක්වා විහිදෙන්නේ නැත. මීදුම නැතත් කාමරයේ ඇති දුවිලි අංශු ආලෝක කදම්භය තුලට පැමිණ විවිධාකාර නැටුම් පාමින් නැවත ඉන් ඉවත් වෙයි. එය අඩි දොළහක් පමණ ඈතින් ඇති තීන්ත පතුරු ගැලවී ගොස් අපැහැදිලි ලෝක සිතියමක් වැනි දුඹුරු පැහැති බිත්තිය මත පතිත වන්නේ බිත්තියත් දොරත් එකට යා කරන කුඩා ඒ දණ්ඩක් සේය. එය බිත්තිය මත ඇති කරන්නේ වෘතාකර අඟල් දෙකක පමණ ආලෝක ලපයකි. බිත්තිය දිගේ හෙමින් සීරුවේ පහලට ගමන් කරමින් තිබු එය දැන් අකලංක දපතුලේ සිට හිස දක්වා පොරවාගෙන සිටින දුඹුරු පැහැති කොටු වැටුණු රෙද්ද දිගේ ගමන් කර එයින් එලියට දමාගෙන තිබූ මුහුණට පතිත විය. මුහුණ බිත්තිය පැත්තට හරවා තවත් ටිකක් නිදා ගන්නට උත්සහා කළේය.

"උඹට පිස්සුද මිනිහෝ ගෙදර ගෑණියෙක් ඉඳිද්දී අතන මෙතන අගු පිල් වල කොල්ලොත් එක්ක බුදිය ගන්න "

අකලංක පොරවාගෙන සිටි රෙද්ද ඉවත් කර ඇඳෙන් බැස ගොස් මාර ලෑලි තුනකට කලම්ප තුනක් තිරස්ව සමාන්තරව ගසා ඒවා යා කරමින් Z අකුරක හැඩය සහ එහි දර්පණ  ප්‍රතිබිම්භය මතු කරමින්  සාදා දිබෙන දොර විවෘත කර කුඩා සිදුරින් කාමරයට ඇතුළු වීමට මෙතෙක් පොර බැදු හිරු කිරණ සියල්ල එතුලට කැඳවා ගත්තේය. කාමරයේ පිටත  බිත්තියට සවි කර ඇති කරාමයෙන් වතුර ජෝග්කුවක් පුරවාගෙන කට සෝදා ඉතිරියට  විදුලි හීටරය දමා පොළවෙන් අඩියක් පමණ ඉහලින් බිත්තියේ ඇති ස්විචය කකුලේ මහපට ඇඟිල්ලෙන් පහලට තල්ලු කළේය .

"අදවත් මේ කාමරේ කුණු ගොඩවල් ටික විසි කරලා දාන්න ඕනි " ඔහුටම කියා ගත්තේය.

ජෝග්ගුවේ වතුර උඩපනිද්දීම හීටරය බිත්තියේ ඇනයේ එල්ලා එයට තේ කොළ සහ සීනි ටිකක් දමා හැන්දෙන් කලතා තේ මන්ඩි අඩියට බේරෙන්නට හැර  තොලගාමින් කාමරයේ ගොඩ ගසා ඇති කොළ මිටි සහ කාඩ්බෝඩ් පෙට්ටි දෙස කිසිදු හැඟීමකින් තොරව බලා සිටියේය. දැල්වී අවසන් වූ සිගරට් කොටය දොරකොඩට ගොස් ඉන් අඩි පහක් පමණ ඈතින් ගලා යන කුණු කානුවට විසිකර තේ මන්ඩියද කළු පැහැති වතුරට වත්  කළේය. තේ කහටේ දුඹුරු පැහැය අතුරුදහන් විය. අඩි පනහක් පමණ ඈතින් මෙම කුණු කාණුවට සමාන්තරව දිවෙන්නේ   A5 ලෙස තැන තැන සැතපුම් කණු වල ලියා ඇති මාර්ගයයි.එයට මුහුණලා ඇති විදුරු දොරවල් වලින් මාර්ගයෙන් වෙන් කරන ලද කාර්යාල සහ කඩ සාප්පු වල සිටින්නේ ටයි පටි පැළඳගත් මහත්වරුන්ය නැතහොත් සුන්දර යුවතියන්ය. ඉඳ හිට පලතුරු හෝ එළවලු කඩයක්ද බුලත් තට්ටුවක් හෝ ඔරලෝසු අලුත්වැඩියා කරන්නෙකුද දැකිය හැක. කඩ විදියේ පසු සසින් ගලා බසින මෙම අසූචි  ගඳ ගසන ජලය නගරයේ  කෙළවර බෝක්කුවෙන් කාපට් දමා අලංකාර ලෙස සකසා ඇති මාර්ගයට යටින් ගොස්  ගඟට එකතුවේ.

