Saturday, March 15, 2014

පොළවේ නොගෑවුණු දෙපය- කෙටි කතාව (8)

පොළවේ නොගෑවුණු  දෙපය





සියළු දෙනාම ඇසිපිය නොහෙලා ඒ දෙස බලා සිටියෝය, කහ පාට සහ කළු පාට ඇල ඉරි සහිත අඟල් හතරක් පමණ පළලින් යුත් පොලිතීන් පටි වලට පිටතින් ඔවුන් සියලු දෙනා කම්මුල් වලට අත් වලින් මුක්කු ගසා ගෙන ඒ දෙස බලා සිටියෝය. කිසිවෙකු කිසිවක් කතා නොකළේය. වැඩිහිටියන්ගේ කකුල් අතරින් රිංගා ඉදිරිය පැමිණීමට උත්සහා දැරූ කොලු ගැටයන්ගේ කන් මිරිකා, ටොකු ඇන තර්ජනාත්මක බැලුම් හෙලා ආපසු හරවා යවන ලදී. ටික වේලාවකින් කොලු ගැටයන් තරමක් ඈතින් තිබු ගස් වල අතු වලට පමණක් නොව අගිස්සට ද නැග ඒ දෙස බලා සිටියේය. දවස් දහයකට පෙර ඔවුන් වල දැමු මිනිය නැවතත් පොලිස් කම්කරුවෝ  ගොඩට ගත්තෝය. පොලිතීන් වළල්ලට ඇතුලතින් සිටි පොලිස් නිලධාරින්ද ගොඩට ගනිමින් තිබු මිනී පෙට්ටිය දෙස බලාගෙන සිටියෝය. වලෙන් ගොඩට ගත් මිනී පෙට්ටිය මෙතෙක් ගොඩට දැමූ පස්ගොඩ මත තබා හහෙස්ත්‍රාත් තුමියගේ විධානයෙන් ඔවුන් විවෘත කළේය. ඒ සමගම සුළඟ හමන දිශාවට ප්‍රති විරුද්ධ දිශාවේ සිටි සියලු දෙනා තමා අත තිබු ලේන්සු වලින්ද, එසේ නොමැති වුවන් කලවා නිරාවරණය කරමින් තම සරමෙන්ද, කිසිවක් කර කියා ගත නොහැකි වුවන් තම දෑත් වලින්ද නාසය ආවරණය කර ගත්තේය. එය විවෘත කරනවාත් සමගම මෙතෙක් නොසිටි නිල මැසි රංචුවක් එය වට කර ගත්හ. මිනිස් සිරුරක හැඩයේ රබර් බැලුනයක් මෙන් ඉදමි විකෘති වී තිබු එම ඕජස් ගලන මල සිරුර සේවකයන් තිදෙනෙකු ඔසවා අසල තිබු ට්‍රොලියේ ඇලුමිනියම් තහඩුව මත තබන ලදී. අධිකරන වෙෙද්‍යවරයා සහ තම සාරි පොටින් නහය වසා ගත් මහේස්ත්‍රාත් තුමිය පිළිකුල් සහගත හැඟීමෙන් තරමක් ලංවී එය දෙස බලා සිටියෝය.

"මේ රෙදි අයින් කරලා පොලිතින් වලින් ඔතල සීල් කරන්න" ඇය  කීවාය.

පොලිතීන් වලින් ද  එය වටා සෙලෝටේප් පටි වලින් ඔතන ලද එම සිරුර ගිලන් රථයට ඇතුළු කරන ලදී.

"මේ පෙට්ටිය වලට දාලා වල වහල දාන්න" කියා අසල සිටි පොලිස් නිලධාරීන් රොක් වී සිටි පිරිසට කිවේය.

"කොහෙද මේක ගෙනියන්නේ" කියා වල වැසීමට මුලින්ම ඉදිරිපත් වූ වයස අවුරුදු හතලිහක පමණ හැඩි දැඩි මිනිසා තමා අසලම සවලක් අතින් ගත් බුද්ධිමත් පෙනුමක් තිබු තැනැත්තාගෙන් ඇසිය.

"කරාපිටියට"

අධිකරණ වෙෙද්‍යවරයා අසලටම වී සියල්ල දෙස බලා  සිටි පාලිතගේ දෑස් වලින් වැටුණු කඳුළු ඔහු අතින් පිසදා ගත්තේය.

