Monday, January 20, 2014

ඇරබි - කෙටි කතාව (1)

ඇරබි 






- ජේම්ස් ජොයිස් 

අඳුරින් වැසීගිය  උතුරු රිච්මන් වීදිය  නිස්කලංකය . විදිය කෙලවර වු පාලුවට ගිය දෙමහල් නිවාස දෙක මැද පිහිටි චතුරශ්‍රාකාර  භුමියෙන් ඒවා අසල්වැසියන්ගෙන් වෙන්වේ. වීදියේ  අනෙකුත් නිවැසියන් අසල්වැසියන්ගේ මුහුණු  දෙස බලා සිනා නොවී සිටින්නට තරම්  ඉතා සංවර ජිවන විලාශයක් පිලිබද හොඳ අවබෝධයක් ඇති අය  වෙති.


අපගේ නිවසේ අපට පෙර පදිංචි  වී සිටි පුජකතුමා  පි‍ටුපස වු අඳුරු ගබඩා කාමරයේදී මිය ඇදුණි. කාලයක් තිස්සේ වසා තිබු කුස්සියට පිටුපසින් ඇති මෙම කාමරයට සුළං පොදක්වත්  ඇතුළු නොවේ, එය දුවිලි වලින් වැසී  ගොස්ය. මෙම කාමරය පැරණි  පුවත් පත් සඟරා වලින් අපවිත්‍රය. මේ අතරින් කඩදාසිවලින්ම කවර දමා තිබෙන ඇතුලත පි‍ටු වල කෙළවර  රෝල් වී දුර්වර්ණ වු පොත් කිහිපයක් මම සොයා ගතිමි. The Abbot, by Walter Scott, The Devout Communicant, and The Memoirs of Vidocq මෙයින් මම අවසාන පොතට වඩාත් කැමති වුයේ එහි පි‍ටු කහපාට නිසාවෙනි.නිවසට පි‍ටුපසින් ඇති කැලෑවේ  මැද ඇපල් ගසක් ඇති අතර එය වටා ඝනට වැඩුනු පඳුරු රාශියකි, මෙම කැලෑවේ ගසක් යට තිබී මම අපේ පැරණි ගෙහිමියාගේ මළකඩ කෑ බයිසිකල් පොම්පය සොයා ගත්තෙමි. මෙම  පරිත්‍යාගශීලි පුජකයා, ඔහුගේ අවසාන කැමැත්තෙන් තමා සතු සියලු මුදල් තම ආයතන වලටද ඔහුගේ නිවසේ බඩු මූට්‍ටු තම සහෝදරියටද ලියා දී තිබිණ.

ශිත සෘතුව පැමිණීමත් සමඟම  රාත්‍රී ආහාරයට පෙර අඳුර වැටේ. අප වීදියේදී මුණ ගැසෙන විට අවට නිවෙස් පාලු  ස්වභාවයක් ගනී. අපට ඉහලින් ඇති අහසේ කොටස පමණක් වෙනස් වනසුලු අලංකාර දම් පැහැයෙන්  යුක්තය. එම දම්  පැහැති පසුබිමේ විදියේ පහන් කණුද,එහි කුමන වෙලාවක හෝ කැඩී  බිමට වැටීමට සුදානමින් සිටින වීදි ලාම්පුද වේ. සීතල, අප සිරුරු වලට ඉදිකටු වලින් අනින්නාක් මෙන් දැනෙන විට අපි අපගේ සිරුරු ගිනියම් වනතෙක් සෙල්ලම් කරන්නෙමු. අපගේ ඝෝෂාව නිස්කලංක වීදියේ දෝංකාර දෙයි. මඩ  වී ඇති පාරවල් දිගේ කුඩා ගෙවල් අසලින්  දිව යන විට ඒවායේ  උඳුන් වලින්  හමන  මස් පිළිස්සෙන දුම  අපට දැනේ, තවත් විටෙක අශ්වරෝහකයෙකු අශ්වයා  පිරිසිදු කරන විට ගාංචු  වලින් නැගෙන හඬ අපට ඇසේ. 


