Saturday, June 6, 2020
නැති වුණු ආදරයක්
වීදුරු - කෙටි කතාව 13
පසළොස්වක ගෙවිල දවස් තුනක් වුන නිසා හඳ එළිය ඉස්සරහ කන්දේ ගස් අතරින් රිංගනකොට රෑ දහය විතර වෙලා තිබුනා. මෙච්චර වෙලා උඩු බැලි අතට හාන්සි වෙලා අහසේ තරු ගණන් කරපු මට තේරුණේ පොඩියට පත්තු වෙමින් තිබුණු තරු එක පාරම නොපෙනී යනව කියල . අඩි දහයක් විතර උස කණු හතරක ආධාරයෙන් හදල තිබුණු ඒ අට්ටාලයට ගමේ මිනිස්සු කිව්වේ බංකරය කියල. බංකරය ගෝනි පඩංගු වලින් හතර පැත්ත ආවරණය කරලා තිබ්බට තුන් පැත්තකින්ම කවුළු තිබුනා එලියට ඔලුව දාන්න පුළුවන් තරමෙ. ඒ එක්කම හඳ එළිය බංකරයට ඔලුව දැම්මේ වහලේ එල්ලලා තිබුණු ලන්තරුමේ එළියත් අඩු කරගෙන. තවමත් මීදුම කඳු වලට පහලින් නිම්නයෙන් ගලා යන උමා ඔයත්, දෙපස වෙල්යායත් විතරක් වහගෙන තිබුණ. අර්තාපල් යායේ සුදු පාට මල් අහසේ තරු අතුරල තියෙනවා වගේ ලස්සනට බැබලුනේ පොඩි කාලේ කියවපු කතන්දර පොත් වල තිබබ මල්වැටුණු කෙළවරක් නොපෙනෙන සේලයක් වගේ. කඳු පාමුල ඉදල මිදුම ගලාගෙන ඇවිල්ල මේ සෙලයේ බාගයක් වහගන්නකොට මම කවුළුවෙන් එලියට ඇවිදගෙන ගියේ වලාකුළු අතරින් මිදුම් කැටි දියවෙන තරමේ ඝර්ශනයක්වත් ඇති නොවෙන විදිහට. දෙපසින් දුහුල් රෙදි වලින් නිරුවත අඩක් වසාගත් ඇත්දළ පැහැති චවි කල්‍යානියෙන් යුත් කන්‍යාවියන් පවන් සලන්නට විය. ඈත කෙළවරක මා එන තුරු මග බලා සිටින දෙවඟන ලජ්ජාවෙන් මුහුණ බිමට හරවාගෙන සිටින්නීය. සිතේ තෙරපෙමින් තිබු බොහෝ දේ කියන්නට පෙරුම් පුරා අවසානයේ ඒ මොහොතට ලඟා වී ඇති බව මට වැටහිණ. ඒත් තියෙනවා නෝක්කාඩුවක්.
"ඇයි ඔයා වෙනදට මං ලංවෙනකොට වලාකුල් අතර හැංගෙන්නෙ? "
"ඔයාගේ වයලින් වාදනය ගොඩක් ලස්සන වෙන්නේ ඒ වෙලාවට"
"ඒ කියන්නේ ඔයා වැඩියෙන්ම සතුටු වෙන්නේ මම අඬන වෙලාවටද?"
"අනේ මම කොහොමද ඒකට උත්තර දෙන්නේ, මම වලාකුලෙන් බැහැල ආවේ ඔයාගේ වයලින් වාදනය අහන්න, ඒත් ඔයා ඒක වයන්නේ දුකට නම් මම කොහොමද ඒක විස්තර කරන්නේ? "
"ඒත් ඔයා ඉන්නේ වයලීන් වාදනය ඇතුලේ නම්? මම ඒක නවත්වපු දවසක ඔයා ආයෙත් ඈත අහසේ මන්දාකිනියක නවතිනවා කියන එක නේද? , "
"ඔයාගේ වයලින් වාදනය මට මුලින්ම ඇහුනේ අර රෑ එලි වෙනකන්ම ඔයා ඒක වයපු දවසේ? මතකද ඔයාට ඒ දවස? ඒ තරම් මිහිරි සංගීත නාදයක් මං කවදාවත් අහල නෑ "
"ඔව් ඒ මාස තුනකට විතර ඉස්සෙල්ල, එදා තමයි මම ජිවිතේ දුකින්ම හිටපු දවස. අප්පච්චිගේ හත් දවසේ දානේ ඉවර වෙලා , මායි ටෙරියයි පැල් රකින්න ආපු මුල්ම දවස.
