Tuesday, January 7, 2014

American Beauty සහ අපි



අප හඳුනාගත් සහ වසර දහස් ගණනක් මිනිස් වර්ගයා වටා ගොඩනගාගත් සංස්කෘතික රාමුව සහ සරල නීති පද්ධතිය බිඳ වැටුණු දින, නැවත සිදුවන මිනිසාගේ මංමුලා වීම මොනවට පිළිඹිබු කරන අපුරු සිනමා නිර්මාණයක් ලෙස American Beauty හඳුන්වා  දිය හැකිය.

ජිවිත කාලයක් තුල ගොඩ නගාගත්  සියලු හරයන් මොහොතකින් තම තුලින්ම පැමිණෙන යක්ෂයකු ගිලගන්න ආකාරයත් සවිඥානිකක පසු විග්‍රහයේදී ඇතිවන සිත් තැවුලෙහි යථාර්තය මිහිපිට ඇති සියලු සංස්කෘතීන් හට  පොදු බව සිනමා පටය තුල මැනවින් විස්තතර වේ.

එක්සත් ජනපදයේ මධ්‍යම පන්තික පවුලක් වටා  ගෙතුනු කතාවක් මෙම සිනමා පටයෙන් ඉදිරිපත් කරයි. අවුරුදු 42 ක් වයසැති ලෙස්ටර් බර්නම් නම් සමාජයේ පිළිගත් රැකියාවක නියුතු එක් දරු පියෙකු, ඔහුගේ බිරිඳ සහ නව යොවුන් වියෙහි පසුවන ඔවුන්ගේ දියණිය මෙහි ප්‍රධාන භූමිකාව රඟ  දක්වයි. සමාජීය, සංස්කෘතික සහ මනෝ  විද්‍යාත්මක ලෙස සමාජීය සම්බන්ධතාවයන් ඔස්සේ තම ජීවිතය විග්‍රහ කරගන්නා ආකාරය අනුව අත්කරගන්නා සෝචනීය ප්‍රතිපලයන් හා සම්බන්ධ සිදුවීම් මාලාවක් අපුරු ලෙස මෙහි පෙළගස්වා ඇත.





මොවුන්ගේ නව අසල්වාසීන් වන්නේ හමුදා සේවයෙන් විශ්‍රාම ගිය පියෙකු, ඔහුගේ බිරිඳ සහ  තරුණ පුතා, රිකී  යන අයයි. රිකී තම වීඩියෝ කැමරාවෙන් ඔහුගේ අසල්වැසියන් වන බර්නර් සහ ජේන්ගේ විවිධ ඉරියව් ඔවුන්ට නොදැනෙන ලෙස රූපගත කරයි. ධනේෂ්වර සමාජය විසින් මිනිසුන්ගේ ජිවිත ඔවුන්ටද  නොදැනෙන ලෙස විවිධ කෝණවලින් අධ්‍යනය කර එය විනාශය කරා ගෙනයාම මෙමගින්  සංකේතවත් කරන්නේ ඉතා අපුරු ලෙසය.

සුළඟට අසුවී වරෙක ඉහලට ගසාගෙන ගොස් නැවත පොළවට පැමිණ නැවතත් ඉහල යන පොලිතින් බෑගයක් නොදන්නා තැනකට පාවී  යයි. රිකී  විසින් රුපගතකරනලද වීඩියෝවක මෙසේ පොලිතින් බෑගයක්  චලනය වන ඉතා අලංකාර දර්ශනයක් කිහිප විටකදීම පෙන්වයි. පොලිතින් බෑගය  නතරවන තැන එය නොදනී, සුළඟ දන්නවා දැයි  අපි නොදනිමු. වීඩියෝ කැමරාව අතින්  ගෙන බර්නම් පවුල පසුපස එන මෙම තරුණයා ඔවුන්ගේ ව්‍යසනය සඳහා හේතුවන සමාජ වටපිටාව සංකේතවත් කරන බව සිතීම සාධාරණිකරණය කල හැකිය. එසේම මෙම විපරිත සමාජය තුල වෙසෙන සාමාන්‍ය පවුලක ඉරණම සුළඟට අසුවූ පොලිතින් උරයට සිදුවන දෙයම නොවේද?