අප නැවත වීදියට  ළඟාවන  විට මුළුතැන්ගෙයි ජනෙල් කවුළුවෙන් වැටෙන ආලෝකයෙන් අවට ප්‍රදේශයම ආලෝකමත් වී තිබිණ. මා ගෙදරට හැරෙනු මාමාට  නොපෙනිම සඳහා ගෙතුලට යනතුරු මම අඳුරු සෙවනල්ලකට  මුවා වී සිටියෙමි. මේ අතරතුර මැන්ගන්ගේ  සහෝදරිය තම සහෝදරයාට තේ පානය සඳහා හඬ ගැසීමට  ඇයගේ නිවසේ දොරකඩට  පැමිණෙන  අයුරු අප සේවනැල්ලට මුවාවී බලා සිටියෙමු. ඇය  නිවස  ඉදිරිපිට නවතින තුරු හෝ නැවත නිවස තුලට යනතෙක් හෝ අපි බලා සිටියෙමු. අපි මුවා වී සිටි අඳුරු සෙවනැල්ලෙන්  පිටතට පැමිණ ඔවුන්ගේ නිවස වෙත පියවර තැබුවෙමු. ඇය  අප එනතුරු බලා හිදී. ඇයගේ ශරීරයේ සියලු හැඩතල   පිටුපස අඩවන් වූ දොරෙන් වැටෙන ආලෝකයෙන් විස්තර වෙයි. ඇයගේ සහෝදරයා නිතර  ඇයට උසුළු විසුළු කරයි. ඔහු ගරාදි වැට  ළඟය, ඒ  අසලින්  ඇය සිටගනී. ඇයගේ සිරුරේ චලනයන්ට අනුකුලව  අයගේ ඇඳුමද  ඒ මේ අත චලනය වේ. ඇයගේ  කොණ්ඩය බැඳ ඇති රිබන් පටියද  ගමන් කරන තාලයට ඒ මේ අත සෙලවේ.


මම සෑම  දිනකම අපගේ විසිත්ත කාමරයේ බිම දිගා වී ඇයගේ නිවසේ දොරකොඩ  දෙස බලාගෙන සිටිමි. ජනෙල් වල පැලලි අර්ධයක් වන සේ වසා අඟලක පමණ හිඩැසක් තබා එතුලින් මම බලා සිටිමි. එවිට කිසිවෙකුටත් මා බලා සිටින බවක්  නොපෙනේ. ඇය  නිවසේ දොරකඩට  පැමිණෙන විට මගේ හදවත ගැහෙන  ශබ්දය මටම ඇසේ . එසැනින් මම පාඩම් කරන ශාලාවට දුවගොස් පොත් කිහිපයක් ගෙන ඇය  ලුහු බඳිමි. මම ඇයගේ තලෙලු ශරීරයෙහි  ඇස  රඳවාගෙන ඇය පසුපසින් හැකි උපරිම වේගයෙන් ගමන් කරමි. ඇය  සමීපයට පැමිණි වහාම මම ඇයගෙන්  වෙන්වී ගමන් කරමි. මම තවත් වේගය වැඩිකර ඇය  පසු කර යමි. මෙය සෑම  දිනකම උදෑසන   සිදුවන්නකි. යාන්ත්‍රික වචන කිහිපයක් හැර මා  කිසිම  දිනෙක  ඇය සමග කතාකර නොමැත. ඇයගේ  නම මගේ උමතු සිතට තවමත්  සිතාසියක් වැනිය.