එක් කාඩ් බෝඩ් පෙට්ටියක් කාමරයේ මැදට ගෙන මුනින් අතට හරවා මිටි ගණනක් වූ කඩදාසි බිමට හැලුවේය. එහි ඇත්තේ පහ වසර ශිෂ්‍යත්ව  ප්‍රශ්න පත්‍ර මිටි රාශියකි. කිහිපයක් අතට ගෙන ඒවායේ අකුරු අතර ඇඟිලි යවා බලන්නේ ඒවා ඇඟිලි තුඩු වල පැටලෙන්නේ දැයි බලන්නාක් මෙනි. නමුත් එසේ නොවේ. ඒවා කිසිවකින් දැන් ඔහුට ප්‍රයෝජනයක් නැත. තවත් පෙට්ටියක් ඇද බලයි එහි ඇත්තේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග වලට සැකසු නිබන්ධන කට්ටල රාශියකි, ඇතැම් ඒවා ආර්ථික විද්‍යාව වූ අතර තවත් සමහරක් ගිණුම්කරණය ඒවාය. අලංකාර වර්ණ හතරේ පිට කවර මිටියක්ද විය. තවත් සමහර මිටි හොඳින් ඔතා මිටි බඳින ලද අත් පත්‍රිකාය, ඒවා බොහොමයක් උපකාරක පන්ති වල ප්‍රචාරණය සඳහා සකස් කරන ලද ඒවාය.

"කොල්ලෝ මේ හෑන්ඩ් බිලක් තියෙනවා, සමුපකාරේ ඉස්සරහ ඉඳලා පාරේ යන ළමයින්ට බෙදල දාපන්"

එසේ කිවේ සමුපකාරයේ මුරට සිටි සිරිසේනය. ඒ දැනට අවුරුදු දහයකට පමණ පෙරය.

"හොඳයි" අකලංක කිවේය.

නගරයේ හෝටල් වලට ලොරි  වලින් ගෙනෙන දර  පෝරණු අසල ගොඩ ගසමින් ද ඒවායේ භාජන සෝදමින්ද කෑමට යමක් සොයා ගනිමින්  රාත්‍රියේ කඩ පිලක කාඩ් බෝඩ් පෙට්ටියක් තුලට ගුලිවී නිදාගතේය   එක්තරා වැසි දිනයක

"ඔය කාඩ් බෝඩ් එක මේ ඇතුලෙන් දාගෙන නිදා ගනින්..................................

මටත් උඹ වගේ පුතෙක් ඉන්නවා "යයි සිරිසේන තම මුර කුටිය පෙන්න්වමින්  කිවේය.

කලක් ඉතා දියුණුවට තිබී ඒ වන විට අභාවයට ගොස් තිබු  සමුපකාරයේ විශාල ගබඩා සංකීර්ණ දෙකක් පුද්ගලික පංති පවත්වා ගෙන යාමට කුලියට දී තිබිණ. ඉන් පසුව අකලංකට සිරිසේන හරහා උපකාරක පන්ති වල අත් පත්‍රිකා බෙදීමට නිතර ඇනවුම් ලැබිණ. ගුරුවරුන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමත් සමගම පංති වල ඩෙස් බංකු  එහෙ මෙහෙ ගෙන යාමටද පංති කාමර  දිනපතා අතුගා  පිරිසිදු කිරීමටද ආදී වශයෙන් ලැබුණු වැඩවලින් ඔහු කාර්ය බහුල  විය. පංති ආරම්භ වන කාලයේ රාත්‍රියේ පෝස්ටර් ඇලවීමට කොන්ත්‍රාත් ලැබිණ. දිනපතාම පාහේ සිත්රූ මුද්‍රණාලයට යාමේ රාජකාරිය ඔහුට පැවරිණ. ඒ පෝස්ටර් අත් පත්‍රිකා නිබන්ධන ආදිය රැගෙන ඒමටය.

වසර කිහිපයකට පසුව දිනක් සිත්රූ මුද්‍රණාලයේ හිමිකරු

"අකලංක දැන් උඹ කොහෙද නැවතිලා ඉන්නේ?"

"සමුපකාරේ"

"උඹ කැමතිද මෙහෙ වැඩට එන්න?"

ඔහුට පිළිතුරක් නැත.

