Saturday, February 8, 2014

සුසුමක ඇරඹුම - කෙටි කතාව (3)

සුසුමක ඇරඹුම 


ඉතා උසට සරුවට වැඩී  කිරි වැදී ඇති ඉරිඟු ගස් පේලි මැද්දෙන්   දිවයන විට  ඒවා අතරින් එන හිරු කිරණ  අපගේ මුහුණු වලට වැටෙන්නේ ඉතා කලාතුරකිනි. ඉරිඟු ගස් මගේ උස මෙන් දෙගුණයකට වඩා වැඩිය,  නංගිගේ උස මෙන් තුන් ගුණයක් වන්නට ඇත, මල්ලිගේ උස නන්ගිටත් වඩා අඩුය. අප තිදෙනාම සිනාසෙයි, ඒ හඬ ඉරිඟු යාය  පුරා රැව් දෙයි. අම්මා  සහ තාත්තා මයියොක්කා පැල වලට පස් ගොඩ කරති. අපට මහන්සි දැනුන විට ඉරිඟු ගස් යටට වී එකිනෙකාට තුරුළු වී කිරි වැදුණු ඉරිඟු කරල් වල රස බලයි, මල්ලීටද එකක හනස්ස ඉවත් කර දෙයි, ඔහු කුස පිරුණු පසු  හුරතල් බස් දොඩමින් බොහෝ විට මාගේ හෝ නංගිගේ උකුලේ නිදා ගත්තේය. සෙල්ලම් කරන විට මා ඉදිරියන්  දිව ගියද   උපරිම වේගයෙන් දුවන්නේ නැත, ඒ මල්ලිට අප සමග එන්නට බැරි වේ යයි දුක සිතෙන බැවිනි. මල්ලී ඉදිරියෙන් දිවයන විට නංගිද  මමද එකිනෙකාගේ උරහිස් වලට අත්  තියාගෙන කොච්චි පැද්දෙමු. මේ වන විට මල්ලිගේ වයස අවුරුදු හතරක් පමණ වන්නට ඇත,නංගිට අවුරුදු හයක් වූ අතර මට අවුරුදු දොළහකි. ඇතැම් විට

 "අය්යේ කෝච්චිය කියන්නේ මොකක්ද?" කියා මල්ලී  අසන විට නංගිත් මමත් ඔහුට කෝච්චිය ගැන විස්තර කියා දුන්නෙමු. නමුත් අපි දැක  තිබු විශාලම වාහනය වුයේ දිනකට  දෙවරක් අපගේ ගමට එන ආසන විසි පහේ ලංගම බස් රථය පමණි. නංගීද මමද ඉස්කෝලේ බිතියේ අලවා තිබෙන පින්තුර වල කෝච්චි දැක තිබුනෙමු, මල්ලීට පෙන්වන්නට ගෙදර පින්තූර පොතක් තිබුනේ නැත.