ඇයගේ  ප්‍රතිරූපය, ඉතා අඳුරු වූ තැනෙක සිට  ආදරය වෙත මා රැගෙන යයි. එක්තරා සෙනසුරාදා දිනයක මාගේ නැන්දා පොළෙන්  බඩු  ගෙනෙන විට මටද බඩු  පාර්සල් කිහිපයක් රැගෙන ඒමට සිදුවිය. බමන මතින් එහෙ මෙහෙ යන මිනිසුන් බඩු  හෙට්ටු කරන කාන්තාවන්ගෙන් පිරිණු විදියේ අප ඇවිදගෙන යනවිට එක්  නාටාමියෙකු අපට දෙස් දෙවොල් තියයි, ඌරන් කුකුලන් ආරක්ෂා කරමින්ද ඔවුන් විකිනීමට කෑමොර දෙමින්ද සිටින කඩවල් වල වෙළෙන්දන් නගන ඝෝශාවද විදියේ දේශාභිමානී ගීත ගයමින් සිඟමන් යදින යාචකයන්ගේ ගිතිකාද අතරින්  අපි ඇවිද ගියෙමු. මේ සියලු දෙන මා සිතට ජීවිතය පිලිබඳ සංවේගී හැගීමක් නාභි ගතකරයි. මෙම සියලු සතුරු බාධක මධ්‍යයේ මම මාගේ ජයග්‍රහණය භුක්ති විඳින ආකාරය ගැන සිහින  මවමි. මට  ඇය  මතක් වන සෑම  මොහොතකම මගේ  තොල් මමත් නොදන්නා අයැදිමක හෝ යාඥාවක යෙදේ. එවිට මගේ ඇස්  කඳුලින් තෙත්වේ. නමුත් ඒ කුමටදැයි මම   නොදනිමි. නමුත් විටින් විට මාගේ  හදවතට දැනෙන  සියල්ල දරාගත නොහැකිව හදවත ළය  පලාගෙන එලියට පැමිණෙන්නාක්  මෙන් මට දැනේ. මම අල්පමාත්‍රයක් අනාගතය ගැන සිතුවෙමි. මට කිසි දිනෙක ඇය  හා වචනයක් හෝ කතා කිරීමට හැකිවේදැයි මම නොදනිමි, නමුත් කිසියම් දිනෙක ඇය  හා කතා කළහොත් මාගේ ව්‍යාකුල ආදරය කෙසේ පවසන්නේදැයි මම නොදනිමි. නමුත් මාගේ සිරුර  ඇයගේ  වචන සහ හැසිරීම් නම් වූ මෘදු ඇගිලි තුඩු වලින් වයන විණාවක තත් සේ හැඟේ.


මම එක්  දිනක පුජකයා මියගිය, පිටුපස ගබඩා  කාමරයට පිවිසුනෙමි. එය ඉතා අඳුරු, වැසිබර  

සන්ධ්‍යාවක්   වූ අතර නිවසේ කිසිදු ශබ්දයක් නොවීය. ජනේලයේ කැඩීගිය විදුරු කැබැල්ලකින් ඇති වූ සිදුරින්  වර්ෂා ජලය  පොළවේ පතිත වන  ශබ්දය අත්දැක්කෙමි. සිහින් නුලක් සේ ඇද  හැලෙන වැසි වතුර තෙත බරිත මෙට්ටය මතට පතිත වේ. ඈතින්  වැටෙන විදුලි එළියක් හෝ ජනේලයකින් පරාවර්තනය වන ආලෝකය ලපයක් මා සිටින තැන බිමට පතිත වේ. එයට පින්සිදු වන්නට මට යමක් බලාගැනීමේ භාග්‍ය ලැබී ඇත. මගේ සියලු ආශාවන් එකිනෙක පැටලී ඒ සියල්ල මවෙතින් ගිලිහී යන්නට ආසන්න  යැයි  සිතේ. මම මගේ දෑත් සලිත වනතුරු එකිනෙක පටලවාගෙන "මගේ ආදරය", "මගේ ආදරය" යැයි  මටම කිහිප වාරයක් කියා ගත්තෙමි.

අවසානයේ ඇය මට කතා කළේය. ඇය මා  ප්‍රථමයෙන් ආමන්ත්‍රණය කලවිට මම කෙසේ පිළිතුරු දිය යුතුදැයි මට  සිතා ගත නොහැකි විය. ඇය  ඇසුවේ මා  ඇරබි වලට යනවාදැයි යන ප්‍රශ්නයයි. මම එයට "ඔව්" කියා උත්තර දුන්නේද, "නැහැ" කියා උත්තර දුන්නේද යන්න මට මතක නැත. ඇරබි  වල වෙළඳ සැණකෙළිය  ඉතා අනර්ඝ  බවත්  ඇයද එහි යාමට කැමති බවත්  පැවසිය.


"ඇයි  ඔයා  එන්නේ නැත්තේ " කියා මම ඇසීමි.


