Showing posts with label ජාත්‍යන්තර සිනමාව. Show all posts
Showing posts with label ජාත්‍යන්තර සිනමාව. Show all posts

Tuesday, January 7, 2014

American Beauty සහ අපි



අප හඳුනාගත් සහ වසර දහස් ගණනක් මිනිස් වර්ගයා වටා ගොඩනගාගත් සංස්කෘතික රාමුව සහ සරල නීති පද්ධතිය බිඳ වැටුණු දින, නැවත සිදුවන මිනිසාගේ මංමුලා වීම මොනවට පිළිඹිබු කරන අපුරු සිනමා නිර්මාණයක් ලෙස American Beauty හඳුන්වා  දිය හැකිය.

ජිවිත කාලයක් තුල ගොඩ නගාගත්  සියලු හරයන් මොහොතකින් තම තුලින්ම පැමිණෙන යක්ෂයකු ගිලගන්න ආකාරයත් සවිඥානිකක පසු විග්‍රහයේදී ඇතිවන සිත් තැවුලෙහි යථාර්තය මිහිපිට ඇති සියලු සංස්කෘතීන් හට  පොදු බව සිනමා පටය තුල මැනවින් විස්තතර වේ.

එක්සත් ජනපදයේ මධ්‍යම පන්තික පවුලක් වටා  ගෙතුනු කතාවක් මෙම සිනමා පටයෙන් ඉදිරිපත් කරයි. අවුරුදු 42 ක් වයසැති ලෙස්ටර් බර්නම් නම් සමාජයේ පිළිගත් රැකියාවක නියුතු එක් දරු පියෙකු, ඔහුගේ බිරිඳ සහ නව යොවුන් වියෙහි පසුවන ඔවුන්ගේ දියණිය මෙහි ප්‍රධාන භූමිකාව රඟ  දක්වයි. සමාජීය, සංස්කෘතික සහ මනෝ  විද්‍යාත්මක ලෙස සමාජීය සම්බන්ධතාවයන් ඔස්සේ තම ජීවිතය විග්‍රහ කරගන්නා ආකාරය අනුව අත්කරගන්නා සෝචනීය ප්‍රතිපලයන් හා සම්බන්ධ සිදුවීම් මාලාවක් අපුරු ලෙස මෙහි පෙළගස්වා ඇත.





මොවුන්ගේ නව අසල්වාසීන් වන්නේ හමුදා සේවයෙන් විශ්‍රාම ගිය පියෙකු, ඔහුගේ බිරිඳ සහ  තරුණ පුතා, රිකී  යන අයයි. රිකී තම වීඩියෝ කැමරාවෙන් ඔහුගේ අසල්වැසියන් වන බර්නර් සහ ජේන්ගේ විවිධ ඉරියව් ඔවුන්ට නොදැනෙන ලෙස රූපගත කරයි. ධනේෂ්වර සමාජය විසින් මිනිසුන්ගේ ජිවිත ඔවුන්ටද  නොදැනෙන ලෙස විවිධ කෝණවලින් අධ්‍යනය කර එය විනාශය කරා ගෙනයාම මෙමගින්  සංකේතවත් කරන්නේ ඉතා අපුරු ලෙසය.

සුළඟට අසුවී වරෙක ඉහලට ගසාගෙන ගොස් නැවත පොළවට පැමිණ නැවතත් ඉහල යන පොලිතින් බෑගයක් නොදන්නා තැනකට පාවී  යයි. රිකී  විසින් රුපගතකරනලද වීඩියෝවක මෙසේ පොලිතින් බෑගයක්  චලනය වන ඉතා අලංකාර දර්ශනයක් කිහිප විටකදීම පෙන්වයි. පොලිතින් බෑගය  නතරවන තැන එය නොදනී, සුළඟ දන්නවා දැයි  අපි නොදනිමු. වීඩියෝ කැමරාව අතින්  ගෙන බර්නම් පවුල පසුපස එන මෙම තරුණයා ඔවුන්ගේ ව්‍යසනය සඳහා හේතුවන සමාජ වටපිටාව සංකේතවත් කරන බව සිතීම සාධාරණිකරණය කල හැකිය. එසේම මෙම විපරිත සමාජය තුල වෙසෙන සාමාන්‍ය පවුලක ඉරණම සුළඟට අසුවූ පොලිතින් උරයට සිදුවන දෙයම නොවේද?








