Saturday, May 6, 2023

ප්‍රභාකරන්




අන්තිමට උන්ට ඕනි වුනේ කොහොමහරි ප්‍රභාකරන්ව  මරන්න. ඒ ප්ලෑන් එක ගහන්න නෙවෙයි අපි හය දෙනා එලියකන්ද බීච් එකේ සෙට් වුනේ. ඇත්තටම අපි බීච් එකට ආවේ බියර් එකක් ගහල , තණය ගෙදර ගිහිං එනකොට ගෙනාව ඔරිජිනල් තණමල්විල ගංජා පාරක් ගහල සින්දුවක් කියල එන්න මිසක් ප්‍රභාකරන් මරන්න ප්ලෑන් කරන්න නෙවෙයි, කොහොමටත් මුන්ට ප්‍රභාකරන්ගෙන් කරදර තිබුණා හැමදාම, ඒකට ඌට ගේමක් දෙනවා කියන ප්ලෑන් එක විතරයි අපිට තිබුණේ එදා වෙනකං. මුන්ගේ සෙට් එකේ හිටියා ගලිවර් කියල අඩි හයහමාරක්  විතර උස අප්‍රිකාවෙන් ආවා වගේ පෙනුමක් තියෙන එකෙක්, ඌ තමයි සෙට් එක රන් කරේ. අන්තිමට බීච් එකට එන්න හිටියේ ඌ. අපි ගලිවර් එනකං තණයගෙන් ඇහුව්වේ,

 " කොහොමද බං  ග්‍රෑම් පන්සීයක විතර පාර්සලයක් උඹ බය නැතුව බස් එකේ එනකොට ගේන්නේ ?" කියල.

" අනේ  බං උඹට පයිත්තියන්ද, ටොන් ගණන් රටේ හැමතනම ගෙනියන එකේ මේ ග්‍රෑම් පන්සීය හූනු බිජ්ජක් වගේ " 

දෙවුන්දර ලයිට් හවුස් එකේ කැරකෙන එලියට මම දැක්කා එකෙක් මීටර් සියක් විතර දුර ඉඳල අත වනනවා, අපේ පැත්තට එන ගමන්ම. පොඩ්ඩක් ලං වෙනකොට ඒ ගලිවර් කියල අඳුර ගන්න අමාරු උණේ නෑ උගේ උස හින්ද. දන්නේ නෑ  ඌ කෑගැහුව්වාද  දුර තියාම කියල , ඒ වුනාට මුහුදේ රළ පාරේ සද්දෙට  මොකුත් ඇහුණේ නෑ.

ගලියගේ කටෙන් ලේ බහිනවා, ඇඳලා හිටියේ සුදු ෂර්ට් එකක් ඒකේ ඉස්සරහ බාගයක්ම රතු වෙලා, එක   අතකින් කට වහගෙන හිටියේ, ඒ වුනාට ඇඟිලි අතරින් ලේ බහිනවා. මම අත ඉස්සරහට ඇදල   කට දිහා බලන්න හැදුවට උගේ අත මට අදින්න බෑ යකඩයක් වගේ. ඒ උනාට ගුලිකරගෙන හිටපු අනිත් අත දිග ඇරලා පෙන්නුවා, මම දන්නේ නෑ ඒවා කෘන්තකද රදනකද කියල ඒත් අතේ ගුළි කරගෙන හිටියේ කැඩිච්ච දත් දෙක.

ඒ වෙලාවේ තමයි පරාලය කිව්වේ,

" අපි අරූව මරන්ඩ ඕනි කියල"

ඇත්තටම මටත් ඒ වෙලාවේ හිතුණා ප්‍රභාකරන්ව මරන්නම ඕනි කියල. 