ඇය  කතා කරන අතරතුර  ඇයගේ අතේ දමා ඇති රිදී අත්  පළඳනාව මැණික් කටුව  වටා කරක වන්නීය. ඒ සතිය ඇයගේ කන්‍යාරාමයේ උපවාස සතිය වන බැවින් ඇයට  යාමට නොහැකිවූ  බව  පැවසීය. මම ගරාදි වැට  ළඟ සිටගෙන සිටින විට ඇයගේ සහෝදරයා සහ තවත් කොල්ලෙකු ඔවුන්ගේ හිස්වැසුම් වලට පොරකති. ඇය එක් පාදයක් පසුපසට නවා මුහුණ ඉදිරියට දමා මා  හට මදහස පෑවාය. ඉදිරිපස නිවසෙන් වැටෙන ආලෝකයෙන් ඇයගේ ගෙලෙහි වක් වූ අලංකාර හැඩය, නිදහසේ එල්ලා  වැටෙන කොණ්ඩය මෙන්ම ගරාදි වැට  මත තබා ගෙන සිටින ඇයගේ  මෘදු දෑත්ද දිස්වේ. ඇය  පහසුවෙන් සිටගෙන සිටින විලාශය අනුව එම ආලෝකය ඇයගේ ඇඳුම විනිවිද ගොස් යට සායේ   වාටිය සුදු පැහැයෙන්  දිස්වේ.

"ඒක ඔයාට නම් නියමයි" ඇය  පැවසීය.


"මම ගියොත් ඔයාට මොනා  හරි අරන්  එන්නම්" මම පැවසීමි.


එම සන්ද්‍යාවෙන් පසුව අප්‍රමාණ නිරර්ථක  දේවල් සමුහයක් මසිත තුල මතුවෙමින් නැවත ගිලෙමින් පවතී. මම නීරස අතරමැදි දින සම්පූර්ණයෙන්ම අමතක කර දැමීමට උත්සහා කළෙමි. මට පාසලේ වැඩ වහ කදුරු සේ දැනේ. දහවල පාසලේදී මම පොතක් දිග හරින විට පොත සහ මා අතර සිටින ඇගේ රුව  රාත්‍රියේදී මගේ නිදියහනේ සැතපේ. නමුත් සියලු දේ අතර  මගේ විෂය නිර්දේශය "ඇරබි" වූ අතර නිස්කලංක මගේ ආත්මය කුල්මත්ව සතුටින් කාලය ගත කරයි. මම සෙනසුරාදා සවස  ඇරබි  වලට යාමට අවසර ඉල්ලුවෙමි. එයින් නැන්දණිය  විශ්මයට පත් විණි. මම පන්තියේදී අසන ලද ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දුන්නෙමි.  මම අපේ ගුරුතුමාගේ මුහුනේ  සුහඳ ලිලාවේ  සිට ඉතා බැරෑරුම් විලාශයන්ද නිරීක්ෂණය කලෙමි: මෙයින් ඔහුට අරමුණක් නැතිව කල්පනා කිරීමට කිසිදු අවස්ථාවක් නොලැබිණ. මගේ සිතේ පාවෙන සිතුවිලි එක තැනකට ගැනීම කොහෙත්ම මට කල හැක්කක් නොවේ. මම, මා සහ මාගේ ආශාවන්  අතර හුදකලා වූ කුඩා දරුවෙකු සේ මටම හැඟේ, කිසිදු අර්ථවත් දෙයක් කිරීමට තරම්  සිත එකඟ කරගැනීමට මම අපොහොසත් වෙමි.


සෙනසුරාදා උදෑසන  මම, මාමා මුණගැසී අද සවස නගරයට යාමට බලාපොරොත්තුවෙන් සිටින බව පැවසීමි. ඔහු ඉදිරිපස ශාලාවේ නිකරුණේ කළබලයෙන් තොප්පිය පිසදාන බුරුසුව සොයමින් කාලය ගත කළේය.


"ඔව් දරුවො  මම දන්නවා"


ඔහු ශාලාවේ රැදී සිටි බැවින් මට මට නිවසේ ඉදිරි පස ජනේලය වෙත යාමට නොහැකිය. මට නිවසේ රැදී සිටීම අරමුණක් නැති විහිළුවක් විය, මම පාරට බැස  පාසැල දෙසට ඇවිදගෙන ගියෙමි. සුළඟ අනුකම්පා විරහිතය, මාගේ  හදවත අරමුණක් නැති අදහස්  වලින් පිරේ.