"කෝ අප්පච්චි?"
"ඇයි ඔයා දන්නේ නැද්ද? මම හිතුවේ ඔයා මං ගැන හැම දෙයක්ම දන්නවා කියල"
“ කමක් නෑ මං කියන්නං, අප්පච්චිට දළ ඌරා ගැහැව්වා, ටෙරියයි මායි ළඟ ඉද්දිම. ටෙරියනම් නම් දකින්න ඇති සිද්ධිය හොඳට. ඒත් ටෝච් එක තිබ්බෙත් අප්පච්චිගේ අතේ නිසා මම දැක්කේ ඌ එනවා විතරයි, මට තේරෙන්නේ නෑ,ඔයා සතුටු වෙන්නේ මං දුකින් ඉන්නකොට නම් "
"මං එහෙම කියන්නේ නෑ"
' අපේ අම්මා කියන්නෙත් උඹට පුළුවන් ඔය හිරමනේ අතුල්ලන්න විතරයි කියල‘
“ ඉතින් ඒක කොච්චර හොඳ දෙයක්ද ?“
“ නෑ එහෙම කියන්නෙ මම ඒ ලෙවෙල් විභාගෙන් සංගීතේ විතරක් ෆේල් උනේ නැති නිසා“
" ඒයි නැගිටපන් _ත්තෝ"
සමීරය මම පෙරවාගෙන හිටපු රෙද්ද ඇදල විසිකරන ගමන් බෙරිහන් දෙන්නට විය.
"මොකද යකෝ ? "
" තෝ මෙතන ඉහින් කනින් පොරවාගෙන නිදි, අන්න පහළ කෑල්ලටම ඌරො ගහල"
ගැරඩියෙක් හුඹහින් එලියට ඔලුව දානවා වගේ මං බැලුව ගෝනි පඩංගු දෙක මෑත් කරලා වත්ත දිහා, එකේ ගන්න දෙයක් ඉතිරි වෙලා තිබුණේ නෑ.
"උඹට මේ අල හැදිල්ල හරියන්නේ නෑ බං , බලපන් තාත්තගේ තුන් මාසේ දානේ දෙන්නත් කලින් වියදං කරපු ඒවගෙන් බාගයක් ඉවර වෙලා ගියානේ, උඹ ආයේ විභාගේ කරපං, උඹ අර විදුරු රාජගේ කෙල්ල පස්සේ වැටුනේ නැත්තං ඔය විභාගේ කරගන්නවනේ ගිය වතාවෙම"
* * *
"සුසන්ත , සුසන්ත, දොර ඇරපන් ඉක්මනට"
"දොර ඇරපන්කෝ ඉක්මනට, මං කියන්නම්"
" ඒකනේ කියන්නේ තොපිත් එක්ක බොනවට වැඩිය හොඳයි තනියම වහ ටිකක් බොන එක කියල, උඹලත් එක්ක බිව්වොත් ලෙඩක්, දැන් උඹ ගියේ ගෙදර යනවා කියලනේ "
Saturday, May 26, 2018
විල්පත්තුවේ කැලා කැපීම සහ Limelight
Sunday, March 5, 2017
කාල තරණය - කෙටි කතාව
හෘද ස්පන්දනය නතර වූ සිරුර මෙතෙක් කල් දිරා නොගියේ මන්දැයි සිතාගත නොහැකි විය.නහර වැල් වල තිබු රුධිරය කැටි ගැසී කළු පැහැයක් ගෙන තිබුණි. අත් පා සීතලව දර දඬු වී ගොසිනි. මොළයේ ක්‍රියාකාරිත්වය නතර වන දින තෙක් ඇය එහි තැබීමට විශේෂ අවසරයක් ගෙන තිබිණ. දැඩි සත්කාර ඒකකයේ කෙලවර බිත්තියේ ඇති විදුරු කවුළුවෙන් ඇය කිසිවිටෙකත් ඇස ඉවතට ගත්තේ නැත.
