Friday, February 28, 2014

වැළලී ගිය වචන - ( කෙටි කතාව 6)

වැළලී ගිය වචන


දණහිස දක්වා දිගට තිබු ඇයගේ කෙස් කලඹ කොටට කපා තිබීම ගැන මම පුදුමයට පත් උණෙමි. මා  ඇයගේ මුහුණ දුටුවේ අවුරුද්දකට  පමණ පසුවය. තවමත් ඇයගේ ඕවලාකාර මුහුණේ සුන්දරත්වය එදා මෙන්ම පැවතින, නමුත් මෘදු ඇත් දළ පැහැය ගත් මුහුණ තරමක් සුදු මැලි වී තිබිණ. මා  ඇයට කතා කිරීමට උත්සහා කළද සියලු වචන මාගේ ආත්මය තුළම ගිලී ගියේය කිසිවක් පිටතට පැමිණියේ නැත.

"පොඩි පුතේ මෙහෙන් ඉඳ ගන්න"

මගේ කතාව ආරම්භ කිරීමටත් ප්‍රථම කාන්ති නැන්දා මට බාධා කළාය.

මම සුපුල්සරා  මුලින්ම දකින විට ඇයට වයස මාස දෙකක් පමණ විය,මම සිටියේ පාසලේ පළමු වසරේය, ඒ මාත් අම්මාත් කාන්ති නැන්දා සහ සුසුපුල්සරා බැලීමට ගිය පළමු දවසේය. තාත්තා නිතරම රාජ කාරී බහුල රැකියාවක නියුතු වුයෙන් එකල මෙවැනි ගමන් අම්මාට  යාමට සිදු වුයේ තාත්තාගේ සභාගිත්වයෙන් තොරවය. එවිට ලොකු ආතම්මා බැලීමටද අසල් වැසියන්න්ගේ මළ  ගෙවල් මගුල් ගෙවල් වලද  අම්මා තනියම හෝ මා සමග යාමට පුරුදු වී සිටියාය. ලොකු අක්කාත් පොඩි අක්කාත් ඒ වන විට ඉස්කෝලේ ලොකු පන්ති වල සිටි බැවින්

 "ඔය ගොඩේ මගුල් වල අපිට යන්න බෑ, පේන්නැද්ද මිනිස්සු බුලත්විට කාලා කටවල් රතු කරගෙන ඩොලක්ක වලට ගගහා සින්දු කියන්නේ " කියා එම ගමන් වලට අම්මා සමග තනියට හෝ එන්නේ නැත. තාත්තාගේ යහළුවන්ගේ මගුල් බොහොමයක් නගරයේ හෝටල් වල තිබු  ඇති බැවින් ඒවාට යාමට ඔවුන් දෙදෙනා කාලයෙන් සතියක් දෙකක් පමණද මුදලින් තාත්තාගේ පඩියෙන් භාගයක් පමණද වැය කලෝය.

"මෙන්න නංගි හීනෙන් හිනාවෙනවා"

කියා අම්මා මට ඇයව පෙන්වන විට පැත්තට හැරී නිදා සිටි ඇයගේ බෙල්ලේ වම්පස උරහිසට ආසන්නව තිබු බෝංචි ඇටයක් තරමේ කළු පැහැති ලපය පෙන්නා,

"මේ මොකක්ද අම්මේ" කියා මා ඇසු බව  තාම  මතකය.

කාන්ති නැන්දා අපේ තාත්තාගේ බාල සහෝදරියයි. ඇය තාත්තාටත්, තාත්තා ඇයටත් තිබු අසීමිත ලෙන්ගතුකම හේතුවෙන්ම අපගේ පවුල් අතර තිබු හිතවත් කම තවත් දළුලා වැඩෙන්නට වුයේ පවුල් වලට එකතු වී සිටි නව සාමාජිකයන් හේතුවෙනි. අපගේ ගෙවල් අතර දුර බස් රථයකින් පැය දෙකකකින් සම්බන්ධ කළ හැකි විය. සෑම පාසැල් නිවාඩු කාලයකම අපගේ පවුල් අතර  නෑගම් යොදා ගෙන තිබිණ. සුපුල්සරාත් ඔහුගේ වැඩිමහල් සහෝදරයා, නිම්සරත් වඩාත් සමීප වුයේ මාත් සමගය. ඔවුහු  නාගරික පරිසරයක් ජිවත් වුයෙන් අපේ නිවසට පැමිණීමත් සමගම කුඩුවෙන් නිදහස් කල කුරුල්ලන් මෙන් වෙල්යායවල් දිගේ කඳු ගැට වල පඳුරු අස්සෙන් සොබාදහම සමග අපුරු සබැඳියාවක පැටලී ගියෝය. නිතර දකින එම දසුන් වල වෙනදා නොදුටු සුන්දරත්වයක් සුපුල්සරා සමග ඒවා දකින විට දුටුවෙමි. අපි උණ බට වලින්  තුවක්කු සැදුවෙමු. ( ඔවුන් දෙදෙනාටම මම ඒවා සාදා දුන්නෙමි) ඒවාට කුඩු දවල දමා වෙඩි තැබුවෙමු. ඉඳ හිට නිම්සර සුපුල්සරාට ආඩම් තේට්ටම් කරයි. ඔහු ඇයට උණ බට තුවක්කුවෙන් වෙඩි තැබූ විට ඇයගේ දෑසට පෙර මගේ දෑසේ කඳුළු පිරුණි.

මම සාමාන්‍ය පෙළ විභාගයෙන් හොඳින් සමත් වී  නගරයේ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වන විට සුපුල්සරා එම පාසලේම හත් වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබුවාය. විවේක කාලයේදී මිතුරියන්  සමග ආපන ශාලාවට පැමිණ අපගේ පන්ති කාමර තිබෙන ශාලාවේ මිදුලෙන් ගමන් කරන විට ඉහල මාලයේ සිට මම ඇය  දෙස බලා සිටියෙමි, තම හෙහෙලියන්ට නොපෙනෙන සේ ඇය මා දෙස බැල්මක් හෙලා බිම බලාගෙන ගමන් කළාය. පාසලේ සිට සුපුල්සරාගේ නිවසට සැතපුමක් වත් නැත. පාසැලේ ගැහැණු ළමුන් කිහිප දෙනෙකුට නවාතැන් පහසුකම් සපයා ඉන් අමතර අදායමක් උපාය ගැනීමට අනෙකුත් අසල් වැසියන් මෙන්ම කාන්ති නැන්දාද පුරුදු වී සිටියාය. පාසල් යාමට මම නතර වුයේ මිතුරෙකුගේ සහෝදරියකගේ නිවසේය.

" පොඩි පුතේ මේ නංගිලාට ඉංග්‍රීසි ටිකක් උගන්නන්නකෝ" කියා කාන්ති නැන්දා දිනක් මට පැවසුවාය.

ඉන්සුව මම සුපුල්සරාටත් ඇයගේ මිතුරියන් තිදෙනෙකුටත් වසර දෙකක් තිස්සේ ඉගැන්නුවෙමි. ඇය ඉතා උනන්දුවෙන් අසා  සිටියාය. එය මාගේ උනන්දුව තවත් වැඩි කළේය. නමුත් එය ටික කලකින් උඩු යටිකුරු විය, ඒ ඔවුන්ගේ නිවසේ නවාතැන් ගෙන සිටි නුවනි මා ගැන වැඩි උනන්දුවක් පෙන්වූ බැවිණි. සුපුල්සරා මා සමග නිතර වාද  විවාද වලට පැටලුණි, මට කිසි හේතුවක් තේරුම් ගත නොහැකි විය. අවසානයේ මම නුවනි සමග පෙමින් බැඳුණි. උසස් පෙළ අවසන් වීමත් සමගම ඉංග්‍රීසි පන්තිය නතර විය. මම ඉබාගාතේ ඇවිදිමින් වසරක් ගත කරන අතර තුර නුවනි සරසවියට ඇතුළු වුවාය. එම ප්‍රේම වෘර්තාන්තය එතැනින් නිමාවිය.

මම ඉංග්‍රීසි සාහිත්‍ය විශ්ව විද්‍යාලයේදී විෂයක් ලෙස තෝරාගෙන සිටියෙමි. බොහෝ සති අන්ත වල මම නිවසට පැමිණියේ එම ගමන පැය තුනක් පමණ වූ බැවිණි. සුපුල්සරා ද උසස් පෙළ ඉංග්‍රීසි විෂයක් ලෙස තෝරාගෙන තිබිණ. සති අන්ත වල මම නැවතත් ඇයට ඉගැන්වීම ආරම්භ කලෙමි. විලියම් බ්ලේක් ගේ කවි වලට මා මෙන්ම ඇයද   ඇලුම් කළාය. "Chimney Sweeper", "Tiger"  වැනි මාගේ ප්‍රියතම කවි ඇයගේද ප්‍රියතම ඒවා විය. "Stopping by the Woods in a Snowy Evening" වැනි  රොබර්ට් ෆොස්ට් ගේ කවි මෙන්ම ඇල්ෆ්‍රෙඩ් ලෝඩ් ටෙනිසන්ගේ   "Break Break Break " වැනි සාහිත්‍ය නිර්මාණ ද අපි දෙදෙනා රස වින්දෙමු. අපගේ සවේදී කතාබහ සම්පුර්ණ ඉංග්‍රීසි භාෂාවෙන් සිදුවිය, එය අවසන් වන විට රාත්‍රී එකොළහ පමණ වන බැවින් ඒ වන විට අනෙකුත් සියලු දෙනා නින්දට ගොසිණි. සුපුල්සරාගේ කාමරය මට නිදා ගැනීමට සකස් කර දී ඇය කාන්ති නැන්දාගේ කාමරයට යයි. එය මට තාමත් සුන්දර සිහිනයකි.

"සුපුල්සරාට යෝජනාවක් ගෙනල්ලා තියෙනවා මගේ යාලුවෙක් ඒ ගොල්ලන්ගේ දුරින් නෑයෝ වෙන  පුතෙක්ව" කියා කාන්ති නැන්දා කියන විට මගේ පපුව තුලින් මුනිස්සම් කිහිපයක් ගමන් කරන්නාක් මෙන් වේදනාවක් දැනින.

"එයා හොඳ බිස්නස් කාරයෙක් , ආණ්ඩුවේ කොන්ත්‍රාත් එහෙමත් අරගෙන කරනවලු "

නමුත් මා  ඒ වන විට සරසවියේ ශිෂ්‍යාධාරයෙන් ජිවත් වන  තෙවන වසර නිකමෙකු පමණක් විය. සුපුල්සරාට යන්තම් අවුරුදු දහ අට  පිරුනා පමණි. අපගේ සාහිත්‍ය විචාර  ඇයගේ විභාගය දක්වා යන්තමින් ගැට ගසා ගත්තෙමු, නමුත් මම ඇයට ආදරය කළෙමි. නමුත් මට එය ප්‍රකාශ කිරීමට නොහැකි වුයේ ඇය  මා හඳුනා ගන්නේ සහෝදරයෙකු  සේය , කාන්ති නැන්දා මා හඳුනා ගන්නේ පුතෙකු සේය යන සිතුවිල්ලත් සමගය.

මම ඇයගේ මංගල උත්සවයට සභාගී වුයේ ඇවැස්ස මස්සිනා ලෙසිණි. ඇය ඥාතීන්ට බුලත් දී මංගල ගමන යාමට පිටත් වන විට

 "ඇවැස්ස මස්සිනාට බුලත් අත  දෙන්න ඕනි " කියා එකෙකු මාව  ඉදිරියට තල්ලු කළේය.

මම ඇය දුන් බුලත් හුරුල්ල ගන්නවාත් සමගම

"මම යනවා පොඩි අය්යේ" කියා කීවාය.

ඉන්පසු කාල පරිච්චේදය තුල මා තුල හිස් අවකාශයක් නිර්මාණය විය, එය තුලට රිංගා ගැනීමට අවකාශය ඕනෑම අයෙකුට තිබිණ. නමුත් කිසිවෙක් එයට රිංගා ගත්තේ නැත. එක අතකින් මම ඇතුළු වීමට කිසිවෙකුටත් ඉඩ නොතැබුවේ එම සුන්දර අතීතය සමග ජිවත් වීමට තිබු කැමැත්ත නිසාද විය හැක.

වසරකට පමණ පෙර මාමා හෘදයාබාධයකින් හදිසියේ මියගිය බව දැන ගන්නා විට මා  පුහුණු කළ පාසලේ ඉංග්‍රීසි වේදිකා නාට්‍ය කණ්ඩායම සමග සමස්ථ ලංකා තරඟ වලට කොළඹ යාමට සුදානමින් සිටියේය. එම ගමන යන අතර තුර මළ  ගෙදරට ගොඩ වුයේ ළමුන් පිරිස සමග ගමන් කල බස් රථය පාර අයිනේ නතර කර ගෙන සිටින අතරේය.

"පොඩි අය්යා කොළඹ යනවා කියලා  ලොකු නැන්දා කිව්වා" කිවේ මම තේ කෝප්පයක් බොන අතරේ සුපුල්සරාය.

"ඔව් සුපුල්සරා ළමයින්ව එක්කරගෙන යන්න වෙලා තියෙනවා, ඉස්කෝලේ නාට්‍ය කණ්ඩායමක් පලවෙනි වතාවට සමස්ත ලංකා තරඟයකට තේරිලා තියෙන්නේ, ඉතින් යන්නම ඕනි ගමනක්'

"කෝ මහත්තයා ?"

"එයා පාරක කොන්ත්‍රාත් එකක් කරනවා මේ දවස් වල, මම තනියම ආවේ" ඇය සුදු සාරි පොට වමතින් අල්ලාගෙන දකුණු අතේ මහපටගිල්ලෙන් සහ දබරගිල්ලෙන් එය අඹරවමින් බිම බලාගෙන පිළිතුරු දුන්නාය.

ඒ සමගම මම පිටත්ව ගියේ නැවත හත් දවසේ දානයට හෝ පැමිණෙන බලාපොරෝත්තුවෙනි. නමුත් දුෂ්කර සේවයේ අවුරුදු පහක් සේවය කල යුතු බවට තර්ජනය කර හද්දා පිටිසර පාසලකට ලබා දුන් පත්වීමත් සමග පවුලේ කටයුතු බෝහෝමයක් මග හැරී තිබිණ.

විවාහයක් කර ගැනීමට මට විශේෂ අවශ්‍යතාවයක් නොතිබිණ, මගේ විවාහය සමාජ අවශ්‍යතාවයක් ලෙස බාහිරින් මා හට බලපෑම් කරන්නට විය. මටම කීකරු නොවන මගේම සිත මා කුමන ඉසව්වකට පා කර හරී දැයි මා නොදන්නා බැවින් අවසානයේ  "අම්මලා කවුරු හරි හොයන්න" කියා, මගේ තීරණය සභා ගත කළේය.

හිඳ ගැනීමට පෙර උඩු බැලි අතට වැතිරී සිටි සුපුල්සරාගේ කම්මුල මගේ ඇඟිලි වල පිට පැත්තෙන් ස්පර්ශ කළෙමි. අයිස් කැටයක් මෙන් සිතල වූ කම්මුල් වල ප්‍රාණය නිරුද්ධ වී ගොසිණි. හිස මුදුණින් කොන්ඩ කටු ගසා සකසා තිබුණද කොණ්ඩය උරහිස ආසන්නයෙන් කපා දමා තිබුණු බව මම දුටුවෙමි.

"ඇයි නැන්දේ මොකද උනේ?"

මම කාන්ති නැන්දා විසිත්ත කාමරය ආසන්නයේ වූ කාමරයට කැඳවා ගෙන ගියෙමි.

"අපි රැවටුණා පොඩි පුතේ, අර කාලකන්නියා කෙල්ලව බැඳලා තියෙන්නේ ආදරේකට නෙවෙයි, ලොකු දෑවැද්දක් හම්බ වෙයි කියල හිතාගෙන. ඒත් පුතේ අපිට ගෙවල් දොරවල් බඩු මුට්ටු, වාහනයක්  තිබුනට සල්ලි ගොඩගහගෙන හිටියේ නෑනේ. ඌ කොන්ත්‍රාත් කරාට හැම තැනටම ණය වෙලා ඉඳලා තියෙන්නේ, දෑවැද්දට හම්බ වෙන සල්ලි වලින් උගේ ණය බේරගන්න තමයි හිතාගෙන ඉඳල තියෙන්නේ. දුවගෙන් සල්ලි ඉල්ලලා මුලදී නිතරම කරදර කරා, කෙල්ල මුලින් කිව්වේ නෑ, පස්සේ මම නිතර නිතර ගෙදර එන්න ගත්තම අහල අහල දැනගත්තේ, මාමා ලෙඩ වෙන්නත් ගත්තේ කෙල්ල දුක් විඳිනවා බලාගෙන ඉන්න බැරි කමට. අපි ගෙදර ඉඩමෙන් භාගයක් විකුණලා ලක්ෂ පහක් දුන්නා එත් ඒක ඉවර උනාම ආයෙත් සල්ලි ඉල්ලන්න පටන් ගත්තා. මාමාගේ මළ  ගෙදරටවත් ඕකා අවේ නෑ  පුතේ"

ඇය ඉකි ගසමින් අඬන්නට  විය නිම්සර කාමරයට පැමිණියත් මගේ පිටට තට්ටු කර නැවත එලියට ගියේය.