මට ඉස්සෙල්ලාම සෙට් උනේ තණය, ඌ තණමල්විල හින්ද උගේ කාර්ඩ් එක "තණය". කාර්ඩ් කිව්වේ කැම්පස් එකේ  ඉන්න උන් දාගන්න නම්, අපිට ඒවා දැන් පුරුදුයි. දවසක් තණය ආවා වීල් පාර්ක් එකට බඩු පොඩ්ඩක් හොයාගෙන, මම දන්නවා ඩයල් එක හැරෙනකොට කැම්පස් එකට අලුතෙන් ආපු පොරක් කියල . මම එක්කරගෙන ගියේ සුදු අක්කගේ පොට් එකට. හැබැයි මම පස්සේ දැන ගත්තේ මූ එන්නේ  ගෙදරින් ගෙනාපු බඩු ඉවරවෙනකොට අඩුව හොයාගන්න කියල. කොහොම උණත් නිතර මාත් එක්ක තමයි හයර් එක ගියේ. මම සුදු අක්කට චාටර් එවුන් සෙට් කරන්නේ නැති බව අක්ක දන්නවා, මූත් නියමෙට අක්කට අල්ලලා ගියා.

 " සුදු අක්කේ " 

කිව්වම තණයව අක්ක කටහඬේන් අඳුරනවා. අපි වීල් එක නතර කරන්නේ උසාවිය පිටිපස්සේ පරණ පාරේ , මම ඉන්නවා වීල් එකේ. කොන්ක්‍රීට් පාරේ මීටර් විසිපහක් විතර තණය ඇවිදගෙන යනවා. 

"කට්ට දෙකයි" 

කියල මල් පෝච්චියේ රුපියල් සීය තියනවා. එචච්රයි. 


එළියට එනකොට කට්ට දෙක තාප්පෙට උඩින් පාරට විසිකරනවා, පත්තර කොලේක ඔතල. 

දවසක් මූ ඔය පත්තර කොලේ ඔතපු එක යට කලිසම  ඇතුලේ ගහගෙන වීල් එකට නගිනකොටම  වටකෙරුව පොලිසියෙන්, ඔක්කොම බලාගෙන ඉඳල තියෙන්නේ, යුනිෆෝම් ඇඳපු පොලිස් කාරය තණයගේ කලිසම ඇතුලට අතදාල මිරිකලා ඇද්දා, හැබැයි පළවෙනි පාර අහුවුනේ ගංජා පැකට් දෙක නෙවෙයි, ඌට කෑ ගැහුණා.

 දවසක් කුඩුවේ ඉඳල ආවා. අදටත් මම දන්නේ නෑ, මූ පොලිස් කාරයාගේ ෆෝන් එක වැඳලා වගේ අරගෙන කාට කතා කරාද කියල.මූ උගේ සෙට් එකට කියල තියෙන්නේ එදා රෑ කැකුණදුර මාමලාගේ  ගෙදර පිරිතක් තිබ්බ ඒකට ගියා කියල. 

මම කිව්ව,

 "මං ගේම සෙට් කරනවා මට කැම්පස් එක ඇතුලට එන්න විදිහක් සෙට් කරනවා නම්"  කියල.

 පරාලය, වූ තමයි කිව්වේ,

"ලඟදි අලුත් නැවක්, එනවා එතකොට උඹට මම අයිඩේන්ටියක් හදල දෙන්නං ඇතුලට එන්න" කියල. 

මම කැම්පස් ගියේ පරාලය හදපු හොර  අයිඩින්ටියෙන්. ඒක ඕනි වුනේ මට ගේට්ටුවේ හිටපු සිකුරිටි කාරයින්ට  පෙන්නන්න විතරයි. සතියකට විතර පස්සේ ඒක බැලුවෙත් නෑ, උන්ට හොඳට මුණ මතකයි. අන්තිමට මට සෙට් උණා අලුත් නැවේ කෑල්ලකුත්. 

මං කැම්පස් එකට යන්නේ හවස හතරට ඒ ගලියලගේ ලෙක්චර් ඉවරවෙන වෙලාවට, උඩ කැන්ටිමෙන්  ප්ලේන්ටියක් ගහල ඉවරවෙනකොට තණය රොකට්  එකක් සෙට් කරනවා හඳට යන්න. 

" මචං හඳේ යමුද?"  කියල තමයි ඌ අහන්නේ.