"එතනින් තමයි එයා එන්නේ"
ඇයගේ වචන කිසිවිටෙකත් මුවින් එලියට පැමිණියේ නැත.
"අර හෙවනැල්ල,........................
ඒක ඇතුලින් තමයි එයා මතු වෙන්නේ"
කිසිවෙකුත් විදුරු කවුළුවෙන් ඇතුළුවන ආලෝක කදම්භය ආවරණය කරන සේ සිටගත් විට ඇයට දරාගත නොහැකි, හදවත පසාරු කරගන යන තරමේ වේදනාවක් දැනිණ.වීදුරු ජනේලයට ලම්බකව ඇති බිත්තියේ මැද ඔරලෝසුවකි. එහි කටු දෙස බලා සිටින්නේ විදුරුවෙන් ආලෝකය කාමරයට නොපැමිණෙන රාත්‍රී කාලයේය. ඔරලෝසුවේ තත්පර කටුව කැරකෙන නාදය පමණක් ඇසෙන්නට විය. එය එක් වරක් නොව දින ගානක්, සති ගානක් හෝ මාස ගානක් රාතියේදී ඇයට ඇසෙන්නට ඇත.
ඇය එම දිනය පැමිණෙන තෙක් බලාගෙන සිටියාය.
"ටික්" ..."ටික්" ....."ටික්" ඔරලෝසුවේ තත්පර කටුව තත්පරයෙන් තත්පරය වාමාවර්තව කැරකෙවෙමින් තිබේ.
' ටීක්" ....' ටීක්" ....' ටීක්" ....' ටීක්" ....
හෙදියක් ඇය වෙත දුවගෙන ආවේය.
" මේ පේශන්ට්ගේ හාර්ට් එක වැඩ කරන්න පටන්ගෙන"
මුහුණට සවි කර තිබු ඔක්සිජන් බටය නැවත සකසන අතරතුර විනාඩි, පැය, දින, සති , මාස ගණනක් පැරණි සේලයින් බෝතලයෙන් බින්දුවක් ඇයගේ රුධිරයට කාන්දු වන බව හෙදිය නිරික්ෂනය කළාය.
විනාඩි, පැය, දින, සති, මාස ගණනකට පසු සෙලවෙන ඇයගේ අතේ ඇගිල්ලක් හෙදිය ස්පර්ශ කළාය. විනාඩි, පැය, දින, සති, මාස හෝ වසර ගණනකට පසු එහි දරදඬු ස්වභාවය කෙමෙන් පහව ගොස් මෘදු වන බවක් දැනිණ. උෂ්ණත්වය සෙල්සියස් අංශක තිස්හතක් නොවුනද එහි යම් උණුසුමක් ඇති බව දැනිණ.
පොල් මල් , ගොක් කොළ වලින් සරසා මිඳුලේ කෙලවර කණු තුනක ආධාරයෙන් සිටවා තිබු පෙරේත ගොටුවේ මල් වර්ග හතක්, කෑම වර්ග හතක් මෙන්ම තවත් බොහෝ දෑ තිබිණ. තොවිලයට සියල්ල සුදානම්ව පැවතියේය. සුදු රෙද්දකින් හිස වසා සුදු ගව්මක් අන්දවා ඇය බිම එලා තිබූ පැදුරේ වාඩි කරවුයේ ඇයගේ මව විසින්මය. මවද ඇය සමීපයෙන් හිඳ ගත්තාය, ඇයට හිස කෙලින්කරෙගෙන සිටීමට අපහසු වූ බැවින් මව ඇයව තුරුල් කරගෙන තම උරහිස මත ඇයගේ හිස තබා ගත්තාය. තොරතෝංචිය ක් නැතුව මතුරන කට්ටඩියා දෙස සියලුදෙනා බලාගෙන සිටියත් ඇයට එහි වගක් නොවිය. පන්දමට දුම්මල දමා අඩි කිහිපයක් උසට ගිනි දළු පිට කෙරිණ, කටට භූමිතෙල් ගෙන පන්දමට පිඹ අහසට ගිනිදැල් පිට කෙරිණ. අවසානයේ ඇය හිස වටා ඔතා තිබුණු සුදු රෙද්ද විසිකර නැගිට්ටාය. බෙර කරුවා එක බෙරයකට තලා එහි හම ඉරී ගිය පසු දෙවන බෙරයටට තඩි බාන්නට විය, ඇය එම රිද්මයට මිඳුල පුරා අවසිහියෙන් නටන්නට විය.