"අන්තිමට කෙල්ල ගෙදර ආවේ ගිය සතියේ, ආයේ යන්න බෑ කියාගෙන. බලන්ඩකෝ පුතේ එනකොට කෙල්ලගේ කොන්ඩේ උරහිස ගාවින් කපල දාලා.

"ඊළඟ පාර අම්මේ මගේ බෙල්ල කපනවා කිව්වා, මට නං එහෙ ඉන්න බෑ"

කියාගෙන ආවේ. මට පුතේ මගේ කෙල්ල වැඩි නෑ. මාමගේ පෙන්ෂන් එකෙන් කන්න අඳින්න පුළුවන්නේ, මම කිව්වා අපි දික් කසාදෙට නඩු දාමු කියල. එතකොට දුව කිව්වා,

 "එයාට ඕනි දික්කසාද වෙන්න තමයි, වෙන ගැණියෙක් ඉන්නවා එයාට, ඒක ඉස්සර ඉඳන්ම තිබුණ සම්බන්ධයක්, මාව බැඳලා තියෙන්නේ මට සල්ලි තියෙනවා කියල හිතාගෙන"

"සුපුල්සරාගේ පොතේ ලක්ෂ එකහමාරක් විතර තිබුණා, ඒ මාමා පොඩි කාලේ ඉඳල පොතට දාපු ඒවා, අපි රත්තරං බඩු ඔක්කොම හදල දුන්නා, ගෙදරට ඕනි කරන ඔක්කොම ලී බඩු  අරන් දුන්නා, අපිට ඊ  වඩා කරන්න පුළුවන් කමක් තිබුනේ නෑ පොඩි පුතේ."

"ඔයිට වඩා මොනා කරන්නද නැන්දේ පිරිමි ඉන්නේ ගෑනිගේ දෑවැද්දෙන් ජිවත් වෙන්න නෙවෙයිනේ " මම කාන්ති නැන්දාට වතුර වීදුරුවක් ගෙනත් දුන්නෙමි.

"ඇයි නැන්දලා මට මේ මොකුත් කිව්වේ නැත්තේ?" මම ඇසුවෙමි.

"මම පුතේ මේවා කොහොම කියන්නද? මම හිතුවේ මේ සල්ලි ටික දුන්නම ඉවරවෙයි, අරටික දුන්නම ඉවරවෙයි කියල හිතාගෙන. අන්තිමට බලන්නකෝ වෙච්ච දේ පුතේ"

"ඊයේ උදේ නැගිටලා තේ එක බොන  ගමන් දුව කිව්වා පොඩි පුතාට කතා කරන්න ඕනි කියල, එත් අපි ළඟ පුතාගේ හෑන්ඩ් ෆෝන් නම්බර් එක තිබුණේ නෑනේ, මම කිව්වා පුතාලගේ ගෙදරට කතා කරලා එක ඉල්ලගමු කියල"

"පුතාව මතක් කරන කොට කෙල්ලගේ මුණ මලක් වගේ ලස්සන වුණා  මයේ පුතේ"

"මම දැනගෙන හිටියේ නෑ ඒ වෙනකන් සුපුල්සරා පුතාට ආදරෙන් හිටිය කියල පුතේ, මම ඇහැව්වා දුවගෙන්  එයා පොඩි පුතාට ආදරෙන් හිටියද කියල. එතකොට දුව කිව්වා"

"අනේ අම්මේ මට පොඩි අය්යව බඳින්න තරම් වාසනාවක් තිබුනේ නෑනේ, පොඩි අය්යා මට කොච්චර ආදරෙන් හිටියද, මම එයාට කොච්චර ආදරෙන් හිටියද?  ඒත් අපිට ඒක කියා ගන්න බැරි උනානේ " කියල.

"මම පුතාගේ නොම්බරේ ඉල්ල ගන්න කතා කරාම  තමයි අම්මගෙන් දැනගත්තේ පුතාගේ මගුල තීන්දු කරලා කියල"

"මම ඒක දුවට කිව්වා පුතේ"

"පුතා දුවට උගන්නන්න එන කාලේ මට මේ ගැන පුතාගෙන් අහන්න ඕනි කියල හිතුන වාර අනන්තයි, මට ඒ දවස් වලම හිතුනා පුතා අපේ දුවට හරි ආදරෙයි කියල, එත් මට එක අහගන්න බැරි උනානේ" ඇය ඉකි ගසයි.

"මම ඒ ටික කතා කර කර ඉඳල පොලට ගියා බඩු  ගේන්න, එනකොට එයා කරගන්න ඕනි ටික කරගෙන මයේ පුතේ............................................."


- ජානක ගුණතිලක 


















Friday, February 21, 2014

අකුරු අමුණන්නා දුටු රතු තීන්ත රටාව- කෙටි කතාව (5)

අකුරු අමුණන්නා දුටු රතු තීන්ත රටාව 


දොරේ මාර ලෑල්ලක ඇති කුඩා සිදුරින් එන ආලෝක කදම්භය මීදුම් සහිත දිනයක රාත්‍රියේ විදුලි  පන්දම් එළියකින් ඇති වන කේතු ආකාර ආලෝකයේ හැඩය ගනී. නමුත් මෙය අනන්තය දක්වා විහිදෙන්නේ නැත. මීදුම නැතත් කාමරයේ ඇති දුවිලි අංශු ආලෝක කදම්භය තුලට පැමිණ විවිධාකාර නැටුම් පාමින් නැවත ඉන් ඉවත් වෙයි. එය අඩි දොළහක් පමණ ඈතින් ඇති තීන්ත පතුරු ගැලවී ගොස් අපැහැදිලි ලෝක සිතියමක් වැනි දුඹුරු පැහැති බිත්තිය මත පතිත වන්නේ බිත්තියත් දොරත් එකට යා කරන කුඩා ඒ දණ්ඩක් සේය. එය බිත්තිය මත ඇති කරන්නේ වෘතාකර අඟල් දෙකක පමණ ආලෝක ලපයකි. බිත්තිය දිගේ හෙමින් සීරුවේ පහලට ගමන් කරමින් තිබු එය දැන් අකලංක දපතුලේ සිට හිස දක්වා පොරවාගෙන සිටින දුඹුරු පැහැති කොටු වැටුණු රෙද්ද දිගේ ගමන් කර එයින් එලියට දමාගෙන තිබූ මුහුණට පතිත විය. මුහුණ බිත්තිය පැත්තට හරවා තවත් ටිකක් නිදා ගන්නට උත්සහා කළේය.

"උඹට පිස්සුද මිනිහෝ ගෙදර ගෑණියෙක් ඉඳිද්දී අතන මෙතන අගු පිල් වල කොල්ලොත් එක්ක බුදිය ගන්න "

අකලංක පොරවාගෙන සිටි රෙද්ද ඉවත් කර ඇඳෙන් බැස ගොස් මාර ලෑලි තුනකට කලම්ප තුනක් තිරස්ව සමාන්තරව ගසා ඒවා යා කරමින් Z අකුරක හැඩය සහ එහි දර්පණ  ප්‍රතිබිම්භය මතු කරමින්  සාදා දිබෙන දොර විවෘත කර කුඩා සිදුරින් කාමරයට ඇතුළු වීමට මෙතෙක් පොර බැදු හිරු කිරණ සියල්ල එතුලට කැඳවා ගත්තේය. කාමරයේ පිටත  බිත්තියට සවි කර ඇති කරාමයෙන් වතුර ජෝග්කුවක් පුරවාගෙන කට සෝදා ඉතිරියට  විදුලි හීටරය දමා පොළවෙන් අඩියක් පමණ ඉහලින් බිත්තියේ ඇති ස්විචය කකුලේ මහපට ඇඟිල්ලෙන් පහලට තල්ලු කළේය .

"අදවත් මේ කාමරේ කුණු ගොඩවල් ටික විසි කරලා දාන්න ඕනි " ඔහුටම කියා ගත්තේය.

ජෝග්ගුවේ වතුර උඩපනිද්දීම හීටරය බිත්තියේ ඇනයේ එල්ලා එයට තේ කොළ සහ සීනි ටිකක් දමා හැන්දෙන් කලතා තේ මන්ඩි අඩියට බේරෙන්නට හැර  තොලගාමින් කාමරයේ ගොඩ ගසා ඇති කොළ මිටි සහ කාඩ්බෝඩ් පෙට්ටි දෙස කිසිදු හැඟීමකින් තොරව බලා සිටියේය. දැල්වී අවසන් වූ සිගරට් කොටය දොරකොඩට ගොස් ඉන් අඩි පහක් පමණ ඈතින් ගලා යන කුණු කානුවට විසිකර තේ මන්ඩියද කළු පැහැති වතුරට වත්  කළේය. තේ කහටේ දුඹුරු පැහැය අතුරුදහන් විය. අඩි පනහක් පමණ ඈතින් මෙම කුණු කාණුවට සමාන්තරව දිවෙන්නේ   A5 ලෙස තැන තැන සැතපුම් කණු වල ලියා ඇති මාර්ගයයි.එයට මුහුණලා ඇති විදුරු දොරවල් වලින් මාර්ගයෙන් වෙන් කරන ලද කාර්යාල සහ කඩ සාප්පු වල සිටින්නේ ටයි පටි පැළඳගත් මහත්වරුන්ය නැතහොත් සුන්දර යුවතියන්ය. ඉඳ හිට පලතුරු හෝ එළවලු කඩයක්ද බුලත් තට්ටුවක් හෝ ඔරලෝසු අලුත්වැඩියා කරන්නෙකුද දැකිය හැක. කඩ විදියේ පසු සසින් ගලා බසින මෙම අසූචි  ගඳ ගසන ජලය නගරයේ  කෙළවර බෝක්කුවෙන් කාපට් දමා අලංකාර ලෙස සකසා ඇති මාර්ගයට යටින් ගොස්  ගඟට එකතුවේ.

එක් කාඩ් බෝඩ් පෙට්ටියක් කාමරයේ මැදට ගෙන මුනින් අතට හරවා මිටි ගණනක් වූ කඩදාසි බිමට හැලුවේය. එහි ඇත්තේ පහ වසර ශිෂ්‍යත්ව  ප්‍රශ්න පත්‍ර මිටි රාශියකි. කිහිපයක් අතට ගෙන ඒවායේ අකුරු අතර ඇඟිලි යවා බලන්නේ ඒවා ඇඟිලි තුඩු වල පැටලෙන්නේ දැයි බලන්නාක් මෙනි. නමුත් එසේ නොවේ. ඒවා කිසිවකින් දැන් ඔහුට ප්‍රයෝජනයක් නැත. තවත් පෙට්ටියක් ඇද බලයි එහි ඇත්තේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග වලට සැකසු නිබන්ධන කට්ටල රාශියකි, ඇතැම් ඒවා ආර්ථික විද්‍යාව වූ අතර තවත් සමහරක් ගිණුම්කරණය ඒවාය. අලංකාර වර්ණ හතරේ පිට කවර මිටියක්ද විය. තවත් සමහර මිටි හොඳින් ඔතා මිටි බඳින ලද අත් පත්‍රිකාය, ඒවා බොහොමයක් උපකාරක පන්ති වල ප්‍රචාරණය සඳහා සකස් කරන ලද ඒවාය.

"කොල්ලෝ මේ හෑන්ඩ් බිලක් තියෙනවා, සමුපකාරේ ඉස්සරහ ඉඳලා පාරේ යන ළමයින්ට බෙදල දාපන්"

එසේ කිවේ සමුපකාරයේ මුරට සිටි සිරිසේනය. ඒ දැනට අවුරුදු දහයකට පමණ පෙරය.

"හොඳයි" අකලංක කිවේය.

නගරයේ හෝටල් වලට ලොරි  වලින් ගෙනෙන දර  පෝරණු අසල ගොඩ ගසමින් ද ඒවායේ භාජන සෝදමින්ද කෑමට යමක් සොයා ගනිමින්  රාත්‍රියේ කඩ පිලක කාඩ් බෝඩ් පෙට්ටියක් තුලට ගුලිවී නිදාගතේය   එක්තරා වැසි දිනයක

"ඔය කාඩ් බෝඩ් එක මේ ඇතුලෙන් දාගෙන නිදා ගනින්..................................

මටත් උඹ වගේ පුතෙක් ඉන්නවා "යයි සිරිසේන තම මුර කුටිය පෙන්න්වමින්  කිවේය.

කලක් ඉතා දියුණුවට තිබී ඒ වන විට අභාවයට ගොස් තිබු  සමුපකාරයේ විශාල ගබඩා සංකීර්ණ දෙකක් පුද්ගලික පංති පවත්වා ගෙන යාමට කුලියට දී තිබිණ. ඉන් පසුව අකලංකට සිරිසේන හරහා උපකාරක පන්ති වල අත් පත්‍රිකා බෙදීමට නිතර ඇනවුම් ලැබිණ. ගුරුවරුන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමත් සමගම පංති වල ඩෙස් බංකු  එහෙ මෙහෙ ගෙන යාමටද පංති කාමර  දිනපතා අතුගා  පිරිසිදු කිරීමටද ආදී වශයෙන් ලැබුණු වැඩවලින් ඔහු කාර්ය බහුල  විය. පංති ආරම්භ වන කාලයේ රාත්‍රියේ පෝස්ටර් ඇලවීමට කොන්ත්‍රාත් ලැබිණ. දිනපතාම පාහේ සිත්රූ මුද්‍රණාලයට යාමේ රාජකාරිය ඔහුට පැවරිණ. ඒ පෝස්ටර් අත් පත්‍රිකා නිබන්ධන ආදිය රැගෙන ඒමටය.

වසර කිහිපයකට පසුව දිනක් සිත්රූ මුද්‍රණාලයේ හිමිකරු

"අකලංක දැන් උඹ කොහෙද නැවතිලා ඉන්නේ?"

"සමුපකාරේ"

"උඹ කැමතිද මෙහෙ වැඩට එන්න?"

ඔහුට පිළිතුරක් නැත.

"මම මාසෙකට රුපියල් හාරදාහක් දෙන්නං. ප්‍රෙස් එකේ වැඩට වරෙන් ,  මේකේ මුරටත් කවුරුත් නෑනේ, පිටිපස්සේ ගබඩා කාමරේ නවතින්න දෙන්නං"

ඔහු තව දුරටත් එම කඩදාසි මිටි එකින් එක පරික්ෂා නොකළේය. සෙනසුරාදා නිවාඩු දිනයේ මුද්‍රණාලයේ ඉදිරි ප්‍රධාන දොර වසා තිබිණ, නමුත් කෙලවර කුඩා දොර විවෘත කර එකින් එක ගෙනවිත්  මුද්‍රණාලයේ ඉදිරි පස වූ විශාල කුණු බක්කියට තල්ලු කළේය. කුණු බක්කිය අසලට වී අකලංක දෙස බලා සිටින්නේ නගරයේ සිඟමන් යදින වයස අවුරුදු හතක් අටක් පමණ වන කුඩා පිරිමි දරුවෙකි.

"උඹ උදේට මොකුත් කෑවද ? "

"නෑ"

කුඩා දොරේ අගුල දමා මුද්‍රණාලයට මුහුණලා පාරේ ප්‍රතිවිරුද්ධ පැත්තේ ඇති හෝටලයෙන් මාළු පාන් ගෙඩියක් ගෙන කොලු ගැටයාට දුන් විට ඔහු එය කන ගමන්ම පාර හරහා අනෙක් පසට දුව ගොස් මිනිසුන් අතර  නොපෙනී ගියේය. අකලංක බිත්තර රොටි දෙකක් ගිලදමා එහි අතුරු සිදුරු පිරීයන්නට උණු වතුර විදුරු දෙකක් එක හුස්මට උගුරට හලා ගත්තේය.