පාලිත නිවසට පැමිණියේ ගුවන් තොටුපල කුලී මෝටර් රථයකිනි. අතුරු මාර්ගයේ සිට තම නිවසට යන පාර දෙපස කිසිදු හිඩැසක් නොතබා අඩි සියයක පමණ දුර සුදු පැහැති අවමංගල සමිති වල බැනර් වලින් සරසා තිබිණ. මෝටර් රථය නිවස අසල නතර කරන විට මාර්ගයේ ගමන් ගත් සියලු දෙනාද, මිඳුලේ සිටි අයද නිසොල්මන්ව ඔහු දෙස බලා ගෙන සිටියෝය. රථයෙන් බසින විට ඔහු අත තිබු බෑගය අසල සිටි වයසක පුග්ගලයෙකු කිසිවක් නොකියාම ඉල්ලා ගත්තේය.

ඔහු නිවසට ගොඩවත්ම

"අනේ පාලිත බලන්ඩකෝ රෝසි කරගත්ත දේ" කියා ඔහුගේ බිරිඳ විලාප දෙමින් ඔහුව බදා ගත්තේය. ඇයද වත්තම කරගෙන ඔහු සාලය මැද නිසොල්මන්ව සිටි  සුරූපී සොළොස් වියැති තම දියනියේගේ මෘත ශරීරය දෙසට ලං විය. දරදඬු වී තිබු ඇයගේ නළල ඔහු සිප ගත්තේය, එවිට පුයර දමා තිබුණු මුහුණේ සලකුණු ඉතිරි කරමින් ඔහුගේ කඳුළු කැට කිහිපයක් සුදු පැහැති වෙල්වට් රෙද්දෙහි සැඟව ගියේය. ඔහු තම බිරිඳව  වත්තම් කරගෙන ගෙතුලට ගියේය, කාමරයේ දොර වසා දමා,

"මොනාද සිද්ධ වුණේ" කියා ඇසීය

"රෝසි ස්කූල් වෑන් එකේ ඩ්‍රයිවර් එක්ක යාලු වෙලා ඉඳල තියෙන්නේ, දෙන්න එකට ගත්ත ෆොටෝ ෆොනේ එකේ තිබ්බා, ඒකේ මහ නරක ඒවත් තිබ්බා, ෆොනේ එක විජේලතා ටීචර්ට අහුවෙලා ප්‍රින්සිපල්ට දීලා , පෙරේදාට ඉස්සෙල්ලා දා  උදේ මට ඉස්කෝලෙට එන්න කියල පණිවිඩයක් එවල තිබ්බා, මම ගියාම තමයි ෆෝන් එක මට දුන්නේ. රෝසිට හොඳටම අවවාද කරා, එයා පොරොන්දු උනා සම්බන්ධය නතර කරනවා කියල"

"ඔයත් බැන්නද ළමයට"

"නෑ මම හිත රිදෙන්න මොකුත් කිව්වේ නෑ, හැබැයි දුවගේ හිත ගොඩක් පෑරිල තිබුණේ, පෙරදා රෑ දොළහට විතර ආවා මගේ කාමරේට, ඇවිල්ල කිව්වා"

"අම්මේ මට නින්ද යන්නේ නෑ  කියල"

මම කිව්වා එහෙනං මගේ කාමරේ නිදිය ගන්න කියල, මම තේ එකක් හදල දුන්නම එකත් බීලා එයාගේ කාමරේටම ගියා.

මම උදේ නැගිටලා කුස්සියට යනකොට තමයි දැක්කේ, කෑම කාමරේ උඩ තියෙන බාල්කෙ කඹේ කින් එල්ලිලා ඉන්නවා"

"ඉතිං ඔයාට රෑ මොකක් වත් සද්ධයක් වත් ඇහුනේ නැද්ද?"

"නෑ අනේ මම ඔෆිස් එකේ වැඩ වගයකුත් ගෙදර ගෙනල්ලා කර කර හිටියේ, මට ඊට පස්සේ හොඳට නින්ද ගියා "

"මරණ පරීක්ෂණයේදී මොකක්ද කිව්වේ?"