බර්නම්ගේ බිරිඳ කැරොලින් බෞතික වස්තුන් සහ මුදල් තම ජීවිතය ලෙස දකින අතර දියණිය ජේන් නව යොවුන් තරුණියක ලෙස තම අභිමතය පරිදි තම නිවැරදී යයි සිතන මායාවක් පසුපස දිව යයි. නව යොවුන් වියේ තරුණියක තම දෙමාපියන් සමග ඇති සම්බන්ධතාවය  දුරස් වීමෙන් ඇතිවන සියලු ගැටළු වලට ජේන්ට  මුහුණ දීමට සිදුවේ.

විටෙක යථාර්තවාදී ලෙස ජීවිතය දකින නමුත් අවිඥානික විධානයන් අතර මන්මුලාවන බර්නම් අප එදිනෙදා ජීවිතයේදී දකින දර්ශීය චරිතයකි.

විවාහ ජීවිතය තුල  අධ්‍යාත්මික සම්බන්ධතා මෙන්ම ලිංගික සම්බන්ධතාද බිඳ වැටුණු දින තව දුරටත් එම විහාහය නොපවතින අතර එම බිඳ වැටීම දරාගත නොහැකිව ගරා  වැටෙන අපේම සහෘදයන්ගේ කතාව මෙයම වේ. ධනය බලය කෙරේ සරල වූ ආශාවන් ඇති බර්නම් බිරිඳ සහ දරුවා සමග සතුටින් ජිවත් වීමට උත්සහ දරන පුද්ගලයෙකි.

මර්ජුවානා  වලට ඇබ්බැහි වූ රිකි සමඟ පරිණත  බර්නම් සම්බන්ධතා පවත්වන්නේ තම සිත් තැවුල සංසිඳුවා ගැනීමට මර්ජුවනා වල පහස ලැබිමටය. රිකිගේ පියා  විසින් බර්නම් වෙඩි තබා මරා දමන්නේ රිකි හා බර්නම් සමලිංගිකයන් බවට ඇති කරන්නා වැරදි වැටහීම මතය. කොතරම් චිත්ත ධර්යය හා අත්දැකීම් තිබුනද සිත් පිත් නැති බාහිර බලවේග වල ගොදුරක් ලෙස ඔහු අවසානයේ අවාසනාවන්ත ලෙස මිය යයි. එක අතකින් තරාතිරම නොබලා ඇතිකරගන්නා අනවශ්‍ය සම්බන්ධයට බර්නම් දඬුවම් විඳින අතර අනෙක් අතට සමාජ සම්බන්ධතා පිලිබඳ අනවබෝධයෙන් ජිවත් වන, මිනිස් ජීවිතයක වටිනාකම තුට්ටුවකට මායිම නොකරන තවත් මිනිසෙකුගේ ගොදුරක් ලෙස ඔහු මිය යයි.


තම පවුලේ සමගිය තහවුරු කරගැනීමට බර්නම් අසීමිත වෙහෙසක් දරයි. එහෙත් බිරිඳකගේ සහය නොලැබෙන විට සියලු උත්සාහයන් සද්ධන්ත අලියෙකුගේ පයට පෑගෙන බෙලි කටුවක් සේ කුඩු පට්ටම් වී යයි. සියලු අසල වැසියන්ට හද පිරි සතුටින් ආමන්ත්‍රණය කරන බර්නම්ගේ බිරිඳ කැරොලින් තම ස්වාමියා කෙරෙහි නිවස තුලදී පයට පෑගෙන වැලි කැටයක් තරමට හෝ සැලකිල්ලක් නොදක්වයි. සමාජයේ අභ්‍යන්තර හරය අමතක කොට බාහිර ඔපය සියලුදේට  ඉහලින් තබා සින්තටික් ලෝකයක ජිවත්වන අතරතුර තම ස්වාමිය මෙන්ම වඩාත් වැදගත් ව තරුණ දියණිය යක්ෂයා විසින් ගිලගෙන හමාරය. අවසානයේ ඇයගේ කලකිරීම හේතුවෙන්ම යම් සාධනීය මට්ටමකට ඇය  ලඟා වන නමුත් ඒ වන විට බර්නම් මියගොසින්ය, දියණිය රිකි හා යාමට මගට බස හමාරය.