මම රාත්‍රී ආහාරයට පැමිණෙන විට මාමා නිවසේ සිටියේ නැත. නමුත් තවමත් පමා වී නොමැත. මම හිඳ  ගෙන මොහොතින් මොහොත ඔරලෝසුව දෙස බලමින් සිටියෙමි, එහි කටුවල ශබ්දය අප්‍රසන්න විය, මම එම කාමරයෙන් නික්ම ගියෙමි. මම පඩි  පෙළ නැගගෙන  ඉහල මාලයට පිවිසුනෙමි. පාලු, අඳුරු, මුසල කාමර එකින් එකට සින්දුවක් මුමුණමින් ගමන් කළෙමි. ඉදිරිපස ජනේලයෙන් මම මගේ මිතුරා විදියේ සෙල්ලම් කරමින් සිටිනු දුටුවෙමි. ඔවුන්ගේ කෑ  ගැසිම  මට දුර්වලව මෙන්ම නොපැහැදිලිවද  ඇසේ. මම මගේ නළල ජනේලයේ සිතල වීදුරුවට හේත්තු කර ගත්තෙමි, අඳුරේම ඇයගේ  නිවස දෙස බලා සිටියෙමි. සමහර විට මා එහි පැයක්  පමණ රැදී ඉන්නට ඇත නමුත්  තලෙලු වාත්තු කරන ලද පිළිරුවක් මිස මා දුටු කිසිවක් නැත, එහි ගෙලෙහි අලංකාර නැම්ම ලාම්පු එළියෙන් මතුකරන අතර දෑත  ගරාදි වැට  මත තබා ඇත්තේ යටසායේ වාටිය  ආසන්නයේය.


 මම පහත මාලයට නැවත  පැමිණෙන විට මර්සර් මහත්මිය සාලයේ ගිනි උඳුන ළඟ  හිඳ  ගෙන සිටියාය. මියගිය උකස් වෙළෙන්දාගේ බිරිය වන ඇය කුමක් හෝ පුණ්‍ය කටයුත්තක් සඳහා පරණ මුද්දර එකතු කරන මහලු වාචාල ස්ත්‍රියකි. ඇයට  තේ මේසයේදී කතා කිරීමට බොහෝ ඕපාදුප තිබේ. රාත්‍රී ආහාරය පැයක්  පමණ පසු වී ඇතත් මාමා තවම නිවසට පැමිණ නැත. මර්සර් මහත්මිය පිටත් වීමට නැගී සිටින විට රාත්‍රී අටද පසුවී හමාරය, ඇය  කොහෙත්ම රාත්‍රීයේ එලියට බැසීමට කැමැත්තක් නොදක්වන්නේ, රාත්‍රී සුළඟට ඇය  ප්‍රිය නොකරන බැවිණි. ඇය  පිටත්ව ගිය පසු මම පහත මාලයට  බැස්සේ මිටි ගුලිකරගත් මගේම අතද අල්ලාගෙනය. 


" දෙය්යනේ  ඔයා අද හවස නගරයට යන්න නේද හිටියේ' යැයි  නැන්දා   පැවසිය.


රාත්‍රී නවයට පමණ මාමා ඉදිරිපස දොරටුවේ අගුලට යතුර දමා  කරකවන හඬ මට ඇසිණ. ඔහු ඉදිරිපස ශාලාවේ සිට ඔහුටම මුමුණ ගන්නා හඬත් කබාය ගලවා දමන සබ්ධයත් මම අසා  සිටියෙමි. මට මේ සියල්ල තේරුම් ගත හැකි විය. ඔහු රාත්‍රී ආහාරය ගන්නා අතර තුර මම ඔහුගෙන් නගරයට යාමට සල්ලි දෙනවා දැයි ඇසීමි. ඔහුට එය අමතක වී තිබිණ.


"දැන් රෑට  නිදාගත්ත මිනිස්සු එක නින්දක් ඇහැරලත්  ඇති" මාමා  කිවේය 


මම සිනා නොවිමි. 