කෙසඟ සිරුරක් තිබුනද තාත්තා ඉතා ධර්යය වන්තය, අම්මා  කිසිවිටකත්  තාත්තාට  සැරෙන් වචනයක් කතා කරනවා අප අසා තිබුනේ නැත. අප තිදෙනා උස මහත් කිරීමට ඇය විඳි දුක අප්‍රමාණය. සැප්තැම්බර් වලින් ආරම්භ වන වැසි කාලයේදී අප නිවසට යාබදව ඉහලින් ඇති අක්කර දෙකක පමණ මුළු කඳු ගැටයම එලි පෙහෙළි කරන්නේ අම්මාත්  තාත්තාත් දෙදෙනාය. නොවැම්බර් වන විට මයියොක්කා  වලින් ඉඩමේ මැද කොටසද ඉතිරිය බඩඉරිඟු ද වගා  කරති. අම්මා ඉඩක් ලද විටෙක ගෙවත්තේ කුරක්කන්, බතල, මෑ කරල්, බණ්ඩක්ක ආදී එළවළු පාත්ති කිහිපයක් අස්වද්දා ගන්නීය. අවුරුද්දේ ඉතිරි කාලය සඳහා වියදමට මුදල් ලැබෙන්නේ මෙම වගාවෙනි. ජනවාරි මාසය වන විට කුඹුරු වල වී වැපිරීමට සුදානම් කරන්නේ තාත්තාගේ තනි මහන්සියෙනි, අම්මා කුඹුරු වැඩ වලට නොයන්නිය. අසල්වැසි  ගොවීන්  සමඟ අත් උදව්වෙන් තාත්තා කුඹුරේ වැඩ කලට වෙලාවට නිම කර ගනී. අප්‍රේල් සිට අගෝස්තු කාලය ගෙවෙන්නේ මැණික් ගැරීම සඳහාය. ගමේ සියලු දෙනා මේ කාලයට තමන්ගේ ගොඩ මඩ ඉඩම් වල ඉල්ලම් හාරා වතුර පොම්ප වලින් හෝ කුඹුරු යායට ජලය සපයන ඇලෙන්  ඒවා සෝදති. සමහර ගොවීන් තමන්ගේ ඉඩම් බදු දෙති.බොහෝ අවුරුදු වල අපට අලුත් ඇඳුම් ලැබෙන්නේ තාත්තාට  මැණික් ගලක් හම්බ උණු විටය. නමුත් තාත්තා බලා පොරොත්තු වූ තරමක මැණිකක් අපට කිසිදාක හම්බ උනේ නැත. මට යන්තම් අවුරුදු දහය ලැබූ දින සිටම මට හැකි අයුරින් තාත්තාගේ සෑම  වැඩකටම උදව් කරන්නට පුරුදු වී සිටියෙමි.

ඉස්කෝලේ නමය පන්තියට පැමිණ මාසයක් පමණ ගතවූ විට දිනක රාත්‍රී අප නිදා ගන්නට ගොස් අම්මා කුප්පි ලාම්පුව නිමා  දැමු විට,

"ලොකු හාමුදුරුවෝ මාත් එක්ක අපේ ලොකු කොල්ල ගැන කතා කරා" යයි තාත්තා කිවේය. මම සරම තුල ගුලිවී අසාගෙන සිටියෙමි.

"ඒ මොනා  ගැනද ?" අම්මා  ඇසීය 

"කොල්ලා  ඉගෙන ගන්න දස්ස නිසා, හාමුදුරුවෝ කියනවා බණ්ඩාරවෙල පැත්තේ පිරිවෙනකට යවලා උගන්නන්න කියල"

"ඉතින් දෙය්යනේ අපිට කොහේ තියෙන සල්ලියක්ද කොල්ලව පිට තැනක නවත්තන්න"

"නෑ , හාමුදුරුවෝ දන්න පන්සලක නවත්තන්නේ, ඒ පන්සලේ ලොකු හාමුදුරුවෝ කැමති වෙලා තියෙනවා කොල්ලට උගන්නන්න"

මානං සෙවෙලි කර කටු මැටි ගසා තිබුණු අපේ ගෙදර ඇඳක්  තිබුණේ නැත. අපි සියලු දෙනා බිම එලූ පැදුරු වල එකිනෙකාට  තුරුළු වී නිදා ගත්තෙමු. මයියොක්කා  අල හැදෙන කාලයට තාත්තා බොහෝ විට නිදා ගන්නේ කන්ද උඩ සාදා ඇති පැළේය, ඒ වත්තට එන වල් ඌරන් එලවිමටය.

එක් දිනක් පාන්දර අම්මා මා අවදි කරවූයේ  පහට පමණය ඒ මා බණ්ඩාරවෙල එක්කරගෙන යාමටය. නිල්  පැහැති  කොට කලිසම් දෙකෙන් එකක් ඇඳ ගෙන අනෙක පොලිතීන් උරයේ දමාගත් මම සුදු කමිස දෙකද  තවත් කමිස දෙකක්ද එතුලට ඔබා ගත්තෙමි. දත් බුරුසු හෝ  පිරිමි ළමුන්අඳින යට ඇඳුම් තිබෙනවාදැයි මම ඒ වන විට දැන  සිටියේ නැත. මිට අමතරව මම ලියන පොත් කිහිපයද පෑනක් පැන්සලක් සහ කවකටු පෙට්ටිටයද මල්ලට දමා ගත්තෙමි.

