Sunday, March 5, 2017

කාල තරණය - කෙටි කතාව






හෘද  ස්පන්දනය  නතර වූ සිරුර මෙතෙක් කල් දිරා නොගියේ මන්දැයි සිතාගත නොහැකි විය.නහර වැල් වල තිබු රුධිරය කැටි ගැසී කළු පැහැයක් ගෙන තිබුණි. අත් පා සීතලව දර දඬු වී ගොසිනි.  මොළයේ ක්‍රියාකාරිත්වය නතර වන දින තෙක් ඇය එහි තැබීමට විශේෂ අවසරයක් ගෙන තිබිණ. දැඩි  සත්කාර ඒකකයේ කෙලවර බිත්තියේ ඇති විදුරු කවුළුවෙන් ඇය කිසිවිටෙකත් ඇස ඉවතට ගත්තේ නැත.

"එතනින් තමයි  එයා එන්නේ"

ඇයගේ වචන කිසිවිටෙකත් මුවින් එලියට පැමිණියේ නැත.

 "අර හෙවනැල්ල,........................

 ඒක ඇතුලින් තමයි එයා මතු වෙන්නේ"

 කිසිවෙකුත් විදුරු කවුළුවෙන් ඇතුළුවන ආලෝක කදම්භය  ආවරණය කරන සේ සිටගත් විට ඇයට  දරාගත නොහැකි, හදවත පසාරු  කරගන  යන තරමේ වේදනාවක්  දැනිණ.වීදුරු ජනේලයට  ලම්බකව ඇති බිත්තියේ මැද ඔරලෝසුවකි. එහි කටු දෙස බලා  සිටින්නේ විදුරුවෙන් ආලෝකය කාමරයට නොපැමිණෙන රාත්‍රී කාලයේය.  ඔරලෝසුවේ  තත්පර කටුව කැරකෙන  නාදය පමණක් ඇසෙන්නට විය. එය එක්  වරක් නොව දින  ගානක්, සති ගානක්  හෝ මාස ගානක් රාතියේදී  ඇයට ඇසෙන්නට ඇත.

ඇය එම දිනය පැමිණෙන තෙක් බලාගෙන සිටියාය.

 "ටික්" ..."ටික්" ....."ටික්"  ඔරලෝසුවේ තත්පර කටුව  තත්පරයෙන් තත්පරය වාමාවර්තව කැරකෙවෙමින්  තිබේ.

' ටීක්" ....' ටීක්" ....' ටීක්" ....' ටීක්" ....

හෙදියක් ඇය වෙත දුවගෙන ආවේය.

" මේ පේශන්ට්ගේ  හාර්ට් එක වැඩ කරන්න පටන්ගෙන"

මුහුණට  සවි  කර තිබු ඔක්සිජන් බටය  නැවත සකසන අතරතුර  විනාඩි, පැය, දින, සති , මාස  ගණනක්  පැරණි  සේලයින්  බෝතලයෙන්   බින්දුවක්  ඇයගේ  රුධිරයට   කාන්දු  වන  බව හෙදිය නිරික්ෂනය කළාය.

විනාඩි, පැය, දින, සති, මාස ගණනකට පසු සෙලවෙන ඇයගේ අතේ ඇගිල්ලක් හෙදිය ස්පර්ශ කළාය. විනාඩි, පැය, දින, සති, මාස හෝ වසර  ගණනකට පසු  එහි  දරදඬු  ස්වභාවය කෙමෙන් පහව  ගොස්   මෘදු වන  බවක්  දැනිණ. උෂ්ණත්වය සෙල්සියස්  අංශක තිස්හතක් නොවුනද එහි යම් උණුසුමක්   ඇති බව දැනිණ.