" මේ ළමයට සල්ලි දීල යන්න දුන්නනම් නේද හොඳ? ඔයා දැනටමත් මෙයාව හොඳටම පරක්කු කරලනේ තියෙන්නේ " යැයි  නැන්දා බොහොම උනන්දුවෙන් පැවසීය.

මාමා අමතක වීම ගැන කණගාටුව ප්‍රකාශ කළේය. එසේම කිසිවක් නොගෙවා සියලු වැඩ ගැනීම "ජැක් " ප්‍රයෝජනයකට නැති මිනිසෙක් බවට පත් කල පැරණි කතාවද  සිහිපත් කළේය. ඔහු මා  කොහේ යන්නේදැයි විමසිය, මම දෙවන වතාවටත පිළිතුරු දුන් පසුව, "ඇරබි  වලදී අශ්වයාට සමුදීම" දන්නවාදැයි ඔහු මගෙන් ඇසිය. මම මුලුතන්ගෙයින් නිකම යාමට ආසන්නවූ  විට එහි මුල් පේලිය නැන්දාට  කියන්නට සුදානම්  විය.


මම සිලින් දෙකේ කාසිය අතේ තද කරගෙන දුරින් දුරින් පය තබා බකිංහැම්  විදිය ඔස්සේ දුම්රිය පොළ වෙත පිය නැගුවෙමි. වෙළෙන්දන් සහ ගනුදෙනු කරුවන්  නොමැති විදියේ ගෑස්  ලාම්පු එළිය මට මගේ ගමනේ අරමුණ නැවත මතක් කරදෙයි.  මිනිසුන් නොමැති දුම්රියක තුන්වන පන්තියේ මැදිරියක මම අසුන් ගත්තෙමි. ඉවසාගත නොහැකි ප්‍රමාදයකින් පසුව දුම්රිය  සෙමෙන් තවත් දුම්රිය පොළකට ලංවිය. "වෙස්ට්ලන්ඩ් රෝ" දුම්රිය පොලෙදී සෙනග දුම්රිය පෙට්ටි වල දොරටු වලට තෙරපෙමින් දුම්රියට ගොඩ වීමට උත්සහා දැරූහ. නමුත් බඩු  රැගෙන යන්නන් මෙය වෙළඳ සැණකෙළිය වෙනුවෙන් ධාවනය කරන විශේෂ දුම්රියක් බව පවසමින් ඔවුන් වලක්වා ලුහ. මා  දුම්රිය පෙට්ටියේ තනිවම ඉතිරි විය. තවත් විනාඩි කිහිපයකින් දුම්රිය ලීයෙන්  තැනූ  වේදිකාවට සමීප විය. මම දුම්රියෙන් එලියට බසින විට ආලෝකමත් වූ ඔරලෝසු මුහුණතක දහයට විනාඩි දහයක් සටහන්ව තිබිණ. මා ඉදිරියේ විශාල ගොඩනැගිල්ලේ නම පුවරුවක දිස්වේ. 


වෙළඳ සැණකෙළියට ඇතුළු වීමට මට පැන්ස හයේ දොරටු කිසිවක් සොයා ගත නොහැකි විය, එය අවසන් වීදැයි මම තැති ගතිමි. මම තනි පුද්ගලයෙකුට පමණක් ගමන්කළ හැකි දොරටුවක් සොයා ගත්තෙමි, එහි සිටි වෙහෙසට පත් වූ මිනිසාට සිලිමක් දී මම අතුලුවිමි. බාල්ක  වලින් අර්ධයක් අවරණ ය කරන ලද විශාල ශාලාව මම සොයාගත්තෙමි. සියලු ප්‍රදර්ශණ  කුටි  වසා  දැමීමට ආසන්න  වී තිබිණ, ශාලාවේ අර්ධයක්ම කලුවරින් වැසි ගොස් තිබිණ. පල්ලියේ  යාඥාවන් අවසන් වූ විට පවතින නිශ්ශබ්දතාවය මෙන් ශාලාව නිශ්ශබ්දයය. මම බයාදු ලෙස ප්‍රදර්ශනාගාරයට  අවතීර්ණ වීමි. තවමත් විවෘර්තව ඇති වෙළඳ කුටි  වල මිනිසුන් කිහිප දෙනෙකු සිටිනු දක්නට ලැබේ. "Café Chantant" යැයි  වර්ණවත් විදුලි ආලෝකයෙන් ලියා තිබුණු  කුටියේ තිර රෙද්දට  මෙපිටින් මිනිසුන් දෙදෙනෙකු ලෝහ තැටියක් මත තබා මුදල් ගනිමින් සිටී. මම කාසි වැටෙන ශබ්දයට අසා සිටියෙමි.