බස් නැවතුමේ සිට අප නිවසට කිලෝමීටර් එක හමාරක පමණ දුරක් ගෙවා පැමිණිය යුතුය. මා  සිදු වන්නේ කුමක්දැයි දැන සිටියද බස් රථයක නැගී දුර ගමනක් යාමට ඇති ආශාව නිසා අනෙක් සියල්ල අමතක වී ගොසින්ය. සහල්, කුරක්කන්, බඩ ඉරිඟු සහ මයියෝක්කා වලින් පුරවාගත් පොහොර උරය කරට ගෙන තාත්තා ගෙදරින් පිට වීමට සුදානම් විය.

"බුදු සරණයි මයේ පුතේ, උඹ හොඳට ඉගෙන ගනින් " කියා අම්මා මා තුරුළු කරගන්නා  විට ඇයගේ දෑස් වලින් බේරෙන කඳුළු මාගේ මුහුණේ තැවරුණේය, ඒ වන විට නංගි  සහ මල්ලී එකිනෙකාට  තුරුළු වී සැප නින්දේය. මිඳුලේ සිට ඇති පඩි  පෙළ නැග කිතුල් කොටයක් දමා සාදා ඇති ඒ දණ්ඩ පසු කර රූස්ස ගස් අතරින් මීටර් සියයක් පමණ ගමන් කර තාත්තාත් මමත්  වෙල් යායට ජලය සපයන කුඩා ඇලෙහි ගැට්ටට පිවිසුනෙමු. ළපටි ගොයම වැසී යන්නට සුදු තිර රෙදි එලුවා සේ වෙල්යාය මිහිදුම් පටල වලින් වැසී  ඇත. සීතල දැනෙන විට පොලිතීන් උරය දෑතින් පපුවට තුරුල් කරගෙන මම තාත්තා පසු පස දුරින් දුර අඩි  තබා ඇවිද්දෙමි, අප අතර පරතරය වැඩි වන විට මම දිව්වෙමි. අවසානයේ කොන්ක්‍රීට් පාලමෙන් එගොඩ වී කහ පැහැති බස් රථය වෙත ළඟා  වුවෙමු. බස් රථයේ ඉදිරි පස විදුරු  ජලවාෂ්ප වලින් වැසී  තිබුන අතර ජල  බිංදු එක්වී විදුරු පහලට ගලා  ගොස් වීදුරුවේ අලංකාර රටා ඇඳ තිබුණි. ඒ අතරින් "පස්සර, මඩොල්සිම හරහා ඇකිරිය" ලෙස සටහන්ව තිබූ පුවරුව ඊයේ එය පැමිණෙන විට තිබු අයුරින්ම පැවතිණ.

ඇකිරියෙන් ආරම්භ කල ගමන අතරමග නතරවුයේ බස්රථය තේ පානය සඳහා පැය දෙකකට පමණ පසු මඩොල්සිම නතර කළ පසුය. තවත් පැය තුනකට පමණ පසු එය පස්සර පසු කොට බදුල්ල නගරයට ලඟා විය. බණ්ඩාරවෙල ඇත්තේ බදුල්ලටත් වඩා දුරින් බව මට අවබෝධ වුයේ තාත්තා මාව තවත් බසයකට නංවා ගත්  පසුවය.

"ලෙඩාට සිහිය එනවා කරුණා කරලා ඔයාල ටිකක් ඈත් වෙලා ඉන්න" යයි කිසිවෙකු කියන හඬින් මම තිගැස්සුනෙමි. ඇස් ඇරීමට මා උත්සහ කලද එකවර ඇස් ඇර  ගත නොහැකි විය.සියල්ල සුදු පැහැති වී ගොස් මා වටා සිටින බොඳ වී ගිය මිනිස් රුප කිහිපයක් පෙනෙන්නට පටන් ගනී.මා දකින්නේ සිහිනයක්ද? හෙදියක් මා  සිටි ඇඳ ආසන්නයේ සිටී. ඇය තමාගේ අත්  ඔරලෝසුව දෙස බලා  යමක් අතේ වු ෆයිල් කවරය මත ඇති කඩදාසියේ සටහන් කරගන්නා අතර තුර,

"ඔයාගේ නම මොකක්ද?"කියා ඇසීය. මම කට ඇරීමට කිහිප වරක් උත්සහා කලෙමි, අවසානයේ

"සුපුන්" කියා මම පිළිතුරු දුන්නෙමි."