"මම මාසෙකට රුපියල් හාරදාහක් දෙන්නං. ප්‍රෙස් එකේ වැඩට වරෙන් ,  මේකේ මුරටත් කවුරුත් නෑනේ, පිටිපස්සේ ගබඩා කාමරේ නවතින්න දෙන්නං"

ඔහු තව දුරටත් එම කඩදාසි මිටි එකින් එක පරික්ෂා නොකළේය. සෙනසුරාදා නිවාඩු දිනයේ මුද්‍රණාලයේ ඉදිරි ප්‍රධාන දොර වසා තිබිණ, නමුත් කෙලවර කුඩා දොර විවෘත කර එකින් එක ගෙනවිත්  මුද්‍රණාලයේ ඉදිරි පස වූ විශාල කුණු බක්කියට තල්ලු කළේය. කුණු බක්කිය අසලට වී අකලංක දෙස බලා සිටින්නේ නගරයේ සිඟමන් යදින වයස අවුරුදු හතක් අටක් පමණ වන කුඩා පිරිමි දරුවෙකි.

"උඹ උදේට මොකුත් කෑවද ? "

"නෑ"

කුඩා දොරේ අගුල දමා මුද්‍රණාලයට මුහුණලා පාරේ ප්‍රතිවිරුද්ධ පැත්තේ ඇති හෝටලයෙන් මාළු පාන් ගෙඩියක් ගෙන කොලු ගැටයාට දුන් විට ඔහු එය කන ගමන්ම පාර හරහා අනෙක් පසට දුව ගොස් මිනිසුන් අතර  නොපෙනී ගියේය. අකලංක බිත්තර රොටි දෙකක් ගිලදමා එහි අතුරු සිදුරු පිරීයන්නට උණු වතුර විදුරු දෙකක් එක හුස්මට උගුරට හලා ගත්තේය.

පෙරදින රාත්‍රියේ කහ පාටින් වර්ණ ගැන්වීමට  මුද්‍රණය යන්ත්‍රයට දමා තිබුණු  ප්ලේට් එක ඉවත් කර රතු වර්ණය මුද්‍රණය කිරීමට අනෙක එකට  සවි කළේය. කහ පාටින්  තැන තැන මුද්‍රණය වී ඇති පෝස්ටර් පන්දහසක් වන මිටිය එක මත එක තබා  සකස් කොට ඉන් කොටසක් යන්ත්‍රයේ ස්ථානගත කළේය. කිහිපයක් මුද්‍රණය කර වර්ණ එකිනෙක නියමාකාරයෙන් සමපාත වන්නේ දැයි පරික්ෂා කර බැලීය. යන්ත්‍රයේ උඩ තබා ඇති පෝස්ටරයේ පරිගණක මුද්‍රණය දෙස හොඳින් බැලුවේය. එය දත් තිස් දෙකම විරිත්තාගෙන සිටින දේශපාලකයෙකුගේය.  යන්ත්‍රය ක්‍රියාත්මක කර වේගයෙන් යන්ත්‍රය තුලින් දුවන කඩදාසි, යන්ත්‍රයේ කැරකෙන රෝද දෙස අකලංක දීප්තිමත් දෑසින් ටික වෙලාවක් බලා සිටියේය. මුලින්ම වැඩට පැමිණි දින වල මෙම යන්ත්‍රය ඔහුට අරුමයකි. කොපමණ වෙලාවක් එදෙස බලා සිටියත් තවත් එදෙස බලා සිටිය හැකි විය. ඒ දින වල මෙහි සේවය කල කරුණාදාසගේ ඇඟිලි හතරක් යන්ත්‍රයට අසුවී කැඩී යන විට ඔහු අකලංකට යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේ ශිල්පය  හොඳින් උගන්වා තිබිණ. "ටකස් ටකස්" ශබ්ධය විශාල  කාමරය පුරා දෝංකාර දෙයි. යන්ත්‍රයෙන් එලියට විසිවෙන පෝස්ටරයේ දේශ පාලකයාගේ මුහුණ දැන් මතුවී පෙනෙන්නට විය.

"මේකාගේ මුණ හරියටම පෙන්න ඕනි නම් ප්ලේට් හතරටම කළු පාටින් ගහන්න  ඕනි" අකලංකට සිතුණි.

"මල්ලී මේ මරණ දැන්වීම ඩුප්ලෝ මැෂින් එකේ ගහල දෙන්න" ඒ මුද්‍රණාලයේ හිමි කරුය.

"හොඳයි සර් "

මරණ දැන්වීම කාමරයේ කෙලවර වූ ඩුප්ලෝ මැෂිම මත තැබූ ඔහු,

"පෝස්ටර් ටික ගන්න අද හවස එයි, ඒ වැඩේ ඉවර උනාම චන්න සර්ගේ පිට කවර ටික දාන්න, ඒක හෙට දෙන්න ඕනි " කියා  පිටවී ගියේය.