උගේ සාක්කුවේ බඩු පොඩ්ඩක් නැති වෙන  වෙලාවක් නෑ, ගලියයි, පරාලයයි, හම්බයි, මහානාමයයි කවදාවත් වරදින්නේ නෑ, ඒ මදිවට තව දෙතුන් දෙනෙකුත් සෙට් වෙන වෙලාවල් තියෙනවා. අනිත් උන්ට කාඩ් තිබුනට මහානාමයට කාඩ් එකක් නැද්ද එහෙම නැත්තං මහානාම කියන්නේ උගේ කාර්ඩ් එකද කියන්න මං දන්නේ නෑ. මහානාමය මාතලේ එකෙක්. හම්බ කිව්වේ උගේ ගම හම්බන්තොට හින්දලු, පරාලය කියන්නේ හද්ද පිටිසර හඟුරන්කෙත ඉදල ඇවිල්ල, BMW එකෙන් කොළඹ හතේ ඉඳල ඇවිල්ල  කැම්පස් එකේ ගේට්ටුව ළඟ බැස්ස වගේ හිටපු චරිතයක්, ඒත් ඔක්කොම පට්ට බොක්කවල්. 

එතන තිබුණා පරණ ටොයිලැට් පේළියක්, කොමඩ් දුඹුරු පාට වෙලා හැමතැනම මකුළුදැල් බැඳලා තියෙන්නේ, දොරක් තියෙනව යකඩෙන් හදපු, අරිනකොට කරාස් ගාල සද්දේ එනවා. ඕක තමයි තණයගේ රොකට් ලෝන්ච් කරන තැන. කැන්ටිමේ අමරේ අයියගෙන් ඉවර වෙච්ච ගෝල්ඩ් ලීෆ් පැකට් දෙකක් ඉල්ලන් එන්නේ හම්බ, ඒකේ ඇතුල් පැත්තේ තුනී කඩදාසිය ගලවන්නෙත්  හම්බ, දුම්කොළ වලට මික්ස් කරන්නේ ගලිය, ඔතන්නේ මහානාම, අඟට බෝක්කුව තියල ෆිනිෂ් එක දෙන්නේ පරාලය. මොන පිළිවෙලට වැඩේ කරත්  පත්තු කරන්නේ තණය. 

මම ප්‍රභාකරන් ගැන හැම තොරතුරක්ම හෙව්වා, ඌ කුඩාවැල්ල පැත්තේ එකෙක්, උගේ අයියා වැඩ කරන්නේ පියතිලක මන්ත්‍රී ගාව, පියතිලක කියන්නේ මහ ඇමතිගේ කලින් හිටපු ලේකම් කෙනෙක්. ඇමතිගේ ඔක්කොම ගේම් ටික ගැහුව්වේ  පියතිලක. ප්‍රභාකරන්ට තිබ්බේ ඒ හයිය. කරුමෙට ඌ ඇවිල්ල සෙට් වුණා සයන්ස් ෆැකල්ටියේ කවුන්සිල් එකට, ඒකෙ ලේකම් විදිහට. ගලියලගේ උන් ඇත්තටම මොන පක්ෂෙවත් සාමාජිකයෝද කියල මං දන්නේ නෑ, ඒ වුනාට කැට හොල්ලන්නයි, බුක් මාර්ක් විකුණන්නයි, ආණ්ඩුවට විරුද්ධව පිකට් කරන්නයි, විතරක් නෙවෙයි හැම දේකටම  යනවා. ටීවී එකෙත් කතා කරන එළු රැවුලක් තියාගත්ත එකෙක් තමයි ඒ දවස් වල ආර්ට් ෆැකල්ටියේ කවුන්සිල් එක රන් කරේ. පරාලය, මහානාම හිටියෙම උන් එක්ක. ආණ්ඩුවට විරුද්ධව පිකට් එකක් කරලා  ආපු දවසේ රෑ නැත්තම් පහුවෙනිදා රෑ, පිකට් එකේ හිටපු එවුන්ටම නෙවෙයි උන්ගේ  පැත්තේ ඉන්න මොනුන් හරි අහුවෙන හත  අටකට නෙවෙයි පහළොවකට විස්සකටම බඩු ෂුවර්.