"මේ ඉන්නේ කව්ද ?" නැවතත් ඇය  ඇසීය.

එවිට ඇඳට තරමක් ඈත සිටි කිහිපදෙනා අතර සිටි ලසන්ති මා  ලඟට පැමිණියාය.

" ලසන්ති" මම දුන් පිළිතුරින් හෙදිය සෑහීමට පත් වූ බවකි, තවත් යමක් සටහන් කර ෆයිල් කවරය ඇඳෙහි පිටුපස ඇති ගාන්චුවේ එල්ලා,

"ලෙඩාගේ සේලයින් එක තව ටිකකින්  අයින් කරනවා, එතකොට දියර වර්ග බොන්න දෙන්න පුළුවන්, එයාට කරදර කරන්න එපා විවේක ගන්න දෙන්න" කියා පිටත්ව ගියාය.

මදක් ඈතින් සිටි සියලු දෙනා මා සමීපයට පැමිණියහ. විශ්ව විද්‍යාලයේදී මා ලඟින් සැමදාමත් සිටි නිර්මාල්

"මචං බය වෙන්න එපා අපි ඉන්නවා ඕනි දෙකට " යයි කිවේය.

ඔහු මගේ ඔලුව දෙසට ගෙනගිය අත නැවත හකුලා  ගත්තේය. එවිට මම මගේ අතින් ඔලුව අතගා  බැලීමි. නළල හැරෙන්නට හිසේ බොහොමයක් ප්‍රදේශ ප්ලාස්ටර් වලින් ආවරණය වී ඇති බව මම අවබෝධ කර ගත්තෙමි. අනෙකුත් සියලු දෙනා හඳුනා ගත්තද මම ඔවුන්ටවත් ඔවුන් මටවත් කතා කලේ නැත.ඔවුහු ටික වේලාවකින් නිහඬවම  පිටවී ගියහ. ඒ සමගම ලෙඩුන් බැලීමට පැමිණ සිටි අය රෝහල් සේවකයන් විසින් පිටත් කර හරින ලදී, නමුත් මගේ ඇඳ  සමීපයේ සිටි ලසන්තිට ඔවුහු  කිසිවක් නොකීවෝය. ඇයගේ දෑතින්ම  මගේ දකුණත ගෙන ඇයගේ රෝස පැහැති කම්මුලේ තබා ගත්තාය, එවිට ඇයගේ දෙනෙත් වලින් කඳුළු කැට බිමට කඩා හැලෙන්නට අසන්න වී තිබිණ.

"මම කොහෙද ඉන්නේ?" මම ඇසීමි

"කරාපිටියේ"

"මට මොකද උනේ?" මම නැවතත් ඇසීමි. මගේ පපුව තෙක් රෙද්දක් පොරවා තිබිණ.අත්  දෙක හැරෙන්නට මගේ ශරීරය කිසිම ලෙසකින් චලනය කල නොහැක, ඉනෙන්  පහල කොටස තිබේදැයි මට හැඟීමක් නොමැත.

"ඔපරේෂන් එකෙන් පස්සේ ඔයාගේ ඉනෙන් පහල හිරි වැටිලා තියෙන්නේ තාම ,...........

ඔයාට මොනාද අන්තිමට මතක?" මා  ශරීරය චලනය කරන්නට උත්සහා කරන බව හඳුනාගත් ලසන්ති පවසන්නීය.ඇය සිනහා  වෙන්නට උත්සාහ  කලද දෑසින්ම කඳුළු ගලාවිත් මගේ සුරත තෙත් වේ. ඇය  මගේ අත  සිප ගත්තාය. මම සියල්ල මතක් කර ගැනීමට උත්සාහ  කලෙමි.