බර්නම්ගේ බිරිඳ කැරොලින් බෞතික වස්තුන් සහ මුදල් තම ජීවිතය ලෙස දකින අතර දියණිය ජේන් නව යොවුන් තරුණියක ලෙස තම අභිමතය පරිදි තම නිවැරදී යයි සිතන මායාවක් පසුපස දිව යයි. නව යොවුන් වියේ තරුණියක තම දෙමාපියන් සමග ඇති සම්බන්ධතාවය  දුරස් වීමෙන් ඇතිවන සියලු ගැටළු වලට ජේන්ට  මුහුණ දීමට සිදුවේ.

විටෙක යථාර්තවාදී ලෙස ජීවිතය දකින නමුත් අවිඥානික විධානයන් අතර මන්මුලාවන බර්නම් අප එදිනෙදා ජීවිතයේදී දකින දර්ශීය චරිතයකි.

විවාහ ජීවිතය තුල  අධ්‍යාත්මික සම්බන්ධතා මෙන්ම ලිංගික සම්බන්ධතාද බිඳ වැටුණු දින තව දුරටත් එම විහාහය නොපවතින අතර එම බිඳ වැටීම දරාගත නොහැකිව ගරා  වැටෙන අපේම සහෘදයන්ගේ කතාව මෙයම වේ. ධනය බලය කෙරේ සරල වූ ආශාවන් ඇති බර්නම් බිරිඳ සහ දරුවා සමග සතුටින් ජිවත් වීමට උත්සහ දරන පුද්ගලයෙකි.

මර්ජුවානා  වලට ඇබ්බැහි වූ රිකි සමඟ පරිණත  බර්නම් සම්බන්ධතා පවත්වන්නේ තම සිත් තැවුල සංසිඳුවා ගැනීමට මර්ජුවනා වල පහස ලැබිමටය. රිකිගේ පියා  විසින් බර්නම් වෙඩි තබා මරා දමන්නේ රිකි හා බර්නම් සමලිංගිකයන් බවට ඇති කරන්නා වැරදි වැටහීම මතය. කොතරම් චිත්ත ධර්යය හා අත්දැකීම් තිබුනද සිත් පිත් නැති බාහිර බලවේග වල ගොදුරක් ලෙස ඔහු අවසානයේ අවාසනාවන්ත ලෙස මිය යයි. එක අතකින් තරාතිරම නොබලා ඇතිකරගන්නා අනවශ්‍ය සම්බන්ධයට බර්නම් දඬුවම් විඳින අතර අනෙක් අතට සමාජ සම්බන්ධතා පිලිබඳ අනවබෝධයෙන් ජිවත් වන, මිනිස් ජීවිතයක වටිනාකම තුට්ටුවකට මායිම නොකරන තවත් මිනිසෙකුගේ ගොදුරක් ලෙස ඔහු මිය යයි.


තම පවුලේ සමගිය තහවුරු කරගැනීමට බර්නම් අසීමිත වෙහෙසක් දරයි. එහෙත් බිරිඳකගේ සහය නොලැබෙන විට සියලු උත්සාහයන් සද්ධන්ත අලියෙකුගේ පයට පෑගෙන බෙලි කටුවක් සේ කුඩු පට්ටම් වී යයි. සියලු අසල වැසියන්ට හද පිරි සතුටින් ආමන්ත්‍රණය කරන බර්නම්ගේ බිරිඳ කැරොලින් තම ස්වාමියා කෙරෙහි නිවස තුලදී පයට පෑගෙන වැලි කැටයක් තරමට හෝ සැලකිල්ලක් නොදක්වයි. සමාජයේ අභ්‍යන්තර හරය අමතක කොට බාහිර ඔපය සියලුදේට  ඉහලින් තබා සින්තටික් ලෝකයක ජිවත්වන අතරතුර තම ස්වාමිය මෙන්ම වඩාත් වැදගත් ව තරුණ දියණිය යක්ෂයා විසින් ගිලගෙන හමාරය. අවසානයේ ඇයගේ කලකිරීම හේතුවෙන්ම යම් සාධනීය මට්ටමකට ඇය  ලඟා වන නමුත් ඒ වන විට බර්නම් මියගොසින්ය, දියණිය රිකි හා යාමට මගට බස හමාරය.