ඝෝෂාව මැද්දේම ඩුප්ලෝ යන්ත්‍රය මත තිබු මරණ දැන්වීම අතට ගත අකලංකට ඔලුවට පිටු පසින් පොල්ලකින් පහරක් වැදුණා වැනි හැඟීමක් ඇතිවිය. එහි තිබු පින්තුරය බාප්පාගේ නොවන බව තහවුරු කර ගැනීමට එය කිහිප වරක් හොඳින් බලන්නට සිදු විය.

"උඹලගේ බාප්පා කොල්ලොන්ට හරි ආදරෙයි නේද?" කියා ඉහල පන්ති වල පිරිමි ළමුන්  අසන්නේ මන්දැයි අකලංක  ඒ වන විට දැන සිටියේ නැත.

"උඹට පිස්සුද මිනිහෝ ගෙදර ගෑණියෙක් ඉඳිද්දී අතන මෙතන අගු පිල් වල කොල්ලොත් එක්ක බුදිය ගන්න "

ඒ අකලංක ගේ  අම්මාගේ ඉවසීමේ සිමාව සිමාව ඉක්ම ගිය පසු දිනෙක බාප්පා උදේ පාන්දර ගෙදර එන  විට බැන වැදුණු ආකාරයයි. මේ වන විට අකලංක දහය පන්තියේ ඉගෙන ගනිමින් සිටියේය. අම්මා කාලයක සිට රාත්‍රියේ නිදා ගන්නට යන්නේ හැඬු කඳුලින් බව ඔහුට තේරුම් ගොස් තිබිණ.

බාප්පා " අද වැඩ පොලේ රෑ වැඩ කරන්න වෙයි" කියා උදේ ගෙදරින් පිටත් වන දවස් බොහෝය.

ඔහු ඒ වන විට වැඩ කලේ සේවකයන් පහළොවක් පමණ සේවය කල ලී බඩු සාප්පුවක් ද සමග පවත්වාගෙන ගිය වඩු මඩුවකය.

අකලංක ඔහුගේ පියා කොහිදැයි අම්මාගෙන් දිනක් හෝ දෙකක් අසා ඇති බව මතකය, නමුත් එවිට ඇය දෑස් වල කඳුළු පුරවා ගන්නා බව දුටු ඔහුට එය තවත් හාරා අවුස්සන්නට සිත් දුන්නේ නැත. අම්මාට ගුටි බැට දෙන්නට ද පසු බට නොවන බාප්පා කෙරේ අකලංකගේ මේ වන විට තිබුනේ පිළිකුල් සහගත, වෛරී හැඟීමකි.

ඇය මෙසේ ඇසුවේ කුඩා බංකුවකට සවි කළ හිරමනයෙන් පොල් ගාමින් සිටියදී බාප්පා ගෙට ඇතුළු වන විටය.අකලංක මිඳුලේ සිටියේ දත් මදිමින්ය.

තිරිසනකු මෙන්

"කටවහගෙන හිටපිය පරට්ටි" යයි කිවේ බාප්පාය.

"කට වහගෙන ඉන්න පුළුවන් ඒත් මේ කොල්ලට ඉස්කෝලේ යන්න බැරි වෙනවා තොගේ නාඩගන් නිසා, ගමම දන්නවා දැන් මේවා" අම්මා කේන්තියෙන් නැගී සිටිමින් ඔහුගේ මුහුණට ලංවී පැවසිය. ඔහු ඇයව තල්ලු කර දැමූ විට පිඟන් රාක්කයේ හිස වැදී උඩු බැලි අතට බිම පතිත විය. එවිට අකලංක දොරකොඩට පැමිණ සිටියේය.

"තෝ තවත් කට වහන්නේ නැද්ද?" කියා කම්මුලට පහර  දෙන්නේ කිසිවක් කතා කර ගත නොහැකිව කෙඳිරි ගාන දුර්වල ස්ත්‍රියකටය.

අකලංක දුම්රියට ගොඩවී කොළඹට පැමිණ නැවතත් කොහේදෝ යන  බසයක නැගී යන්නේ කොහේ හෝ යාමට උවමනා වූ නිසාවෙනි. මොනයම් හෝ  ක්‍රමයකින් මියයන්නට ඇත්නම් කොපමණ සැපතක් දැයි ඉන් පසු ඔහුට සිතුනු වාර අනන්තය.

දොර පොල්ලේ තියුණු දාරය ඔහුගේ කුඩා මොළය ආවරණය කරමින් තිබු හිස් කබලේ වැදී රතු පැහැති සායමින් මවගේ මුහුණත් බිත්තියත් මත මැවූ  සිතුවම කුමක්දැයි තේරුම් ගැනීමට අකලංක තවමත් උත්සහා දරමින් සිටින්නේය.


- ජානක ගුණතිලක 


No comments:

Post a Comment