පෙරදින රාත්‍රියේ කහ පාටින් වර්ණ ගැන්වීමට  මුද්‍රණය යන්ත්‍රයට දමා තිබුණු  ප්ලේට් එක ඉවත් කර රතු වර්ණය මුද්‍රණය කිරීමට අනෙක එකට  සවි කළේය. කහ පාටින්  තැන තැන මුද්‍රණය වී ඇති පෝස්ටර් පන්දහසක් වන මිටිය එක මත එක තබා  සකස් කොට ඉන් කොටසක් යන්ත්‍රයේ ස්ථානගත කළේය. කිහිපයක් මුද්‍රණය කර වර්ණ එකිනෙක නියමාකාරයෙන් සමපාත වන්නේ දැයි පරික්ෂා කර බැලීය. යන්ත්‍රයේ උඩ තබා ඇති පෝස්ටරයේ පරිගණක මුද්‍රණය දෙස හොඳින් බැලුවේය. එය දත් තිස් දෙකම විරිත්තාගෙන සිටින දේශපාලකයෙකුගේය.  යන්ත්‍රය ක්‍රියාත්මක කර වේගයෙන් යන්ත්‍රය තුලින් දුවන කඩදාසි, යන්ත්‍රයේ කැරකෙන රෝද දෙස අකලංක දීප්තිමත් දෑසින් ටික වෙලාවක් බලා සිටියේය. මුලින්ම වැඩට පැමිණි දින වල මෙම යන්ත්‍රය ඔහුට අරුමයකි. කොපමණ වෙලාවක් එදෙස බලා සිටියත් තවත් එදෙස බලා සිටිය හැකි විය. ඒ දින වල මෙහි සේවය කල කරුණාදාසගේ ඇඟිලි හතරක් යන්ත්‍රයට අසුවී කැඩී යන විට ඔහු අකලංකට යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේ ශිල්පය  හොඳින් උගන්වා තිබිණ. "ටකස් ටකස්" ශබ්ධය විශාල  කාමරය පුරා දෝංකාර දෙයි. යන්ත්‍රයෙන් එලියට විසිවෙන පෝස්ටරයේ දේශ පාලකයාගේ මුහුණ දැන් මතුවී පෙනෙන්නට විය.

"මේකාගේ මුණ හරියටම පෙන්න ඕනි නම් ප්ලේට් හතරටම කළු පාටින් ගහන්න  ඕනි" අකලංකට සිතුණි.

"මල්ලී මේ මරණ දැන්වීම ඩුප්ලෝ මැෂින් එකේ ගහල දෙන්න" ඒ මුද්‍රණාලයේ හිමි කරුය.

"හොඳයි සර් "

මරණ දැන්වීම කාමරයේ කෙලවර වූ ඩුප්ලෝ මැෂිම මත තැබූ ඔහු,

"පෝස්ටර් ටික ගන්න අද හවස එයි, ඒ වැඩේ ඉවර උනාම චන්න සර්ගේ පිට කවර ටික දාන්න, ඒක හෙට දෙන්න ඕනි " කියා  පිටවී ගියේය.

ඝෝෂාව මැද්දේම ඩුප්ලෝ යන්ත්‍රය මත තිබු මරණ දැන්වීම අතට ගත අකලංකට ඔලුවට පිටු පසින් පොල්ලකින් පහරක් වැදුණා වැනි හැඟීමක් ඇතිවිය. එහි තිබු පින්තුරය බාප්පාගේ නොවන බව තහවුරු කර ගැනීමට එය කිහිප වරක් හොඳින් බලන්නට සිදු විය.

"උඹලගේ බාප්පා කොල්ලොන්ට හරි ආදරෙයි නේද?" කියා ඉහල පන්ති වල පිරිමි ළමුන්  අසන්නේ මන්දැයි අකලංක  ඒ වන විට දැන සිටියේ නැත.

"උඹට පිස්සුද මිනිහෝ ගෙදර ගෑණියෙක් ඉඳිද්දී අතන මෙතන අගු පිල් වල කොල්ලොත් එක්ක බුදිය ගන්න "

ඒ අකලංක ගේ  අම්මාගේ ඉවසීමේ සිමාව සිමාව ඉක්ම ගිය පසු දිනෙක බාප්පා උදේ පාන්දර ගෙදර එන  විට බැන වැදුණු ආකාරයයි. මේ වන විට අකලංක දහය පන්තියේ ඉගෙන ගනිමින් සිටියේය. අම්මා කාලයක සිට රාත්‍රියේ නිදා ගන්නට යන්නේ හැඬු කඳුලින් බව ඔහුට තේරුම් ගොස් තිබිණ.

බාප්පා " අද වැඩ පොලේ රෑ වැඩ කරන්න වෙයි" කියා උදේ ගෙදරින් පිටත් වන දවස් බොහෝය.

ඔහු ඒ වන විට වැඩ කලේ සේවකයන් පහළොවක් පමණ සේවය කල ලී බඩු සාප්පුවක් ද සමග පවත්වාගෙන ගිය වඩු මඩුවකය.

අකලංක ඔහුගේ පියා කොහිදැයි අම්මාගෙන් දිනක් හෝ දෙකක් අසා ඇති බව මතකය, නමුත් එවිට ඇය දෑස් වල කඳුළු පුරවා ගන්නා බව දුටු ඔහුට එය තවත් හාරා අවුස්සන්නට සිත් දුන්නේ නැත. අම්මාට ගුටි බැට දෙන්නට ද පසු බට නොවන බාප්පා කෙරේ අකලංකගේ මේ වන විට තිබුනේ පිළිකුල් සහගත, වෛරී හැඟීමකි.

ඇය මෙසේ ඇසුවේ කුඩා බංකුවකට සවි කළ හිරමනයෙන් පොල් ගාමින් සිටියදී බාප්පා ගෙට ඇතුළු වන විටය.අකලංක මිඳුලේ සිටියේ දත් මදිමින්ය.

තිරිසනකු මෙන්

"කටවහගෙන හිටපිය පරට්ටි" යයි කිවේ බාප්පාය.

"කට වහගෙන ඉන්න පුළුවන් ඒත් මේ කොල්ලට ඉස්කෝලේ යන්න බැරි වෙනවා තොගේ නාඩගන් නිසා, ගමම දන්නවා දැන් මේවා" අම්මා කේන්තියෙන් නැගී සිටිමින් ඔහුගේ මුහුණට ලංවී පැවසිය. ඔහු ඇයව තල්ලු කර දැමූ විට පිඟන් රාක්කයේ හිස වැදී උඩු බැලි අතට බිම පතිත විය. එවිට අකලංක දොරකොඩට පැමිණ සිටියේය.

"තෝ තවත් කට වහන්නේ නැද්ද?" කියා කම්මුලට පහර  දෙන්නේ කිසිවක් කතා කර ගත නොහැකිව කෙඳිරි ගාන දුර්වල ස්ත්‍රියකටය.

අකලංක දුම්රියට ගොඩවී කොළඹට පැමිණ නැවතත් කොහේදෝ යන  බසයක නැගී යන්නේ කොහේ හෝ යාමට උවමනා වූ නිසාවෙනි. මොනයම් හෝ  ක්‍රමයකින් මියයන්නට ඇත්නම් කොපමණ සැපතක් දැයි ඉන් පසු ඔහුට සිතුනු වාර අනන්තය.

දොර පොල්ලේ තියුණු දාරය ඔහුගේ කුඩා මොළය ආවරණය කරමින් තිබු හිස් කබලේ වැදී රතු පැහැති සායමින් මවගේ මුහුණත් බිත්තියත් මත මැවූ  සිතුවම කුමක්දැයි තේරුම් ගැනීමට අකලංක තවමත් උත්සහා දරමින් සිටින්නේය.


- ජානක ගුණතිලක 


Friday, February 14, 2014

සංසාර චක්‍රයේ කෙළවර-කෙටි කතාව (4)


සංසාර චක්‍රයේ කෙළවර 


කුඹුක් ගසේ විශාල මුලක දෙබලේ කහ-තැඹිලි පැහැති තුවායෙන් එතු කමිසය, කොට කලිසම සහ ජංගම දුරකථනය තබා රබර් සෙරෙප්පු දෙක ගං ඉවුරේ  ගලවා දමා දුමින්ද සීතල වතුරට සීරුවෙන් පය තබයි. සෙමෙන් ගලා යන ජල කඳ දෙසට යනවිට  රොන්මඩ දියසෙවෙල රහිත ගං පතුලේ පිරිසිදු වැලි නග්න දෙපතුල් කිති කවයි. පහුගිය දින කිහිපයේ තිබු වර්ෂාව හේතුවෙන්  රොන්මඩ සහ රොඩුබොඩු   ගසා ගෙන ගොසිනි. දෙපස තැනින් තැන ඇති කුඹුක් ගස්වල විශාල අතුවලින් ගඟ වසා ගෙන තිබේ. සන්තතිකව ඒවා අතර වැවී ඇති කහ උණ සහ බට පඳුරු ගඟ දෙසට නැමී  ඇත. ඒවායේ අතු කෙළවර දිගට දිගේ එල්ලෙන අලංකාර වඩු කුරුළු කූඩු වෙසක් පොහොයට එල්ලූ කූඩු  සේ සුළඟට ඒ මේ අත සෙලවේ. හිරු ඈත කඳු පන්තියට මුවා වීමට ඇත්තේ  තවත් පැය  එක හමාරක් පමණ වන්නට ඇති බැවින් ද සිහිල් සුළං හේතුවෙන් ද එකවරම දියේ ගිලීමට තරම්  දුමින්දගේ ඇඟ උණුසුම් නැත. ජලයේ ගැඹුර ඔහුගේ කොට කලිසමේ ඉහල ඉලාස්ටික් වාටියෙන්  කෙළවර වේ. පියවි ඇසට නොපෙනෙන තරමේ ආනතියකින් ජලය ගලා බසී. ගලන සීතල වතුර අත් වලින් ඇඟේ තවරා ගනිමින් ගඟ ඉහලට ටික දුරක් ඔහු පියමං කරන්නේ කිසිදු අරමුණක් ඇතිව නොවේ. මෙසේ සෙමෙන් ගමන් කරනවිට කවුරුන් හෝ කොඳුරන හඬක්  ඇසෙන්නේ කුමන දිශාවෙන්දැයි ඔහු  විමසිලිමත් වූවේය. වන සතුන් ගඟට බැසීමට බට පඳුරු දෙබෑ කර ඒවා අතරින් සාදාගත් උමං මාර්ග ගඟ දෙපස සෑම අඩි දහය දොළහකටම හමුවේ. බට පඳුරු වලින් අහස වැසී ගිය එවැනි ගඟ දෙසට දිවෙන එබඳු ආවරණය වූ ස්ථානයක සෝදා අවසන් කළ රෙදි පොදියකි. ඊට ආසන්නයේ කුඹුක් මුලක් උඩ වාඩි වී දුමින්ද නොදන්නා තරුණයෙකු සමග තුරුළු වී පෙම්බස් දොඩන්නේ හිරුනිකා අක්කාය. ඇයට පෙම්වතුන් කොපමණ සිටීදැයි දුමින්දට ඇත්තේ මහත් ප්‍රහේලිකාවකි. දුමින්ද එසැණින් දියේ ගිලී  නොපෙනී යන්නේ ඔවුන්ගේ ඇස ගැටීමට පෙරය-මතුවූයේ ඔහුගේ ඇඳුම් පොදිය තිබු ස්ථානය සමීපයෙනි.

වෙල් යායේ සියලු කුඹුරු වල ගොයම් මඩවා බැත ගෙවල් වලට ගෙන ගොස් ඇති බැවින් ගැමියන් වෙල්යායට පැමිණෙන්නේ කලාතුරකිනි. සෑම නිවසකටම පාහේ නල ජලය ඇති බැවින් දිය නෑමට ගඟට එන ගැමියෙක් කලාතුරකින් දැකගත හැකිය. කුඹුරු දෙකක් මැදින් ඇති නියරක් දිගේ ටික දුරක් ගමන්කර  කුඹුරු වලට ජලය සපයන දැනට සිඳී ගොස් ඇති ඇලෙහි  ගැට්ටට නැගගත් දුමින්ද ටික දුරක් ඇවිද යන විට තවත් නියරක් දිගේ පැමිණ රතු පැහැති කුඩා මල් ඇති ගවූමට උඩින් විශාල කහ පැහැති මල් වලින් හැඩ  දමන ලද කොළ පැහැති චීත්තයක් ද ඇඳගෙන වතුර බේරෙන කොණ්ඩයේ තුවායක් පටලවාගෙන හිරුනිකා  අක්කා ද ඇලට ගොඩවිය. දුමින්ද හැරී  පහල ගඟ දෙස බැලුවද ඒ දෙපස ලඳු කැළෑව සහ හිස් කුඹුරුයාය  මිස කිසිවක් නොවිය.

" අද වතුර සීතලයි නේද මල්ලී ? "

"ඔව් අක්කේ "

"මට නං හෙට දහම් පාසලට එන්න වෙන්නේ නෑ, මම ලොකු හාමුදුරුවන්ට කෝල් එකක් දීල කියන්නම් " කියාගෙන ඇය ඔහුට  ඉදිරියෙන් ඉක්මන් ගමනින් නොපෙනී ගියාය. ඔහු ඇය  නොපෙනී යන තුරු නිසොල්මන්ව බලාගෙන සිටියේ ඇල  කන්ඩියේ සිට වූ ගල් පිළිමයක් සේය.

හිරුනිකාගේ අවිවාහක වැඩිමහල් සහෝදරයා හමුදා සේවයේය; පියා වසර කිහිපයකට පෙර මිය ගියේය; මවට අවුරුදු පනස් ගණනක් වුවද කායිකව මෙන්ම මානසිකවද  ඉතා දුර්වල තැනැත්තියක් වුවාය. ඇය නිවසින් බැහැරට යන්නේ සතියකට වතාවක් හඳුන්ගම රෝහලේ සායනයටය.

දුමින්ද පන්සලට ලඟා වන විට  මිනිසුන් එහි ගෙනත් දමා ගොස් සිටි සුනඛයන් හතර දෙනාද, පැටවුන්   දෙදෙනාද, බළලුන්  දෙදෙනාද සමග මාස  දෙකකට ඉහත පැවිදි වූ පොඩි හමුදුරුවෝ ද ඇබිත්තයන් දෙදෙනා ද මිදුලේ තණකොළ පිට්ටනියේ කරණම් ගසන්නේ ලොකු හාමුදුරුවන් පන්සලේ නැති නිසා බව දුමින්ද හොඳින්ම දනී.

"පොඩි හාමුදුරුවෝ, මේ දෙන්නත් එක්ක විහාරේට ගිහිල්ලා බුදුන් වැඳලා එන්න ලොකු හාමුදුරුවෝ එන්න ඉස්සෙල්ල"

"මල් ටිකක් කඩා ගනිල්ල අර මල් පාත්තියෙන්" නැවතත් ඔහු කිවේ තණකොළ ගොඩේ උඩු බැලි අතට නිදා සිටින වයස අවුරුදු දහයේ සහ දොළහේ කොලුගැටයන්  දෙදෙනාටය. බලු පැටවු දෙදෙනා ඔවුන්ගේ කලිසම් සහ කමිස වල කෙළවරවල්වලින් අදිමින් සෙල්ලම් කරති.

දහවල් දානයෙන් ඉතිරි වූ ව්‍යංජන සහ බත් රාත්‍රියට ඇති තරම් තිබෙන බැවින් නැවත කෑම පිසින්නට උවමනාවක් නැත. ලොකු හාමුදුරුවන්ට වෙනමම කෑම බෙදා එය වෙනකොට තබා දුමින්ද ඔහුගේ කාමරයට යන්නේ හෙට හවස ඇති ඉංග්‍රීසි පන්තියේ ගෙදර වැඩ ටික අවසන් කිරීමටය. දුමින්දගේ කාමරය ඉතා පිළිවෙලට සකස් කරගෙන තිබේ, එය පොඩි හාමුදුරුවන්ගේ කාමරයට යාබද කාමරයයි. පාඩම් කරන කාලයේදී බිත්තියේ ඇලවූ රූපසටහන්, සමීකරණ තවමත් ඒ ආකාරයෙන්ම තිබේ. බිත්තියට අලුතින් එකතු වී ඇත්තේ  කුඩා කළු ලෑල්ලකි; එහි දිනපතා ඉංග්‍රීසි වචන ලියා තබා ඒවාගේ අකුරු පාඩම් කරයි. මිට අමතරව ඇත්තේ කුඩා ඇඳක්, මේසයක් සහ අල්මාරියකි.