සංස්කෘතික බැදීම් සහ නීති තුල යහපත සමාජයක් පවත්වා ගැනීමේ දුෂ්කර කාර්යය ජය ගැනීමට කොතරම් දැනුම් සහ අත්දැකීම් සම්භාරයක්  අවශ්‍යදැයි  යන ගැටලුව අප අපගෙන්ම අසා  ගතයුතු කාලය අද මිස හෙට නොවිය යුතුය. බර්නම් බිරිඳගෙන් ලබන පහස තම දියණියගේ මිතුරියගෙන් ලාබා ගැනිමට අවිඥානිකම පෙළඹේ. මානසික සහනය මර්ජුවානා  වලින් ලබා ගැනීමට උත්සහ දරයි.සමාජ ආශ්‍රය නොඅඩුව ඇති අත්දැකීම් බහුල තලතුනා  මිනිසෙකු උවද ලේ ඇට මස් නහර තෙක් කුඩු පට්ටම් කරන්නට තම ආදරණිය බිරිඳ සහ දරුවන්ගේ ආදරය නොලැබීම සමත්වන බව මිහිපිට සිටින කොපමණ බිරින්දෑවරුන් සහ කොපමණ දරුවන් ප්‍රමානයක් අවබෝධ කරගෙන ඇත්දැයි කවර කෙනෙකුට නම් කිව හැකිද? තමන් කෙලෙසන්නට උත්සහ කරන්නේ මිනිපෙර කිසිදිනෙක පුරුෂයෙකු සමග යහන ගත නොවූ තම දියණිය වැනිම නව යොවුන් වියේ තරුණියක බව දැනගනිමත් සමගම ඔහු එම අදහස අතහැර දැමීමට තරම් උසස් ගතිගුණ ඇත්තෙකු වේ.

පවූලක මවගේ සැබෑ  කාර්යභාරය බිඳ වැටුණු විට මුළු සමාජයම අගාධය දෙසට ඍජුවම යොමු වීම ලංකේය, පෙරදිග හෝ අපරදිග යන නාම  විශේෂණ වලින් වැළක්විය නොහැකි අපේ මව්වරුන්ද අවබෝධ කරගතයුතුය. මවගේ සුභවාදී දායකත්වය උපරිම අයුරින් ස්වාමි පුරුෂයාට නොලැබීම මෙහි මූලාරම්භය වන අතර මව, තම රැකියාව සහ උපයන ධනයේ වටිනාකම දරුවන් සහ ස්වාමි පුරුෂයාට වඩා වැඩියි සිතීම මෙහි උච්චතම අවස්ථාවයි. කැරොලින්ගේ ඇස්  පනා පිට සිදුවන ව්‍යසනය තවත් පවූලක සිදු වන්නේ මව විදේශ ගතවූ දිනෙකය. දශක එකහමාරකට පෙර එක්සත් ජනපදයේ මධ්‍යම පන්තික පවුලේ ශෝකාන්තය American  Beauty වන සේම ලංකේය මධ්‍යම පන්තික පවුලේ අද දවසේ ශෝකන්තයද මෙයම නොවේද?