උදේ එකොළහට මට තිබු උද්භිද විද්‍යාව දේශනය අවසන් වී දවල් දොළහට කෑම  පැයට උඩ  කැන්ටිමට ගියද  දහවල් ආහාරය ගන්නට   වෙලාවක් තිබුනේ නැත. ශිෂ්‍ය සංගමයෙන් සංවිධානය කරතිබු "පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට එරෙහි වෙමු " උද්ගෝෂණයට  ප්‍රධාන ගේට්ටුව අසන්නට යාමට සියලු දෙනාට හඬ ගසා සිටියේ ශිෂ්‍ය සංගම් ක්‍රියා කාරීන්ය. ක්‍රියා කාරී දේශපාලනයේ නොයෙදුනද රාජ්‍ය දේශපාලනයට උඩගෙඩි දෙන ශිෂ්‍ය කණ්ඩායම් අපව විප්ලවකාරී දේශපාලන ක්‍රියා කාරින්  ලෙස හංවඩු ගසා  තිබිණ. ප්‍රගතිශීලි යයි කියාගත් දේශපාලනයට අප සහය දැක්වුයේ උද්ගෝෂණයකට හෝ කැට  ව්‍යාපාරයකට සහය දැක්වීමෙන් පමණි. නමුත් අප උගුර ලේ රහ වෙනතුරු මිනිසුන් ඉදිරියේ සිඟමන් යැද එකතු කරන මුදල් වලට කුමක් සිදු වෙන්නේ දැයි අපි නොදනිමු. "Y " හන්දියෙන් ආරම්භ වූ පෙළපාලිය ප්‍රධාන ගේට්ටුව දක්වා ගොස් ගේට්ටුවෙන් පිටත ගන්දර-මාතර මාර්ගයට මුහුණලා උද්ගෝෂණය පැවැත්විණ. පොලිසියෙන් සහ කැරළි මර්ධන ඒකකයෙන් පැමිණ සිටියද කිසිදු ගැටුමක් නොමැතිව එය  අවසාන විය. නමුත් ශිෂ්‍ය සංගම් අතර ගැටුම් නිතර නිතර ඇවිලිණ. උද්ගෝෂණය අවසන් වී එන අතර තුර Y හන්දියේදී ප්‍රතිවිරුද්ධ ශිෂ්‍ය සංගම් ක්‍රියා කාරින්  සමග ඇතිවූ බහින් බස් වීම දුර දිග ගොස් එය ගැටුමක් දක්වා වර්ධනය විය. ඍජුවම ක්‍රියාකාරී දේශපාලනය සම්බන්ධ ප්‍රතිවිරුද්ධ ශිෂ්‍ය සංගම් ක්‍රියා කාරින් දෙදෙනෙකු පහර කෑමට  ලක්වූ අතර ඔවුන් දෙදෙනා රෝහල් ගත කල බව පසුව දැන ගන්නට ලැබිණ.

සවස රසායන විද්‍යා ප්‍රයෝගික පරීක්ෂණයෙන් පසුව විද්‍යා ගාරයෙන් එලියට පැමිණෙන විට ලසන්ති  කෙටි පණිවිඩයක් ඒවා තිබුනේ සඳලු තලයේදී ඇය මුණ ගැසෙන ලෙසය.එය සරසවි භුමියේ තිබෙන උසම ස්ථානය වන අතර තට්ටු හතරක ගොඩනැගිල්ලේ මුහුද දෙසට යොමුවූ විශාල විවෘත ප්‍රදේශයකි. මම එහි යන විට ඇය කෙලවර යකඩ වැටට අත්  දෙක තබාගෙන ඈත  මුහුද දෙස බලා  සිටින්නීය.සිහින් සිරුරක් සහිත ලසන්ති අපගේ අධ්‍යන වර්ෂයේ වූ සිත් ඇද ගන්නා සුලුම සිසුවියන්ගෙන් කෙනෙක් වුවාය. පිටුපසින් ගොස් මම ඇයගේ දෑස අත්  දෙකෙන් ආවරණය කලෙමි.ඇය  පසුපසට වී මාගේ  සිරුරට තුරුළු වුවාය.