දුමින්දගේ මේ දින වල ව්‍යායාමය  ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගැනීමටය. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල තව මාසයක් ඇතුලත නිකුත්වීම අනිවාර්යය. තමන් සරසවි වරම් ලැබීම ගැන  දුමින්දට කිසිදු සැකයක් නොමැත. මෙවර ලකුණක් දෙකක් මදි වුවද තමාට තව දෙවතාවක් ඊට අවස්ථාව ඇති බව දන්නා ඔහු කිසි සේත්ම ආත්ම විශ්වාසය දෙවැනි තැනට තල්ලු කර දැම්මේ නැත. දෙමාපියන් නොමැති දුමින්දගේ සියලු අවශ්‍යතාවයන් සොයා බැලුවේ කරුණාසාර හමුදුරුවෝය. ගමේ කුඹුරු ඉඩම් වලින් භාගයක් පමණ පන්සලට අයිති ඒවා වන බැවින් එම ඉඩම් වල වී අස්වැන්නෙන් අර්ධයක් ද එළවළු කන්නයේ බදු මුදල් ද ලැබෙන බැවින් පන්සලට අගහිඟකම් තිබුනේ නැත. ඉබි යතුරු දමූ ගරාජයේ තිබෙන මෝටර් රථයේ කල්බදු නියමිත කාලයට පෙරම ගෙවා අවසන් කළේද එය  තහවුරු කරමිනි. උන් වහන්සේ පන්සලේ විහාරාධිපති වන අතරම ගමේ පාසැලේ උප විදුහල්පතිද වේ. උන් වහන්සේගේ වයස දුමින්ද හරි හැටි නොදැනගත්තද අවුරුදු හතළිහක පමණ පෙනුමකින් යුක්තය.

මෙහි ඇති තරම් කාමර මෙන්ම ඇඳන් තිබුනද ඇබිත්තයන් දෙදෙනාට නිදා ගන්නට ඇත්තේ පොඩි හාමුදුරුවන්ගේ කාමරයේ බිමට දැමු මෙට්ටයකි. රාත්‍රී දහයට පමණ ආවාස ගෙයි සියලු දොරවල් හොඳින් වසා  ඇත්දැයි පරික්ෂා කර බලා එනවිට පොඩි හාමුදුරුවන් පොතක් කියවයි, ඇබිත්තයන් දෙදෙනා සැප නින්දේය. දුමින්දගේ සැප පහසු සයනයේ වැතිරී විදුලි බුබුල නිවා දැමූ ඔහුට සිහියට එන්නේ විහාරගෙයි බිත්තියේ ඇති නාරිලතා මල්ය. ඒවායේ නාරි රුප  හිරුනිකා අක්කාගේ රූපයෙන් විස්ථාපනය වී තිබිණ. තිබු කොට්ට දෙකෙන් එකක් යටි බඩ සහ කලවා අතරට හිරකරගත් ඔහු හිරුනිකා අක්කාගේ ලෝකයේ තනි විය. ඇයගේ අලංකාර දිගු කෙස් කළඹ සිනාසෙන විට වල ගැසෙන රෝස පැහැති කම්මුල් ආදී සියල්ල ඔහු ස්පර්ශ කරන්නට විය. 

නවීකරණය කරන ලද ආවාස ගෙයි මැද මිදුලකි; මෙය මල්ගස් වවා අලංකාර කර ඇත. කරුණාසාර හාමුදුරුවෝ අමුත්තන් මුණගැසෙන ඉදිරිපස ශාලාවේ විශාල මාළු ටැංකියකි, මෙය විසිතුරු මසුන්ගෙන් පුරවා තිබේ. එය නඩත්තු කරන්නේ කරුණාසාර හාමුදුරුවන් විසිනි. අවාස ගෙහි  මිදුල කෙලවර වන්නේ ධර්ම ශාලාව, බෝ මලුව සහ විහාර ගෙය වටා ඇති ප්‍රාකාර බැම්මෙනි. මෙම බැම්මෙන් ඇතුලත බිම සම්පුර්ණයෙන්ම සුදු වැලි අතුරා ඇත. සියලු ගොඩනැගිලි පිහිටා ඇත්තේ එකම මට්ටමේය, එය තරමක් උස් භූමි භාගයකි. ඉරිදා උදෑසන දහම් පාසලේ පන්ති බොහොමයක් පවත්වන්නේ මෙම වැලි මළුවේය. හිරුනිකා අක්කා 'හතර ශ්‍රේණිය'  පන්තිය භාරව කටයුතු කරයි. ඇය උසස් පෙළ විභාගය හොඳින් සමත් නොවුනද අවුරුදු කිහිපයක්ම නොකඩවා දහම්පාසල් ගුරුවරියක් ලෙස කටයුතු කරන්නීය.

"අද හිරුනිකා ටීචර් එන්නේ නෑ කිව්වා, කුමාරි ටීචට කියන්න හතර පහ පන්ති දෙකම එකතු කරලා උගන්නන්න කියල " ලොකු හාමුදුරුවෝ දුමින්දට කතා කොට පැවසීය.

"හොඳමයි හාමුදුරුවනේ " කියා දුමින්ද ධර්ම ශාලාවට ගොඩ වුයේ වැලි මළුවේ ඈත කෙලවරේ සිටි පාසල් සේවයෙන් විශ්‍රමගිය කුමාරි ගුරුතුමිය ලඟට ගොස්  පණිවිඩය ද කීමෙන් පසුවය.

දුමින්දට භාරව තිබුණේ දහම් පාසලේ ඉහලම පන්තිය වන දහය ශ්‍රේණියේ පන්ති භාරකාරත්වයත්, නමය සහ දහය ශ්‍රේණිවලට අභිධර්මය ඉගැන්වීමටත්ය. මෙම එක පන්තියක  සිටින්නේ සිසුන් දහයක් පමණය, ඔවුන්ගෙන් බහුතරය තරුණ ගැහැණු ළමුන් වීම පිළිබඳව දුමින්දට ඇත්තේ කිසිවෙකුටත් නොපවසන සතුටකි. පාසැල් සුදු ගවුමට වැසී ඇති තරුණියන්ගේ බොහෝ ශරීරාංග  දහම් පාසැල් නිල ඇඳුමේදී නිරාවරණය වී තිබීම ඔහුට ශෘංගාරාත්මක හැඟීමක් ඇති කරයි; මෙය අභිධර්මය වඩාත් ගැඹුරට ඉගැන්වීමට ඇති උනන්දුව වැඩි කිරීමට හේතු වී ඇතිදැයි දුමින්දට ද  ගැටලුවකි.

බොහෝ දිනවල සවස පන්සලේ සිටින්නේ දුමින්ද සහ ලොකු හාමුදුරුවන් පමණි, ඒ පොඩි හාමුදුරුවන් සහ කොලු ගැටයින් දෙදෙනා පිරිවෙණට යන බැවිණි. දුමින්ද සවස තුනට තිබූ ඉංග්‍රීසි පන්තියට පිටත්ව ගියද එදින ගුරුවරයා හදිස්සියේ  එය අවලංගු කර තිබු බැවින් සැලසුම් කළ වෙලාවට කලින් පන්සලට නැවත පැමිණීමට සිදුවිය. අවාස ගෙයි ප්‍රධාන දොරටුව වසා  තිබු බැවින් පසුපස දොරින් දුමින්ද ඇතුළු වන විට දොර බිත්තියේ වැදී තරමක හඬක් නිකුත් විය. ඒ සමගම කරුණාසාර හාමුදුරුවන්ගේ කාමරයෙන් එලියට දිව ආවේ හිරුනිකා අක්කාය. ඇය දුමින්දට වචනයක් වත් කතා කලේ නැත. ඔහු පසු කරගෙන වේගවත් ගමනින් විවෘත කර තිබු දොරින් පිටව ගියාය.

මෙම සිද්ධියෙන් පසුව ඇය සති කිහිපයක් දහම් පාසැලට පැමිණියේ  නැත. එක්තරා  පොහොය දිනක සවස බෝධි පුජාව අවසන් වුයේ රාත්‍රී හතට පමණය, විහාර මළුවේ විදුලි පහන් නිවා දැමීමට දුමින්ද හෙමින් සීරුවේ ධර්ම ශාලාව පසු කර යනවිට විනාඩි විස්සක් පමණ ගතවී තිබිණ.

"මට දැන් මැරෙනවා ඇරන්න කරන්න දෙයක් නෑ"

ඒ හිරුනිකාගේ කටහඬ බව දුමින්ද එකවර හඳුනා ගත්තේ, ඒ සමීපයේ විශාල ස්ථම්භයට මුවා වුයේ කරුණාසාර හාමුදුරුවන් බවද ඔහු දුටුවේය, නමුත් කිසිවක්  නොදැක්කා  සේ ඔහු මළුවේ කෙලවරට ගොස් එහි සිට විදුලි බුබුළු එකිනෙක වෙනදාටත් වඩා  සෙමෙන් නිවා දමමින් පැමිණෙන විට කිසිවෙකු පෙනෙන්නට සිටියේ නැත.

මෙම සිද්ධියෙන් පසුව කරුණාසාර හාමුදුරුවන්ගේ දින චර්යාව සම්පුර්ණයෙන්ම උඩුයටිකුරු  වී ඇති බව දුමින්දට වටහා ගැනීමට සාක්ෂි උවමනා තරම් විය. පාසැල ඇරී පන්සලට පැමිණෙන උන්වහන්සේ කාමරයෙන් එලියට පැමිණෙන්නේද කලාතුරකිනි. දින ගණනකින් කොලු ගැටයන් දෙදෙනාගෙන් සවස ගාථා පාඩම් ගන්නවා දුමින්දට ඇසුනේ නැත. සවසට අඳුර වැටෙන තුරු මිදුලේ සිමෙන්ති බංකුවට වී සති අන්ත  පුවත්පතක් හෝ පොතක් කියවන පුරුද්ද ද දැන් මග හැරී ගොසිණි. දායකයෙකු සමග  පිංකමක් පිලිබඳ සාකච්චා කරගැනීමට පැමිණියද එය අවසන් වූ වහාම වහාම කාමරයට ගොස් දොර වසා ගත්තේය.

මෙසේ දිනපතා කැලැන්ඩරයේ කොළ එකිනෙක ගැලවී ගොස් එක් සෙනසුරාදා දිනක වෘතියෙන් හෙදියක් වන කරුණාසාර හාමුදුරුවන්ගේ ඥාති සහෝදරියක් පන්සලට පැමිණියාය. තලතුනා ඇය ශ්‍රියානි නම් විය. ශ්‍රියානි මාස  කිහිපයකට වරක් පන්සලට පැමිණෙන්නේ රස කැවිලි මෙන්ම පලතුරු ද මල්ලක පුරවාගෙනය.

"ආ, දුමින්ද කෝ අපේ හාමුදුරුවෝ? "

"කාමරයේ ඉන්නවා නෝනා"

කාමරයට ගිය ඇය  නැවත එලියට පැමිණියේ පැයකට පමණ පසුය, ඔවුන්  තීරණාත්මක ස්වරයෙන් යම් බරපතල ප්‍රශ්නයකට විසඳුම් සොයන්නට වෙහෙසෙන බව නම් දුමින්දට කිසිදු සැකයකින් තොරව ඔප්පු වී හමාරය. ඔහු කාමරය ආසන්නයෙන් කිහිප විටක් ගමන් කළ ද කතා කරනවා මිස කුමක් කතා කරන්නේ දැයි හඳුනා ගැනීමට නොහැකි විය. කාමරයෙන් එලියට පැමිණි ඇය දුමින්ද දෙස පිළිකුල් බැල්මක් හෙලා මිඳුලේ ඇති බැංකුවේ වාඩි වී  ජංගම දුරකතනයෙන් කතා  කරන්නට විය. ටික වෙලාවකින් කරුණාසාර හාමුදුරුවෝ මිදුලට පැමිණියේය.

"මම වෙලාවක් කියල කෝල් එකක් දෙන්නම්" කියා ඇය  උන් වහන්සේට වැඳ පිටත්ව ගියාය.

රාත්‍රී කෑමෙන් පසුව දුමින්ද පොතක් කියවමින් සිටියදී පොඩි හාමුදුරුවන් පැමිණ,

"දුමින්ද අය්යට ලොකු හාමුදුරුවෝ කතා කරනවා" කිවේය.

දුමින්ද කරුණාසාර හිමියන්ගේ කාමරයට ඇතුළු වූ පසුව හාමුදුරුවන් විසින්ම කාමරයේ දොර වසා ලියන මේසයේ පුටුවේ හිඳ ගත්තේය. දුමින්ද මේසය ආසන්නයේ සිටගෙන සිටියි.

"මම උඹට කරන්න පුළුවන් හැම උදව්වක්ම කරලා තියෙනවා දුමින්ද, මට පුළුවන් විදිහට මම උඹට හොඳට ඉගැන්නුවා අම්මා තාත්ත  නැතුව හිටපු උඹට අනාතයෙක් වෙන්නේ නැති තරමට මම ඉන්ඩ හිටින්න දුන්නා"

කරුණාසාර හාමුදුරුවෝ කතාව නතර කර දිගු සුසුමක් හෙලයි. දුමින්ද නිසොල්මන්ව  මේසය දෙස බලාගෙන එය මත තබා ඇති අලංකාර පිට කවරයකින් යුත් පන්සිය පනස් ජාතක කතා පොත දෙස බලා  සිටින්නේය.

"මේක මගේ නරක කාලයක්, මට උඹෙන් උදව්වක් ඕනි හැබැයි කිසි කෙනෙක් එක්ක මේ ගැන කතා කරන්න බෑ  " කරුණාසාර  හාමුදුරුවෝ දිගටම කියාගෙන යයි, එය ඉල්ලීමක්ද තර්ජනයක්ද කියා වෙන් කර ගැනීමට දුමින්දට අපහසුය, ඒ සමගම අල්මාරියේ දොර ඇර එයින් සල්ලි මිටියක් එලියට ගනී.

"හෙට උදේ දහයට ජනතා ෆාමසි එක ලඟට යන්න ඕනි " කියා සල්ලි මිටිය දුමින්ද අත තැබීය.

ඔහු කිසිවක් නොකියාම කාමරයෙන් පිටවිය. තම කාමරයට පැමිණ සල්ලි මිටිය මේසයේ ලාච්චුවට දමා සිදු වන්නේ කුමක්දැයි සිතා ගැනීමට උත්සහා කළේය. ඇඳේ හාන්සි වී දෑස පියා ගත් විට  විහාර ගෙයි බිත්තියේ ඇති නාරිලතා මල් සහ  යක්ෂ රුප, උසස් පෙළ ප්‍රතිඵල ලේඛණ, සල්ලි මිටි ආදී එකිනෙකට කිසිදු සම්බන්ධයක් නොමැති  විකාර රූපි සිහින පෙනෙන්නට ගනී.

දුමින්ද පසුදින උදේ නමයට පමණ සුදානම් වී සල්ලි මිටියද සාක්කුවේ දමාගෙන බස් නැවතුමට එන විට එහි හිරුනිකාද විය. ඇය ඔහුට සිනාසුන නමුත් කතා කළේවත් සමීපයට පැමිණියේවත් නැත. බස් රථය විනාඩි හතලිස් පහක පමණ ගමනින් පසුව හඳුන්ගම නගරයට ලඟා විය.

"ෆාමසිය ළඟ කරුණාසාර හාමුදුරුවන්ගේ අක්කා ඉන්නවා කිව්වා- මල්ලිත් එක්ක එයාව මුණ ගැහෙන්න කිව්වා " යයි හිරුනිකා කිවේ බසයෙන් බැසගන්නවාත් සමගය.

දෙදෙනා එහි යන විට ඊයේ පන්සලට පැමිණි කරුණාසාර හාමුදුරුවන්ගේ සහෝදරිය ශ්‍රියානි ෆාමසිය ඉදිරියේ සිටගෙන බලාගෙන සිටින්නීය. මෙය ෆාමසියක් ලෙස නමට තිබුනද තට්ටු තුනක් පුරා පවත්වාගෙන යන ප්‍රසිද්ධ චැනල් සෙන්ටර් එකකි. 

ඇය කීවේ "යමු" කියන වචනය පමණි, දුමින්දත් හිරුනිකාත් ඇය පිටුපසින් ගොස් ඇතුළත රෝගීන් ලියා පදිංචි කරණ කාමරයට ඇතුළු වූහ.

"කව්ද ඩොක්ට" අසන්නේ කවුන්ටරයේ සිටින කාන්තාවය.

" ඩොක්ට අතුල ද සිල්වා " පිළිතුරු දෙන්නේ ශ්‍රියානිය.

" ලෙඩාගේ නම "

"හිරුනිකා කුමාරි අත්තනායක"

"භාර කාරයා "

"දුමින්ද " කියා පිළිතුරු දෙන්නී ශ්‍රියානිය.