සංස්කෘතික බැදීම් සහ නීති තුල යහපත සමාජයක් පවත්වා ගැනීමේ දුෂ්කර කාර්යය ජය ගැනීමට කොතරම් දැනුම් සහ අත්දැකීම් සම්භාරයක්  අවශ්‍යදැයි  යන ගැටලුව අප අපගෙන්ම අසා  ගතයුතු කාලය අද මිස හෙට නොවිය යුතුය. බර්නම් බිරිඳගෙන් ලබන පහස තම දියණියගේ මිතුරියගෙන් ලාබා ගැනිමට අවිඥානිකම පෙළඹේ. මානසික සහනය මර්ජුවානා  වලින් ලබා ගැනීමට උත්සහ දරයි.සමාජ ආශ්‍රය නොඅඩුව ඇති අත්දැකීම් බහුල තලතුනා  මිනිසෙකු උවද ලේ ඇට මස් නහර තෙක් කුඩු පට්ටම් කරන්නට තම ආදරණිය බිරිඳ සහ දරුවන්ගේ ආදරය නොලැබීම සමත්වන බව මිහිපිට සිටින කොපමණ බිරින්දෑවරුන් සහ කොපමණ දරුවන් ප්‍රමානයක් අවබෝධ කරගෙන ඇත්දැයි කවර කෙනෙකුට නම් කිව හැකිද? තමන් කෙලෙසන්නට උත්සහ කරන්නේ මිනිපෙර කිසිදිනෙක පුරුෂයෙකු සමග යහන ගත නොවූ තම දියණිය වැනිම නව යොවුන් වියේ තරුණියක බව දැනගනිමත් සමගම ඔහු එම අදහස අතහැර දැමීමට තරම් උසස් ගතිගුණ ඇත්තෙකු වේ.

පවූලක මවගේ සැබෑ  කාර්යභාරය බිඳ වැටුණු විට මුළු සමාජයම අගාධය දෙසට ඍජුවම යොමු වීම ලංකේය, පෙරදිග හෝ අපරදිග යන නාම  විශේෂණ වලින් වැළක්විය නොහැකි අපේ මව්වරුන්ද අවබෝධ කරගතයුතුය. මවගේ සුභවාදී දායකත්වය උපරිම අයුරින් ස්වාමි පුරුෂයාට නොලැබීම මෙහි මූලාරම්භය වන අතර මව, තම රැකියාව සහ උපයන ධනයේ වටිනාකම දරුවන් සහ ස්වාමි පුරුෂයාට වඩා වැඩියි සිතීම මෙහි උච්චතම අවස්ථාවයි. කැරොලින්ගේ ඇස්  පනා පිට සිදුවන ව්‍යසනය තවත් පවූලක සිදු වන්නේ මව විදේශ ගතවූ දිනෙකය. දශක එකහමාරකට පෙර එක්සත් ජනපදයේ මධ්‍යම පන්තික පවුලේ ශෝකාන්තය American  Beauty වන සේම ලංකේය මධ්‍යම පන්තික පවුලේ අද දවසේ ශෝකන්තයද මෙයම නොවේද?


American Beauty
Poster image of a woman's abdomen with her hand holding a rose against it.
Theatrical release poster
Directed bySam Mendes
Produced byBruce Cohen
Dan Jinks
Written byAlan Ball
StarringKevin Spacey
Annette Bening
Thora Birch
Allison Janney
Peter Gallagher
Chris Cooper
Music byThomas Newman
CinematographyConrad Hall
Editing byTariq Anwar
Christopher Greenbury
StudioJinks/Cohen Company
Distributed byDreamWorks Pictures
Release dates
  • September 8, 1999(Los Angeles premiere)
  • September 17, 1999(United States, limited)
Running time121 minutes
CountryUnited States
LanguageEnglish
Budget$15 million
Box office$356,296,601[1]















No comments:

Post a Comment