"අර යන නැව කොහෙටද යන්නේ?" ඇය සුරතල් වේ. ඇයගේ බොකුටු හිසකෙස් මුහුදු සුළගේ ගසා  ගෙනවිත් මගේ මුහුණේ දැවටේ.

"ඔයාගේ නංගි  එවල තිබුණු ලියුමට මම අද ලියුමක් ලියල යැව්වා, එයා බදුල්ලේ ඉස්කෝලේ යන්නේ හරි සන්තෝශෙන්, මල්ලි  ඕ ලෙවෙල් වලට මහන්සි වෙලා වැඩ කරනවලු, එයාටත්  බණ්ඩාරවෙල ඉස්කෝලෙකට එන්න අසාවෙන් " ඇය දිගටම කියාගෙන යයි.

මම නංගිට දී තිබෙන්නේ ලසන්තාගේ බෝඩිමේ ලිපිනයයි, ඇය  මට එවන ලිපි වලට පිළිතුරු යවයි, ලසන්ති  සහ නංගි දැන් කුළුපඟ මිතුරියන්ය.තාත්තාගේ මරණයෙන් පසුව ගෙදර සියලු වගකීම් මා හට පැවරිණ. උසස්පෙළ විභාගයෙන් පසුව බණ්ඩාරවෙල ආරම්භ කළ ටියුෂන් පන්ති සාර්ථක වීමත් සමග මට ඒ කිසිවක් ගැටළුවක් වුයේ නැත. සෑම  සතියකම සිකුරාදා ගොස් පන්ති සියල්ල අවසන් කර නැවත ඉරිදා රාත්‍රියේ මාතර ඒම වෙහෙසකර කටයුත්තක් සේ මට නොදැනුනේ ලැබූ ආත්ම තෘප්තිය හේතුවෙන් විය යුතුය.

"අද අපි බීච් එකට යමු" ඇයගේ  ඉල්ලීමය.

 සරසවි භුමියේ පඩි සියගණනක් බැසගෙන මාර්ගය හරහා ගොස් අපි මුහුදු වෙරළට පිවිසුනෙමු. මුහුදු රළ ඇවිත් ගල්පර වල වැදී පෙන පිඩු දසත විසිරී  යන්නේ අපට බෝහෝ  දේ මතක් කරමිනි.පොත් පත් මෙන්ම සෙරප්පු සපත්තු ද ගලවා ගලක් උඩ  තැබූ අපි අත්  අල්ලාගෙන මුහුදු රැලි  කකුල් වල වල වදින නොවදින ඉසව්වේ පියමන් කළෙමු. අපගේ පියසටහන් මකා දමමින් සුදෝ සුදු පෙන පිඩු  අප සමග උසුළු විසුළු කරයි.ඇයගේ  මුහුණ මගේ උරහිසේ තබාගෙන සුරත මගේ ඉනවටා  යවා කියවන්නීය , මා  සැම විටම ඉතා හොඳ ධ්වනි අවශෝෂකයකි.ඇය කියවන තරමට මම අසා සිටින්නෙමි, අප දෙදෙනාටම  එය සතුටකි.  රන්වන් පැහැයෙන් හිරු ඈත මුහුදේ ගිලීගොස්  හමාර වූ පසු අපි  නැවතත් සරසවි භුමිය වෙත පියමන් කළෙමු. මීටර් සියයක් පමණ දුරින් වූ  බෝඩිම දක්වා ඇය සමග  ගමන් කර ඇය ඇරලවා ම නැවත ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුලට පිවිසියේ මාගේ මෝටර් සයිකලය තවමත් සරසවි භුමියේ  වූ බැවිණි. තරමක් අඳුර වැටි තිබුණි, වේගයෙන්  පැමිණ මා ඉදිරියේ නතර කලේ  විශාල රෝද යොදා නවීකරණය කරන ලද ජීප් රථයකි. එය සරසවි භුමිය තුල නිතර සැරිසරන ප්‍රභල දේශපාලන චරිතයක ළඟම නෑදෑයෙකු වන සරසවි ශිෂ්‍යයෙකුගේ බව ම හඳුනා ගත්තෙමි. මට මතක එපමණකි.