 ගහන්නේ රෑ වෙලා කැම්පස් එකේ ඉඳල බෝඩින් , හොස්ටල් වලට පයින් යන උන්ට, රෑට පාඩම් කරලා බඩගිනි උනාම සරමත් ඇඳගෙන ටවුමට කොත්තු කන යන උන්ට, සති අන්තේ ගෙවල්  වල ගිහිං එන උන්ට. ඒක මහා ජරා ගැහිල්ලක්, දවසක් කොත්තු කන්න ගිය එවුන් දෙන්නෙක්ට නිල් වෙන්න නෙලලා ව්තරක් නෙවෙයි උන්දෙන්නගේ සරම් දෙක පාලමෙන් පහට විසිකරලා. වෙලාව රෑ දොළහටත් නෑ, පාලම යට පැයගානක් ඉඳල, ටවුමේ මිනිස්සු නැතිවෙනකන් , පාන්දර දෙකට විතර ටීෂර් එකෙනුයි, සර්ට් එකෙනුයි අහවල් එක  වහගෙන එනවා හොස්ටල එකට.

අපිත් රෑ බස්වලින් බැහැල ගෙවල් වලට යන්න ඉන්නේ  කාගේ හරි හයර් එකක් වදිනකන් බස් ස්ටෑන්ඩ් එක ළඟ ඉන්නකොට ඕනි තරං දැකල තියෙනවා බස් එකෙන් බහින කොල්ලොන්ට බිම දාගෙන නෙලන විදිහ. අපි පාර්ක් එකේ සද්දයක් දාගෙන හිටියට, අපිට නෝ චාන්ස් උන්ව බේරන්න වත්, මොකද උන් බහින්නේ ඩබල් කැබ්, ඩිෆෙන්ඩර් වගේ වාහන වලින්, නම්බර් ප්ලේට් තියෙනෙවා, ඒත් ඒවා ඇත්ත ඒවාද කියන්න දන්නේ නෑ. උන් බහිනකොට අපි නං හොරෙන් හරි බලනවා, ඩියුටි ඉන්න පොලිස් කාරයෝ හැරිලවත් බලන්නේ නැතුව මාරු වෙන්නේ හරියට ගැරඩින්ට බූමි තෙල් ගැහුව්වා වගේ. උන් දන්නවා මුන් කාගේ එවුන්ද කියල. අපි  මුලින් හිතුවේ මේ ගහන්නේ ගේමට සම්බන්ධ එවුන්ට කියල, පස්සේ තේරුණා මේක තනිකර දේශපාලන ගැහිල්ලක් කියල. 

මම කල් යනකොට හොයාගත්ත ප්‍රභාකරන් හරි ඌත් එක්කම හිටපු "ගෝන" කියන එකා   හරි දෙන්නම හරි  උන්ගේ වාහනයක් ඇතුලේ ඉඳල කොල්ලොන්ව පෙන්නනවා  මොකාටද ගේම දෙන්න ඕනි කියල. ඒක හරි, ගහන්න එන උන් මෙහෙ එවුන් නෙවෙයි, කැම්පස් එවුනුත් නෙවෙයි  මට තිතෙන්නේ ඔය ඇමතිය ළඟ ඉන්න ආමි එකේ එවුනුයි පොලිසියේ එවුනුයි කියල. 

මං ආමි වසන්තය හොයාගෙන ගියා, ඌ කිව්වේ,

 "මට විස්තර ටික දීපං, නම ගම, ෆොටෝ එකකුත් දීපං, එතකොට වැඩෙත් ඉක්මන්, ගානත් අඩුයි" කියල.

 " අතක් කකුලක්  කඩන්න නං විස්සක්  ඇති, කොන්ද කඩන්න නම් තිහක් ඕනි, මහ බඩු දෙන්න නම් පනහක් ඕනි" කියලත් කිව්වා.

ආමි වසන්තය යුද්දෙට ගිය  එකෙක්, ගේමක් දෙන්න ගිහිං උගේ ගෝලය මාට්ටුවෙලා බයික් එකත් එක්කම, මං හයර් එකක් ගිහිං එන ගමන් හිටියේ, මූ අත දැම්මා, ඌට යන්න විදිහක් තිබුනේ නෑ වලස්මුල්ලට. මාට්ටු වෙයි කියල බය වෙලා හිටියේ අම්බානක.මං කිව්ව


 "අයියේ මං තැනකට දාන්නන්" කියල.