American Beauty
Poster image of a woman's abdomen with her hand holding a rose against it.
Theatrical release poster
Directed bySam Mendes
Produced byBruce Cohen
Dan Jinks
Written byAlan Ball
StarringKevin Spacey
Annette Bening
Thora Birch
Allison Janney
Peter Gallagher
Chris Cooper
Music byThomas Newman
CinematographyConrad Hall
Editing byTariq Anwar
Christopher Greenbury
StudioJinks/Cohen Company
Distributed byDreamWorks Pictures
Release dates
  • September 8, 1999(Los Angeles premiere)
  • September 17, 1999(United States, limited)
Running time121 minutes
CountryUnited States
LanguageEnglish
Budget$15 million
Box office$356,296,601[1]















Monday, December 16, 2013

සුසුමක අවසානය

Breathless (1960)


බ්රෙත්ලස් යන ඉංග්‍රීසි වචනයේ තේරුම හුස්ම නොගෙන හෝ හුස්ම නැතිව යන අරුතයි. ඉතාමත් උද්වේගකර අවස්ථාවක අපට එවැනි හැඟීමක් දැනේ. එබඳු අවස්ථාවක් නිරූපනය කිරීමට හුස්ම ගන්නත් අමතක වුනා වගේ යැයි අපට කියැවේ. ඒ අයුරින්ම සුසුමක අවසානය යන අරුතින් Breathless සිනමා පටයේ මුල් ප්‍රංශ නාමය ඉංගිරිසියෙන් ලියා ඇති ඇති බව විකිපීඩියාවේ සඳහන් වේ.

Breathless (French: À bout de souffle; "out of breath", or literally "at breath's end")

මෙම අරුතින් සිනමා පටයේ ගෙතී ඇති කතාවේ යටි පෙළ කියවා ගත හැකි යතුරක් අපට ලැබේ. එනම් මරණයේ රූපකය යි. සැබැවින්ම සුසුමක අවසානය ඇරඹෙන්නේ ආදරයේ පෙනහලුවලින් වීම කොතරම් ආශ්චර්යයක් ද?

පාදඩයෙකු-සොරෙකු-මිනී මරුවකු සේ ජීවිත කාලයක් ගෙවා එක්තරා දෛවෝගත දිනයක සිය සිතැඟි ආදරිය පිළිබඳ හට ගන්නා සිහිනමය බලාපොරොත්තුවක අභියස එය හඹා ගොස් ජීවිතයේ අවසානය ලඟාකර ගන්නා මිනිසෙකු ගැන කියැවෙන මෙම සිනමා පටය ප්‍රංශ නවරැල්ලේ සමාරම්භක සිනමා කෘතියක් ලෙස සැළකේ.

සිල්ලර අපරාධකරුවකු වන මිෂෙල් එක්තරා දිනක දී පැරීසියට කඩා වදින්නේ පැහැර ගත් රථයක් පදවාගෙන ප්‍රංශයේ ග්‍රාමීය පෙදෙස් පසුකරමින් පොලිස් නිලධාරියෙකු ද ඝාතනය කරමිනි. ඔහු සොයා යන්නේ පැට්රීෂියා නම් වූ නිව්යෝක් ට්රිබියුන් සඟරාව විකිණීමෙන් ජීවත් වන සුන්දර තරුණිය හමු වී ඇයගේ ආදරය ලබා ඇය සමග ඉතාලියට පැන යාමේ බලාපොරොත්තුවෙනි.

මිෂෙල් සොරකම් කරගත් රථයේ නැගී නගරය වෙත යන ගමන චමත්කාරජනක ලෙස සිනමා පටයේ දිග හැරේ. ප්‍රංශයේ හැට ගණන්වල පැවැති සමාජය ප්‍රශ්න කරන්නේ ඔහුගේ රියේ කැබි හෝලයේ තිබී හමුවන පිස්තෝලයකිනි. එම පිස්තෝලය අතට ගන්නා මිෂෙල් රිය පදවමින් ම කුඩා දරුවෙකු සේ ශබ්ද කරමින් පිස්තෝලයෙන් ව්‍යාජ ලෙස වෙඩි තබන අයුරු අනුකරනය කර පෙන්වයි. ඒ අතරතුර ඔහු සිතන දේවල් ඔහුගේ හඩින් අපට ඇසෙන්නට ද සලස්වයි. ඇත්ත වශයෙන්ම මිෂෙල් තනිවම කතා කරමින් ගමනේ යෙදේ.

l ask Patricia, yes or no,…”

"මම පැට්‍රීෂියාගෙන් අහනවා ඔව් ද නැද්ද කියා...."