" උඹට මොනාද ඕනි ?"
" මට බොන්ඩ ඕනි " එය පිරිමි කටහඩක් විය.
" උඹට මොනාද බොන්ඩ ඕනි ?"
" අරක්කු'
කට්ටඩියා තම ගෝලයාට පෙරේත තට්ටුව යට ඇති බෝතලය පෙන්වයි. පුරවා දුන් අරක්කු වීදුරුව ඇය එක හුම්ස්මට උගුරට හලා ගත්තාය. ඇය තවදුරටත් මිඳුල පුරා නටන්නට පටන් ගත්තාය. කට්ටඩියා ඇය පසු පසින් ගොස් විසිරි තිබු කෙස් වල්ලෙන් ඇයව අල්ලා ගත්තේය.
" උඹට තව මොනවද ඕනි ?"
" මට ඕනි කහපාට කොළ "
කට්ටඩියා කොක්කොල මිටියක් අය අතට දුන්නේය,
" උඹට පිස්සුද ?, මට ඕනි අර කහ පාට කොළ"
මිඳුලේ රැස්ව උන් කුටු කුටු ගන්නට විය, කට්ටඩියා ඇයගේ කොණ්ඩය අඹරවා ගෙල මුලට සිර කළේය.
" උඹට ඕනි මොන කොළද ?"
" සල්ලි කොළ "
ඔහු තම සාක්කුවෙන් ගෙන රුපියල් පන්දහසේ කොළ දෙකක් ඇය අත තැබුවේය.
" දැන් උඹ යනවද?
" නෑ මම යන්නේ නෑ, නෑ මම යන්නේ නෑ, මට තව ඕනි "
අවට සිටි කාන්තාවන් තම මුහුණු දෑතින් ආවරණය කරගත්තේ ඇයගේ කොණ්ඩය තවත් වරක් අඹරවා,
" සල්ලි දෙන්නේ ඔච්චරයි , උඹට යන්න තව මොනවද ඕනි ? " යයි අසන විටය
"මට ඒකිව ඕනි"
" උඹට ඒකිව දැනුත් ඉන්නවා"
" නෑ මට ඒකිව ඕනි, මට ඒකිව මරන්න ඕනි "
ඇයගේ හිස ඔහු සෙමෙන් පිරිමදින්නට විය, නළල මත ඔහුගේ තොල් වල උණුසුම පතිත කරන්නට විය , දෙපා වල ඇඟිලි, දෑතේ ඇගිලි සෙමෙන් ස්පර්ශ කරන්නට විය, ගල් ගැසී තිබු මාංශ පේශි සෙමින් පිරිමදින්නට විය. ශරීරය පුරා සෑම රෝම කුපයක්ම එයින් නව පණක් ලැබීය. ධමනි ශිරා මෙන්ම කේශනාලිකා වල තිබු කළු පහ ගැන්වුණු රුධිරය කෙමෙන් රත් පැහැ ගැන්වෙන්නට විය. කැටි ගැසී තිබු රුධිර කැට එකිනෙක දියවී යන්නට විය. අප්‍රාණික ස්නායු වලට උණුසුම , දැනෙන්නට විය. සෑම කේෂ නාලිකාවකටම රුධිරය ගලා යන බව ඇයට වැටහිණ , ඒ කොපමණ කාලයකට පසුවදැයි ඇයට නිච්චියක් නැත. හෘදය ස්පන්දනය වන හඬ ඇයටම ශ්‍රවණය කල හැකිවිය. මෙතෙක් කල් අහිමිව තිබු ශරීරය ඇයට නැවතත් හිමිව ඇති බව ඇයට වැටහිණ. ඔරලෝසුව දෙස බලා හුන් ඇය දෑස වසා ගත්තාය. මුහුණ ආවරණය කර තිබු ඔක්සිජන් බටය ගලවා පැත්තකට දැමුවාය. පෙරවා තිබු සුදු රෙද්ද ඇද විසි කළේය. ඔහුගේ උණුසුම් ප්‍රශ්වාසය වරකට ඇයගේ මුහුනටත් වරෙකට ඇයගේ පයෝධර අතරටත් ඉන් පසුව මුළු ශරීරය පුරාවටත් දැනෙන්නට විය.