"අයිඩින්ටි කාර්ඩ් එක දෙන්න" දුමින්ද සාක්කුවෙන් එලියට ගන්නා හැඳුනුම්පත මේසය මත තබයි.

"මෙතනින් අත්සන් කරන්න "

"රුපියල් පාලොස්දාහයි " ඔහු අත්සන් කරන අතර තුර සේවිකාව පැවසීය.

දුමින්ද සාක්කුවෙන් එලියට ගන්නා සල්ලි මිටියෙන් එය ගෙවා දැමූ විට,

"තුන්වෙනි තට්ටුවේ කාමර අංක අටට යන්න" කියා මුදල් ගෙවූ තුන්දුව ලබාදී හිරුනිකාට පසු පසින් සිටි අනෙක් තරුණියට ඉදිරියට කතා කළාය.

තරප්පු පේලි දෙකක් නැග ගෙන ගොස් වීදුරු දොර විවර කරගෙන අංක අට කාමරයට මුලින්ම පිවිසෙන්නී ශ්‍රියානිය.

"ආ ශ්‍රියානි මෙයා ගැනද කිව්වේ?" මේසය සමග ඇති පුටුවේ වාඩි වී සිටින ප්‍රියමනාප තරුණ දොස්තර අසන්නේ හිරුනිකාට ඔහු ආසන්නයේ ඇති පුටුව පෙන්වමිණි.

"ඔව් ඩොක්ට"

"මාස කීයද ?"

"තුනක් විතර" හිරුනිකා පිළිතුරු දෙයි,

"බය වෙන්න දෙයක් නෑ ඇතුළට යමු" හිරුනිකා ශ්‍රියානි  සහ දොස්තර  තිරයෙන් ඇතුළට ගමන් කළහ.

දුමින්ද කාමරයෙන් පිටතට පැමිණ කොරිඩෝවේ සිට නගරයේ එහා මෙහා ගමන් කරන වාහන සහ මිනිසුන් දෙස බලමින් පැයකට වඩා එහි ගත කරන්නට ඇත.

අවසානයේ ශ්‍රියානි හිරුනිකා ද සමග පිටතට පැමිණියාය. හිරුනිකා ඉතා අපහසුවෙන් තරප්පු පෙළ බැසගෙන ශ්‍රියානි සමග වීදියට පිවිසෙන විට, දී තිබු බෙහෙත් තුන්දුවේ බෙහෙත් ටික මිලදී ගැනීමට  දුමින්ද ප්‍රමාද විය. ඔහු පිටතට පැමිණෙන විට කාන්තාවන් දෙදෙනා ත්‍රීරෝද රථයකට ගොඩවී සිටියහ. පැය භාගයකට ආසන්න ගමනේදී කිසිවෙක් කතා නොකළහ. මිලදී ගත්  බෙහෙත් දුමින්ද හිරුනිකාගේ අත්  බෑගයට දැමුවේය.

ත්‍රී රෝද රථය හිරුනිකාගේ නිවස ළඟ නතර කර ශ්‍රියානි ඇයව නිවසට ඇරලුවාය. රථය සහ නිවස අතර අඩි සියයක පමණ දුරක් විය. ශ්‍රියානි නැවත පැමිණෙන විට දුමින්ද සිටියේ ත්‍රී රෝද රථයට මදක් ඈතිණි. ඔහු සමීපයට පැමිණි ශ්‍රියානි,

"උඹට අපේ හාමුදුරුවෝ සැළකුවා වැඩි වුනා, අම්මා තාත්තා නැතුව මැරෙන්න යනකොට අපේ පවුලේ එකෙක් කියල හිතල හාමුදුරුවෝ උඹට සැලකුවේ. යන්තන් පණ ගහල එනකොට පටන් ගත්තා දඩාවතේ යන ගෑණු පස්සේ යන්න, එක්කෝ උඹට යන්න වෙන්නේ හිරේ, එහෙම නැත්තන් කසාදයක් බැඳගෙන මේ ගෙදර බින්න බහින්න වෙන්නෙ. උඹ  මෙහෙම අසමජ්ජාති වැඩ කරනකොට  කොහොමද යකෝ අපේ හාමුදුරුවෝ සිවුරක් ඇඳගෙන පාරේ බැහැල යන්නේ? තුක් විතරක් තෝ වගේ කලකන්නියෙක් , මම අපේ හාමුදුරුවන්ගේ වචනෙට ආවා මිසක්"  තරහින් පුපුරමින් සිටි ඇයට තවත් කතා කරගත නොහැකි වූ විට ත්‍රී රෝද රථයට ගොඩ වුවාය. දුමින්ද කිසිවක් අදහා ගත  නොහැකිව ත්‍රී රෝද රථය ගමන් කරන දෙස ඇසි පිය නොහෙලා බලාගෙන සිටියේය.

- ජානක ගුණතිලක

Saturday, February 8, 2014

සුසුමක ඇරඹුම - කෙටි කතාව (3)

සුසුමක ඇරඹුම 


ඉතා උසට සරුවට වැඩී  කිරි වැදී ඇති ඉරිඟු ගස් පේලි මැද්දෙන්   දිවයන විට  ඒවා අතරින් එන හිරු කිරණ  අපගේ මුහුණු වලට වැටෙන්නේ ඉතා කලාතුරකිනි. ඉරිඟු ගස් මගේ උස මෙන් දෙගුණයකට වඩා වැඩිය,  නංගිගේ උස මෙන් තුන් ගුණයක් වන්නට ඇත, මල්ලිගේ උස නන්ගිටත් වඩා අඩුය. අප තිදෙනාම සිනාසෙයි, ඒ හඬ ඉරිඟු යාය  පුරා රැව් දෙයි. අම්මා  සහ තාත්තා මයියොක්කා පැල වලට පස් ගොඩ කරති. අපට මහන්සි දැනුන විට ඉරිඟු ගස් යටට වී එකිනෙකාට තුරුළු වී කිරි වැදුණු ඉරිඟු කරල් වල රස බලයි, මල්ලීටද එකක හනස්ස ඉවත් කර දෙයි, ඔහු කුස පිරුණු පසු  හුරතල් බස් දොඩමින් බොහෝ විට මාගේ හෝ නංගිගේ උකුලේ නිදා ගත්තේය. සෙල්ලම් කරන විට මා ඉදිරියන්  දිව ගියද   උපරිම වේගයෙන් දුවන්නේ නැත, ඒ මල්ලිට අප සමග එන්නට බැරි වේ යයි දුක සිතෙන බැවිනි. මල්ලී ඉදිරියෙන් දිවයන විට නංගිද  මමද එකිනෙකාගේ උරහිස් වලට අත්  තියාගෙන කොච්චි පැද්දෙමු. මේ වන විට මල්ලිගේ වයස අවුරුදු හතරක් පමණ වන්නට ඇත,නංගිට අවුරුදු හයක් වූ අතර මට අවුරුදු දොළහකි. ඇතැම් විට

 "අය්යේ කෝච්චිය කියන්නේ මොකක්ද?" කියා මල්ලී  අසන විට නංගිත් මමත් ඔහුට කෝච්චිය ගැන විස්තර කියා දුන්නෙමු. නමුත් අපි දැක  තිබු විශාලම වාහනය වුයේ දිනකට  දෙවරක් අපගේ ගමට එන ආසන විසි පහේ ලංගම බස් රථය පමණි. නංගීද මමද ඉස්කෝලේ බිතියේ අලවා තිබෙන පින්තුර වල කෝච්චි දැක තිබුනෙමු, මල්ලීට පෙන්වන්නට ගෙදර පින්තූර පොතක් තිබුනේ නැත.

කෙසඟ සිරුරක් තිබුනද තාත්තා ඉතා ධර්යය වන්තය, අම්මා  කිසිවිටකත්  තාත්තාට  සැරෙන් වචනයක් කතා කරනවා අප අසා තිබුනේ නැත. අප තිදෙනා උස මහත් කිරීමට ඇය විඳි දුක අප්‍රමාණය. සැප්තැම්බර් වලින් ආරම්භ වන වැසි කාලයේදී අප නිවසට යාබදව ඉහලින් ඇති අක්කර දෙකක පමණ මුළු කඳු ගැටයම එලි පෙහෙළි කරන්නේ අම්මාත්  තාත්තාත් දෙදෙනාය. නොවැම්බර් වන විට මයියොක්කා  වලින් ඉඩමේ මැද කොටසද ඉතිරිය බඩඉරිඟු ද වගා  කරති. අම්මා ඉඩක් ලද විටෙක ගෙවත්තේ කුරක්කන්, බතල, මෑ කරල්, බණ්ඩක්ක ආදී එළවළු පාත්ති කිහිපයක් අස්වද්දා ගන්නීය. අවුරුද්දේ ඉතිරි කාලය සඳහා වියදමට මුදල් ලැබෙන්නේ මෙම වගාවෙනි. ජනවාරි මාසය වන විට කුඹුරු වල වී වැපිරීමට සුදානම් කරන්නේ තාත්තාගේ තනි මහන්සියෙනි, අම්මා කුඹුරු වැඩ වලට නොයන්නිය. අසල්වැසි  ගොවීන්  සමඟ අත් උදව්වෙන් තාත්තා කුඹුරේ වැඩ කලට වෙලාවට නිම කර ගනී. අප්‍රේල් සිට අගෝස්තු කාලය ගෙවෙන්නේ මැණික් ගැරීම සඳහාය. ගමේ සියලු දෙනා මේ කාලයට තමන්ගේ ගොඩ මඩ ඉඩම් වල ඉල්ලම් හාරා වතුර පොම්ප වලින් හෝ කුඹුරු යායට ජලය සපයන ඇලෙන්  ඒවා සෝදති. සමහර ගොවීන් තමන්ගේ ඉඩම් බදු දෙති.බොහෝ අවුරුදු වල අපට අලුත් ඇඳුම් ලැබෙන්නේ තාත්තාට  මැණික් ගලක් හම්බ උණු විටය. නමුත් තාත්තා බලා පොරොත්තු වූ තරමක මැණිකක් අපට කිසිදාක හම්බ උනේ නැත. මට යන්තම් අවුරුදු දහය ලැබූ දින සිටම මට හැකි අයුරින් තාත්තාගේ සෑම  වැඩකටම උදව් කරන්නට පුරුදු වී සිටියෙමි.

ඉස්කෝලේ නමය පන්තියට පැමිණ මාසයක් පමණ ගතවූ විට දිනක රාත්‍රී අප නිදා ගන්නට ගොස් අම්මා කුප්පි ලාම්පුව නිමා  දැමු විට,

"ලොකු හාමුදුරුවෝ මාත් එක්ක අපේ ලොකු කොල්ල ගැන කතා කරා" යයි තාත්තා කිවේය. මම සරම තුල ගුලිවී අසාගෙන සිටියෙමි.

"ඒ මොනා  ගැනද ?" අම්මා  ඇසීය 

"කොල්ලා  ඉගෙන ගන්න දස්ස නිසා, හාමුදුරුවෝ කියනවා බණ්ඩාරවෙල පැත්තේ පිරිවෙනකට යවලා උගන්නන්න කියල"

"ඉතින් දෙය්යනේ අපිට කොහේ තියෙන සල්ලියක්ද කොල්ලව පිට තැනක නවත්තන්න"

"නෑ , හාමුදුරුවෝ දන්න පන්සලක නවත්තන්නේ, ඒ පන්සලේ ලොකු හාමුදුරුවෝ කැමති වෙලා තියෙනවා කොල්ලට උගන්නන්න"

මානං සෙවෙලි කර කටු මැටි ගසා තිබුණු අපේ ගෙදර ඇඳක්  තිබුණේ නැත. අපි සියලු දෙනා බිම එලූ පැදුරු වල එකිනෙකාට  තුරුළු වී නිදා ගත්තෙමු. මයියොක්කා  අල හැදෙන කාලයට තාත්තා බොහෝ විට නිදා ගන්නේ කන්ද උඩ සාදා ඇති පැළේය, ඒ වත්තට එන වල් ඌරන් එලවිමටය.

එක් දිනක් පාන්දර අම්මා මා අවදි කරවූයේ  පහට පමණය ඒ මා බණ්ඩාරවෙල එක්කරගෙන යාමටය. නිල්  පැහැති  කොට කලිසම් දෙකෙන් එකක් ඇඳ ගෙන අනෙක පොලිතීන් උරයේ දමාගත් මම සුදු කමිස දෙකද  තවත් කමිස දෙකක්ද එතුලට ඔබා ගත්තෙමි. දත් බුරුසු හෝ  පිරිමි ළමුන්අඳින යට ඇඳුම් තිබෙනවාදැයි මම ඒ වන විට දැන  සිටියේ නැත. මිට අමතරව මම ලියන පොත් කිහිපයද පෑනක් පැන්සලක් සහ කවකටු පෙට්ටිටයද මල්ලට දමා ගත්තෙමි.

බස් නැවතුමේ සිට අප නිවසට කිලෝමීටර් එක හමාරක පමණ දුරක් ගෙවා පැමිණිය යුතුය. මා  සිදු වන්නේ කුමක්දැයි දැන සිටියද බස් රථයක නැගී දුර ගමනක් යාමට ඇති ආශාව නිසා අනෙක් සියල්ල අමතක වී ගොසින්ය. සහල්, කුරක්කන්, බඩ ඉරිඟු සහ මයියෝක්කා වලින් පුරවාගත් පොහොර උරය කරට ගෙන තාත්තා ගෙදරින් පිට වීමට සුදානම් විය.

"බුදු සරණයි මයේ පුතේ, උඹ හොඳට ඉගෙන ගනින් " කියා අම්මා මා තුරුළු කරගන්නා  විට ඇයගේ දෑස් වලින් බේරෙන කඳුළු මාගේ මුහුණේ තැවරුණේය, ඒ වන විට නංගි  සහ මල්ලී එකිනෙකාට  තුරුළු වී සැප නින්දේය. මිඳුලේ සිට ඇති පඩි  පෙළ නැග කිතුල් කොටයක් දමා සාදා ඇති ඒ දණ්ඩ පසු කර රූස්ස ගස් අතරින් මීටර් සියයක් පමණ ගමන් කර තාත්තාත් මමත්  වෙල් යායට ජලය සපයන කුඩා ඇලෙහි ගැට්ටට පිවිසුනෙමු. ළපටි ගොයම වැසී යන්නට සුදු තිර රෙදි එලුවා සේ වෙල්යාය මිහිදුම් පටල වලින් වැසී  ඇත. සීතල දැනෙන විට පොලිතීන් උරය දෑතින් පපුවට තුරුල් කරගෙන මම තාත්තා පසු පස දුරින් දුර අඩි  තබා ඇවිද්දෙමි, අප අතර පරතරය වැඩි වන විට මම දිව්වෙමි. අවසානයේ කොන්ක්‍රීට් පාලමෙන් එගොඩ වී කහ පැහැති බස් රථය වෙත ළඟා  වුවෙමු. බස් රථයේ ඉදිරි පස විදුරු  ජලවාෂ්ප වලින් වැසී  තිබුන අතර ජල  බිංදු එක්වී විදුරු පහලට ගලා  ගොස් වීදුරුවේ අලංකාර රටා ඇඳ තිබුණි. ඒ අතරින් "පස්සර, මඩොල්සිම හරහා ඇකිරිය" ලෙස සටහන්ව තිබූ පුවරුව ඊයේ එය පැමිණෙන විට තිබු අයුරින්ම පැවතිණ.

ඇකිරියෙන් ආරම්භ කල ගමන අතරමග නතරවුයේ බස්රථය තේ පානය සඳහා පැය දෙකකට පමණ පසු මඩොල්සිම නතර කළ පසුය. තවත් පැය තුනකට පමණ පසු එය පස්සර පසු කොට බදුල්ල නගරයට ලඟා විය. බණ්ඩාරවෙල ඇත්තේ බදුල්ලටත් වඩා දුරින් බව මට අවබෝධ වුයේ තාත්තා මාව තවත් බසයකට නංවා ගත්  පසුවය.

"ලෙඩාට සිහිය එනවා කරුණා කරලා ඔයාල ටිකක් ඈත් වෙලා ඉන්න" යයි කිසිවෙකු කියන හඬින් මම තිගැස්සුනෙමි. ඇස් ඇරීමට මා උත්සහ කලද එකවර ඇස් ඇර  ගත නොහැකි විය.සියල්ල සුදු පැහැති වී ගොස් මා වටා සිටින බොඳ වී ගිය මිනිස් රුප කිහිපයක් පෙනෙන්නට පටන් ගනී.මා දකින්නේ සිහිනයක්ද? හෙදියක් මා  සිටි ඇඳ ආසන්නයේ සිටී. ඇය තමාගේ අත්  ඔරලෝසුව දෙස බලා  යමක් අතේ වු ෆයිල් කවරය මත ඇති කඩදාසියේ සටහන් කරගන්නා අතර තුර,

"ඔයාගේ නම මොකක්ද?"කියා ඇසීය. මම කට ඇරීමට කිහිප වරක් උත්සහා කලෙමි, අවසානයේ

"සුපුන්" කියා මම පිළිතුරු දුන්නෙමි."