ඔහුගේ සිහිනය වන්නේ පැට්‍රීෂියා කැටුව රෝමයට පළා යාමයි. එසේ ගොස් නව ජීවිතයක් ඇරඹීම ඔහුගේ බලාපොරොත්තුවයි. රොමියෝ ජුලියට් වැනි අමරණීය පෙම් යුවලක් වීමට පැට්‍රීෂියා සිහින දකින්නී මිෂෙල් ගේ ආශාවේ වස්තුව වන්නී ය.

නගරයට එන මිෂෙල් සිතූ පරිද්දෙන් කිසිවක් සිදු නොවෙයි. සිය සරාගී ආශාවන් ඉටු කර ගන්නට කිසිදු ඉඩක් නොදී ඔහුව නන්නත්තාර කරවන පැට්‍රීෂියාගේ ජීවන විලාසය නිසාවෙන් ඔහු ඉමහත් පීඩනයට පත්වන බැව් අපට දැක ගත හැකිය. කෙසේ වුව ද මිෂෙල් සහ පැට්‍රීෂීයා අතර ඇතිවන කතෝපකථනයන් විසින් වඩ වඩාත් හෙළිදරව්වට ලක්වන මිෂෙල් කෙරෙහි පැට්‍රීෂියා තුළ ප්‍රේ මයක් ඇති දැයි සිතා ගැනීමට ඇය සිදු කරන පර්යේෂණය මිෂෙල්ගේ මරණයෙන් කෙළවර වීම ස්ත්‍රියකගේ ආදරය පිළිබඳ ඇතුළාන්තය ප්‍රශ්න කරවන්නට සමත් විය හැකිය.

හැට ගණන්වල ප්‍රංශ සමාජය තුළ හට ගන්නා නිදහස්කාමී බව මෙන්ම සමාජයෙන් කැඩී බිඳී ගිය තාරුණ්‍යය ද නිරූපනය කරන මෙම චරිතයෝ තමන් කුමක් කරමින් සිටින්නේ දැයි නොදැන කිසිවක් කරමින් සිටින්නෝ ලෙස ද දැකිය හැකිය. ඔවුහු සමාජ සම්බන්ධතා තුට්ටුවකට මායිම් නොකර නිදහස්කාමී ලෙස ජීවිතය විඳිමින් සිටිනා බවක් ද පෙනේ.

අපරාධකරුවෙකු වුව ද මිෂෙල් නිරන්තරයෙන්ම උණුසුම් පුවත් දැන ගැනීමේ අටියෙන් පුවත්පත් මිළ දී ගනියි. එක්තරා තැනක දී ඔහු මිළට ගත් පුවත් පතක අවශ්‍ය දේ පමණක් බලා වහා තම සපත්තු පිස දා ගැනීමට එම පුවත්පත පාවිච්චි කරයි. පාවහන් පිස දැමීමෙන් අනතුරුව පුවත්පත කසල ලෙස බැහැර කරමින් සිය ගමනේ යෙදෙන මිෂෙල් තාරුණ්‍ය යේ සැහැල්ලුව ඕනෑවටත් වඩා වැඩියෙන් සිනමා තිරය මත පින්තාරු කරයි. අධික ලෙස දුම්වැටි උරමින් සිටින මිෂෙල්, හම්ප්‍රි බොගාට් අනුකරණයේ යෙදෙන බවට ඉඟි මතු වෙයි. සමහර විට බෝගාට් අතික්‍රමණය කරන පෞරුෂයක් හඹා යන්නේ යැයි සිතෙන තරමට මිෂෙල් අධි රංගනයක යෙදෙයි.