මෙතෙක් වෙලා බලා සිටි බිත්තියේ ඇති ඔරලෝසුව වෙනුවට දෑස පියාගත් විට ඇයට කොළ පැහැති ඉලක්කමෙන් වෙලාව පෙන්වන ඩිගිටල් ඔරලෝසුවක් දර්ශනය විය.වෙලාව වසරින් වසර පසු පසට ගමන් කරමින් තිබිණ. එහි වේලාව දෙස ඇය බලා සිටියාය, එහි වේලාව නතර වන ලෙස දෑස තදින් වසා ගත්තාය. එය වසර දහයකට පෙර දිනයක නතර විය.
" අම්මි කවුද කෙනෙක් ඇවිල්ල කියනවා , ඔයාව බලන්න ඕනි කියල"
" මොන වගේ කෙනෙක්ද ?"
" දන්නේ නෑ, එයා සීයට වඩා උසයි, සීයාගේ වගේ රැවුල සුදු නෑ."
" එන්න කියන්න, පුතේ "
" එයා කියනවා, එයා මගේ තාත්තා කියල"
හෙදිය දියණිය ද සමග කාමරයෙන් පිටව ගියාය. ඔවුන් දෙදෙනා ඔහුව ද සමග නැවතත් ඇයගේ ඇඳ වෙත පැමිණියහ. ඔක්සිජන් බටයද, පපුවට සවි කර තිබු ecg යන්ත්‍රයේ අග්‍ර ද, මුත්‍රා බටද සී සී කට විසිරි තිබිණ. ඇඳ මත වූ සුදු රෙද්ද මෑත් කොට හෙදිය ඇයව සොයන්නට විය ඔහු අනෙකුත් ඇඳන් මත සිටි ලෙඩුන් එකිනෙකා පරික්ෂා කර බලන්නට විය.
" කෝ මේ ලෙඩා" හෙදිය කෑ මොර දෙන්නට විය.
බිත්තියේ වූ විදුරු කවුළුව බිදී ගොස් විදුරු කටු කිහිපයක් බිමට පතිත වී තිබිණ. අඟල් කිහිපයක විෂ්කම්භය සහිත සිදුරක් එහි විය.
" කෝ මෙතන හිටපු ළමය" හෙදියත් ඔහුත් දියණිය සොයමින් සී සී කඩ දුවන්නට විය.
ඇසිටලීන් සිලින්ඩරයක්, ඔක්සිජන් සිලින්ඩරයක් පෑස්සුම් කුරු මිටියක් සහ උපකරණ සියල්ලද මිලිමීටර් පහක් ඝනකම වානේ තහඩුවක් ද රැගෙන කම්කරුවෝ කිහිප දෙනක් දැඩි සත්කාර ඒකකයේ විදුරු කවුළුව ලඟට රැස් වුහ.
"ඔයා මොනවද මේ කරන්න යන්නේ"
" මේ විදුරු කවුළුව වහල දාන්න"
" එතකොට, කොහොමද මම ඔයා ළඟට එන්නේ ?"
"මට ඔයාව විදුරු කවුළුවෙන් ගෙන්න ගන්න ඕනි නෑ, ඔයා මගේ දුවත් එක්ක කාමරේට දොරෙන් ඇතුළු වෙන්න"
ඇය දෑස වසාගෙන ඩිගිටල් ඔරලෝසුව නතර කරගෙන කීවාය.