"විශේෂ දෙයක් නෑ, හැබැයි රෝසි ගැණියෙක් වෙලා ඉඳල තියෙන්නේ "

"එයා ප්‍රෙග්නන්ට්ද ? "

" නෑ "

ඒ වන විට අඳුර වැටි තිබුනද නිවසද මින්දුලේ තාවකාලිකව අටවා ප්ලාස්ටික් පුටු දමා තිබු ස්ථානද මිනිසුන්ගෙන් පිරි පැවතිණ. රාත්‍රී එකොළහ පමණ වන විට තරමක් සෙනග අඩුවිය, පාලිත මිඳූලේ කාඩ් සෙල්ලම් කරමින් සිටි තම අසල්වාසීන් අසලින් හිඳ ගත්තේය.

"පාලිත මහත්තයා පිටත් උනේ කීයටද?" කාඩ් සෙල්ලම දෙස බලාගෙන සිටි අයෙක් ඇසීය.

"මම ඉතාලියෙන් එනකොට පාන්දර දෙකයි "

"යන්නේ කවදද?"

"හත් දවසේ දානේ ඉවර වෙලා තමයි යන්නේ?, දැන්නං රට හිටියා ඇති වගේ, ගිහිල්ලා පුළුවන් තරං ඉක්මනට ආයේ  එනවා "

"අපි හෙට ඉස්කෝලේ ළඟ පිකට් එකක් කරනවා, ප්‍රින්සිපල් මාරු කරන්න කියලා" එතනට එකතු වූ පාලිතගේ බාල සොහොයුරා කිවේය.

"ඒක කරන්න එපා, ප්‍රින්සිපල් වැරදිත් නෑ, දුව එල්ලුනාට එයා මොනා කරන්නද?"

සියලු දෙනාගේ සෝ සුසුම් මැද රෝසිගේ දේහය  වලලා දමන ලදී. සත් දවසේ දානය අවසන් වී හවස් වරුවේ පාලිත තම බෑගයට රැගෙන ආ කමිස කලිසම් කිහිපය අසුරන අතරතුර,

" පාලිත ඔයා දැන් රට හිටියා ඇති මෙහෙට එන්න, මට තනියම ඉන්න බෑ දැන්, පොඩි දුවත් ලබන අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගේ කරනවනේ"

"ඔව් මම එන්න තමයි හිතා ගත්තේ, ඒත් අස්වෙලා එන්න මාස හතරක් වත් යනවා"

පසු දින ඔහු ගුවන් තොටුපල කුලී රථයක් ගෙන්වා ගෙන පිටත් වීමට සුදානම් විය. බිරිඳ කිසි දවසක නොවූ ලෙස හඬා වැලපෙන්නට විය. කුඩා දියණිය සිපගත් ඔහු

"තාත්තා ඉක්ක්මනට එනවා දුවේ "කියා කිවේය.

ඔහු මෝටර් රථයට නැගී පිටත්ව ගියේය.

"සර් එයාර් පොර්ට් එකට ආවා" කියා රථයේ රියදුරා ඔහුට කතා කරන විට පාලිත සිටියේ තද නින්දේය.

"අපි ආපහු යං"

"සර් මේ එයාර් පොර්ට් එක"

"මම දන්නවා, තමුසෙට මම සල්ලි ගෙවනවා බය වෙන්න එපා අපි යමු ආපහු"

රථය නැවතත් පැමිණි මග දිගේ ගමන් කළේය. ඔතනින් දකුනට දාලා ඔය තියෙන ඔෆිස් එක ලඟින් නතර කරන්න. මෝටර් රථය රියදුරා  නතර කිරීමට පෙර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මග හරස් කොට නතර කළේය. ඔහු කුලිය ගෙවා මෝටර් රථය පිටත් කළේය.

"මට ඒ එස් පී මහත්තයා හම්බ වෙන්න ඕනි" පාලිත අසල සිටි පොලිස් නිලධාරියාට කිවේය.

"ඇපොයින්මන්ට් එකක් තියෙනවද?"

"නෑ මම මහත්තයාගේ යාලුවෙක්, පාලිත සමරවික්‍රම  ඇවිල්ලා ඉන්නවා කියන්න, පුද්ගලික වැඩකට "

කාර්යාලයේ කොරිඩෝව දිගේ ගමන් කල ඔහු මොහොතකින් නැවත පැමිණියේය.