හැට හැත්තෑ ගණන් යනු හොලිවුඩයේ ස්වර්ණමය යුගය වන අතර බ්රෙත්ලස් ප්‍රංශයේ නව රැල්ලේ ස්වර්ණමය සළකුණකි. ඇමරිකානු තරුණියක වන පැට්‍රීෂියා සෝබෝන් සරසවි වරම් ලබනා බලාපොරොත්තුවෙන් ඇමරිකානු නිව්යොර්ක් හෙරල්ඩ් ට්‍රිබියුන් (New York Herald-Tribune) පුවත් පතේ ප්‍රංශ පිටපත් සමග තම සිරුරත් විකුනමින් නොසිටීම උත්ප්‍රාසාත්මක ය. ඇය ගණිකාවක් නොවූ ව ද ඇයගේ කතාබහින් එලිවන්නේ ඇය අතිශය නිදහස්කාමී ජීවිතය අගය කරන බවයි.

නාසිස්මික මිෂෙල් නිරන්තරයෙන් තම ස්වරූපය දර්පනයෙන් නරඹයි. මුහුනේ ඉරියව් වෙනස් කරමින් සවරූපරාගයෙන් ආශක්ත වෙයි. දුම්වැටියෙන් තොර ඔහුගේ මුහුනේ පිළිබිඹුවක් සිනමා පටයේ නොදැකිය හැකි තරමට ඔහු දුම්පානය කරයි. ඔහු සහ සිගරට් අතර සම්බන්ධය කොතෙක් ද යත් මරණය අභිමුව අවසන් සුසුමේ ද සිගරට් දුම මිශ්‍රව පවතී. ජීවිතය යනු අවසානය තෙක්ම විඳිය යුත්තක් බැව් හම්ප්‍රි බොගාට් ගේ සිනමා පටයක පෝස්ටරයක් එක් තැනක දී සංඥා කරවන්නේ මිෂෙල් වෙතය.

මිෂෙල් අවසානයේ අපරාධ කරුවෙකු ලෙස පොලීසියේ වෙඩි පහරකින් මිය යයි. ඔහු ප්‍රාර්ථනා කරනා ජීවිතය කුමක් දැයි සොයා ගැනීමට දුෂ්කර වන්නේ ඔහු තරුණිය කෙරෙහි තබන විශ්වාස ය ඇය විසින් බිඳ දමා පොලීසියට තමන් පාවා දීමෙන් පසුව පොලීසිය සිය නවාතැන කරා එද්දී පළා යාමේ හැකියාව තිබියදී පවා ඔහු සිරගත වීමට තීරණයක් ගැනීමයි. මන්ද යත් ඇය ඔහුව පාවා දීමෙන් අනතුරුව මයිකල් වෙත පැමිණ ඔහු සිටිනා ස්ථානය පොලීසියට හෙලිදරවු කළෙමියි පැවසූ විට ඔහු ඇයට එරෙහි වන්නේ ද නැති නිසාවෙනි.

ඇය තමන් ඔහුට පෙම් කරන්නේ දැයි සොයා දැන ගැනීමට මේ පාවාදීම උපකාරී වූ බව පවසන්නී ඔහු අරමුණක් රහිත ව කෝපයකින් තොරව නිවීහැනහිල්ලේ ඇය සමග දොඩමලු වෙයි. ඔහු කැඳවා රහසිගත ලෙස ඉතාලියට ගෙන යාමට රියක් පැමිණි විට පවා එය ප්රතික්ෂේප කොට පොලීසියට ද භාර නොවී වෙඩි කා නසින්නේ අවසානයේ මුහුණින් ත්රිත්වාකාර ඉංගිතයන් මවා පා සිය සුරතින්ම දෑස ද වසා දමමිනි.
මෙම සිනමා පටයේ ඇති අපූර්වත්වය වන්නේ ද එහි පාදඩයා - අතේ පිච්චියක් නැති ගණිකාවන්ගේ මුදල් පවා සොරකම් කරනා තුට්ටු දෙකේ අපරාධ කෙරෙහි ආශක්ත මිෂෙල් සිය ආදරය ඉදිරියේ දරා ගන්නා උත්තර තත්වය සිත්තම් කිරීමෙනි.