- ජානක ගුණතිලක
4/3/2017
Saturday, July 11, 2015
මරණය නොමිලේ
වේදිකාව මත ප්‍රතිබිම්භයේ යථා ස්වරුපය සාකච්චාවට ලක් කිරීමට ගනු ලබන මහේෂ් එල්කුන්ච්වාර්ගේ "ප්‍රතිබිම්භය" සැබවින්ම පැසසිය යුතුය."ප්‍රතිබිම්බ්" ( reflection ) නැමති වෙදිකා නාට්‍යයේ "මරණය නොමිලේ" ලෙස සිංහලට පරිවර්තනය කරන්නේ සත්‍යපාල ගල්කැටිය විසිනි.ඉන්දියානු නිදහස් සටනින් පසුව 20 වන සියවසේ මැද භාගයේ මහාරාෂ්ඨ කලා ක්ෂේත්‍රය කේන්ද්‍ර කරගනිමින් බිහිවන මහාරාෂ්ඨ වේදිකා නාට්‍ය කරළියට නවක නාට්‍ය රචකයෙකු ලෙස මහේෂ් එල්කුන්ච්වාර් එන්නේ ඔහු නාග්පුර් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය අවසන් විමත් සමගය. 1950 -1960 කාලයෙන් පසුව ජනප්‍රිය නාට්‍ය කරුවන් වූ විජේ තෙන්ඩුල්කාර්, පී. එල්. දෙශ්පාන්ඩෙ, සතිෂ් අලෙකර් සමග එක්වී මහේෂ් එල්කුන්ච්වාර් සාම්ප්‍රදායික ගිතමය නාට්‍ය, ඉතිහාස කථා, ගැමි නාට්‍ය වලින් ඔබ්බට ගිය පරේෂණාත්මක නුතන නාට්‍ය කලාව හඳුන්වා දෙයි. මෙම බලපෑම සම්ස්ත ඉන්දියානු නාට්‍ය කලාවට සහ ඉන් ඔබ්බට කාන්දු වන්නේ මෙම කළා කරුවන්ගේ නාට්‍ය වෙනත් භාෂා වලට පරිවර්තනය විමත් සමගය. මහේෂ් එල්කුන්ච්වාර් ලියන ලද නාට්‍ය පිටපත් ගනණ විස්සක් පමණ වේ. මෙවා ඉන්දියානු භාෂා වලට පමණක් නොව ඉංග්‍රීසි, ප්‍රංශ වැනි භාෂා වලටද පරිවර්ත්නය කර ඇත.
අද අපට හමුවන්නේ සත්‍ය හෝ යුක්තිය කුමක්දැයි හඳුනා ගත්තද ඒ වෙනුවෙන් පෙනී සිටින හෝ නොදන්නා බව හඟවන නරුමවාදී (cynical )සමාජයකය. එදිනෙදා ජීවිකාව සම්පුර්ණ කරන අඩක් කුස ගින්නේ සිටින මිනිසුන් ඔවුන්ගේ ප්‍රතිබිම්හය නොමැති බව වත් නොදනී; මෙය නිරුපනය කරන්නේ අපගේ ජිවන රටාවම නොවේයැයි කිසිවෙකුට කිව හැකිද? "broom stick " ලෙස හදුන්වන තරුණිය නරුම වාදයේ සංකේතයක් වන්නේ ඇය තමන්ගේ ප්‍රතිම්භය නොමැති බව දැන දැනත් එය නොදන්නවා සේ ජිවත් වීම සහ "ගුඩ්ඩා"ගේ ප්‍රතිභිම්භය අතුරුදහන් වී ඇති බව ඇය දැන සිටියත් ඒ බව "ගුඩ්ඩා"ට නොපැවසිමය. ගෙහිමි කාන්තාව සැබවින්ම මෙම සමාජ ක්‍රමයේ ශෝකාන්තය නිරුපනය කරයි. ඇයට පමණක් තම ප්‍රතිබිම්භය දර්පනයෙන් බලාගත හැකිය.මෙම නාට්‍යයේ එන අනෙකුත් චරිත තුනම සත්‍යාවබෝධය ( realization ) නම් අවස්ථාවට කිනම් හෝ අවස්ථාව පැමිණේ, නමුත් ඇය එම අවස්ථාවෙන් බොහෝ දුරකය. ඇයගේ ප්‍රත්බිම්භයේ පැවැත්ම ඇත්තේ ඇය නොපවතින බැවින්ය. ඇයගේ ප්‍රතිබිම්හයට පැවැත්ම ඇත්තේ අනෙකාගේ ආශාව තුල ඇය පැවතීම හේතුවෙන්මය එසේ නොමැතිනම් ඇය තමාගේ ප්‍රතිබිම්බය ලෙස දකින්නේ තමා අනෙකාගෙන් දැකිය යුතු යයි සිතන ප්‍රතිබිම්භයයි.