 එහෙම තමයි ඌ මට සෙට් උනේ. මං දැම්මේ " මලින්දි රෙස්ට් " එකට. අපි ඒකට අරං යන්නේ ටියුෂන් එනවා කියල ගෙවල් වලට බොරු කියල එන කපල්. කපල් එකක් ගෙනිච්චම හයර් එක සීයක් ගන්නවා පැයකට පස්සේ  එක්කරගෙන එන්නත් එක්ක. රෙස්ට් එකේ සමන් අයිය මට තව සියක් දෙනවා. ඒක නිසා මං මහ රෑ "යාලුවෙක්" කියල වසන්තය රෙස්ට් එකට දැම්මා සල්ලි ගන්න එපා කියල. 

වසන්ත ආමි එකේ ඉඳල තියෙන්නේ ස්පෙෂල් යුනිට් එකක.  අන්තිමට උගේ ඇඟිල්ලක් කැඩිලා පෙන්ෂන් ගිහිල්ල. ඌට ලෙඩක් තියෙනව ඒ, නින්ද යන්නේ නැති එක. ඇස්දෙක පියාගන්න කොට පොඩි ළමයි, වයසක ආච්චිලා ,  ලස්සන දෙමළ කෙල්ලෝ එහෙම ඇඳ වටේට හිටගන්නවලු. ඌ ගෑණිත් එක්ක බුදිය ගන්නවට වැඩිය  ලස්සන කෙල්ලොන්ගේ  මලමිනියත් එක්ක  හැමනෙන්න ආසලු.  ගෑණි ළමයත් අරගෙන අම්මලා ගෙදර ගිහිං දැන් අවුරුදු තුනක්ලු. ඇස් අරිනකොට   උගේ ළමය ඉසරහට ආවත් ගැස්සිලා යනවලු.

මං  ගලියට කිව්ව වැඩේට පනහක් යනවා කියල, ඌ හිටියේ සඳලුතලේ. සඳලුතලේ කියල කැම්පස් එවුන් කිව්වේ එහෙ තිබිච්ච උසම බිල්ඩිමේ බැල්කනියට. වැටට කකුලකුයි අත් දෙකයි තියාගෙන මුහුද දිහා බලාගෙන තමයි ගලිය කතා කරේ. මාත් ඇත්තටම කතා කරේ දුර පේන මුහුද දිහා බලාගෙනමයි. 

" අපි පස්  දෙනාගේ මේ  මාසේ මහපොළ එකතු කරලා දහයක් හදා ගන්න පුළුවන්, ආර්ට් එකේ බූක් මාර්ක් එක ප්‍රින්ට් කරන්නේ මහානාමය, ඌට ගේමක් ගහන්න පුළුවන්, තණයයි හම්බයි දෙන්නත් මොනා හරි කරයි "

" තව කැට දෙකක් තියෙනෙවා මේ මාසේ, මං උඹට පනහ දෙනවා මාසේ ඉවරසෙනකොට"

මහානාමය රුපියල් විස්සේ බූක් මාර්ක් විසිදාක් ප්‍රින්ට් කරලා තිබ්බා උන් කියපු ගානට අමතරව, ඒකට ප්‍රෙස් එකේ සුනිල් අයියට දුන්න රුපියල් තුන්දාහක්, බිල හදල දුන්නා ඉල්ලුව ගානට. මගේ වීල් එකෙමයි බඩු ගෙනාවේ, හොරෙන් ගහපු විසිදාහ තණයගේ රූම් එකට දැම්ම පල්ලියමුල්ලෙන්. ඒවා විකිණුවේ මාතලේ, නුවර එළියේ, අනුරාධපුරේ, පොළොන්නරුවේ  වගේ ටව්න් වල. මාත් ගියා ඒවට, ඒක මරු.

 නුවර එළියේ වැඩේ ඉවර වෙලා රාගල නතර උනා පරාලය කලින් උගන්නපු පිරිවෙනක.ඒකෙ තිබ්බ සැප මට තාම මතකයි, බයිට් එක ගේන්නේ ලොකු හාමුදුරුවෝ, හදන්නේ පොඩි හමුදුරුවොල සෙට් එකක්. අනාථ  වෙච්ච පොඩි එවුන් තමයි උන්ට ආව තේව කරන්නේ. රෑට කන්න තිබුණ මුව මසුයි කුරහන් තලපයි, ලොකු හාමුදුරුවෝ විතරයි අපිත් එක්ක සෙට් උනේ, පොඩි හාමුදුරුවෝල ටික  වෙනමම සෙට් උනා, පරාලය උන්ටත් ගල් බෝතල් දෙකක් ගෙනල්ල දුන්න. පන අදින මුවා ගෙනල්ල දුන්නේ වනජීවී එකේ කොලපාට ජීප් එකකින්. 