"ඒ එස් පී මහත්තයා සර්ට එන්න කිව්වා"

පොලිස් නිලධාරියා පසු පසින් ගමන් කළ ඔහු දෙපස අර්ධයක්  විදුරු වලින් ආවරණය කර තිබු කාර්යාල එකිනෙකින් පසු කළේය. තම සෙවනැල්ල ඒවා තුල අපැහැදිලි ලෙස  දිස් වී, කාර්යාල තුල සිටින පොලිස් කාන්තාවන් සහ නිලධාරීන් සමග මුසු වී නැවත නොපෙනී ගියේය. එය තවත් විදුරුවක නැවත දිස් විය, ඒ අතරට ඉදිරියෙන් ගමන් කරන නිලධාරියාගේ ප්‍රතිබිම්භයද වරෙක එකතු විය. කාමරයට මුලින් ඇතුළු වූ පොලිස් නිලධාරියා ආචාර කර  පිටවී ගියේය.පාලිත ඔහු ඉදිරියේ අසුන්ගත්තේය.

"කවදද මචං ආයේ යන්නේ " පාලිත මේසය දෙස බලාගෙන සිටියේය, නැවතත්,

"මටත් හිතා ගන්න බෑ  මචං වෙච්ච දේ, ඒත් මොනා කරන්නද අපිට හිත හදා ගන්න වෙනවනේ" ඔහු තම පුටුවෙන් නික්ම විත් පාලිතගේ පිටට තට්ටු කළේය.

"මට දුවගේ මරණේ ගැන සැකයක් තියෙනවා" එක එල්ලේම ඔහුගේ මුහුණ දෙස බලාගෙන පාලිත කිවේය.

"ඇයි පාලිත එහෙම කියන්නේ? '

"මගේ හිත කියනවා දුව මැරුණේ එල්ලිලා නෙවෙයි කියල"

"මොකක් හරි සැක හිතෙන දෙයක් තියෙනවා නම් කියපන්, අපි බලමු"

"එයා මැරුණේ සිකුරාදානේ, බ්‍රහස්පතින්දා රෑ එයා මාත් එක්ක චැට් කර කර හිටිය ගොඩක් වෙලා, එයා මාත් එක්ක හැම දෙයක්ම කියනවා, කොහොමටත් කෙල්ලෝ තාත්තලත් එක්ක හරි එකතුයිනේ, ඔය ප්‍රින්සිපල් අවවාද කරපු සිද්ධිය මට කිව්වා, ඒත් මම ඒකට කලබල උනේ නෑ, දුව ගොඩක් හිතේ අමාරුවෙන් තමයි හිටියේ, ඒත් ඒ වෙනකන් සිද්ධ වෙලා තිබුණු දේවල් නිසා මැරෙන්න තරම් හේතුවක් තිබුණේ නෑ කියලමයි මට හිතෙන්නේ, එයා අන්තිමට කිව්වේ, තාත්තා දැන් අපි ළඟ ඉන්න එනවා නම් හොඳයි කියන එක, එතකොට රෑ එකොළහට විතර ඇති "

"මචං මේක හරි බරපතල ප්‍රශ්නයක්, කිසිම සාක්ෂියක් නැතුව අපි මෙතැනදී කෙනෙක්ව සැක කරන එක, මොකද, රෑ එකොළහත් වයිෆ්ගේ කට උත්තරයට අනුව මිනිය හම්බ වෙන වෙලාව උදේ පහත්  නිසා, ඒ අතර කාලය තුල ගෙදර හිටියේ වයිෆ් ට අමතරව, පොඩි ළමයනේ, පොඩි ළමය පැත්තකට කරපුවම කෙලින්ම අපිට ඉතිරි වෙන්නේ, වයිෆ්.........."

දෙදෙනාම නිහඩව ටික වේලාවක්‌ කල්පනා කරන්නට විය.

"වරදක් නොකර පාලිත ඔයා වයිෆ්ව  සැක කරොත් පවුල් ජීවිතෙත් එතනින් කෙලවර වෙනවා මචං, එතකොට පොඩි දුව ? "

"නෑ හල්පේ මටත් තිබුන ප්‍රශ්නේ ඕකම තමයි, මම අද උදේ යන්න ලෑස්ති වෙලා මේස් එකක් නැතුව හොයනකොට, නෝනගේ ෆෝන් එක තිබ්බා ඇඳ අයිනෙන් බිමට වැටිලා පරණ සපත්තුවක් ඇතුලේ, එයා ෆෝන් එක නැති වෙලා කියල කිව්වා දවස් දෙක තුනකට ඉස්සෙල්ල, මම එක චාර්ජ් එකට ගහල ඔන් කරාම මැසේජ් කිහිපයක් ආවා, එකක තිබුණා,