මම මෙහි පැමිණියේ කුමටදැයි මතක් කරගැනීමට උත්සාහ  කරමින් තවත් වෙළඳ සළකට  පිය තබා පිඟන් මැටි මල් පෝච්චි සහ මල් වලින් හැඩ දමන ලද තේ කෝප්ප කුට්ටමක් පරික්ෂා කලෙමි. වෙළඳ සලේ දොරකඩ තරුණියක්  තරුණයන් දෙදෙනෙකු සමග කතා කරමින් සිටි. මම ඔවුන්ගේ භාෂා උච්චාරණයට  සහ දෙබසට ඉතා උනන්දුවෙන් ඇහුම් කන් දුන්නෙමි.

'ඕ, මම එහෙම දෙයක් කවදාවත් කිව්වේ නෑනේ !'

'ඕ , නෑ  ඔයා  එහෙම කරා !'

'නෑ  මම එහෙම කරේ නෑ!'

'මම එහෙම කිව්වේ නෑ ?'

'ඔව්, මට එයා කියපු දේ ඇහුණා .'

'ආ, එහෙනම් ඒක  බොරුවක් !'


මා දිහා බලා ගෙන සිටි තරුණිය  මා වෙත පැමිණ මා කුමක් හෝ මිලදී ගැනීමට බලාපොරොත්තු වන්නේදැයි ඇසීය. ඇයගේ උච්චාරනය මා දිරිමත් නොකරයි: ඇය  මා හට කතා කරන්නේ රාජකාරියක් ඉටු කිරීමට මෙනි. මම ඉතා නිරහංකාරව ඇතුළුවන දොරටුව අසලම දෙපස  ඇති අලංකාර බඳුන් දෙස බලා,


"නෑ  මට මොකුත් ඕනි නෑ "යැයි  පැවසීමි.


මෙම තරුණිය  එක් බඳුනක පිහිටීම නැවත නිසි ලෙස සකස් කොට ආපසු තරුණයන් දෙදෙනා වෙත ගොස් මුලින් කතා කරමින් සිටි මාතෘකාව නැවතත් කතා කිරීම ආරම්භ කළේය. වරක් හෝ දෙවරක් තරුණිය  ඇයගේ උරහිසට ඉහලින් මා දෙස බැලීය


ඇයගේ  ප්‍රදර්ශන කුටිය ඉදිරිපස මම තවත් ටික වෙලාවක් රැඳී සිටියේ  මගේ ඇති උනන්දුව ඇයට  ඇත්තක්  බව පෙන්වීමටය , නමුත් එය නිෂ්ඵල ක්‍රියාවක් බව මම දැන  සිටියෙමි. ඉන්පසු මම වීදිය මැද්දට පැමිණ ඉදිරියට ඇවිදගෙන ගියෙමි. මම මගේ සාක්කුවේ ඇති පැන්සයේ කාසි දෙක එකිනෙකට වැදී හඬ නැගීමට ඉඩ හැරියෙමි. ප්‍රදර්ශන ශාලාවේ කෙලවරින් හඬ ගසන ශබ්දයක් අඳුරේම මට ඇසිණ. ශාලාවේ ඉහල කොටස සම්පුර්ණයේම දැන් අඳුරුය.


 මම අඳුර දෙස එක එල්ලේ බලා හිදින විට, මා  අර්ථ ශුන්‍ය නිස්සාර  භාවයෙන් මෙහෙයවන චරිතයක් බව හැගේ: එවිට මාගේ දෑස්  කෝපයෙන් නමුත් සන්තාපයෙන් ගිනිගෙන දැවෙන්නට විය.


පරිවර්තනය 

ජානක ගුණතිලක 


ඇරබි - අයර්ලන්ත නගරයක්



No comments:

Post a Comment