මිෂෙල් පැට්රීෂියා සමග යහන්ගත වන්නට දරන ආශාව විදහා දක්වන්නට සිනමා පටයේ කාලයෙන් විශාල ප්රෙමාණයක් වැය කළ ද පැට්රීසෂියා විවිධ මිනිසුන් සමග යහන්ගතව දීන ස්ත්රියයක ලෙස දිවි ගෙවුවද ඇය කැටුව නව ජීවිතයක් ඇරඹීමේ ආශාව අත් නොහරින මයිකල් ඇයව අවසාන මොහොත දක්වා ම සිය ආදරයේ පූජනීය වස්තුව ලෙස පිළිගනී. මරණ අවස්ථාවේ අවසන් සුසුම හෙලද්දී ද මයිකල් ජීවිතය පිළිබඳ දිය හැකි අපූරු ඉඟිය කිසිදු පසුතැවිල්ලක් කැටි නොවූ ශුද්ධ වූ මුහුණින් මවා පා මිය යන්නට තරම් ශාන්ත තත්වයකට පත් වීම අතිශය උත්ප්රාිසාත්මක අවසානයකි.

මරණයේ අභිමුව මිෂෙල්ගේ මුවින් පිටවන වදන් කීපය අසා ගන්නට පැට්රී ෂියා ද ඔහු වැතිර සිටින වීදියේ කෙළවරට පොලිසියේ වෙඩික්කරුවන් සමග එකතු වන අතර ඔහු කීවේ කුමක් දැයි ඇසූ විට පොලිසියේ අය පවසන්නේ ඇය නිසාවෙන් ඔහුට ඔක්කාරයක් එන බැව් පැවසූ බවයි. එම ජුගුප්සාජනක හැඟුම කිමැයි වටහා ගත නොහැකි වන පැට්රීෂියා ඉමහත් හෘදය කැළඹීමකින් අප දෙස බලා සිට නැවත හැරී යෑමෙන් සිනමා පටය අවසන් වේ.

ජීන් ලූක් ගොඩාර්ඩ්ගේ අධ්යක්ෂණයක් වන මෙම සිනමා පටය ප්රංශ නවරැල්ලේ පුරෝගාමී සිනමා පටයක් ලෙස සැළකේ.

ආරම්භක රූප පෙලේ සිනමා ශාලාවක් ඉදිරියේ ප්රකදර්ශනය වන හම්ප්රිප බෝගාට් ගේ පෝස්ටරයක් දෙස බලා සිටින මිෂෙල් ඔහුව අනුකරණයේ සිතැඟි ඇත්තේ නිරන්තරයෙන් දුම් පානයෙන් ද පාදඩයෙකු සේ හැසිරෙමින් ද සිය චරිතය පණ පොවන්නේ ජීන් පෝල් බැල්මොන්ඩේ ය. ඔහුගේ සුරූපි පෙම්වතිය ලෙස රඟන්නේ ජීන් සෙබර්ග් ය.

හැට ගණන්වල පැරිස් නගරයේ අව්‍යාජ පිළිඹිබුවත් වයසට වඩා වැඩි චරිතයක් රඟපෑමේ අවදානමෙන් පෙලෙමින් බැල්මොන්ඩේ ඉදිරිපත් කරන අසමසම රංගනයත් සිය ජීවිතය පාවා දුන් ප්‍රේමනීය කමලාවක කෙරෙහි අවෛරී ලෙස ප්‍රතිචාර දක්වන පාදඩයෙකුගේ මරණ මංචකයේ මුහුණක් කුමක් වැනි දැයි දැක බලා ගැනීමටත් මෙම සිනමා කෘතිය නැරඹිය යුතුය.
"ඔබගේ අවසාන බලාපොරොත්තුව කුමක් ද?"

"අමරණීයත්වයට පත්ව මරණයට පත් වීමයි!"



 



 
 
 
 
 
 
 
 

සිනමා පටයේ පෝස්ටර උපුටා ගත්තේ මෙතැනින්.