 ' කෝල් එන්ට්‍රි ටික මකල මේ මැසේජ් එකත් මකන්න ' කියල, එතකොට මට පොඩි සැකයක් ආවා, ඒත් මොකුත් වැඩි පුර බලන්න උනේ නෑ, ටැක්සි එක ආවා, මම ඒ ෆෝන් එක සාක්කුවේ දාගෙන ටැක්සියට නැග්ගා"

"මේ තියෙන්නේ ඒක" ඔහු සාක්කුවෙන් එලියට ගත්තේ සුදු පැහැති ඇනරොයිඩ් දුරකතනයකි.

"මම ටැක්සියේ යනගමන් අන්තිමට ගත්ත කෝල් මොනාද කියල බැලුවා"

"ඉතිං  ? "

" බ්‍රහස්පතින්දා රෑ දොළහෙන් පස්සේ හැම පැයකට විනාඩි හතලිස් පහකටම සැරයක් මේකට කෝල් ඇවිල්ලා තියෙනවා, මේකෙන් කෝල් කරලත් තියෙනවා, එකම නම්බර් එකකට"

පොලිස් නිලධාරියා ඔහුගෙන් දුරකථනය උදුරා ගත්තේය,

"අන්තිම කෝල් එක මේකෙන් දීල තියෙන්නේ, සිකුරාදා උදේ හතරයි, හතලිස් අටට" ඔහු එය පරික්ෂා  කරමින් කිවේය.

"මචං එතකොට මුළු රෑම ගෑණි ඇහැරලානේ ඉඳල තියෙන්නේ"

"පාලිත මේක පැමිණිල්ලක් විදිහට ලියමු"

ඔහු මේසය මත තිබු සීනුව නාද  කළේය.

"අම්මේ මට නින්ද යන්නේ ණෑ" කියාගෙන ඇය ඇතුලතින් අගුලු නොදමා  තිබු කාමරයට ඇතුළු වී උළුවස්ස සම්බන්ධ  බිත්තියේම තිබු විදුලි පහනේ  ස්විචය ඔබා ඇඳ දෙසට හැරෙනවාත් සමගම ඇයගේ මුහුණට මුහුණ ගෑවෙන ආසන්නයට අඩ නිරුවතින් පැමිණි මවගේ මුහුණ යක්ෂණියක් සේ දිස්විය. ඇයගේ එක් අතක්  තරුණියගේ ගෙල දෙසට යොමු වූ අතර අනෙකෙන් කෙස් වැටිය ග්‍රහණය කර මුහුණ ඇඳ දෙසින් ස්විචය තිබු බිත්තිය පැත්තට හරවන ලදී. ඇඳෙහි සිටි ඔහු එසැනින් මුහුණ කොට්ටයකින් ආවරණය කර ගත්තේය. කපා හෙලු ගසක් මෙන් රෝසි සිහිසුන්ව බිම ඇද වැටුනාය.

ගෙලට සිරකල  තොන්ඩුව තිබු කඹයේ අනෙක් කෙළවර කෑම කාමරයේ බාල්කයට උඩින් විසිකර, ඔවුන් දෙදෙනාම එකවර එම කෙළවර පහලට ඇද්දෝය. රාත්‍රී නිදි ඇඳුමින් සැරසී සිටි ඇයගේ දෙපා පොළවෙන් ඉහලට එසවෙත්ම සියුම් කෙඳිරිලි හඬක් පමණක් නික්මිණ.

ඔහු නිවසට පැමිණෙන විට අසල්වැසි නිවසේ සිට දුවගෙන ආ  සිඟිති දියණිය,

"තාත්තා ඔයා රට ගිහිල්ලා මෙච්චර ඉක්මනට ආවද" කියා ඇසීය.

ඇය වඩාගත් ඔහු කඳුළු පිරි දෙනෙතින් ඇයව තුරුළු කර ගත්තේය.

"ඇයි තාත්තේ අම්මවයි, පොඩි බාප්පවයි පොලිසියෙන් එක්කරගෙන ගියේ "


- ජානක ගුණතිලක



No comments:

Post a Comment