"ඔයාව මාතර හොස්පිටල් එකෙන් ඊයේ රෑම මෙහෙට එව්වා, අද පාන්දර වෙනකම් ඔපරේෂන් තියටර් එකේ හිටියේ, උදේ තමයි වාට්ටුවට ගෙනාවේ. දෙය්යන්ගේ පිහිටෙන් ඔයාගේ   මතකේ හොඳයි" ඇය  නැවතත් ඉකිගසා අඩන්නිය.

"ඔයා  අඩන්න  එපා මට මොකුත් වෙලා නෑනේ" මම කීවෙමි. මද වෙලාවකට එලියට ගොස් ග්ලුකෝස් දමා සකස් කරගෙන පැමිණි තැඹිලි වතුර මට පොවා ඇය  යන්නට සැරසෙන්නිය.

"නිර්මාල් අය්යා, එළියේ ඉන්නවා, එයා  ඔයා ළඟ නවතිනවා, මම ගිහින් හවස එන්නම්, ඔයාට කම්මැලි නිසා මම පත්තර දෙකක් අරන් ආවා" ඇය දෑස ලේන්සුවෙන් පිසගෙන මගේ නළල අතගා පිටත්ව ගියාය.

පුවත් පත් දෙකේම මුල් පිටුවේ රුහුණු සරසවි සිසු  ගැටුමෙන් සිසුන් තිදෙනෙකු ඊයේ රෝහල් ගත කල බවත් එක්  අයෙකු   අසාද්‍ය  තත්වයෙන් කරාපිටිය රෝහලට මාරු කර යැවූ බවත් සඳහන් විය. මෙය සරසවි තුල පක්ෂ දේශපාලනය කිරීමේ ප්‍රතිපලයක් බවත්, රෝහල් ගත කල සිසුන්ගෙන් සුළු තුවාල ලැබුවන් කිසි සේත්ම දේශපාලන කණ්ඩායම් වලට සම්බන්ධ නැති බවත්, අසාධ්‍ය තත්වයේ පසු වන සිසුවා ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූවෙකු බවත් සඳහන් විය.

වාට්ටුවේ ඉදිරිපස බිත්තියේ ඉහල සවි කර ඇති රුපවාහිනී යන්ත්‍රයේ උදෑසන පැයෙන් පැය  සජීවී ප්‍රවෘති විකාශයකි, සියලු දෙනා ඊට සවන් යොමා සිටිති, හෙදියක් බෙහෙත් පෙති කිහිපයක්ද රැගෙන මා  වෙත පැමිණියාය.

"ඊයේ රුහුණු විශ්ව විද්‍යාලයේ ඇතිවූ, සිසු ගැටුමින් අසාද්‍ය තත්වයේ සිටි සිසුවාගේ තත්වය සුභ දායක බවත්, හිසෙහි සහ පාදයේ සිදු කල ශල්‍ය කර්ම සාර්ථක බවත්, අස්ථි වලට බරපතල හානි සිදුවී තිබු බැවින් එක් පාදයක් ශල්‍ය කර්මයේදී ඉවත් කල බවත්" පැවසිණ.

"ඊයේ රුහුණෙන් තවත් කවුරුත් මෙහෙ ගෙනාවද?"මම හෙදියගෙන් ඇසුවෙමි.

"නෑ"

මම පොරවා  තිබු රෙද්ද ඇද  ඉවතට විසි කලෙමි, දකුණු පාදයේ  වළලු කර සහ ඊට පහලින් කොටස නොවීය. දණහිසට පහල ඉතිරි කොටස දර කොටයක් සේ  සුදු පැහැති වෙළුම් පටි වලින්වෙලා තිබිණ.



- ජානක ගුණතිලක 

No comments:

Post a Comment