තරුණිය ගුඩ්ඩාගේ සිතට ඇතුළු වූ පසු එහි අඳුර මිස වෙන කිසිවක් නොදකී. එය ඔහුගේ අභ්‍යන්තරික බිඳ වැටීමය, එසේත් නොමැතිනම් හිස් බවය.දියේ පාවෙන අයිස් කන්දක් බඳු මනසේ සවිඥානය ඉතා කුඩා වපසරියක් නම් එහි ජයේ ගිලි පවතින කොටස තරම් අවිඥානය විශාල වේ. මිනිසුන්ගේ කතිකා තුල නිරන්තරයෙන් අනවරතව අවිඥානික සහ සවිඥානික සිතුවිලි අතර දෝලනයක් සිදු වෙමින් ඉදිරියට ඇදී යයි. නමුත් මෙම මෝබියස් සම්බන්ධය සාමාන්‍ය එනම් එදිනෙදා සිදුවන කතිකාවක සිදුවන්නේද අවිඥානිකවය. මෙම නාට්‍ය තුල ඇති සුවිශේෂම කාරණය වන්නේ මෙම අවිඥානික සහ සවිඥානික අනවරත සම්බන්ධය චේදනය කර ප්‍රේක්ෂකයාට එය තේරුම් ගැනීමට හැරීමයි. මේ සඳහා යොදාගත් නාට්‍යමය උපක්‍රමය වන්නේ සවිඥානික සංවාදය සිදුවන්නේ එකිනෙකා කාමරයට දොරෙන් ඇතුළු වූ විටය. අවිඥානික හැසිරීම ඉස්මතු වන්නේ ඔවුන් ජනේලයෙන් ඇතුළු වූ පසුවය. ඒ අනුව ජනේලයෙන් ඇතුළු වීම යටි හිතට ඇතුළු වීම ලෙස මෙම සන්ධර්හය තුල පැහැදිලි කිරීම ප්‍රේක්ෂකයාට කරන සාධාරණයක් වන්නේ එය සරල වීම අවබෝධ කරගැනීමට ඇති පහසුව නිසාය.
-ජානක ගුණතිලක
Friday, May 22, 2015
රටක ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වීමට නම් සෑම ජන කොටසකම අනන්‍යතාවයක් තිබිය යුතුය. ජීව විද්‍යාත්මක සන්ධර්භය තුල ජීව විවිධත්වය ( Bio Diversity ) ඉහලින් අගය කීරම පැසසිය යුතු කාරණයකි. මිනිසුන්ද ජීවින් වන බැවින් මිනිසුන්ගේ විවිධත්වයද අගය කිරීමට අපට හැකිනම් එය ඉතා උසස් මනුෂ්‍ය ගුණාංගයකි.
නමුත් මතක් තබාගත යුතු කරුණ වන්නේ සොක්‍රටීස් පැවසු පරිදි ' තම අතේ ඇති සැරයටිය කැරකවිමේ සිමාව ඉදිරියේ සිටින මිනිසාගේ නාසයේ කෙලවරින් අවසන් වේ' යන්නය. ඒ ආකාරයෙන්ම අනෙකුත් මිනිසුන්ට ගැටළුවක් නොවන ලෙස තම අනන්‍යතාවය පවත්වාගෙන යාම තවත් කෙනෙකුට ගැටළුවක් නොවිය යුතුය, එම ස්ථානය දක්වා අපට අපගේ සිත පාලනය කරගතහැකි නම් තත්කාලීන ගැටුම් කොපමණ අවම වනු ඇත්ද?
එබැවින් සිංහල, සහ දෙමළ භාෂාවෙන් ඵල වන ජාතික පුවත්පත් සමුහයක් ඇති විටෙක මුස්ලිම් ජනයාගේ තොරතුරු දැනගැනීම සහ විනෝදය උදෙසා දිනපතා පුවත් පතක් ඵල වීම අගයකොට සැලකිය යුත්තකි.
- අපි