"මේ ඉන්නේ කව්ද ?" නැවතත් ඇය  ඇසීය.

එවිට ඇඳට තරමක් ඈත සිටි කිහිපදෙනා අතර සිටි ලසන්ති මා  ලඟට පැමිණියාය.

" ලසන්ති" මම දුන් පිළිතුරින් හෙදිය සෑහීමට පත් වූ බවකි, තවත් යමක් සටහන් කර ෆයිල් කවරය ඇඳෙහි පිටුපස ඇති ගාන්චුවේ එල්ලා,

"ලෙඩාගේ සේලයින් එක තව ටිකකින්  අයින් කරනවා, එතකොට දියර වර්ග බොන්න දෙන්න පුළුවන්, එයාට කරදර කරන්න එපා විවේක ගන්න දෙන්න" කියා පිටත්ව ගියාය.

මදක් ඈතින් සිටි සියලු දෙනා මා සමීපයට පැමිණියහ. විශ්ව විද්‍යාලයේදී මා ලඟින් සැමදාමත් සිටි නිර්මාල්

"මචං බය වෙන්න එපා අපි ඉන්නවා ඕනි දෙකට " යයි කිවේය.

ඔහු මගේ ඔලුව දෙසට ගෙනගිය අත නැවත හකුලා  ගත්තේය. එවිට මම මගේ අතින් ඔලුව අතගා  බැලීමි. නළල හැරෙන්නට හිසේ බොහොමයක් ප්‍රදේශ ප්ලාස්ටර් වලින් ආවරණය වී ඇති බව මම අවබෝධ කර ගත්තෙමි. අනෙකුත් සියලු දෙනා හඳුනා ගත්තද මම ඔවුන්ටවත් ඔවුන් මටවත් කතා කලේ නැත.ඔවුහු ටික වේලාවකින් නිහඬවම  පිටවී ගියහ. ඒ සමගම ලෙඩුන් බැලීමට පැමිණ සිටි අය රෝහල් සේවකයන් විසින් පිටත් කර හරින ලදී, නමුත් මගේ ඇඳ  සමීපයේ සිටි ලසන්තිට ඔවුහු  කිසිවක් නොකීවෝය. ඇයගේ දෑතින්ම  මගේ දකුණත ගෙන ඇයගේ රෝස පැහැති කම්මුලේ තබා ගත්තාය, එවිට ඇයගේ දෙනෙත් වලින් කඳුළු කැට බිමට කඩා හැලෙන්නට අසන්න වී තිබිණ.

"මම කොහෙද ඉන්නේ?" මම ඇසීමි

"කරාපිටියේ"

"මට මොකද උනේ?" මම නැවතත් ඇසීමි. මගේ පපුව තෙක් රෙද්දක් පොරවා තිබිණ.අත්  දෙක හැරෙන්නට මගේ ශරීරය කිසිම ලෙසකින් චලනය කල නොහැක, ඉනෙන්  පහල කොටස තිබේදැයි මට හැඟීමක් නොමැත.

"ඔපරේෂන් එකෙන් පස්සේ ඔයාගේ ඉනෙන් පහල හිරි වැටිලා තියෙන්නේ තාම ,...........

ඔයාට මොනාද අන්තිමට මතක?" මා  ශරීරය චලනය කරන්නට උත්සහා කරන බව හඳුනාගත් ලසන්ති පවසන්නීය.ඇය සිනහා  වෙන්නට උත්සාහ  කලද දෑසින්ම කඳුළු ගලාවිත් මගේ සුරත තෙත් වේ. ඇය  මගේ අත  සිප ගත්තාය. මම සියල්ල මතක් කර ගැනීමට උත්සාහ  කලෙමි.

උදේ එකොළහට මට තිබු උද්භිද විද්‍යාව දේශනය අවසන් වී දවල් දොළහට කෑම  පැයට උඩ  කැන්ටිමට ගියද  දහවල් ආහාරය ගන්නට   වෙලාවක් තිබුනේ නැත. ශිෂ්‍ය සංගමයෙන් සංවිධානය කරතිබු "පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට එරෙහි වෙමු " උද්ගෝෂණයට  ප්‍රධාන ගේට්ටුව අසන්නට යාමට සියලු දෙනාට හඬ ගසා සිටියේ ශිෂ්‍ය සංගම් ක්‍රියා කාරීන්ය. ක්‍රියා කාරී දේශපාලනයේ නොයෙදුනද රාජ්‍ය දේශපාලනයට උඩගෙඩි දෙන ශිෂ්‍ය කණ්ඩායම් අපව විප්ලවකාරී දේශපාලන ක්‍රියා කාරින්  ලෙස හංවඩු ගසා  තිබිණ. ප්‍රගතිශීලි යයි කියාගත් දේශපාලනයට අප සහය දැක්වුයේ උද්ගෝෂණයකට හෝ කැට  ව්‍යාපාරයකට සහය දැක්වීමෙන් පමණි. නමුත් අප උගුර ලේ රහ වෙනතුරු මිනිසුන් ඉදිරියේ සිඟමන් යැද එකතු කරන මුදල් වලට කුමක් සිදු වෙන්නේ දැයි අපි නොදනිමු. "Y " හන්දියෙන් ආරම්භ වූ පෙළපාලිය ප්‍රධාන ගේට්ටුව දක්වා ගොස් ගේට්ටුවෙන් පිටත ගන්දර-මාතර මාර්ගයට මුහුණලා උද්ගෝෂණය පැවැත්විණ. පොලිසියෙන් සහ කැරළි මර්ධන ඒකකයෙන් පැමිණ සිටියද කිසිදු ගැටුමක් නොමැතිව එය  අවසාන විය. නමුත් ශිෂ්‍ය සංගම් අතර ගැටුම් නිතර නිතර ඇවිලිණ. උද්ගෝෂණය අවසන් වී එන අතර තුර Y හන්දියේදී ප්‍රතිවිරුද්ධ ශිෂ්‍ය සංගම් ක්‍රියා කාරින්  සමග ඇතිවූ බහින් බස් වීම දුර දිග ගොස් එය ගැටුමක් දක්වා වර්ධනය විය. ඍජුවම ක්‍රියාකාරී දේශපාලනය සම්බන්ධ ප්‍රතිවිරුද්ධ ශිෂ්‍ය සංගම් ක්‍රියා කාරින් දෙදෙනෙකු පහර කෑමට  ලක්වූ අතර ඔවුන් දෙදෙනා රෝහල් ගත කල බව පසුව දැන ගන්නට ලැබිණ.

සවස රසායන විද්‍යා ප්‍රයෝගික පරීක්ෂණයෙන් පසුව විද්‍යා ගාරයෙන් එලියට පැමිණෙන විට ලසන්ති  කෙටි පණිවිඩයක් ඒවා තිබුනේ සඳලු තලයේදී ඇය මුණ ගැසෙන ලෙසය.එය සරසවි භුමියේ තිබෙන උසම ස්ථානය වන අතර තට්ටු හතරක ගොඩනැගිල්ලේ මුහුද දෙසට යොමුවූ විශාල විවෘත ප්‍රදේශයකි. මම එහි යන විට ඇය කෙලවර යකඩ වැටට අත්  දෙක තබාගෙන ඈත  මුහුද දෙස බලා  සිටින්නීය.සිහින් සිරුරක් සහිත ලසන්ති අපගේ අධ්‍යන වර්ෂයේ වූ සිත් ඇද ගන්නා සුලුම සිසුවියන්ගෙන් කෙනෙක් වුවාය. පිටුපසින් ගොස් මම ඇයගේ දෑස අත්  දෙකෙන් ආවරණය කලෙමි.ඇය  පසුපසට වී මාගේ  සිරුරට තුරුළු වුවාය.

"අර යන නැව කොහෙටද යන්නේ?" ඇය සුරතල් වේ. ඇයගේ බොකුටු හිසකෙස් මුහුදු සුළගේ ගසා  ගෙනවිත් මගේ මුහුණේ දැවටේ.

"ඔයාගේ නංගි  එවල තිබුණු ලියුමට මම අද ලියුමක් ලියල යැව්වා, එයා බදුල්ලේ ඉස්කෝලේ යන්නේ හරි සන්තෝශෙන්, මල්ලි  ඕ ලෙවෙල් වලට මහන්සි වෙලා වැඩ කරනවලු, එයාටත්  බණ්ඩාරවෙල ඉස්කෝලෙකට එන්න අසාවෙන් " ඇය දිගටම කියාගෙන යයි.

මම නංගිට දී තිබෙන්නේ ලසන්තාගේ බෝඩිමේ ලිපිනයයි, ඇය  මට එවන ලිපි වලට පිළිතුරු යවයි, ලසන්ති  සහ නංගි දැන් කුළුපඟ මිතුරියන්ය.තාත්තාගේ මරණයෙන් පසුව ගෙදර සියලු වගකීම් මා හට පැවරිණ. උසස්පෙළ විභාගයෙන් පසුව බණ්ඩාරවෙල ආරම්භ කළ ටියුෂන් පන්ති සාර්ථක වීමත් සමග මට ඒ කිසිවක් ගැටළුවක් වුයේ නැත. සෑම  සතියකම සිකුරාදා ගොස් පන්ති සියල්ල අවසන් කර නැවත ඉරිදා රාත්‍රියේ මාතර ඒම වෙහෙසකර කටයුත්තක් සේ මට නොදැනුනේ ලැබූ ආත්ම තෘප්තිය හේතුවෙන් විය යුතුය.

"අද අපි බීච් එකට යමු" ඇයගේ  ඉල්ලීමය.

 සරසවි භුමියේ පඩි සියගණනක් බැසගෙන මාර්ගය හරහා ගොස් අපි මුහුදු වෙරළට පිවිසුනෙමු. මුහුදු රළ ඇවිත් ගල්පර වල වැදී පෙන පිඩු දසත විසිරී  යන්නේ අපට බෝහෝ  දේ මතක් කරමිනි.පොත් පත් මෙන්ම සෙරප්පු සපත්තු ද ගලවා ගලක් උඩ  තැබූ අපි අත්  අල්ලාගෙන මුහුදු රැලි  කකුල් වල වල වදින නොවදින ඉසව්වේ පියමන් කළෙමු. අපගේ පියසටහන් මකා දමමින් සුදෝ සුදු පෙන පිඩු  අප සමග උසුළු විසුළු කරයි.ඇයගේ  මුහුණ මගේ උරහිසේ තබාගෙන සුරත මගේ ඉනවටා  යවා කියවන්නීය , මා  සැම විටම ඉතා හොඳ ධ්වනි අවශෝෂකයකි.ඇය කියවන තරමට මම අසා සිටින්නෙමි, අප දෙදෙනාටම  එය සතුටකි.  රන්වන් පැහැයෙන් හිරු ඈත මුහුදේ ගිලීගොස්  හමාර වූ පසු අපි  නැවතත් සරසවි භුමිය වෙත පියමන් කළෙමු. මීටර් සියයක් පමණ දුරින් වූ  බෝඩිම දක්වා ඇය සමග  ගමන් කර ඇය ඇරලවා ම නැවත ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුලට පිවිසියේ මාගේ මෝටර් සයිකලය තවමත් සරසවි භුමියේ  වූ බැවිණි. තරමක් අඳුර වැටි තිබුණි, වේගයෙන්  පැමිණ මා ඉදිරියේ නතර කලේ  විශාල රෝද යොදා නවීකරණය කරන ලද ජීප් රථයකි. එය සරසවි භුමිය තුල නිතර සැරිසරන ප්‍රභල දේශපාලන චරිතයක ළඟම නෑදෑයෙකු වන සරසවි ශිෂ්‍යයෙකුගේ බව ම හඳුනා ගත්තෙමි. මට මතක එපමණකි.

"ඔයාව මාතර හොස්පිටල් එකෙන් ඊයේ රෑම මෙහෙට එව්වා, අද පාන්දර වෙනකම් ඔපරේෂන් තියටර් එකේ හිටියේ, උදේ තමයි වාට්ටුවට ගෙනාවේ. දෙය්යන්ගේ පිහිටෙන් ඔයාගේ   මතකේ හොඳයි" ඇය  නැවතත් ඉකිගසා අඩන්නිය.

"ඔයා  අඩන්න  එපා මට මොකුත් වෙලා නෑනේ" මම කීවෙමි. මද වෙලාවකට එලියට ගොස් ග්ලුකෝස් දමා සකස් කරගෙන පැමිණි තැඹිලි වතුර මට පොවා ඇය  යන්නට සැරසෙන්නිය.

"නිර්මාල් අය්යා, එළියේ ඉන්නවා, එයා  ඔයා ළඟ නවතිනවා, මම ගිහින් හවස එන්නම්, ඔයාට කම්මැලි නිසා මම පත්තර දෙකක් අරන් ආවා" ඇය දෑස ලේන්සුවෙන් පිසගෙන මගේ නළල අතගා පිටත්ව ගියාය.

පුවත් පත් දෙකේම මුල් පිටුවේ රුහුණු සරසවි සිසු  ගැටුමෙන් සිසුන් තිදෙනෙකු ඊයේ රෝහල් ගත කල බවත් එක්  අයෙකු   අසාද්‍ය  තත්වයෙන් කරාපිටිය රෝහලට මාරු කර යැවූ බවත් සඳහන් විය. මෙය සරසවි තුල පක්ෂ දේශපාලනය කිරීමේ ප්‍රතිපලයක් බවත්, රෝහල් ගත කල සිසුන්ගෙන් සුළු තුවාල ලැබුවන් කිසි සේත්ම දේශපාලන කණ්ඩායම් වලට සම්බන්ධ නැති බවත්, අසාධ්‍ය තත්වයේ පසු වන සිසුවා ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූවෙකු බවත් සඳහන් විය.

වාට්ටුවේ ඉදිරිපස බිත්තියේ ඉහල සවි කර ඇති රුපවාහිනී යන්ත්‍රයේ උදෑසන පැයෙන් පැය  සජීවී ප්‍රවෘති විකාශයකි, සියලු දෙනා ඊට සවන් යොමා සිටිති, හෙදියක් බෙහෙත් පෙති කිහිපයක්ද රැගෙන මා  වෙත පැමිණියාය.

"ඊයේ රුහුණු විශ්ව විද්‍යාලයේ ඇතිවූ, සිසු ගැටුමින් අසාද්‍ය තත්වයේ සිටි සිසුවාගේ තත්වය සුභ දායක බවත්, හිසෙහි සහ පාදයේ සිදු කල ශල්‍ය කර්ම සාර්ථක බවත්, අස්ථි වලට බරපතල හානි සිදුවී තිබු බැවින් එක් පාදයක් ශල්‍ය කර්මයේදී ඉවත් කල බවත්" පැවසිණ.

"ඊයේ රුහුණෙන් තවත් කවුරුත් මෙහෙ ගෙනාවද?"මම හෙදියගෙන් ඇසුවෙමි.

"නෑ"

මම පොරවා  තිබු රෙද්ද ඇද  ඉවතට විසි කලෙමි, දකුණු පාදයේ  වළලු කර සහ ඊට පහලින් කොටස නොවීය. දණහිසට පහල ඉතිරි කොටස දර කොටයක් සේ  සුදු පැහැති වෙළුම් පටි වලින්වෙලා තිබිණ.