පොල්  මල් , ගොක් කොළ වලින් සරසා මිඳුලේ  කෙලවර  කණු තුනක ආධාරයෙන් සිටවා තිබු පෙරේත ගොටුවේ  මල් වර්ග  හතක්, කෑම  වර්ග හතක්  මෙන්ම තවත්  බොහෝ දෑ තිබිණ. තොවිලයට සියල්ල සුදානම්ව පැවතියේය. සුදු  රෙද්දකින් හිස  වසා සුදු  ගව්මක්  අන්දවා ඇය බිම  එලා  තිබූ පැදුරේ  වාඩි කරවුයේ ඇයගේ මව  විසින්මය. මවද  ඇය  සමීපයෙන්  හිඳ  ගත්තාය, ඇයට  හිස  කෙලින්කරෙගෙන  සිටීමට අපහසු  වූ බැවින්  මව ඇයව  තුරුල් කරගෙන තම උරහිස  මත ඇයගේ  හිස  තබා ගත්තාය. තොරතෝංචිය ක්  නැතුව මතුරන  කට්ටඩියා  දෙස  සියලුදෙනා බලාගෙන සිටියත් ඇයට එහි වගක්  නොවිය. පන්දමට  දුම්මල දමා අඩි  කිහිපයක්  උසට  ගිනි  දළු  පිට කෙරිණ, කටට  භූමිතෙල්  ගෙන   පන්දමට  පිඹ    අහසට ගිනිදැල් පිට කෙරිණ. අවසානයේ   ඇය හිස  වටා  ඔතා  තිබුණු සුදු රෙද්ද  විසිකර නැගිට්ටාය. බෙර කරුවා එක බෙරයකට  තලා එහි හම ඉරී ගිය පසු  දෙවන බෙරයටට  තඩි බාන්නට  විය, ඇය එම රිද්මයට මිඳුල පුරා අවසිහියෙන්  නටන්නට  විය.

" උඹට මොනාද  ඕනි ?"

" මට බොන්ඩ ඕනි " එය පිරිමි කටහඩක්  විය.

" උඹට  මොනාද  බොන්ඩ ඕනි ?"

" අරක්කු'

කට්ටඩියා තම  ගෝලයාට පෙරේත  තට්ටුව  යට ඇති බෝතලය  පෙන්වයි. පුරවා  දුන්  අරක්කු වීදුරුව ඇය එක හුම්ස්මට උගුරට  හලා ගත්තාය. ඇය තවදුරටත් මිඳුල  පුරා නටන්නට  පටන් ගත්තාය. කට්ටඩියා  ඇය පසු පසින් ගොස් විසිරි  තිබු කෙස් වල්ලෙන් ඇයව අල්ලා  ගත්තේය.

" උඹට  තව  මොනවද  ඕනි ?"

" මට ඕනි කහපාට කොළ  "

කට්ටඩියා කොක්කොල මිටියක්  අය අතට දුන්නේය,

" උඹට පිස්සුද ?, මට ඕනි අර  කහ පාට කොළ"

මිඳුලේ රැස්ව උන් කුටු කුටු ගන්නට විය, කට්ටඩියා ඇයගේ කොණ්ඩය අඹරවා ගෙල මුලට සිර කළේය.

" උඹට  ඕනි  මොන කොළද ?"

" සල්ලි කොළ "

ඔහු තම සාක්කුවෙන් ගෙන රුපියල් පන්දහසේ කොළ දෙකක් ඇය අත තැබුවේය.

" දැන්   උඹ  යනවද?

" නෑ මම යන්නේ නෑ, නෑ මම යන්නේ  නෑ, මට තව ඕනි "

අවට සිටි කාන්තාවන් තම  මුහුණු දෑතින් ආවරණය කරගත්තේ  ඇයගේ කොණ්ඩය තවත් වරක් අඹරවා,

" සල්ලි දෙන්නේ ඔච්චරයි , උඹට  යන්න තව  මොනවද ඕනි ? " යයි අසන විටය

"මට ඒකිව ඕනි"

" උඹට ඒකිව දැනුත් ඉන්නවා"

" නෑ මට ඒකිව ඕනි, මට  ඒකිව  මරන්න ඕනි  "

ඇයගේ හිස ඔහු සෙමෙන් පිරිමදින්නට විය, නළල මත ඔහුගේ තොල් වල උණුසුම පතිත කරන්නට විය , දෙපා වල ඇඟිලි, දෑතේ ඇගිලි සෙමෙන් ස්පර්ශ කරන්නට විය, ගල්  ගැසී  තිබු මාංශ පේශි  සෙමින් පිරිමදින්නට   විය. ශරීරය පුරා සෑම රෝම කුපයක්ම එයින් නව පණක් ලැබීය. ධමනි ශිරා  මෙන්ම කේශනාලිකා වල තිබු කළු පහ ගැන්වුණු රුධිරය කෙමෙන් රත් පැහැ ගැන්වෙන්නට විය. කැටි ගැසී  තිබු රුධිර  කැට එකිනෙක  දියවී  යන්නට විය. අප්‍රාණික  ස්නායු  වලට උණුසුම , දැනෙන්නට විය. සෑම කේෂ  නාලිකාවකටම රුධිරය ගලා යන බව ඇයට වැටහිණ , ඒ කොපමණ කාලයකට පසුවදැයි ඇයට නිච්චියක් නැත.  හෘදය ස්පන්දනය  වන හඬ  ඇයටම ශ්‍රවණය කල හැකිවිය. මෙතෙක් කල් අහිමිව තිබු ශරීරය ඇයට නැවතත්  හිමිව ඇති බව ඇයට වැටහිණ. ඔරලෝසුව දෙස බලා  හුන්  ඇය දෑස වසා ගත්තාය. මුහුණ ආවරණය කර තිබු ඔක්සිජන් බටය ගලවා  පැත්තකට දැමුවාය. පෙරවා තිබු සුදු රෙද්ද ඇද විසි කළේය. ඔහුගේ උණුසුම් ප්‍රශ්වාසය වරකට ඇයගේ මුහුනටත් වරෙකට ඇයගේ පයෝධර අතරටත්  ඉන්  පසුව මුළු ශරීරය පුරාවටත් දැනෙන්නට  විය.