' ලොකු හාමුදුවන්ගේ යාලුවොන්ට ' කියල

පිරිවනේ  හිටපු  පොඩි එයුන්  ටික මාස ගානකට පස්සේ අද තමයි බඩ පිරෙන්නේ රෑට කන්න ඇත්තේ කියල මට හිතුණා උන්ගේ මුණ දැක්කම . මහ එවුන් හැමදාම හොඳට කන බොන බව නං පෙනුනා. 


අපි පනස්දාහට හැත්තෑවක් විතර හොයාගත්ත. දැන් ප්‍රභාකරන් විතරක් නෙවෙයි ගෝනත් මරන්න පුළුවන් කියල මට හිතුණා. 

එදා පන්සලේ බෝ මළුවේ ඉදං තමයි මම ඇහුව්වේ,

 " උඹේ දත් දෙක කැ ඩුවේ කවුද ?"  කියල.

" ගෝන "

" උන්ගේ එවුන් නැග්ගේ ගාල්ලෙන් කෝච්චියට, මම දැනගත්ත ගේමක් කියල, මාතරින් බැහැල ස්ටේෂන් එකෙන් එලියට එනකොට මගේ ඔලුවට පිස්තෝලයක් තිබ්බ, කරගන්න දෙයක් තිබුනේ නෑ , මම උන්ගේ ඩිෆෙන්ඩර් එකට නැග්ග, බස් ස්ටෑන්ඩ් එක ළඟ නතර කරලා මාව බැස්සුවා, එකෙක් ඔලුවට පිස්තොලේ අල්ලනකොට ගෝනා කෙලිය උගේ අතේ තිබ්බ හෙල්මට් එකෙන්, බීච් එකට මං ආවේ කරකියාගන්න දෙයක් නැතුව"

එදා දවසෙම වහිනවා ඔක්කොම හොදගෙන යන්න. ඒ වෙනකොටත් මං වසන්තට ඇඩ්වාන්ස් එකක් දීලා තිබණේ. වෙලාව හතර පහු වෙලා තිබුණේ , අපි කැන්ටිමේ ඇතුලේ කාමරේ ප්ලේන්ටියක් බොන ගමන් හිටියේ, හුලං වැස්ස ගහනවා කැඩිච්ච වීදුරුවෙන් ඇතුලටත්, කැන්ටිම තිබුනේ බිල්ඩිමේ දෙවැනි තට්ටුවේ. අපි දැක්කා සෙට් එකක් වැස්සේ තෙමීගෙන දුවනවා කවුන්සිල් රූම් එක පැත්තට. දෙතුන් දෙනෙක් අතේ බැට්, පොලු එහෙමත් තිබුණා. 

"අර බලපන් අලුත් නැවේ, කබරයා එහෙම දුවන්නේ , මොකක් හරි ගේමක් , යමං' කිව්වේ ගලිය.