- ජානක ගුණතිලක 

Friday, January 31, 2014

අපගමනය - කෙටි කතාව (2)

අපගමනය 


දැල්වෙන  හඳුන් කූරේ ඳුම ඉහලට ඇදී යන්නේ, වතුරට දැමු මදක් විශාල කොන්ඩිස්  කැටයක් බිකරයේ පතුලේ ගැටෙන තුරු සටහන් කරන අලංකාර  රටාව මෙන් රටාවක් ප්‍රතිවිරුද්ධ දිශාවට සටසන්  කරමිනි.  පෙර දින රාත්‍රියේ මහ වර්ෂාවෙන් පසුව ජලවාෂ්ප වලින් සංතෘප්ත වී ඇති වායු ගෝලය ඔවූන්  කතා කරන විට මුවින් පිටවන ප්‍රස්වාශ වාතයේ ජල වාෂ්පද  ඝනීභවනය කර දුම් ගුලි සේ අවකාශයට මුදා හරී. ත්‍රී  වීලරයේ   හැඩලයේ  කෙලවර රඳවා  තිබෙන හඳුන්කුරු දෙකෙන් බිමට හැලෙන අළු, කළු පැහැති රබර් පාපිස්නාවට  පතිත වේ. දැල්වී අවසන් වීමට මත්තෙන් රුෂාන්ත ඒවා ගලවා ත්‍රී  විලරයේ ඉදිරිපස රෝදය ආසන්නයේ ඇති කහ පාට  ඉරෙන් එහා ඇති පාරට විසිකරයි. තිස්ස අය්යා ඒ ආසන්නයේ නතර කර ඇති තම කොළ පාට ත්‍රී  විලරයේ වින්ඩ්ස්ක්රිනයට හේත්තු වී සිටින්නේ මේ සීතලෙන් ගැලවීමට උණුසුම් හිරු රැස් වැටෙන්නේ කොයි මොහොතේදැයි බලා සිටින්නාක් මෙනි. ඔහුගේ දුඹුරු පැහැති කබායේ අත් වල කෙලවරින් එලියට එන ඔහුගේම අත්  දෙක කලිසම් සාක්කුවේ සඟවාගෙන සිටින්නේ හමුදාවෙන් එල්ල වන මල්ටි බැරල් ප්‍රහාර වලින් ආරක්ෂා වීමට බංකර් තුල සැඟවෙන කොටි පැටවුන් සිහි ගන්වමිනි.

"තිස්ස අය්යා සිගරට් පාරක් ගහමුද?" යයි අසන්නේ රුෂාන්ත  R  අකුර තෙක් උරා අවසන් වූ ගෝල්ඩ් ලීෆ් එක තිස්ස අය්යා වෙත දිගු කරමිනි.

"නෑ  උඹ බීපන් මගේ ළඟ තියෙනවා '

තිස්ස අය්යා කබායේ සාක්කුවෙන් එලියට ගන්නා  රතු  පැහැති ගෝල්ඩ් ලිෆ් පැකට්ටුවෙන් සිගරට්ටුවක් ගෙන දල්වා ගනී.

"තව විනාඩි දහයෙන් 79 ඉන්ටර්සිටිය  එනවා, ඕකෙන්  තමයි අම්මට හිකෙ...ඩ මොනින්  හයර් එක සෙට් වෙන්නේ'  "බුදු සරණයි" කියා ඉදිරිපස වීදුරුවේ අලවා ඇති ස්ටිකරය කළු පැහැති රෙදි කැබැල්ලකින් පිසදාන රුෂාන්ත කියයි. රෙදි කැබැල්ල පසුපස ආසනයට පිටුපස ඉහල විශාල බෆල් දෙක අතර ඇති අවකාශයට ද  සිගරට් කොටය පාරට ද විසිකරයි.

"තාම 6.50 යි, හතයි කාල  වෙනවා 79 එනකොට" කබායෙන් වැසී  ඇති ඔරලෝසුව අනෙක් අතෙන් මතු කර ගෙන තිස්ස අය්යා තවත් දුම් වළල්ලක් ඉහලට මුදා හරි.

ත්‍රී වීලර් දහයක් පමණ නවතා තැබීමට, කාපට්  දමා කහ පැහැති ඉරකින් වෙන් කර ඇති ඉඩෙහි දැනට සිටින්නේ මොහුන් දෙදෙනා පමණි. ඊට මීටර් විසි පහක් පමණ ඈතින්, ඔවුන් සිටින පැත්තේ බස්  නැවතුම් පොළය, ප්‍රති විරුද්ධ පැත්තේ බස් නැවතුම ඔහුන්ට එක එල්ලේ ඉදිරියෙන් වෙයි. මේවා මනංකල්පිත බස් නැවතුම් පොලවල්ය, කිසිදු ආවරණයක් හෝ නාමපුවරුවක් හෝ  එහි නොමැත එහෙත් සියලු දෙනා ඒ බස් නැවතුම් පොළවල් බව දනිති.

සෙනසුරාදා උදෑසන  බැවින් අද සුදු ඇඳ ගත් ළමයින් දක්නට නොමැත, එහෙත් ටියුෂන් පන්ති වලට යාමට පැමිණෙන සිසුන් එකා  දෙන්නා බැගින් බස් නැවතුම වෙත සේන්දු වෙති. ටික වෙලාවකට පෙර බස් නැවතුමට පියා මෝටර් සයිකලයකින් ගෙනත් අරලවූ තරුණිය බස් රථ කිහිපයන් නතර කලද ඉන් එකකට වත් ගොඩ නොවූවාය. තවත් ටික වෙලාවකින් ඔලුවේ ජෙල් තට්ටුවක් උලාගෙන කොණ්ඩය කුරු, කුරු සේ සකසාගෙන පැමිණි, තරුණයෙකු සමග ඇය  පොත් මිටියද තුරුළු කරගෙන බස් රථයකට ගොඩ වුවාය.

"අරක  මරු කඳ  නේද? " කියා රුෂාන්ත  අසන්නේ ත්‍රී  වීලර් නැවතුම් පොළ දෙසට ඈතින් පැමිණෙන  තවත් තරුණියක් ඔලුව හරවා පෙන්වමිණි.ඔවුන් දෙදෙනා නෙත ගැටුණු සැණින් ඇය බිම බලා  ගත්තාය. තවත් ලංවන විට ඇයගේ පිරුණු ලැම  දෙස බලා සිටි රුෂාන්ත ඇය ඔවුන් දෙදෙනා පසු කර යත්ම ඇයගේ තට්ටමට හිර වූ සායෙන් මතුවී පෙනෙන පෑන්ටියේ වාටිය  නොපෙනී යන තුරු බලා  සිටියේය. ඇය  බස් නැවතුමට සමීප වනවාත් සමගම කොළඹින් රාත්‍රියේ පිටත් වූ සුකෝපභෝගී බස් රථය එයට සේන්දු විය.

බසයෙන් බැස ගත් තරුණ යුවලක් රුෂාන්ත  දෙසට පැමිණ,

 " මල්ලි හෙවනකුඹුරට  කීයක් ගන්නවද?" දැයි ඇසුවේ කඩවසම් තරුණයාය. කාන්තාව අත, අත්  බෑගයට අමතරව තවත් මල්ලක් විය,ඇය ද  එක එල්ලේ රුෂාන්ත දෙස බලා හිදී. නාඳුරන කාන්තාවක් එක එල්ලේ දෑස  දෙස බැලු  විට පිරිමින් කොපමණ අපහසු තාවයට පත්වන්නේද?

"හත්සියක් ගන්නවා නෝනා" යයි පිළිතුරු දුන්නේ කාන්තාවටය.

නැවතත් ඔහු ත්‍රී  රෝද රථ ගාලට  පැමිණෙන විට උදේ නමයට  ආසන්නය, පෙරදින රාත්‍රී සේවයේ යෙදී  සිටි පිරිස දැන් සේවයට වාර්තා කොට සිටී. කහ ඉරෙන් වෙන් කර තිබු කොටස පිරෙන්නට ත්‍රි වීල් හයක් නවතා  තිබේ. රුෂාන්ත ද කෙලවරකින් තම රථය නවතා  "ශ්‍රී FM" චැනයල සුසර කර කණ  පැලෙන්නට තරම් රේඩියෝවේ හඬ වැඩි කර එළියට බැස්සේය.

"රුෂාන්ත  අන්න උඹේ කෑල්ල කැම්පස් තේරිලා" එහි සිටි එකෙක් කීය.

"කොයි කෑල්ල ද? බං"

"උඹලගේ පන්තියේ හිටිය නාලිකා බන්"

" ආ  ඒකද? හොඳ වෙලාවට ඕක මෙච්චර කල් නොතිබ්බේ, නැත්තන් මේ ඔක්කොම අත  ඇරලා මටත් වෙන්නේ සතිය ගානේ  කැම්පස් යන්න තමයි "

"අන්න මංජු උඹව හොයනවා "තව එකෙක් තම ත්‍රී වීලරයේ  වේගය අඩු කර ඔහුට කියා යන්නට ගියේය.

කඩ විදියේ මැද හරියට වන්නට මන්ජුගේ තේ කඩය   පිහිටා තිබේ. එය තේ කඩයක් ලෙස පෙනුනද තේ කඩයක්ම නොවේ, තැබෑරුමකි. ඉදිරි පස "මංජු ශ්‍රී හොටෙල්"   කියා මොබිටෙල් සමාගමෙන් දුන් මහේල ජයවර්ධනගේ රුපය සහිත විශාල ප්‍රදර්ශන පුවරුවකි. එහි පහළම තද නිල් පැහැති  තීරුවේ අංක 42/3, නුවරඑළිය පාර , කැප්පෙටිපොල කියා සඳහන්ව ඇත. ඉදිරිපස විශාල විදුරු දොරවල් දෙකෙන් ඇතුළු වූ පසු මේස  හතරක්ද, බිතර රොටි, පැටිස්, රෝල්ස් ආදී කෑම  වර්ග පිරිණු විදුරු අල්මරියක්ද එක්  කෙළවරක අයකැමි මේසයද වේ. මංජු නිතරම සිටින්නේ මේ මේසය සමග ඇති පුටුවේය. කිසිවක් නොදන්නා නගරයට එළවලු රැගෙන එන ගොවීන් තේ එකක් බොන්නට මන්ජුගේ කඩයට පැමිණෙති. සියල්ල දන්නා එදිනෙදා පරිභෝගිකයන් "මංජු සියක හෝ එකසිය පනහක" කියා අදාල මුදල ගෙවා වැසිකිලියට යන ආකාරයට පිටුපස දොරින් එලියට යති. දොර විවෘත වන්නේ අක්කර ගණනක් පැතිරී ඇති ටර්පන්ටයින් කැලැවටය. දොර ආසන්නයේ පිටත කුඩා මේසයක් වේ, එතන සිටින්නේ මන්ජුගේ කඩේ ගෝලයා ය, ඔහු ඩිංගි පාලය. ඩිංගි පාල ගනුදෙනු කරුවන් වෙත ඔහුන් ගෙවූ මුදලට සරිලන ප්‍රමාණයට වීදුරුවට ගල් අරක්කු පෙරා  දෙයි. එක හුස්මට වීදුරුව කටේ හලා  ගන්නා  පිරිස බොහෝය, කලාතුරකින් කෙනෙක් එය දෙපාරකට හෝ තුන් පාරකට කටේ හලා ගනී. බොහොමයක් දෙනා ටර්පන්ටයින් කැලේ මැදින් ඇති අඩිපාර දිගේ ගොස් තවත් කඩ කිහිපයකට එහායින් විදියට පැමිණෙති.

රුෂාන්ත මන්ජුගේ කඩය ඉදිරිපිට ත්‍රී  විලරය නතර කර රේඩියෝවේ හඬ අඩු කරනවාත් සමගම මංජු ඒ අසළට  ලං විය.ඔහු  කිසිවක් නොකියාම සල්ලි මිටියක් රුෂාන්ත  ඇත තැබීය.

"මංජු අය්යා කීයක්ද?"

"විස්සක්"

වෙළඳ පොළ හැසිරීම පිලිබඳ මන්ජුගේ දැනුම කළමනාකරණ උපාධිධාරියෙකුගේ දැනුමට වඩා වැඩිය, කැප්පෙටිපොල ලියාපදිංචි තැබෑරුමක් තිබේ, එහෙත් එහි ගල් අරක්කු නැත. මොනා  බිව්වත් බොන මිනිහාට  ගල් අරක්කු තරම් විස්කි බ්‍රන්ඩිත් හරියන්නේ නැත. එබැවින් මංජු ඉල්ලුමට-සැපයුම වෙළඳ පොළ න්‍යාය හොඳින් ප්‍රගුණකර නුවරඑළියෙන් ගෙනෙන ගල් අරක්කු සිල්ලරට විකිණීමේ ව්‍යාපාරය කරගෙන යන්නේ කලක සිටය. රුෂාන්තට දිනපතා නුවරඑළියට හයර් එකක් වදින්නේද මේ නිසාය.

අලුත්ම Nike  ටී සර්ට් එකක්ද කළු පැහැති  ඩෙනිම් කලිසමක්ද, සුදු පැහැති සපත්තු  දෙකකින්ද සැරසී සුවඳ විලවුන් තවරාගෙන දහවල්  එකට පමණ නැවතක් රුෂාන්ත තම දඬු මොණරය ද රැගෙන ත්‍රී වීල්  පාර්ක් එකට වාර්තා කරයි. ඔහු රථයෙන් බසිනවාත් සමගම ඔහුගේ සගයෙක්

 " ආ  මෙන්න මු බඩුව බලන්න යන්න කුමාරයා  වගේ ඇවිල්ලා  ඉන්නේ" යැයි, කියන විට තවත් අයෙක්

"ඔව් අද සෙනසුරාදනේ"  කීය.

ටික වෙලාවකින් ත්‍රී  රෝද රථයේ දෙපස ආවරණ තිර රෙදි දෙක පහලට දමා සාරාණන්ද පිරිවන දෙසට ඉගිල්ලෙන්නට විය. මග දිගට ටියුෂන් පන්ති හමාර වී යන සහ ආරම්භ වීමට ඇති පන්ති වලට යන තරුණ තරුණියන් ඒ මේ අත උසුළු විසුළු කරමින් ගමන් කරති. තරුණියන්ගේ කණ්ඩායම්, තරුණයින්ගේ කණ්ඩායම්, මිශ්‍ර කණ්ඩායම් මෙන්ම ජෝඩු වලින්ද අඩුවක් නැත. පිරිවෙන ආසන්නයට වන්නට පාර  අයිනේ නවතා ඇති වාහන පෝලිමකි, කුඩා ළමුන් පන්ති වලට ඇරලවන්නට මෙන්ම ඔහුන් නිවෙස්වලට කැඳවාගෙන යාමට පැමිණි දෙමාපියන්  රථවලට වී පුවත් පත් කියමින් හෝ නිදාගෙන කාලය මරති . මේ අතර තම පෙම්වතා සමග මෝටර් සයිකලයක හෝ ත්‍රී  වීලයක  නැගී ක්ෂණයකින් අතුරුදහන් වන තරුණියෝද වෙති.

රුෂාන්ත රථයේ වේගය අඩු කර පිරිවෙනේ ගේට්ටුව පසු කරගෙන යනවිට ඊට ඉදිරියෙන් තම මිතුරියන් සමග සිනා සිසී ගමන් කරන  තරුණියන් කණ්ඩායමකි. ඔවුන් එකිනෙකා පසු පස හොරෙන් බලා එහි කෙලවරින් පාර පැත්තෙන් ගමන් කරන තරුණියට යමක් පවසයි, ඇය කාංචනා  ය. මිතුරියන් සාමාන්‍ය  වේගයෙන්  ඉදිරියට ගමන් කර සෙනග අතරේ සැඟවී යන  අතර ඇය වේගය අඩු කර ඔවුන්ගෙන් වෙන්වේ. ත්‍රි රෝද රථය ලංවූ විට ඇය එයට ගොඩ වුවාය.

"අද නුවරඑළියේ යන්න බෑ  අය්යේ ටිකක් කලින් ගෙදර යන්න ඕනි"

ඔහු කිසිවක් නොකියාම ත්‍රි රෝද රථය හරවා නැවත කැප්පෙටිපොල දෙසට ගමන් ආරම්භ කරයි.

"ඇයි නංගි මොකක් හරි අවුලක්ද?" ඔහු පසු පස හැරි අසයි. ඇය  තරමක් තැති ගත්  ආකාරයකි.

"මම පස්සේ කියන්නම් "

ටික දුරක් ප්‍රධාන මාර්ගය දිගේ ධාවනය වූ රථය ඉන් අතුරු පාරකට හැරවීය. මද වෙලාවකින් එය ටර්පන්ටයින් කැළෑව මැදින් ඇති කුඩා පාරේ ගමන් කරන්නට විය, අඩි  සියගණනක් උස ගස් වලින් අහස සම්පුර්ණයෙන්ම වැසී  ඇත. පෙනෙන  තෙක් මානයේ  ඇත්තේ ගස් පමණි, කලාතුරකින් බිම වැවී ඇති පඳුරක් හැරෙන්නට බිම ටර්පන්ටයින් කොළවලින් වැසි ඇත. කුඩා පාරෙන් ඉවතට ගත්  රථය විශාල ගසක් යට නතර විය. රුෂාන්ත එලියට බැස්සේය. නමුත් ඇය සෙළවෙන පාටක් නැත, ඔහුද පිටුපස අසුනට ගොඩවිය.