මෙතෙක් වෙලා බලා  සිටි බිත්තියේ ඇති ඔරලෝසුව වෙනුවට දෑස පියාගත් විට ඇයට කොළ පැහැති  ඉලක්කමෙන් වෙලාව පෙන්වන ඩිගිටල් ඔරලෝසුවක් දර්ශනය විය.වෙලාව වසරින් වසර  පසු පසට ගමන්  කරමින් තිබිණ.   එහි වේලාව දෙස ඇය බලා සිටියාය, එහි වේලාව නතර වන ලෙස දෑස තදින් වසා ගත්තාය. එය වසර දහයකට පෙර දිනයක නතර විය.


" අම්මි කවුද කෙනෙක් ඇවිල්ල කියනවා , ඔයාව බලන්න ඕනි කියල"

" මොන වගේ කෙනෙක්ද  ?"

" දන්නේ නෑ, එයා  සීයට  වඩා උසයි, සීයාගේ වගේ රැවුල සුදු නෑ."

" එන්න කියන්න, පුතේ "

" එයා කියනවා, එයා  මගේ තාත්තා කියල"

හෙදිය දියණිය ද සමග  කාමරයෙන් පිටව ගියාය. ඔවුන් දෙදෙනා ඔහුව ද සමග  නැවතත් ඇයගේ ඇඳ වෙත පැමිණියහ. ඔක්සිජන් බටයද, පපුවට සවි කර තිබු ecg යන්ත්‍රයේ අග්‍ර ද, මුත්‍රා බටද   සී සී කට විසිරි  තිබිණ. ඇඳ  මත වූ සුදු රෙද්ද මෑත් කොට හෙදිය ඇයව සොයන්නට විය ඔහු අනෙකුත් ඇඳන් මත සිටි ලෙඩුන් එකිනෙකා පරික්ෂා කර බලන්නට විය.

" කෝ මේ ලෙඩා" හෙදිය කෑ මොර දෙන්නට විය.

බිත්තියේ වූ  විදුරු කවුළුව බිදී  ගොස් විදුරු කටු කිහිපයක් බිමට පතිත වී තිබිණ. අඟල් කිහිපයක විෂ්කම්භය  සහිත සිදුරක් එහි විය.

" කෝ මෙතන හිටපු ළමය" හෙදියත් ඔහුත් දියණිය සොයමින් සී සී  කඩ දුවන්නට විය.


ඇසිටලීන් සිලින්ඩරයක්, ඔක්සිජන් සිලින්ඩරයක් පෑස්සුම් කුරු මිටියක් සහ උපකරණ සියල්ලද මිලිමීටර් පහක් ඝනකම වානේ තහඩුවක් ද රැගෙන කම්කරුවෝ කිහිප දෙනක් දැඩි සත්කාර  ඒකකයේ විදුරු කවුළුව ලඟට රැස් වුහ.

"ඔයා  මොනවද මේ කරන්න යන්නේ"

" මේ විදුරු කවුළුව වහල දාන්න"

" එතකොට, කොහොමද මම ඔයා  ළඟට එන්නේ ?"

"මට ඔයාව  විදුරු කවුළුවෙන් ගෙන්න ගන්න ඕනි නෑ, ඔයා  මගේ දුවත්  එක්ක කාමරේට දොරෙන් ඇතුළු වෙන්න"

ඇය දෑස වසාගෙන ඩිගිටල් ඔරලෝසුව නතර කරගෙන කීවාය.

- ජානක ගුණතිලක
4/3/2017