අපි පඩිපෙළ දිගේ දිව්වා පහලට, උඩට එන එවුන්ව පෙරලගෙන, අතට අහුවුනේ තරප්පු පේලිය යට ගොඩ ගහල තිබිච්ච කැඩිච්ච දෙස් පුටු වල කකුල් දෙක තුනක්. අපිත් වැස්සේ තෙමීගෙන කවුන්සිල් රූම් එක දිහාවට දිව්වා, කවුන්සිල් රූම් එක තිබ්බේ මීටර් සියක් විතර දුර තියෙන බිල්ඩිමේ තුන්වෙනි තට්ටුවේ, එතැනට යනකොට හොදටම තෙමිලා, නවතින්නේ නැතුවම අපි පඩිපෙළ දිගේ දිව්වා තුන්වෙනි තට්ටුවටම, තරප්පු පේලියේ හතරවෙනි වංගුව හැරෙනේකොට මං දැක්කා බිල්ඩිමේ අනිත් පැත්තේ තරප්පු පේලියෙන් දහයක් පහළොවක් විතට එලියට දුවනවා. උන් ඔක්කොම අලුත් බැජ් එකේ ගලිවර්ල එක්ක හිටපු මාර මොරාල් එක්ක තිබ්බ කොල්ලෝ ටිකක්. ප්‍රභාකරන්ව දුන්නොත් අමුවෙන් කන්න ඕනි කියන තරමේ තරහක් උන්ට තිබ්බ.  එතකොට අපි හිටියේ දෙවෙනි තට්ටුවේ. හම්බ කිව්ව අපි ආපහු හැරිලා දුවන උන්ට සෙට් වෙමු කියල, ඒත් එතකොට කවන්සිල් රූම් එකේ පැත්තෙන් කෑ ගහන සද්දයක් ආව. අපි ආයෙත් දිව්වා තරප්පු පේලියේ උඩට, කවුන්සිල් රූම් එකේ දොර පියන් වල තිබ්බ විදුරු වල කටු පාගාගෙන අපි ඇතුල් උනේ රූම් එකට. ඒකේ මැද තිබිච්ච ලොකු මේස දෙක විතරයි කලින් තිබ්බ විදිහට තිබුනේ, අනිත් ඔක්කොගේම කුඩු විතරයි තිබ්බේ, පුටු හත අටක ලී කෑලි ගොඩ අස්සේ කෑ ගහන්නේ "ගෝන" කියල කිව්වේ මහානාමය. මහානාම ඌව කොහොම අඳුර ගත්තද කියල මම දන්නේ නෑ, හරියට හමගහපු හරක් මස් ගාතයක් වගේ ඌ හිටියේ. යට ඇඳුම විතරයි ඇඟේ තිබුණේ ෂර්ට් එකෙන් අත් දෙක පිටිපස්සට කරලා බැඳලා තිබුණේ. 

තව එකෙක්ගේ මළකඳ තිබුණ කොම්පුටර් ඔලුවකුත් එක්ක. උගේ ඇඟේ ඇඳුම් තිබුණා හැබැයි පුටුවකට තියල, බැඳලා තියෙන්නේ කලිසමකින්, ඒක ගෝනාගේ වෙන්න ඇති. ඇඟ පුරා ලේ බැහැල තිබ්බේ, උගේ ඔලුවට ගහල තිබ්බේ කොම්පියුටරේක මොනිටර් එකකින්. මොනිටරේ වීදුරුව කඩාගෙන ඒක ඇතුලේ ඔලුව හිරවෙලා, මූණ පෙන්නේ නෑ. 

අපි දැනගත්ත මෙතනින් මාරු වෙන්න ඕනි පුළුවන් ඉක්මනට කියල. අපි දිව්වා පඩිපෙළ දිගේ පහලට ආව වේගෙට වැඩිය වේගෙන් මොකද පොලිසියේ සයිරන් නලාව අපිට ඇහුන. කිලෝමිටරක් විතර දුරින් මේන් ගේට්ටුව ළඟ කැරලි මර්දන එකේ ට්‍රක් එකක් එනවා අපි දැක්කා, ජීප් එකකුත් එක්ක.

අතේ තිබ්බ පොලු කවුන්සිල් රූම් එකේමයි, අපි දිව්වේ සයන්ස් එකේ ලැබ දෙකක් මැදින් කැම්පස් එකේ තාප්පේ කැඩිලා තිබ්බ තැන හොයාගෙන. ගලියගේ උස හින්ද ඌ බාගෙට කැඩිලා තිබ්බ තාප්පේට නැග්ග ඉස්සෙල්ලාම. ඌ අනිත් එවුන් ටික උඩට ඇදල අනිත් පැත්තේ බිමට අත ඇරියෙ හරියට දෙවුන්දර මාර්කට් එකේ සුමනේ මාළු විසි කරනවා වගේ.

 
එතකොටත් වහිනවා, දැන්  කලබලයක් නෑ, අපි හෙමීට ඇවිදගෙන ගියා. 

හම්බ කිව්ව "අරූ ප්‍රභාකරන් කියල"


-ජානක ගුණතිලක 
13/06/2020

No comments:

Post a Comment