"අපි නුවරඑළියේ ඉන්නවා බාප්පා දැකල තියෙනවා අය්යේ "

"ඔයා ඔවා  ගණන් ගන්න එපා, බාප්පා  අපිට මොනා කරන්නද?'

"ඔයානං  කියයි, මටනේ ඔක්කොම ප්‍රශ්න"

"බය වෙන්න එපා ඔයාට ගෙදර යන්න බැරි නං,මාත් එක්ක යං "

"මාත්  කැමතියි ඔයත් එක්ක යන්න එත් අපිට කසාද බදින්න බෑනේ මගේ වයස මදිනේ, බාප්පා  කියන්නේ ඔයාව පොලිසියට අල්ලලා දෙනවා කියල"

"ඒක මම බලා  ගන්නං, ඔයා බය බය නැතුව ඉන්නකෝ" කියමින් ඇයගේ බඳ  වටා  එක ඇතක්  යවා අනෙක් අතින් ඇයගේ නළලට වැටි ඇති කෙස්  වැටිය මෑත් කොට ඔලුව අත  ගාමින්  නළල සිප ගත්තේය. ඇය  ඔහුගේ බොකුටු හිසකෙස් අතරින් ඇගිලි  යවා පිරි මදින්නට විය, ඔහු සෙමෙන් ඇයගේ කම්මුල්ද සිනිදු තොල්පෙතිද සිපගන්නා විට, ඇය දෑස පියාගෙන එය විඳ ගන්නා  අයුරු රුෂාන්ත විටෙන් විට හොරෙන් ඇස් ඇර බැලුවේය. ඔහු ඇයගේ බ්ලව්සයේ ඉහලින්ම ඇති බොත්තම ගලවන්නට උත්සහ දරන අතර තුර ඇය  ඊට පහලින් ඇති සියලු බොත්තම් දෑස පියාගෙනම ගලවා දැමුවාය. ඔහු තන පටයේ පිටුපස ගාන්චුව සීරුවෙන් ගලවා එය ඉහලට කර, නිරාවරණය වූ පියයුරු  මත හිස හොවා  ගත්තේය, ඔහුගේ ඇඟිලි ඇයගේ  සිරුරේ වඩාත් සංවේදී තැන් සොයා යන්නට විය. ටික වෙලාවකින් අසන්නට ලැබුනේ වළවල් වලට ත්‍රී රෝද රථය වැටෙන විට සර්පිල දුණු වලින් නිකුත් වන  කිරි කිරි හඬය.

සවස පහ පසු වී විනාඩි විස්සක් පමණ වන විට රුෂාන්ත  නැවතත් ත්‍රී  රෝද රථ ගාලට පැමිණ සිටී. ඔහු නොඉවසිල්ලෙන් සිටින්නේ කවුරුන් හෝ පැමිණෙන තුරුය. ටික වෙලාවකින් අළු පැහැති ත්‍රි රෝද රථයකින් පැමිණෙන්නේ රුෂාන්තගේ අති  ජාත මිතුරාය, ඔහු ජයන්තය.

"මචං කාංචනාගේ  බාප්පා  කාරයා ගේම ඉල්ලනවා බං" රුෂාන්ත කිවේය.

"හරි අපි බලමුකෝ, ඌ උඹට මොකුත් කිව්වද?"

"නෑ"

විදුලි වේගයෙන් පොලිස් ජීප් රථයක් ඔවුන් සිටින ස්ථානය පසු කරගෙන ඉගිලෙන්නට විය.

"අපි යමුද එයාර් පෝට් පැත්තේ? " රුෂාන්ත  ඇසුවේ සති තුනකට පමණ පෙර රථ ගාලට පැමිණි නාමල්ගෙනි.

"බෑ  අය්යලා යන්න"

අසල වූ කඩයෙන් සිගරට් කිහිපයක් මිලට ගත් රුෂාන්ත ජයන්තගේ ත්‍රී  රෝද රථයට ගොඩ වූ අතර, දෙදෙනා   එයින් මීටර් දෙසිය පනහක් පමණ ඇතින් පාරට මායිම්ව  ඉහල කඳු යාය  තෙන් විහිදී ඇති පයිනස් කැලැව දෙසට පදවන්නට විය. පාරෙන් කැලැව දෙසට හරවා  රථය පයිනස් ගසක් මුල නතර කළ ඔවුහු ප්‍රථමයෙන්ම විශාල ගසක් බලා එහි මුල සේදී යන්නට මුත්‍රා කලෝය,  තවත් ගසක් මුල හිඳ ගත්තෝය. රුෂාන්ත  කලිසමේ සාක්කුවෙන් එලියට ඇද ගත් ගංජා පැකට්ටුව  ජයන්ත අතට දී ගෝල්ඩ් ලීෆ් පැකට්ටුවක ඇතුලත සියුම් කඩදාසි පටලය ගලවන්නට විය, ජයන්ත  සිගරට් එකක් කඩා එහි දුම්කොළ සමග එකට එක අනුපාතයෙන් ගංජා මිශ්‍ර  කළේය. මිශ්‍රණය, ගලවාගත් කඩදාසියේ ඔතා  කේතුවක ආකාරයෙන් කුඩා සුරුට්ටුවක් සාදාගෙන පත්තු කර ගත්හ.

ඉහලට ගිය පොලිස් ජීප් රථය නැවත හරවාගෙන එන ගමන් මහා හඬින් තිරිංග යොදා ත්‍රී  රෝද රථගාල ඉදිරියේ නතර කළේය. එහි රියදුරා සහ පිටුපස ආසනයේ සිටි දෙදෙනා නිල ඇඳුම් සහිතය. ඉදිරි අසුනේ සිටි අනෙක් නිලධාරියා සිවිල් ඇඳුමින් සැරසී  සිටියේය. ඔහු රථයෙන් බැස  ඇවිත්,

"රුෂාන්ත කෝ" යයි ඇසුවේ නාමල්ගෙනි.

"මම දන්  නෑ  සර් " නාමල් කීය

"එහෙනම් මේ රුෂාන්තගේ වීල් එක තියෙන්නේ "පොලිස් නිලධාරියා පැවසුයේ රුෂාන්තගේ ත්‍රී  රෝද රථය නාමල්ට පෙන්වමිනි.

" කෝල් එකක් දීල අහපන් රුෂාන්ත  ඉන්නේ කොහෙද කියල" නාමල් සාක්කුවෙන් ජංගම දුර කථනය එලියට ගන්නට කිහිප වරක් උත්සහා කරන්නට සිදු  වුයේ ඔහුගේ දෑත් වෙව්ලන බැවිනි. අවසානයේ ඔහු රුෂන්තට කතා කළේය.

"කොහෙද රුෂාන්ත  ඉන්නේ" පොලිස් නිලධාරියා නැවතත් නාමල්ගෙන් අසයි

"එයාර් පොර්ට් එකේ" නාමල් වෙව්ලන හඬින් පිළිතුරු දෙයි

"මොන එයාර් පොර්ට්ද යකෝ, අපි උඩට යන කොට මෙතන හිටපු එකා  දැන් කොහොමද එයාර් පොර්ට් ගියේ, එන්න එපා තොපි අපිව තම්බන්න" කියා කිවේ අඩියක් ඉදිරියට තබා අතක්ද ඔසවමිනි. අවට සිටියවුන් දෑස්  වසා  ගත්හ, නමුත් ඔහු පහර එල්ල කලේ  නැත.

"නෑ සර් අර අර පයිනස් එකේ"

"ආ  එහෙම වරෙන්, අපි බබාල  කියල හිතන්න එපා" කියමින් ජීප් රථයට නැග  යන්නට ගියේය.

ජීප් රථය පයිනස් කැලැව අසල නතර කළේය. නාමල් තවමත් ජීප් රථය දෙස බල හිදින්නේ ගල් ගැසුනාක් මෙනි. එහිදීද එයින් එලියට බැස්සේ සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරියා පමණි.ඔහු පයිනස් කැලැව දෙසට වේගයෙන් ඇවිදගෙන යන අයුරු නාමල් බලා සිටියේය.

සුරුට්ටුවෙන් පෙනහැල්ලට  ඇද ගන්නා දුම ටික වෙලාවක් තබාගෙන දුම් දුලි සේ වාතයට මුසු කරමින් රුෂාන්ත  සහ ජයන්ත තවමත් පයිනස් ගස යට හිදගෙන සිටී. පොලිස් නිලධාරියා පැමිණෙන්නේ ඔවුන්ගේ පිටුපසිනි. බිම ඇති වියලි කොළ පොඩි වන ශබ්ධය ඇසි  දෙදෙනාම පිටු පස හැරී  බලති. පොලිස් නිලධාරියා සිටින්නේ ඔවුන්ට මීටර් තුනක් පමණ ඇතිනි.

"ආ උඹල දෙන්නම මෙතන නේද?"

දෙදෙනාම එකවර නැගී සිටී.

"මම ගියා  මන්ජුගේ කඩේට, මංජු හිටියේ නෑ, මන්ජුට කියපන් හෙට හවස ගෙස්ට් හවුස් එකේ පාටියක්  තියෙනවා අලුත් ඕ අයි සී  මහත්තයට, එකට බෝතල් පහකුයි, සිගරටුයි එවන්න කියල" පොලිස් නිලධාරියා එක හුස්මට කියාගෙන ගියේය.

"හරි සර් මම කියන්නම්"

"ආ  මෙන්න මේවා තණමල්විල බඩු, ඊයේ අල්ලපුවා" පොලිස් නිලධාරියා කඩදාසියක එතු පාර්සලයක් රුෂාන්ත ට විසිකර අඳුරේ නොපෙනී ගියේය.



- ජානක ගුණතිලක 


Sunday, January 26, 2014

සත්‍ය යනු කුමක්ද?

"  සත්‍ය යනු කුමක්ද?
සත්‍ය පිලිබඳ අර්ථකතන පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය 
හොඳ හෝ නරක පිලිබඳ අර්ථදක්විමත් ඒ ආකාරය,
ඒ ඒ පුද්ගලයා හොඳ හෝ නරක තීරණය  කරන්නේ තමන්ගේ සිතැඟි අනුවය.
හොඳ හෝ නරක යනුවෙන් දෙයක් නැතැයි කෙනෙකුට කිව හැකිය."


බෙනට් රත්නායකගේ  "සුලඟ" චිත්‍ර පටය ආරම්භ වන්නේ මෙම කියමන පපු පසින් ඇසේ. "සෙනේ " ලෙස කෙටි නමින් හඳුන්වන මහාචාර්ය වරයා ( සනත් ගුණතිලක), ඔහුගේ බිරිඳ ක්‍රිෂාන්ති ( දිල්හානි ඒකනායක ) සහ කුමාරි ( සත්‍යා රත්නායක)  යන තිදෙනා උසාවියේදී කරනු ලබන පොපොච්චරණයන් සහ එකිනෙකාට කරගන්නා දෝෂාරෝපණයන් ඔස්සේ සුළඟ චිත්‍ර පටියේ කතාව දිග හැරේ. 




මහාචාර්ය වරයා සමග ආදර සම්බන්ධයකින් පසුව විවාහ වන සැලකිය යුතු තරම් වයස් පරතරයක් ඇති ක්‍රිෂාන්ති යන දෙදෙනා සතුටින්  කාලය ගතකරයි. පළමු දරුවා ලැබීමෙන් අනතුරුව දෙදෙනා අතර යම් ආකාරයක මානසික ගැටුම් ඇතිවන අතර එකිනෙකා තරමක් දුරස්විමට තරම් මෙම ව්‍යකුලතාවයන් හේතු පාදක වේ. මේ අතර මහාචාර්ය සේනාරත්නට  හමුවන කුමාරි  නම් තරුණිය සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යයි. අනියම් සම්බන්ධය  බිරිඳ ක්‍රිෂාන්ති දැනගන්නා  අතර විවාහය දික්කසාදයකින් කෙලවර වන අවස්ථාවට ලඟා වේ. 

මෙම චරිත තුන තම තමන්ගේ සත්‍ය උසාවිය ඉදිරියේ පවසති. සත්‍ය යනු සමාජය හෝ පුද්ගලයෙකු  විසින් ගොඩනංවන දෙයක් මිස යථාර්තය නොවේ. තිදෙනාම අනෙක්  දෙදෙනා නොදන්නා අතීතයක් හරහා තමා විසින් සත්‍ය ලෙස ගොඩ නංවාගත් දේ ඉදිරිපත් කරයි. මෙහිදී යම් පුද්ගලයෙකු  අතීතය පිලිබඳ සත්‍ය ඉදිරිපත් කරන්නේද, තමා විසින් යථාර්තයට ඇදා ගත් සිද්ධි සමුහයක් ද සමගය. එබැවින් මිනිසුන්ගේ අතීතයේ ඇත්තේ තමා ගොඩ නගාගත් සත්‍යට සාක්ෂි සපයන උදාහරණ පමණි. සිනමා පටයේදීද  එය එසේමය. කුමාරි සේනාරත්න සමග තිබු සම්බන්ධය තමා විසින්ම සාධාරණී කරණය කරගනි. කුමාරි ඉතා අසරණ වී පාරේ වැටි සිටින විට උදව්වට පැමිණෙන සේනාරත්න , කාත්  කවුරුවත් නැති අසරණ තරුණියක කරනු ලබන උපකාරයන් හේතුවෙන් තමාද සත්‍ය පවසා  සිටින බව කියයි. ක්‍රිෂාන්තිගේ කෝණයෙන් බලන විට ඇයද තමා සාධාරන බව ඔප්පු කර පෙන්වයි. නමුත් අවසානයේදී විසඳුමක් නොපෙනේ.

මෙහිදී ක්‍රිෂාන්ති තම සත්‍ය, යථාර්තය ලෙස දකිමින් ශ්‍රී ලාංකේය  සමාජයේ සාම්ප්‍රදායික ගැහැණියකගේ භූමිකාව රඟ  දක්වයි. නමුත් සිනමා කෘතිය තුල ඇය  දකින යථාර්තය, ප්‍රේක්ෂකයාද බල පොරොත්තු නොවන අවස්ථාවක බලාපොරෝතු නොවන ලෙස වෙනත් යථාර්තයකින් විස්ථාපනය කලේ නම් මෙය අපුරු නිර්මාණයක් වන්නට ඉඩ තිබිණ. 

මෙම සිනමා  පටයේ කතාව අප අසන තවත් එක්  කතාවක් පමණකි. දිනපතා පුවත් පත්  කියවන විට මෙවැනි කතා දුසිමක් එක දිනකට ලංකාවෙන් සොයා ගත හැකිය. කුමන ආකාරයෙන් හෝ මිනිසුන් හට සිතන්නට යමක් සිනමා  කෘතියකින්  ඉතිරි කිරීම ඉතා අගනේය, මෙවැනි කතා දුසිමක් නොව සියයක් කියවුවද මේ ආකාරයෙන්ම පවුල් ජිවිත කීයක් නම්  දිනකට ලංකාවේ කෙලවර වේද? එබැවින් මෙවැනි කතා තේමාවක් ශ්‍රී ලංකේය සිනමාවට ඉතා උචිතය, නමුත් සිනමාවට ප්‍රේක්ෂකයා  ඇද  බැඳ තබා ගැනීමට තරම් මෙහි ඇති සිනමාත්මක ලක්ෂණ ප්‍රමාණවත් වේ දැයි  යන්න ගැටළුවකි. 

සැබෑ  ජීවිතයේදී ප්‍රේක්ෂකයාට  අත්  විඳීමට  නොහැකි  ආශාවන් බටහිර මෙන්ම, ඉන්දියානු සිනමා තිරයේදීද ප්‍රේක්ෂකයා අත් විඳ  ගනී. ඉතා උසස් කාලීන තේමා භාවිතා කලද,සිනමාවේ මෙම අපුරු ලක්ෂණය බොහෝ ශ්‍රී ලංකේය සිනමා කෘති තුල දක්නට නොලැබේ. එබැවින් අප සිංහල සිනමාවේ දකින චරිත සහ සිද්ධීන් අප එදිනෙදා ජීවිතයේදී දකින ඒවාමය. එවිට එදිනෙදා චරිත සහ  සිද්ධීන් මෙන්ම චිත්‍ර පටයේ කතාව සහ චරිතද අමතක වී යයි. 








Monday, January 20, 2014

ආදරය



මා 
යදිමින් 
පසුපස ගිය 

.......ආදරය........

මා 
පරිස්සමෙන් 
එකතු කළ 
මතකයන් තුලම

මා 
මරා දමන්නට විය

මා 
මඟ 
බලා සිටින්නට විය 

.......නැවත නැවතත් ......


- රෝෂිණී ගුණසේකර